
සම්මුතිවාදි ආණ්ඩුව බලයට පත් කෙරුණු හැරවුම් ලක්ෂ්‍යයෙන් ආරම්භ වූයේ අත්‍යවශ්‍ය ගමනක් නමුත් අත්දැකීම් නැති, සැක-සංකා පිරි දේශපාලන ගමනකි. කිසිදු භේදයකින් තොර ව සමස්ත සමාජය ම අවිඥානක ව හෝ පැතුවේ හිතට සහනය යි. ඒ වෙනුවෙන් බලාපොරොත්තු තබන ලද කරුණු අතර මහා පරිමාණ දූෂණය හෝ සොරකම හෝ වංචාව හෝ අවසන් කිරීම ප්‍රධාන යි. ඊට ඍජු ව හෝ වක්‍ර ව හෝ දේශපාලකයන් සම්බන්ධ බව 'රහසක් නැති රහසක්' වී තිබීම ද යහපාලනය සිහිනයක් වේවි ද යන සැකය වැඩෙන්නට බලපෑවේ ය. එමෙන් ම බියෙන් සැකයෙන් තොර ව ජීවත් වීමේ දේශපාලන නිදහස ද ඉල්ලා සිටීමත් මුලට ම විණි. ඕනෑ ම දෙයක් ගැන නිර්භය ව විවේචනය කරන්නට, කතා කිරීමේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්නට දැන් අවස්ථාව ලැබී තිබීම මඟින් පෙන්වන්නේ ඉල්ලා සිටි දේශපාලන නිදහස විවර වී ඇති බව යි. කිසියම් දූෂණයකට, සොරකමකට, වංචාවකට හසු වන සැකකරුවන් පවා අදාළ චෝදනාව ම වීරත්වයට නඟා පෙළපාළි යන, පෝස්ටර් අලවන, මාංචු දැමූ දෑත් ඔසවා රඟපාන තැනට වැටී ඇති හැසිරීම මඟින් පෙන්වන්නේ ද ඒ නිදහස දෝරෙ ගලන තරම යි. කොතනක දී හෝ නිතර දකින්නට ලැබෙන ආණ්ඩුව විවේචනය කෙරෙන උද්ඝෝෂණ ආදිය කියා පාන්නේ ද දැන් පෙරට වඩා දේශපාලන නිදහසක් භුක්ති විඳින්නට හැකි බව යි.
අනෙක් අතට ඒ නිදහස උපයෝගි කර ගනිමින් විපක්ෂ දේශපාලකයන් මෙන් ම චුදිතයන් ද විවේචකයන් ද එක පොකුරට සිට විමසන්නේ දූෂණය හෝ සොරකම හෝ වංචාව හෝ අවසන් කරන්නට සම්මුතිවාදි ආණ්ඩුව මෙතෙක් කළේ මොනවා ද යන්න යි. මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව පෙරළන්නට කතා කරන ඇතැම් දේශපාලකයන් පසු වන්නේ චුදිතයන් හෝ සැකකරුවන් වී ඇප මත යි. ආර්ථික ව සහනයක් බලාපොරොත්තු වූ ජනතාව උසි ගන්වන එවැනි අයගේ යටි අරමුණක් වන්නේ තමන් ආණ්ඩු කළ කාලයේ අනුගමනය කළ වැරදි ආර්ථික පිළිවෙත් රටේ වත්මන් ආර්ථික දුෂ්කරතාවලට මුල බව වසන් කිරීම යි. තම ඇසේ පරාලය ගැන නොව, අනෙකාගේ ඇසේ කෙන්ද ගැන කෙරෙන විවේචනවලට ඉඩ මෙතරම් ලැබුණේම ලැබුණු දේශපාලන නිදහස නිසා ය.
'යහපාලන' සංකල්පය විහිළුවක් බව දැක්වීම පරාජිත දේශපාලනයේ ප්‍රමුඛ වුවමනාවකි. 'වොයිස් කට්' මාධ්‍ය භාවිතය පමණක් දත් ඇතැම් මාධ්‍ය පවා ඊට නොමඳ අනුග්‍රහයක් දක්වන්නේ නමුත් රට තුළ 'යහපාලන' සංකල්පය යථාර්ථයක් ලෙස ඉදිරියට ගමන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ඇසුරෙන් එය දැන් ඇස්පනාපිට දකින්නට හැකියි.
