
ඉංග්‍රීසි පාලනයට එරෙහිව සටන් වැදුණු විරුවන් ‘ආණ්ඩු විරෝධී කැරලිකරුවන්‘ යන හැඳින්වීමෙන් බේරා, ජාතික වීරයින් ලෙස ඔසවා තබන්නට සම්මුතිවාදී ආණ්ඩුව පියවර ගත්තේ ය. ඉංග්‍රීසීන් මෙරට පාලනය සියතට ගත් 1815 මාර්තු 2 වැනි දා අත්සන් කෙරුණු උඩරට ගිවිසුමට වසර 202 ක් පිරෙන දා, එනම් මාර්තු පළමුවැනි දා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබන ලදි. දේශප්‍රේමීන්ට වූ වරදක් නිවැරැදි කරමින් ආදර්ශයක් ලබා දුණි.
එදා බ්‍රිතාන්‍ය පාලකයන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තමන්ය කියන විශ්වාසයෙන් ආණ්ඩුවට එරෙහි වූවන් ‘කැරලිකරුවන්‘ ලෙස නම් කෙරිණි. එහෙත් ‘උඩරට ගිවිසුම‘ අනුව හෝ රට පාලනය නොකිරීම නිසා බ්‍රිතාන්‍ය පාලනය නීත්‍යානුකූල නොවූ බව කියැවෙයි. ඒ අනුව එදා වැරැදිකරුවන් කළ පිරිස ඉංග්‍රීසීන්ට එරෙහි වූයේ ආණ්ඩුවකට නොව ආක්‍රමණයකට ය කියන විශ්වාසයෙනි. මේ සටන්කාමීන් කල්පනා කළේ ඉංග්‍රීසීන් තම මව් බිම යටත් කළ ආක්‍රමණිකයන් ලෙසිනි. ඔවුන් සටන් වැදුණේ ආක්‍රමණිකයන් සමඟයි; තම මව් බිමේ නිදහස වෙනුවෙනුයි. ආක්‍රමණයට එරෙහි වන්නෝ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින දේශප්‍රේමියෝ වෙති; ජාතික නිදහස තහවුරු කරගන්නට වෙර දැරූ විමුක්තිකාමීහු වෙති.
දේශමාමක විරුවන් දේශ ද්‍රෝහීන් ලෙස නම් කරමින් ලබා දුන් වැරැදි තීන්දුව නිවැරැදි කිරීම ලක්වාසී සියලු දෙනාට අභිමානයෙන් සමරන්නට හැකි අවස්ථාවක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
බලවතා විසින් දුබලයා යටත් කරගනු ලැබීම ලොව දේශපාලන ඉතිහාසය පුරාම දක්නට ලැබෙන්නකි. විශේෂයෙන්ම එහිදී ඉදිරියට එන්නේ සංස්කෘතික බලය යි. තම ආධිපත්‍ය අනෙකා මත පැටවීම පිණිස තවත් රටක්, බිමක්, යටත් කිරීම හෝ ඒ සඳහා ක්‍රියාත්මක වීම හෝ ලෝක දේශපාලනයේ එදා මෙදා කතාවයි. ඇතැම් විටෙක වෙනත් ග්‍රහලොවක දියුණු ජීවීන් වර්ගයක් සිටී නම් ඒ ලෝකයේ ඉලක්කය ද මේ පෘතුවිය විය හැකි යි. ඒ තරමට මේ ආක්‍රමණය හැම දාම, හැම තැනකම පවතියි. එමෙන්ම ආක්‍රමණයට එරෙහිව නැඟිටීම් ද ඇති වෙයි. විශ්වයට ම පොදු මේ නිරන්තර අරගලය හමුවේ තමන්ගේ ජාතිය, රට, සංස්කෘතිය, අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, සටන් වදින, ඊට නායකත්වය දෙන ස්වදේශීය විරුවන් ද හැම තැනම හැම කලකම සිටිති. ඔවුන් ගේ දේශප්‍රේමය, කැපවීම, මත ලෝක සිතියමේ තම ස්ථානය ලකුණු කර ගනී.
වර්තමානයේ සිට අනාගතය තෙක් ඇදෙන රටේ ඉදිරිගාමී රේඛාව නිවැරැදිව ලකුණු කර ගැනීමට අතීතයේ තැන හඳුනා ගෙන එතැන ද යා කර ගත යුතු ය. සම්ප්‍රදාය හෝ උරුමය හෝ ඉදිරිය පාදා ගැනීමට මහත් ශක්තියක් වන බැවිනි. අතීත ස්ථානය හෝ අවස්ථාව හෝ ලක්ෂය හෝ වැරැදි අර්ථයකින් වැසී යා නම් අනාගතය ද වැරැදීමට ඉඩ ඇති නිසා කා අතින් සිදුවුව ද ඒ වරද නිවැරැදි විය යුතු ය. ඉංග්‍රීසි පාලනයට ‘ආණ්ඩු විරෝධී කැරලිකරුවන්‘ වත්මන් ආණ්ඩුවට දේශප්‍රේමීන් වන්නේ ඊට අනුව ය.
ලක්දිව ආක්‍රමණය ඇරඹෙන්නේ 1505 දී ලන්දේසීන්ගේ පැමිණිමෙන් නොවේ. ක්‍රිස්තු පූර්ව කාලයේ සිටම ලක්දිවට ඇත්තේ ආක්‍රමණ හමුවේ නැඟී සිටින දේශපාලනයකි. දුටුගැමුණු රජු, වලගම්බා රජු වැනි දේශප්‍රේමී චරිත ඉතිහාසයෙන් මකන්නට බැරි වී ඇත්තේ රටට ආ ආක්‍රමණ පරාජය කරන්නට නායකත්වය දී ඉදිරිගාමී ගමනට රට මෙහෙය වූ බැවිනි. එකල වැඩිපුරම දක්නට වූයේ සෘජු ආක්‍රමණ යි.
ආක්‍රමණ යුද්ධ මඟින් පරාජය කෙරුණේ ඒවා සෘජු ආක්‍රමණ ලෙස හඳුනා ගත් බැවිනි. ඒ තරමටම දරුණු, එහෙත් බැලූ බැල්මට නොපෙනෙන, වක්‍ර ආක්‍රමණ ද වෙයි. කුමාරතුංග මුනිදාස සූරීන් වැනි චින්තකයන් පවසන පරිදි සිංහල බස අන්තර්ජාතික භාෂාවක් බවට පත්වීමට තිබුණු ඉඩ පස්වැනි සියවසේ දී ඇහිරී යන්නේ එවැනි වෙස්වලා ගත් ආක්‍රමණයක් නිසා ලු. නූතන දේශපාලන ලෝකයේ වැඩිපුර ම ඇත්තේ මේ වක්‍ර ආක්‍රමණ යි.
ඉදිරිගමනට වටිනා ඉතිහාස ලකුණ හඳුනා ගෙන සිටීම ලෝකයෙන්, බලවතුන්ගෙන් එන ආක්‍රමණවලින් වැලකෙන්නට ඇති පලිහකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඓතිහාසික මඟුල් මඩුවේ දී ජාතික වීරයින් ලෙස නිවැරැදි කළ ගැසට් පත්‍රයට අත්සන් තැබීම මඟින් සංකේතවත් කෙරුණේ වැසී ඇති ඉතිහාස ලකුණ නිවැරැදිව පාදා ගැනීමේ වැදගත්කම යි. එමෙන්ම ඊට අවශ්‍ය ජාතික අභිමානය හා වුවමනාව පෙරට ගැනීම යි.