
නිදහස යනු රට ලෝකයෙන් හකුළා ගැනීම ද? එසේ නැති නම් ලෝකයත් සමඟ එකට, ඉදිරියට ගමන් කිරීම ද? යන අදහස ගැන පැහැදිලි කර ගැනීමක් අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබේ. බ්‍රිතාන්‍ය යටත්විජිත තත්ත්වයෙන් ස්වාධීන රටක් ලෙස නිදහස් වීම සමරමින් අතීතයේ ම රැඳෙනවා ද? ලද ස්වාධීන බව රැක ගෙන ඉදිරියට යනවා ද? යනුවෙන් ඒ අදහස ම තවත් අයුරකින් දැක්විය හැකි යි. ජාතික නිදහස යනු හිතුණ හිතුණ දේ කරන්නට, නිවෙස තුළ හැසිරීම හා මහපාරේ හැසිරීම සමාන කරන්නට හැකි දෙයක් ද නොවන බැවිනි. හැටනව වැනි ජාතික නිදහස් සැමරුම ගැන අවධානය යොමු වී ඇති මෙකල මේ අදහස සාකච්ඡාවට ගැනීම කාලෝචිත යි.
අසල්වැසි ඉන්දියාව ද යටත්විජිත තත්ත්වයෙන් නිදහස ලබන්නේ ශ්‍රී ලංකාවට සමකාලීන ව යි. එහි දී දේශපාලනික ව සුභාෂ් චන්ද්‍රබෝස්, මහාත්මා ගාන්ධි වැනි චරිත නිදහස් සටනට පණ පොවන විට එරට කලාකරුවන් ගීතය, චිත්‍රපටය, සාහිත්‍යය යන කලා මාධ්‍යවලින් ඊට දුන් අනුබලය ද සුළු පටු නො විණි. එකල මෙරට තත්ත්වය ද බොහෝ අතින් ඊට සමාන විණි. අනගාරික ධර්මපාල තුමා, ආරුමුග නාවලර් තුමා වැනි චරිත විශේෂයෙන් ම සංස්කෘතික ව නිදහස් සටනට පණ පොවන විට පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස වැනි චරිත කලාවෙන් සාහිත්‍යයෙන් ඊට දායක වූ හ. බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස් වීම පමණක් නො ව, ශ්‍රී ලාංකික සමාජය නිවහල් චින්තනයෙන් ද සවිමත් වීමේ අවශ්‍යතාව යි, එයින් මතු කෙරුණේ. ඒ සංඥාව, දැක්ම පක්ෂ දේශපාලනයට ලඝු කිරීම නිසා රටේ ඉදිරි මඟට බාධා වැටිණි. විදෙස් ආධිපත්‍යයට එරෙහි ව ජාතිකත්වය මෙළවීම පිණිස යොදා ගත්, අතීත සෞභාග්‍යය තව මත් පවතී ය, යන හැඟීමෙන් උද්ධච්ච වූ සමාජයක් බිහි වන්නේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් තම නිදහස් සටන වෙතින් මතු වූ දැක්ම, අතීත සම්ප්‍රදාය ඉන්දියාව අත්හළේ නැත. එපමණක් නො ව, එය පැහැදිලි ඉදිරි මඟක් ද ගත්තේ ය. ආර්ථික ව ගත් කල ලොව විශාලතම වෙළෙඳපොළක් වූ ඉන්දියාව අද ගෝලීයකරණය ඉදිරියට ගෙනයන පෙරගමන්කරුවකු බවට පත් ව සිටී. ඒසේ වුව ද ඉන්දීයයන් තමන් ලද ස්වාධීන බව රැක ගන්නවා නො අනුමාන ය.
