
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මුදාගැනීමේ අරගලයේ බුද්ධිමය ප්‍රවාහයට ඩී.ආර්. විජයවර්ධනයන් එක් වන්නේ ලංකාවට පැමිණ පුවත්පත් ආරම්භ කිරීමට කලිනි. හිරු නොබසින අධිරාජ්‍යයේදී නීති ශාස්ත්‍රය උගනිද්දීම ඔහු ලංකා දේශපාලනයේ සිදුවන සංසිද්ධීන්ට එහි සිට බලපෑම් කළේය. ප්‍රතික්‍රියා දැක්වූවේය.
අසල්වැසි ඉන්දියාව ඇතුළු අධිරාජ්‍ය සපත්තුවට පෑගුණු ආසියාතික රටවල නිදහස් අරගලයේ ගිනි පුපුරු මතුවෙද්දී, ඩී.ආර්. හුදෙකලාව ලංකාවේ නිදහස් අරගලයට දායක විය. මොහොට්ටිවත්තේ ගුණානන්ද, අනගාරික ධර්මපාලතුමා, එෆ්.ආර්. සේනානායක, වලිසිංහ හරිශ්චන්ද්‍ර, ආතර් ද සිල්වා, සිද්ධි ලෙබ්බේතුමා නිදහසේ ගිනි පුපුරු දල්වද්දී ඩී.ආර්.ගේ චින්තනය අවදි විය.
එංගලන්තයේ ඔහුගේ සමකාලීනයන් වූ සර් ජේම්ස් පීරිස්, එෆ්.එච්.එම්. නෝබට්, සර් ජෝන් ජාඩින්, මැකලම් ස්කොට් සහ ඉන්දියාවේ අධිරාජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයකු වූ කෘෂ්ණ ගෝබලේ ද සිටියහ. සිය රටවැසියන් මෙන්ම බ්‍රිතාන්‍යයේ පාලකයන් විසින් එක සේ ගෞරව කරනු ලැබූ ගෝබලේ මහා ප්‍රාඥයෙකි. ස්වකීය රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීම ඉන්දියාවේ වේවා ලංකාවේ වේවා තරුණයන් පිට පැවරුණු යුතුකමකැයි ද රටේ සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීමට ඔවුන් සුදුසුකම් විය යුතුයැයි ද ඔහු ඩී.ආර්. ගේ සිතෙහි කාවැද්දුවේය.
හෙතෙම කේම්බ්‍රිජ්හි උගන්නා අතරතුරම ලංකාවේ දේශපාලන නායකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යමින් බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් හා වෙනත් ප්‍රභූන් හමු වී වැඩි නිදහසක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ලංකාවට අවශ්‍ය බව පෙන්වා දුන්නේය. වරෙක නිවාඩුවක් ගත කිරීම සඳහා එංගලන්තයට ගොස් සිටි ලංකාවේ ප්‍රකට නීතිඥයකු වූ එච්.ජේ.සී. පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යටත් විජිත භාර ලේකම්වරයා වෙත නියෝජිත පිරිසක් යැවීමට ඩී.ආර්. විජයවර්ධනයන් පියවර ගත්තේය.
එම නියෝජිත පිරිසට ඊ.ඩබ්ලිව්. පෙරේරා, ජේ.ඩබ්ලිව් ද සිල්වා, එස්.ඒ.කේ. හෝටන් සමඟ ඔහුගේ ඉංග්‍රීසි ජාතික මිත්‍රයා වූ එස්.එච්.එම්. නෝබට් ද ඇතුළත් විය. ඩී.අර්. ඇතුළු ලංකාවේ දේශහිතෛෂීන් ගෙනගිය ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස උගත් ලාංකිකයන්ට තම ඡන්දයෙන් මන්ත්‍රීවරයකු ව්‍යවස්ථාදායක සභාවට යැවීමට අවස්ථාව උදාවිය.
