නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය 'නවක වධකාගාර' තැනීම ද? | සිළුමිණ

නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය 'නවක වධකාගාර' තැනීම ද?


විශ්වවිද්‍යාලයීය සිසු පිරිසක් විසින් පවත්වාගෙන යන ලද 'නවක වධකාගාරය' මඟින්, නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට යැ යි පැවසෙන අරගලයේ තවත් පැතිකඩක් විවර වී ඇත. එනම්: අධ්‍යාපනය නිදහස් වුව ද එය ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනඟන්නට දායක වී නැති බව යි.

නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය ලෙස සැලකෙන විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව වෙතින් සිදු වන මෙවැනි දෑ මඟින් පැහැදිලි කෙරෙන්නේ ඒ බව යි. නවකවධකාගාර විශ්වවිද්‍යාලවලින් පිටත ද ඇති බව පවසමින් නවකවධය උප-සංස්කෘතියක් ලෙස සාධාරණීකරණය කරන්න ශිෂ්‍ය සංගම් ඉදිරිපත් වීම යනු, 'ධනපති භංග වේවා!' යන සටන්පාඨය ඉදිරියට ගෙන කුහකකමට දේශපාලන වටිනාකමක් දුන් අවස්ථාවාදි දේශපාලනය සිහි කැඳවීමකි. එයින් පරිණාමය වූ 'කුහක දේශපාලනය' තුළ මේ ශිෂ්‍ය සංගම් සිරකාරයන් වී සිටිනවා ද විය හැකි යි.

උප-සංස්කෘතියක් වුව ද ත්‍රස්තවාදයක් නම්: රටේ සමාජයේ යහපත වෙනුවෙන් එය මර්දනය කළ යුතු ම ය. අමානුෂික වධබන්ධනයට ලක් කරමින් අනෙකා පෙළන ත්‍රස්තවාදය, හිංසනය මර්දනයට ලක් කිරීම ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම ලෙස අර්ථ දැක්වීමට පෙර, තමන් රටේ පොදු නීතියට යටත් පිරිසක් මිස, අමුතු වරප්‍රසාද සහිත අය නොවන බව ශිෂ්‍ය සංවිධාන දැන ගත යුතු ය.

මාලබේ වෛද්‍ය විද්‍යාලයට එරෙහි වෛද්‍ය වෘත්තිකයන් වෙනුවෙන් තම පන්ති වර්ජනය කරන ශිෂ්‍යශිෂ්‍යාවෝ තමන් එවැනි ක්‍රියාවලට පිවිසෙන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට බව පවසති. එහෙත් වැඩි පිරිසක් එසේ වීදි සටන්වලට පිවිසෙන්නේ එක්කෝ නවකවධකාගාරවලට හසු වනු ඇතැයි බියට ය; නැති නම් අවස්ථාවාදි දේශපාලනයේ අතකොළු බවට පත් වීමෙන් ය.

නවකවධය ගැන කියැවෙන ඉතිහාසය පුරා සඳහන් වන්නේ නවකවධයට හසු වන අය දැඩි මානසික ආතතියකට ගොදුරු ව ජීවිත කාලය ම එහි පීඩාවට පත් වන බව යි. එවැනි මානසික පීඩනයක් අනෙකාට අත් කර දෙන පීඩකයා ද යම් මානසික විකෘතියකට හසු වූවකු බව නවකවධය ගැන කෙරුණු පර්යේෂණ මඟින් පවා හෙළි වී ඇත. මෙය අධ්‍යාපන ක්‍රමය විසින් ම ඇති කරනු ලබන්නක් ද යන්න විමසා බැලිය යුතු ය.

'හොර උපාධි කඩ වසනු!' යන සටන්පාඨය ඔසවා ගත් ශිෂ්‍ය සංවිධාන පවසන්නේ තමන් විශ්වවිද්‍යාලයට පිවිසීමේ වරම දිනා ගත්තේ උසුලා ගත නොහැකි තරම් මහන්සියක ප්‍රතිඵලයක් හැටියට බව යි. විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ වරම හිමි කර ගන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අයගෙන් සියයට දහයකි. ඉතිරි සියයට අනූවත් උසුලාගත නොහැකි මහන්සියක් නො වී යැ යි කිව නොහැකි ය.

