
හම්බන්තොටට සංවර්ධනය එපා නම්, තමා එය පොලොන්නරුවට රැගෙන යෑමට සූදානම් යැ යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 'තිරසර යුගයක තෙවසර ඇරඹුම' උලෙළ අවස්ථාවේ දී පැවසී ය. හම්බන්තොට ආරම්භ කිරීමට යෝජිත විදේශ ආයෝජන සහිත කර්මාන්ත පුරයට විරෝධය දැක්වීම පාදක කර ගනිමින් ජනාධිපතිතුමා එසේ සිය අදහස් දක්වා ඇත.
හම්බන්තොට මාගම්පුර වරාය හා මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ රටට වැඩදායි කර ගැනීම පිණිස හම්බන්තොට ආයෝජන කලාපයක් බවට පත් කිරීම සම්මුති ආණ්ඩුවේ සැලසුම වී තිබේ. රැකියා අවස්ථා ඇති කිරීමත්, අපනයනය ඉහළ දැමීමත්, රටේ ආර්ථික සංවර්ධනයට හම්බන්තොට දායක කර ගැනීමත් එහි ඉලක්කය යි. එකී සැලසුම හා වුවමනාව රටේ අනාගතය දෙස බැලීමක් වේ. විරෝධය මතු වී ඇත්තේ විදේශ ආයෝජකයන්ට රටේ ඉඩ දීම සම්බන්ධයෙනි; විශේෂයෙන් ම ඉඩම් ලබා දීම ගැන යි. ආයෝජන අවශ්‍ය නම් රට පවතින්නේ විශාල ආයෝජන ගෙන්වා ගත යුතු තැනක බවත්, එවැනි දේ සෘජු ව ම ගනුදෙනු නිසා ඒ වෙනුවෙන් රට පැත්තෙන් ද යම් කැප කිරීමක් කළ යුතු බවත් පිළිගත යුතු ව ඇත.
භූමියේ පිහිටීම අතින් හා අන්තර්ජාතික වෙළෙඳාම සම්බන්ධයෙන් ගත් කල මාගම්පුර වරාය ඉදි කෙරුණේ සුදුසු ම තැනක බව ඇත්තකි. ඊට සම්බන්ධ කරමින් මත්තල ගුවන්තොටුපළ, අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව වැනි දැවන්ත ආයෝජන පසුගිය ආණ්ඩුව මඟින් දියත් කළේ රටේ අනාගත දියුණුව ගැන නිවැරදි තක්සේරුවකින් නො වේ. මේ දැවන්ත ඉදි කිරීම් සම්බන්ධයෙන් හෝ ඒවායෙහි අනාගත ඵලදායිතාව සම්බන්ධයෙන් හෝ නිවැරදි ඇගයීමක් කළ බවක් දක්නට නැත. එහෙත් රටක් ලෙස ගෙවා ගත නොහැකි විශාල ණයක් ඒ සඳහා යොදවා ඇත. මෙවැනි දැවන්ත යටිතල පහසුකම් සඳහා ණය වන විට ඒ ණය පියවීමට ක්‍රමයක් කල් තියා සැලසුම් නොකිරීම ද ඒවා දුර දිග නොබලා කළ ආයෝජන බව පැහැදිලි කරන්නකි.
වත්මන් ආණ්ඩුවට පසුගිය ආණ්ඩුවෙන් පිරිනැමුණේ පොහොසත් භාණ්ඩාගාරයක් නො වේ. ගෙවන්නට තිබෙන ණය ප්‍රමාණය කෝටි 9000කි. එලෙස අර්බුදයක් කරා මෝරන්නට ඉඩ දී තිබුණු ආර්ථික යුද්ධයෙන් රට බේරා ගැනීම වත්මන් ආණ්ඩුව කර පිට වැටිණි. දැන් ආණ්ඩුවට අභියෝගයක් තිබේ. ලෝකයට ණය වී කළ මේ ආයෝජන නඩත්තු කරන්නට සිදු වීම හා ණය ගෙවන්නට සිදු වීම ඒ අභියෝගය යි.
