
මාලබේ වෛද්‍ය විද්‍යාලය මුල් කර ගෙන පැන නැඟුණු අර්බුදය, රට ම දැනුම්වත් වන අයුරින් සංවාදයට නැඟී ඇත. දෙතුන් දෙනකුගේ පාලනයට රටේ සියල්ල යටත් නැතැ යි දැන් රට වැසියාට හැඟී යෑම නිසා ද තම තමන්ගේ අදහස් නිදහසේ මුදා හරින්ට ඉඩ ඇති බව දැනී යෑම නිසා ද මෙවැනි පුළුල් සංවාදයක් ඇති වීම ස්වාභාවික යි.
දේශපාලකයන්ට ද, වෘත්තීය සමිති ව්‍යාපාරයට ද, ශිෂ්‍ය සංවිධානවලට ද, දැන් තම අරගලය නොබිය ව දියත් කළ හැකි යි. සාධාරණ විසඳුමකට එනු පිණිස විවෘත සංවාදය ද වැදගත් ය. ඒ සඳහා නිදහස ලැබීම ද ඒ තරමට ම වැදගත් ය. මාලබේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේ දී, අද ඊට එරෙහි වන කණ්ඩායම් නිද්‍රාවක සිටීමෙන් ද පෙන්වන්නේ අරගල සඳහා ද අපමණ නිදහසක් ඇති බව යි.
නිදහස් අධ්‍යාපනය සමඟ වෛද්‍ය වෘත්තිය මතු වී ඇති සංවාදයට තේමා වන නිසා රෝගී ජනතාව මෙහි දී අමතක කළ නො හැකි යි. රටේ රෝගීන් නැති නම්, මුළු මහත් සමාජය ම සෞඛ්‍ය සම්පන්න නම් වෛද්‍ය වෘත්තිකයන්ට තව දුරටත් වෘත්තීය භූමිකාවක් නැති බැවිනි.
එබැවින් වෛද්‍ය වෘත්තියෙන් හෝ සෞඛ්‍ය සේවාව පැත්තෙන් හෝ රෝගී ජනතාව සම්බන්ධයෙන් සාධරණය ඉටු වනවා ද යන්න මේ සංවාදයට එක් කිරීම ඉතා වැදගත් ය. වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ම මිස වෛද්‍ය වෘත්තියේ ප්‍රධානතම යැපුම් සාධකය වන රෝගියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් දියත් කෙරුණු පොදු අරගලයක් මෙතෙක් හමු නොවීම ද මෙහි දී අවධානයට ලක් කළ යුතු යි.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ව පැනනැඟුණු අර්බුදය පිළිබඳ සංවාදයේ දී වෛද්‍ය වෘත්තිකයන් සමඟ එක පෙළට සිට ගන්නා බව කතා කරන දේශපාලකයන්, වෘත්තීය සමිති ව්‍යාපාරය, ශිෂ්‍ය සංවිධාන ආදි කණ්ඩායම් රෝගියා සම්බන්ධයෙන් පෙනී සිටින්නේ මොන විදියට ද? මතු වී ඇති සංවාදයට වෛද්‍ය වෘත්තියේ හෝ සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ආරක්ෂා කළ යුතු ය, යන තර්කය පුමුඛ වී ඇති නිසා මෙහි දී රෝගියාට ඉටු වන සාධාරණය ගැන ප්‍රශ්න කිරීම මඟ හළ නො හැකි ය.
වෛද්‍ය වෘත්තිකයන් සමඟ සිට ගන්නා කණ්ඩායම් නිසැක ව ම මෙහි දී පවසනු ඇත්තේ තම සටන අසරණ රෝගීන් වෙනුවෙන් බව හා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් බව යි. අර්බුදය සම්බන්ධ ව හොඳින් දැනුම්වත් ව සිටින රෝගි ජනතාවට ඒ හේතු පාඨය සම්බන්ධයෙන් කවර දෙයක් කල්පනා වනු ඇති ද?
පෞද්ගලික රෝහල් කොතරම් තිබුණත් සෞඛ්‍ය සේවයේ විශාල ඉඩක් සපුරන්නේ රජයේ රෝහල් පද්ධතිය යි. දුෂ්කර පළාත්බද රෝහලක පමණක් නො ව, නගරයේ රෝහලක පවා පාන්දර තුන හතරේ සිට පෝලිම් ගැහෙන රෝගීන්ටත් දැන් මේ සංවාදය කන වැකී ඇත. රෝහල් ඇඳන් මත හෝ බංකු මත කල් ගෙවන රෝගීන් තමන් සමඟ ම හෝ මේ සංවාදයේ නිරත වනු ඇත්තේ රෝහල්වල මූලික අවශ්‍යතා ඉටු නොවීම හෝ ඒවායේ ප්‍රමිතිය හෝ ප්‍රශ්න කරමිනි. විශේෂයෙන් ම සතිපතා හෝ මාස්පතා හෝ රෝහල් කරා නිතර ඇදෙන රෝගීන් ප්‍රතිකාර ගැනීමට පැමිණීම නිසා ම විඳින දුෂ්කරතා තමන්ට ඇසෙන ප්‍රමිතිය පිළිබඳ කතා සමඟ දැන් සසඳා බලනු ඇත.