එකී මහන්සියට දෙමවුපියන් විසින් සපයා දෙන ලද මුදල් ඇතුළු යටිතල පහසුකම් ද සැලකිල්ලට ගත යුතු ය. විභාග තරගය හමුවේ අද විශ්වවිද්‍යාලයට ඇතුළු වන වැඩි දෙනා ද ඒ වෙනුවෙන් කෙසේ හෝ විශාල මුදලක් වැය කරන බව ද රහසක් නො වේ. එවැනි වටාපිටාවක විශ්වවිද්‍යාලයීය වරම් අහිමි වන, සමාන ලෙස මහන්සි වූ අනෙකාට මුදල් ගෙවා හෝ ඉගෙනීමට අයිතියක් නැතැ යි කීම සාධාරණ නො වේ. එසේ කීම නවකවධකාගාරවල ක්‍රියා පරිදි ම අමානුෂික ය.

මෙරට විභාග ක්‍රමයට අනුව මහන්සි වීම යනු පොත් හෝ සටහන් හෝ කටපාඩම් කිරීම යි. කෙසේ හෝ විභාගය සමත් වන තරගය ජය ගැනීම වෙනුවෙන් කට පාඩම් කරන්නා 'මේ ලෝකෙ සිහියක් නැති ව' විභාග කටයුත්තේ නියැළීම යනු පොදු සමාජය හා ඇති සබඳතා පෙකිණිවැල කපා ගෙන සංවේදි බවින් ඈත් වීම යි. නිර්මාණාත්මක බවින් තොර වීම ලෙස ද එය දැක්විය හැකි යි.

නිදහස් අධ්‍යාපනයේ 'හොඳ ම ඵලය' එසේ පොදු සමාජය සමඟ සංවේදි බවින් ඈත් ව යෑමේ දිගුකාලීන ප්‍රතිඵලය අවසානයේ ත්‍රස්තවාදය උප-සංස්කෘතියක් බවට පත් කර ඇත. ලෝක ප්‍රවණතා හඳුනා ගත නොහැකි, ඊට මුහුණ දිය නොහැකි, එහෙත් තමා තරම් ලෝකය ගැන දන්නා තව කෙනකු නැතැ යි යන උද්ධච්ච මානසිකත්වයක් සහිත අයකු නිදහස් අධ්‍යාපනයේ 'අග්‍ර ඵලය' වී ඇත.

විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය අවසන් කර, වෘත්තීය ජීවිතයට පිවිසුණාට පසු තම වෘත්තීය වගකීම හරිහැටි ඉටු නොවීමටත්, එය වගකීමෙන් තොර වීමටත්, වෘත්තීය සටන් මානුෂීය නැති වීමටත්, නිදහස් අධ්‍යාපනය ම හේතු වී ඇති සැටි නො වේ ද මෙයින් කියවෙන්නේ.

පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන රට පුරා නඟන විරෝධය තරමට ම නිදහස් අධ්‍යාපනයේ 'අග්‍රඵලය' නවකවධකාගාර වීම වැළැක්වීමටත් දෙමාපියන් අවධානය යොමු කළ යුතු ය.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වියදම් කරමින්, දෙමවුපියන් තම දරුවන්ට ආදරය කරුණාව සමඟ අනෙකුත් යටිතල පහසුකම් ද සපයා දුන්නේ වධකාගාරවලට කොටු වී ජීවිත කාලයක් විඳවන හෝ අවස්ථාවාදි කණ්ඩායම්වල අතකොළු බවට පත් ව අනාගතය අඳුරු කර ගන්නා දරුපරම්පරාවක් වෙනුවෙන් විය නොහැකි ය.

 

Comments

meyin pala lada aya , nima wi athheya, edath adath demawupiyan widi duk danne nam, daruwan wisin yaha pawathmen saha thamage tharama danagena silpa dakwa thama jiwitha yahapath kara gatha yuthuya,

පිටු