ලොව විශාලතම අනෙක් වෙළෙඳපොළ වූ චීනයේ කතාව ද මෙතැනට අදාළ යි. සම්ප්‍රදාය අත්හරින්නේ නැති ව, සමාජවාදි මාවතක ගමන් ගත් චීනය අද ගෝලීයකරණය ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් පෙරමුණ ගනී. ලෝක දේශපාලනයේ දී සමාජවාදි කඳවුර එරෙහි ව සිටි ලිබරල් නිදහස අද චීනය පිළිගෙන ඇත. එනම්: දැඩි සම්ප්‍රදායන් අනුගමනය කළ රටවල් පවා මේ වන විට නිදහස නමින් තනි ව හැකිළෙන්නේ නැති ව ලෝකයත් සමඟ එකට ගමන් කරන්නට පටන් ගෙන ඇත. වෙළෙඳපොළ මූලික කර ගත් දේශපාලනයක දී ශ්‍රී ලංකාවට ද හුදෙකලා වීමට ඉඩක් නැත; මතු වී ඇති ප්‍රවණතාව තනි ව වෙනස් කරන්නට ද ශක්තියක් නැත. ආර්ථික ව, දේශපාලනික ව පමණක් නො ව, සංස්කෘක ව ද රට ඇත්තේ එවැනි පල්ලමක යි. එබැවින් වහා ම ප්‍රවාහයට ගසා ගෙන යෑමට ඉඩ නොතබා, ප්‍රවාහයේ පිහිනා යන ආකාරය ගැන හෝ සුදුසු යාත්‍රාවක් යොදා ගැනීම ගැන හෝ අප කල්පනා කළ යුතු යි. චින්තනයෙන් නිවහල් වීම අවශ්‍ය වන්නේ මෙහි දී ය.
නිදහස් චින්තනය පාදා ගන්නට ඇති බාධා අතර පක්ෂ දේශපාලනය ඉදිරියෙන් ම වෙයි. යටත්විජිත තත්ත්වයෙන් රට නිදහස් වූ දා පටන් ක්‍රියාත්මක වන්නේ පක්ෂයකට, කණ්ඩායමකට, පවුලකට සියලු ජාතික වුවමනාවන් කොටු කිරීම යි. ඊළඟ බාධකය අතීත සෞභාග්‍යයෙන් ස්වයං මෝහනයට පත් ජන සමාජයට නිවහල් චින්තනය ගැන අවබෝධය නැති වීම යි; ඇත්තට ම අප නිදහස් ද යන්න ගැන වැටහීමක් නො වීම යි. හොඳ ම නිදසුන ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය අරගලය වේ.
නිදහස් අධ්‍යාපනය රැක ගැනීම යන කඩාතුරාවට මුවා වී අනෙකාගේ අධ්‍යාපන නිදහස ඇහිරීම, තමන් නැඟ ගත් ඉණිමඟ ඉහළට ඇද ගැනීම මෙරට ශිෂ්‍ය සටන්වල හරය යි. ශිෂ්‍යභාවයෙන් වෙන් වී සාමාන්‍ය සමාජය වෙත පිවිසි කල ඒ අයට තමන් අතට ගත් සමාජවාදි සටන්පාඨ අමතක ය. අනෙකා පැරදවීමේ, අනෙකාට වඩා ඉහළින් සිටීමේ තරගයට පිවිසෙන මොවුන්ට අනෙකාගේ තැන අවුරන්නට වෘත්තීය සටන් යොදා ගැනීමට හෝ අවිචාරයෙන් ගෝලීයකරණය වැලඳගැනීමට හෝ අවශ්‍ය වීම ඇත්ත කතාව යි. එහෙත් ඒ වන විට රට හකුළන්නට, හුදෙකලා කරන්නට තමන් ද දායක වූවා පමණක් නො ව, නිදහස් අධ්‍යාපනය හරහා නිවහල් චින්තනය හඳුනා ගැනීම ද මඟහැරිණි.
යටත්විජිත තත්ත්වයෙන් රට නිදහස් වී ගෙවුණු වසර හැටනවයක කතාව මෙය යි.