මහා පරිමාණ වංචාවක් ලෙස රටට ප්‍රචාරය වූ බැඳුම්කර සිද්ධියට මහජනතාවගේ පැත්තෙන් බලා සාධාරණ විසඳුමක් ලබා දීමට රටේ පළමු පුරවැසියන් තිදෙනා ම බලාපොරොත්තු සහගත ප්‍රවේශයක් ලබා දී ඇත. එනම්: සම්මුතිවාදි ආණ්ඩුව තමන්ගේ විනිවිදභාවය පෙන්විය යුතු අභියෝගයට මුහුණ දෙමින්, ජනතාවට වගකියන ප්‍රවේශයක් ගෙන තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරු ව, කථානායක කරු ජයසූරිය මහතා විසින් එය නීතිපතිවරයාට යොමු කරනු ලැබී ය. මෙවැනි සිදුවීම් ගැන කෝප් කමිටුව මීට පෙර කාලවල දී ද වර්තා සකස් කළ ද ඉදිරි පාර්ලිමේන්තු ඉතිහාසයේ නෛතික පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත වාර්තාව ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය බව පැවසිණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කෝප් කමිටුවේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර තිබිණි. ඒ ඉදිරිපත් කිරීම දැන් කථානායකවරයා ද අනුමත කර ඇත.
ඊළඟට මතු කෙරෙන්නේ එවැනි ක්‍රියාදාමයකින් බැඳුම්කර සිද්ධියට ඉක්මන් විසඳුමක් දීම වෙනුවට, කල් ගැනීමට ඇති ඉඩ නිසා සාධාරණය ඉටු නො වේ ය, යන ගැටලුව යි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පැහැදිලි පිළිතුරක් දී ඇත. බැඳුම්කර සිද්ධිය ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ ජනාධිපතිතුමා මාස තුනක් ඇතුළත විසඳුමක් දිය යුතු බව දැන්වී ය. බැඳුම්කර සිද්ධියේ දී වී ඇතැ යි කියනු ලබන දූෂණය හෝ වංචාව හෝ සම්බන්ධයෙන් වග කිව යුතු අයට නීතිය ක්‍රියාත්මක කරන්නත්, එය නිශ්චිත කාලයකින් නිම කරන්නත් ආණ්ඩුව විනිවිදභාවයෙන් යුතු පියවරක් ගෙන ඇති බව දැන් පැහැදිලි යි. රටේ පළමු පුරවැසියන් තිදෙනා ම එවැනි එකඟත්වයක පිහිටා කටයුතු කිරීම මඟින් සම්මුති ආණ්ඩුව මඟින් මේ රටට අත්පත් කරදීමට වැර දරන 'යහපාලනය' යථාර්ථයක් බව පසක් කරයි.
මේ ගත් පියවර මෙතැනින් නතර කළ යුතු නො වේ. මහත් ආන්දෝලනයකට තුඩු දුන් හෙජින් ගනුදෙනුව, ග්‍රීක බැඳුම්කර සිද්ධිය වැනි මහා පරිමාණයෙන් රටේ මුදල් වංචා කර ඇතැ යි කියවෙන, මහජන සැකයට සාධාරණ විසඳුමක් නොලද බව පැවසෙන පෙර සිදුවීම් ගැනත් රටට හෙළි කිරීම මෙතැනින් ඇරඹිය යුතු ය. එවිට 'යහපාලනය' යථාර්ථයක් බව තව දුරටත් තහවුරු වනු ඇත.
ඡන්දයකින් පරාජයට පත් වූ පිරිසක් මෙය දරා ගැනීමට නොහැකි ව ආණ්ඩුව පෙරළන කතා කියමින් රැස්වීම් පවත්වයි; 'යහපාලනය' විහිළුවට ලක් කිරීමට ලත් දේශපාලන නිදහස ම ඒ සඳහා යොදා ගනියි. පක්ෂ දේශපාලනයට බෙදී රටේ ජන සමාජය භේදයට ඇද දැමූ දේශපාලකයන් පක්ෂ - විපක්ෂ ව බෙදී අද කවර චෝදනා නැඟුවත්, ජන සමාජය පතන හිතට සහනය, ආර්ථික සමෘද්ධිය අත් කර ගැනීමේ ගමන අත්හළ නො හැකි යි. රටේ ජනතාව තවදුරටත් දේශපාලකයන්ගේ උගුල්වල නොවැටී, පාදා ගත් සම්මුතිවාදි දේශපාලන මාවතේ ඉදිරියට ම යා යුතු ව ඇත.