1913දී ලංකාව පැමිණීමෙන් පසු ලංකා ජාතික සංගමයේ ලේකම් ධුරයට පත් වූ ඩී.ආර්. පිළිබඳව ‘ද සිලනීස්’ පුවත්පත “සුප්‍රසිද්ධ ජනහිතකාමී ප්‍රභූන්ගේ මඟපෙන්වීම හා ඩී.ආර්. විජයවර්ධන වැනි කාර්යශූර ලේකම්වරයකු ඇතිව සංවිධාන වූ ලංකා ජාතික සංගමය අප අතරේ නැඟී එන මහජන මතය එක්තැන් කරමින් රටවැසියන්ගේ බලාපොරොත්තු සපුරාලීමෙහි සමත් බල මණ්ඩලයක් බවට පත්වනු නිසැකය” යනුවෙන් සඳහන් කළේය. ඔහුගේ ඇරයුමින් සර් පොන්නම්බලම් අරුණාචලම් ‘අපේ දේශපාලන අවශ්‍යතා’ මැයෙන් කළ දේශනයේ අත් වූ ක්ෂණික ප්‍රතිඵලය වූයේ ලංකාවට වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් ලබාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ නම් සමාගම පිහිටුවා ගැනීමයි. එහිදී ඔහු ඩබ්ලිව්. ආතර් ද සිල්වා සමඟ සමලේකම්වරයා වී ලංකා දේශපාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
අධිරාජ්‍යය විසින් දෙන ලද ඩොනමෝර් කොමිසමේ සාමාජිකයකු වූ සර් ජෙෆ්රි බට්ලර් ඩී.ආර්.ගේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මිතුරකු විය. එබැවින් ඩොනමොර් යෝජනා අභීතව විවේචනය කළේ ලංකාවට ආ සර් ඇන්ඩෘ කෝල්සිකොම් හමු වී ඩී.ආර්. පෞද්ගලිකව අදහස් දක්වමිනි.
විජයවර්ධනයන් ශ්‍රී ලංකාවට එන අවධියේ ලංකාලෝකය - ලක්මිණි පහන - සරසවි සඳරැස - සිංහල බෞද්ධයා - සිංහල ජාතිය වැනි පුවත්පත් පළවෙමින් තිබිණි. මේ කර්තෘ මූලික පුවත්පත් දීප ව්‍යාප්තව බෙදාහැරීමේ හෝ අලෙවි කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය වී තිබුණේ නැත. කොටින්ම කියතොත් ‘සිංහල බෞද්ධයා’ කර්තෘ අනගාරික ධර්මපාලතුමාට සහ ‘සිංහල ජාතිය’ කර්තෘ පියදාස සිරිසේනට තම අධිරාජ්‍ය විරෝධී අදහස් ව්‍යාප්ත කිරීමට රට පුරා තැන තැන ගොස් දේශනා පැවත්වීමට සිදුවිය. 1909 එච්.ඇස්. පෙරේරා විසින් ආරම්භ කළ ‘දිනමිණ’ පත්‍රය ද මේ ගණයේ කර්තෘ මූලික පුවත්පතක් විය. අධිරාජ්‍ය විරෝධී අරගලය ‘දුබල ආයුධවලින්’ සිදුකළ හැක්කක් නොව, ‘තියුණු ආයුධවලින්’ කළ යුතු අරගලයක් බව වටහාගත් දේශමාමක ඩී.ආර්. විජයවර්ධනයන් , තමන් එංගලන්තයේදී දුටු සංවිධිත පුවත්පත් ආයතනයක් පිහිටුවීය. නිදහස් අරගලය වූ කලී රටේ සමස්ත ජනතාව එකාවන්ව කළ යුතු අරගලයකි.
ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනතාව ඒකරාශී කළ යුතුය. ඒ සඳහා ඔවුන් සියලු දෙනා ඇමතීමට සිංහල - දෙමළ - ඉංගිරිසි භාෂාත්‍රයෙන්ම පුවත්පත් අවශ්‍ය බව ඩී.ආර්. තේරුම් ගත්තේය. එම පුවත්පත් ගෙන් ගෙට යා යුතුය. එමඟින් ජනමතය හැඩගැස්විය යුතුය.
ඩී.ආර්. විජයවර්ධනයන් ලේක්හවුස් ආයතනය ඉදිකිරීමේ දී කටයුතු කළ ආකාරය හොඳින්ම විස්තර කර ඇත්තේ ඔහු සමග සමීපස්ථ සබඳතා පැවැත්වීමේ අවස්ථාව ලත් මාර්ටින් වික්‍රමසිංහයන්ය. එබැවින් ඔහුට ඩී.ආර්. විජයවර්ධන චරිතය පිළිබඳ ‘සමීප රූපයක්’ ඇත. දීර්ඝ කාලයක් දිනමිණ - සිළුමිණ කර්තෘවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහයන් , ඩී.ආර්.ගේ ක්‍රියා කලාපය සියැසින් දුටු සාක්‍ෂිකාරයකි.
“1914 දී දිනමිණත් - 1918 දී සිලෝන් ඩේලිනිව්ස් පත්‍රයත්, ඔබ්සර්වර්, ඉරිදා ඔබ්සර්වර්, තිනකරන්, ඉරිදා තිනකරන් ආදී ප්‍රධාන පත්‍ර රාශියක් ආරම්භ කළ ඩී.ආර්. විජයවර්ධන, පත්‍ර සකස් කිරීමට ශූර පත්‍රකලාවේදීන් පරපුරක් පුහුණු කළේය. ශූර සංවිධායක මණ්ඩලයක් තැනුවේය. ඒ පත්‍ර පාට කිහිපයකින් විසිතුරු කොට, පැයට පිටපත් විසිදාහක් වුවද මුද්‍රණය කළ හැකි යන්ත්‍රයන්ගෙන් යුතු මහා මුද්‍රණාලයක් පිහිටුවිය.