ලෝකයට විවර කෙරුණු වරාය හා ගුවන්තොටුපොළ, භාණ්ඩ හෝ සංචාරකයන් හෝ සඳහා අත්‍යවශ්‍ය හුවමාරු මධ්‍යස්ථාන බවට පත් කිරීම ලෝකයට ණය වී කළ මේ දැවන්ත ආයෝජනවලින් ප්‍රයෝජන ගත හැකි ක්‍රමය යි. එසේ නොකරමින් නඩත්තුව හා ණය ගෙවීම කළ නොහැකි යි. රට තව මත් විධිමත් සේවා ආර්ථිකයක හෝ නිෂ්පාදන ආර්ථිකයක නැති බැවිනි. හම්බන්තොට කලාපය පමණක් නො ව, රට ම අපනයන මූලික නැත. මැද පෙරදිග වහල් සේවය සඳහා කාන්තාවන් රටින් පිට යවනවා හැරුණු විට ලෝකයට අලෙවි කළ හැකි 'රටට දැනෙන ආර්ථිකයක්' හදා ගන්නට අප සමත් වී නැත. එසේ නම් අභියෝගය ජය ගැනීම පිණිස විදේශ ආයෝජන අවශ්‍ය ම වේ. වත්මන් ආණ්ඩුව පියවර තැබුවේ එතැනට යි. 'හම්බන්තොට දේශපාලනය' ඊට විරෝධය දක්වන්නේ රටේ ඉඩම් විදේශිකයන්ට දී, රට පාවා දෙන බව කියමිනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් ව හා අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් ප්‍රකාර ව විදේශ ආයෝජකයන් සඳහා ඉඩම් පැවරීම ආණ්ඩුව රැකිය යුතු වගකීමකි. එසේ නොකොට නීති විරෝධි ක්‍රමයක් හෝ අනාගතයේ රටට අවාසි විය හැකි ගිවිසුම්වලට යනවා නම් ඊට එරෙහි වීමට මහජනතාවට අයිතියක් ද ඇත. එහෙත් 'හම්බන්තොට දේශපාලනය' මේ නඟන්නේ එවැනි සාධාරණ විරෝධයක් ද? ආයෝජකයන් සඳහා ඉඩම් බදු දීම රට පාවා දීමක් නම් කොළඹ වරාය නගරය සඳහා සින්නක්කර ව ම විදේශිකයන්ට ඉඩම් පවරා දීම රට පාවා දීමක් නොවුණේ කෙසේ ද?
රටේ ඉතිහාසය මෙතැනට ඈඳනවා නම් හම්බන්තොට යනු හොඳ ම වෙළෙඳ වරායක් වූ ගොඩවාය වරාය පිහිටි කලාපය යි. එතරම් ඉතිහාස ආදර්ශයක් තිබිය දීත් අප එතැන නවීන වරායක් තැනීම ප්‍රමාද කළ අතර, අප පසුපසින් සිටි අවට රටවල් දැවන්ත වරායන් ඉදි කරමින් අප පසු කළේ ය. එනම්: සුදුසු ම තැනක වුව ද හම්බන්තොට වරාය ඉදි කෙරෙන්නේ ප්‍රමාද ව යි. දැන් අපට වඩා ඉදිරියට ගිය අනෙක් රටවල් සමඟ තරග කරන්නට වන නිසා කැප කිරීම් ද ඉහළ දැමිය යුතු වේ. අවස්ථාවාදි ව ජනතාව නොමඟ නොයවා 'හම්බන්තොට දේශපාලනය' මේ ගැන ජනතාවට පැහැදිලි කළ යුතු වේ. ප්‍රදේශීය හෝ කලාපීය හෝ දේශපාලන දෘෂ්ටියකින් ජාතික වුවමනාවන් දෙස බැලීම රටක් ලෙස ගත් කල යහපත් නො වේ.
පොලොන්නරුව ගැන ඉතිහාසය දක්වන්නේ රට 'පෙරදිග ධාන්‍යාගාරය' බවට පත් කරන්න උර දුන් කලාපය ලෙස යි. අපනයන ආර්ථිකයක් එකල පැවති බව එයින් අදහස් කෙරෙන අතර, ලෝකයේ ම අවධානය දිනා ගත් ආර්ථික හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පැවතීමත් එවැනි විරුදාවලියක් රටට හිමි වීම කෙරෙහි බල පෑ බව පැවසේ. අනෙක් පැත්තෙන් මේ ඉතිහාසය අපට සිහිපත් කරන්නේ රට මායිමේ ඇති වරායක් ගැන නො ව, රට මැද ඇති තවත් මුහුදක් ගැන යි. ඒ පරාක්‍රම සමුද්‍රය යි. ජාතික වුවමනාවන් ප්‍රදේශීය වරායක් වටා කේන්ද්‍රගත කරනවාට වඩා සමස්ත රට ලෙස ගෙන කල්පනා කිරීම වටිනා බව 'පොලොන්නරුව දේශපාලනය' දී ඇති ආදර්ශය යි.