රට වෙනුවෙන් නිදහස් කරගත් අධ්‍යාපනය කුමක් ද? | සිළුමිණ

රට වෙනුවෙන් නිදහස් කරගත් අධ්‍යාපනය කුමක් ද?

 අධ්‍යාපනය හා සෞඛ්‍යය යනු රටේ ඵලදායිතාව පෝෂණය කරන, අනාගතය තීන්දු කරන වැදගත් සේවාවන් ය. මේ සේවාවන් පවත්වා ගත යුතු වන්නේ මුදල් ලාභය මත ද යන සංවාදය යළි සමාජ කරළියට පැමිණ තිබේ. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිමිති කර ගෙන මතු වී ඇති අර්බුදය රටට අලුත් දෙයක් ද නො වේ. මීට දශක තුනකට පමණ ඉහත රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන්න තීරණය කිරීමත් සමඟ ඇති වූ විරෝධය, අවස්ථාවාදි දේශපාලනයේ අතකොළුවක් බවට පත් ව, රට පුරා ලේ වැගිරීමක් දක්වා නැඟී, රට පසුගාමි තැනකට ඇද දැමූ ඛේදජනක ඉතිහාසයක් ද අප සතු බැවිනි.

ආර්ථික සංවර්ධනයට පෞද්ගලික අංශය මැදිහත් කර ගත යුතු ය, යන ස්ථාවරය රජය පනවන සීමාවන්ට හෝ නියාමනයන්ට හෝ යටත් බව ලිබරල් නිදහස හිස් මුදුනින් ගත් රටවල් පවා අද පිළිගෙන ඇත. දේශපාලකයන් බොහෝ විට ආදර්ශයට ගන්නා ඇමෙරිකාව නිදසුනකට ගන්නේ නම්, එරට අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට සිදු වන බව ඇත්තකි. එහ‍ෙත් ඒ මුදල් ලාභ ලෙස ව්‍යාපාරිකයන් සතු කර ගන්නට ඉඩ තබා නැත. පාසල් හෝ විශ්වවිද්‍යාල හෝ පවත්වාගෙන යන භාරකාර මණ්ඩලයට ම සියලු ලාබ අත් වන අතර, ඒ මුදල් ලාභ නැවත අධ්‍යාපනයට ම යෙදවිය යුතු වේ. එනම්: ඇමෙරිකාවේ පවා පිළිගත් විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ භාරකාර මණ්ඩලයකින් මිස, ලාභ උපයන ව්‍යාපාර ලෙස නො වේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න පෙර, අධ්‍යාපනය හා සෞඛ්‍යය යන සේවාවන් මුදල් ලාභ ඉපයීමට යොදා ගන්නවා ද කියා තීරණය කළ යුතු ව තිබිණි. පෞද්ගලික අංශය සම්බන්ධ කර ගත් පසු ඒ සඳහා සීමා හෝ නියාමන හෝ පැනවීම ගැන කතා කරන්න පෙර එකී ප්‍රතිපත්තිමය තීරණය ගත යුතු ව තිබිණි.

නිදහස් අධ්‍යාපනය යටතේ හෝ මුදල් ගෙවා හෝ අධ්‍යාපනය ලබන්න මානව හිමිකමක් තිබේ. ඊට එරෙහි විය නො හැකි ය. උසස් පෙළ සුදුසුකම් සපුරාගෙන, එහෙත් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් අහිමි වන අයකුට වියදම් කළ හැකි නම් ඉන් එහාට අධ්‍යාපනය ලබන්නට ඉඩක් තිබිය යුතු යි. ඒ අයිතිය හා වියදම් කරන්න ඇති හැකියාව මුදල් ලාභය වෙනුවෙන් පාවිච්චි කරන්නට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබුණොත්, රජයේ විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර ප්‍රමිතිය අතින් ද විශාල පරතරයක් ඇති වීම වැළැක්විය නො හැකි ය. ගුරුවරුන්ගේ වැටුප් අතර පරතරය, පහසුකම් අතර පරතරය වැනි මූලික කරුණු ගැන වුව කල්පනා කිරීමෙන් මේ ගැන වටහා ගත හැකි යි. එවිට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇති පිළිගැනීම ක්‍රමානුකූල ව බිඳ වැටෙන්නට ඉඩ තිබේ. එවැනි පසුබිමක් නිර්මාණය වීමේ දී කඩා වැටෙන්නේ රටේ ම අධ්‍යාපනය යි. එවිට වෛද්‍ය වෘත්තියේ පමණක් නො ව, අනෙක් සෑම වෘත්තියක ම ප්‍රමිතිය පිළිබඳ ගැටලු අහස උසට මතු වනු ඇත.