මුදල් ඇත්නම් මේ සියල්ල කළ හැකිය යනු මහා මෝඩ කියමනකි.
මේ සියල්ල මුදල් විනාශ කළ හැකි තැන් යැයි කීම වඩා නුවණට හුරු කීමකි. විජයවර්ධන මහතා මහා දුර්ගයක් ජයගත්තකු සේ ලේක්හවුස් මන්දිරය ‘එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම’ යන නම්වලින් හැඳින්වෙන ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරයයට කියන ලද සියල්ලෙන් පිරිපුන් කොට දෙදරුම් නොකන දැඩි අඩිතාලමක් උඩ පිහිටුවාලීය.”
“දැන්වීම් ලබා නොදෙමින් රජය අනුගමනය කළ ක්‍රියාකලාපය බ්‍රිතාන්‍ය සාම මන්ත්‍රී මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට සිදුවිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඩේලි නිව්ස් පත්‍රයට යළි එම අවස්ථාව ලැබුණේය. 1922 දී එවකට ප්‍රකට රහසක් බවට පත්වූයේ සුළුතර ජනයා සැමරීම වෙනුවෙන් ඩේලි නිව්ස් පළ කළ හෙළිදරව්ව පාලකයන්ගේ ප්‍රසාදයට හේතු නොවීම බවය. එහෙත් ඩේලි නිව්ස් පත්‍රය සිය පිළිවෙතින් බැහැර වූයේ නැත. එසේ ක්‍රියා කිරීමේදී ඊට අන් කිසිදු දේශපාලන අභිලාෂයන් තිබුණේ නැත.එය පෙනී සිටියේ ලාංකික ජනයා වෙනුවෙනි යනුවෙන් ඩී.ආර්. විජයවර්ධන 1948 පෙබරවාරි 10 වැනි දින ඩේලි නිව්ස් පත්‍රයට සිය පුවත්පත්වල පරමාර්ථය පැහැදිලි කළේය.”
ඩී.ආර්. විජයවර්ධන සුධීහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ හා ලංකාවේ ඔවුන්ගේ නියෝජිතයන් සමඟ අරගලයට තියුණු අවියක් ලෙස ‘සිලෝන් ඩේලි නිව්ස්’ පත්‍රය භාවිත කළ අතර දිනමිණ, සිළුමිණ හා තිනකරන් ශ්‍රී ලාංකේය ජනතාව ඥානනය කිරීමට භාවිත කළහ.
වික්‍රමසිංහයන් හඳුනාගත් ඩී.ආර්. වික්‍රමසිංහයන් කෙසේද යත් ?
“ප්‍රවෘත්ති පත්‍ර පැවැත්වීම හැමට වඩා දුෂ්කර ව්‍යාපාරයකි. සාර්ථක වුවහොත් රටක් ජාතියක් ආණ්ඩුවක් සොලවන්නට තරම් ධනයක් බලයක් එයින් ලැබිය හැකිය. ව්‍යර්ථ වුවහොත් ඒ ව්‍යාපාරය ‘මහා කඳු මුඳුනෙන් පෙරළි පෙරළි එන පර්වතයක් සේ ඇරඹූ තැනැත්තා මිරිකා හප කරන්නේය.”
සන්නිවේදන පහසුකම් කිසිවක් නැති එකල ඩොනමෝර් වාර්තාව එංගලන්තයේ පළවෙන වෙලාවටම ලංකාවේ ඩේලි නිව්ස් පත්‍රයේ පළ කිරීමට විජයවර්ධනයන් යෙදූ උපාය මාර්ග ගැන තතු කියන වික්‍රමසිංහ, ඔහුගේ චරිත ලක්‍ෂණ ගැන කියන දේ විජයවර්ධනයන් හඳුනාගැනීමට මඟකි. “කාර්ය ශූරයකු වූ ඒ මහතා උපායෙන් ජයගත යුතු තැන උපාය වහල්කොට ගත්තේය. ඍජු අවංක ගති වහල් කොටගත යුතු තැන ඒ ගති වහල්කොට ගත්තේය. දයාව, කරුණාව දැක්විය යුතු තැන ඒ දෙක වහල්කොට ගත්තේය. ඒ සියල්ල වහල් කොටගත්තේ පෞද්ගලික කීර්තිය පතා නොවේ. තමාගේ නම ගම පළ කරවා ගනු පිණිස ද නොවේ.”
“විජයවර්ධන මහතා අනුන්ට පමණක් නොව, තමාටද නිර්දය ලෙස ක්‍රියා කළේ, තමා අතට ගත් කාර්යය සාර්ථක කොට එය අගතැන් පමුණුවනු පිණිසය. එමගින් රටටත් ජාතියටත් සේවය කරනු පිණිසය.”