රෝග නිසා රෝගීන් විඳින පීඩාව තවත් ඉහළ දමන, රෝහල් ආශ්‍රිත දුෂ්කරතාවලට වගකිව යුතු වන්නේ සෞඛ්‍ය සේවය බවට මෙහි දී තර්කයක් ගෙන ආ හැකි යි. සමාන්තර ශ්‍රේණියක වෘත්තිකයන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය විවෘත කිරීමේ සිට රෝහල් පරිපාලනය වෛද්‍යවරුන්ගෙන් පිටට යෑම දක්වා වන සෞඛ්‍ය සේවයට බාහිර මැදිහත් වීම, වෛද්‍ය වෘත්තිකයන්ට මාරාන්තික වීම ගැන සලකන විට සෞඛ්‍ය සේවය පිරිහීමේ වගකීමෙන් වෛද්‍ය වෘත්තිකයන්ට නිදහස් විය නො හැකි යි.
ශල්‍යකර්මයක දී හෝ ඖෂධ නිකුත් කිරීමේ දී හෝ වෛද්‍යවරුන් අතින් නිරන්තර ව සිදු වන අත්වැරදීම් ගැනත් වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රමිතිය ගැන සවිඥානක වන රෝගීන්ට සිහිපත් වනු ඇත. ශල්‍යකර්මය නිමවා මැහුම් දමන විට කුස තුළ ගෝස් කැබලි ඉතිරි කර මසා දැමීම, වම් අත වෙනුවට දකුණු අත කැපීම, උඩු ඇන්දේ දත වෙනුවට පහළ ඇන්දේ දත ගැලවීම වැනි නිතර අසන්නට ඇති සිදුවීම් කවර ප්‍රමිතියක් යටතේ ප්‍රශ්න කළ යුතු දැ යි රෝහල් බංකු මත පාන්දර සිට පැය ගණන් කල් ගෙවන රෝගීන්ට, තම වාරය එන තුරු දැන් නිදහසේ කතා බහ කරන්නට හැකි ය.
ඇතැම් විට මේ සංවාදය කන වැකෙන්නත් කලින් ම තමන්ට විඳින්නට සිදු වන පීඩාව ගැන රෝගීන් හොඳ අවබෝධයකින් සිටිනවා විය හැකි යි. එහෙත් ඔවුන්ට ගැටලුවක් තිබේ. තමන්ට දැනට ලැබෙන සෞඛ්‍ය සේවාව නියමිත ප්‍රමිතියෙන් තොර යැ යි රෝගීන්ට පැහැදිලි වුව ද ඔවුන්ට ඒ වෙනුවෙන් සාධාරණය ඉටු කර ගන්නට මඟක් නැති වීම ඒ ගැටලුව යි.
වර්ජනය කළ හැකි මඟක් ද නැත. රෝගීන් නිසා වීදි සටන්වලට එක් වන්නට ද ශක්තිය නැත. වෛද්‍ය වෘත්තිකයන් තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මිස රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයක් නොකරන නිසා සෙසු කණ්ඩායම් ද රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටිනු ඇත. මේ අනුව මතු වී ඇති සංවාදයට අලුතින් ම එක් කළ යුතු තේමාව වන්නේ, තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නා සටන සංවිධානය කරන්නේ කවුරුන් දැ යි කියා රෝගීන් අතර මතු වන අමතර වේදනාව යි.
ඇතැම් විට රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට වෙලාවක් නැති වන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් කාලය වෙන් කරන්නට සිදු වන නිසා විය හැකි යි. පෞද්ගලික රෝහලවල හෝ තම තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරවල නිරත වීමට ද කාලය වෙන් කළ යුතු නිසා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගලයට ද කාලය සොයා ගන්නේ අමාරුවෙන් විය හැකි යි.
ඒ කෙසේ වෙතත් නිදහස් අධ්‍යාපනය නිදහස් කරන්නට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා අදහස් කළේ ඉගෙනීමට මුදල් වියදම් කළ නොහැකි අය වෙනුවෙනි. ඒ මඟ විවෘත කරන විට එවක පැවති මුදල් ගෙවන පෞද්ගලික පාසල් වසා දමන්නට ඔහු අදහස් කළේ නැත. පෞද්ගලික පාසල්වල හෝ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය මෙන්ම රාජ්‍ය අංශයේ ප්‍රමිතිය ද එක සේ වැදගත් ය. මතු වී ඇති සංවාදයේ දී ප්‍රමුඛ වන්නේ වෛද්‍ය වෘත්තියේ හෝ සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය නම්, පෞද්ගලික අංශයේ මෙන් ම රාජ්‍ය අංශයේ ප්‍රමිතිය ද ප්‍රශ්න කළ හැකි සිදුවීම් ඕනෑවටත් වඩා ඇත.