මඟී බස් සේවාව පවත්වා ගෙන ගිය රාජ්‍ය ආයතනය වූ ලංගම අසාර්ථක ය, යන පදනම මත පෞද්ගලික බස් සේවාවට ඉඩ ලැබිණි. පෞද්ගලික අංශයේ එවැනි මැදිහත් වීමක අවශ්‍යතාව ගැන පැහැදිලි කිරීම්වල දී කියැවුණේ, මඟියාට ගමන් පහසුව සැලසීම පිණිස වෙළෙඳපොළ තරගයට ඉඩ දිය යුතු බව යි. දශක හතරකට ආසන්න කාලයක එහි අත්දැකීම නම් තවමත් මඟියාට සාධාරණ ගමන් පහසුකමක් සලසන්නට ඒ ව්‍යාපාරය අසමත් වීම යි. ප්‍රධාන හේතුව එහි ඇති සේවා කොටසත්, එයින් රටේ ආර්ථිකයට ලැබෙන පිටුබලයත් අමතක කොට මුදල් ලාභය හඹා යන තරගයකට පෞද්ගලික බස් ව්‍යාපාරය පිවිසීම යි. නියාමනය හෝ රාජ්‍ය මැදිහත් වීම අවසානයේ සංකිර්ණ ක්‍රියාවලියක් වන බැවින් පෞද්ගලික බස් ව්‍යාපාරය 'හරි පාරට' ගැනීම දුෂ්කර වී ඇත.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය වන්නේ රජයේ වෛද්‍ය විද්‍යාල හෝ රජයේ අධ්‍යාපනය හෝ අසාර්ථක නිසා ද? එසේ නැති නම් එහි ඉල්ලුමට සරි ලන සැපයුමක් නැති නිසා ද? අධ්‍යාපනය හෝ වෛද්‍ය වෘත්තිය හෝ මුදල් ලාභය මත තීන්දු කළ නො හැකි සේවාවක් ය, යන ස්ථාවරයේ සිට බලනවා නම්: රාජ්‍ය අංශය එතැන වරද්දා ගෙන බොහෝ දුරක් ගමන් කර ඇත. නිදහස් අධ්‍යාපනය ඇත්තේ පළමු වසරේ සිට ම මුදල් මත තීන්දු වන තැනක යි. උපකාරක පන්ති නැති නම් ඉගෙනීමක් නැත යන මානසිකත්වයක් රටට ම බෝ වී තිබේ. රටේ පාසල් පද්ධතිය මත ම යැපෙන අධ්‍යාපනයක් ගැන අද විශ්වාසයක් නැත. රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නැතැ යි කයමින් ලෙඩා ඇපයට ගෙන වැඩ වර්ජන කරන වෛද්‍යවරුන් පෞද්ගලික ව හෝ පෞද්ගලික රෝහල්වල හෝ මුදලට වැඩ කිරීම අත්හරින්නට සූදානම් ද? රජයේ රෝහල් කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීම තහවුරු කරන්න වෛද්‍ය වෘත්තිය ම අද දායක වී සිටී. අනෙක් අතට මුදල් ගෙවා ලබන අධ්‍යාපනයකින් වෛද්‍යවරුන් වනවාට විරුද්ධ වන්නේ ඒ අධ්‍යාපනය මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ලබන විට පමණක් ද? විදේශයක දී ඒ ඉගෙනීම සම්පූර්ණ කරනවාට එකඟ වන්නේ කවර ප්‍රතිපත්තියක් මත ද?

මේ පරිසරය ගැන ප්‍රතිපත්තියක්, දැක්මක් මත කෙරෙන සාකච්ඡාවක් මිස, දේශපාලන අතකොළු බවට පත් ව අයාලේ යන ශිෂ්‍ය අරගලය වෙතින් මේ තාක් රට අත් කර ගත් 'නිදහසක්' හෝ 'අධ්‍යාපනයක්' හෝ නැත. 

Comments