“විජයවර්ධන මහතා උදේ 10.00 ට කාර්යාලයට ගියේය. මුදල් හදල් පිළිබඳ පැත්තද මුද්‍රණය හා මුද්‍රණය කරන ලද පත්‍ර මිනිසුන් නින්දෙන් අවදිවන්නට පෙර ඒ ඒ පෙදෙස්වලට යැවීම ආදී කටයුතුද සෙවීය. විවේචනය කළේය. අතපසු කරන ලද වැඩ වගකිව යුතු නිලධාරීන්ට පෙන්වීය. වැඩ වැරැද්දුවන්ට තරවටු කළේය. ‘අවවාද කළේය’ ඇතැම් විට තර්ජනද කළේය. දහවල් එක වන තෙක් මොහොතකුදු අපතේ නොහැර වැඩ කළ විජයවර්ධන මහතා, දහවල් එකට තම නිවසට ගියේය.
අහර ගෙන අනතුරුව ගෙදරදී සිතුවේ, ඊළඟ දවසෙහි පළවිය යුතු ආරංචි පිළිබඳවය. යළිත් තුනට කාර්යාලයට ආ විජයවර්ධන මහතා ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති සකසන කර්තෘත් - උපකර්තෘත් හා වාර්තාකරුවන් සමඟ ද සාකච්ඡා කළේය. ඔවුන්ට අමතක වියහැකි කරුණු මතක් කළේය. මහජන ප්‍රශ්න අරබයා ඔවුන් නොසලකන කරුණු පෙන්නා දුන්නේය. වැදගත් ප්‍රවෘත්තියක් ෙකටි කොටද නිසරු ප්‍රවෘත්තියක් දික් කොටද පළ කිරීමෙන් වැරදි කළවුන්ට තරවටු කළේය. මහජනයා ආශාවෙන් කියවන පුවතක් කලට වේලාවට පළ නොකරන ලද විට ඊට වගකිව යුත්තා සොයා ඔහුට අවවාද කළේය. තරවටු කළේය. රෑ අට වනතුරු මෙසේ වැඩ කිරීම විජයවර්ධන මහතාගේ දින චර්යාව විය.
වයස හැටක් වනතුරු මෙසේ නොනවත්වා වැඩ කිරීමට ඔරොත්තු දෙන සිතකුත් කයකුත් ලැබිය හැක්කේ දුර්ලභ පුරුෂයකුට පමණි. ඔහු ශ්‍රේෂ්ඨයෙකි.”
නිදහස හා සමකාලීන අරගල කළ ඉන්දියාව හා ශ්‍රී ලංකාව තෝරා ගත්තේ ගමන් මාර්ග දෙකක් බව දැකිය හැකිය. ඉන්දියාව නිදහස පතා සිවිල් නීති කඩකිරීම - සත්‍යග්‍රහ සහ උද්ඝෝෂණ වැනි අරගලකාරී ක්‍රියාදාමයකට එළඹුණත් ලංකාව තෝරා ගත්තේ ඊට ප්‍රතිවිරුද්ධ මාවතකි. බුද්ධිමය සාකච්ඡා, කතාබහ, සන්දේශන මඟින් නිදහස ලබා ගැනීමේ අභිලාෂය ඩී.ඇස්. සේනානායක, ඩී.බී. ජයතිලක, සර් පොන්නම්බලම් අරුණාචලම් සහ ඩී.ආර්. විජයවර්ධන ආදීන් තුළ දැඩිව තිබිණි.
මේ අතුරින් ඩී.ආර්. විජයවර්ධන එංගලන්තයේ නීති ශාස්ත්‍රය හදාරන අවදියේ සිටම බ්‍රිතාන්‍යයේ ගෝපාල් කෘෂ්ණ ගෝඛලේ සහ ඩොනමෝර් කොමිසමේ සාමජිකයකු වූ සර් ජෙෆ්රි බට්ලර් මඟින් සාකච්ඡා කළේය. ලංකාවට ආ පසු සර් ඇන්ඩෘ කෝල්ඩිකොට් පෞද්ගලිකව හමු වූ ඩී.ආර්. විජයවර්ධන, කොමිසමේ ඇතැම් යෝජනා අභීතව විවේචනය කළේය. මේ අනුව බලන විට ලංකාවට පූර්ණ බලතල සහිත ව්‍යවස්ථාවක් සාමකාමී සාකච්ඡා මගින් ලබාගැනීමෙහි ලා දේශමාමක ඩී.ආර්. විජයවර්ධනයන් ලබාදුන් දායකත්වය අතිශයින් වැදගත් වූ බව සැලකිය යුතුය.
(දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න
කුරුවිට බණ්ඩාරයන් සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන උපදේශකවරයෙකි.)