ලේක්හවුස් ආයතනයට අසමසම ශක්තියක් වූ බෞද්ධ සංගමයට වසර 41යි | සිළුමිණ

ලේක්හවුස් ආයතනයට අසමසම ශක්තියක් වූ බෞද්ධ සංගමයට වසර 41යි

 

ආගමික සහ සමාජ සත්කාර යනු ලේක්හවුස් ආයතනයට ආගන්තුක ඒවා නොවේ. ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන්ගෙන් මෙරට බොදු පුනරුදයට ලැබුණු පූර්වාදර්ශය සහ දායකත්වය එතරම්ම විශිෂ්ට වූවකි. බෞද්ධාගම අතීතයේ සිටම ලේක්හවුස් ආයතනය විසින් මුඳුන්මල්කඩක් ලෙස සලකනු ලැබුවද ජාති, ආගම් භේදයකින් තොරව ආයතනයේ සමස්ත සේවක මණ්ඩලය තුළ ගොඩනැඟී ඇත්තේ අපූර්වතම ආගමික සංහිඳියාවකි. එම පසුබිම ගොඩනැඟීම සඳහා ආයතනයේ බෞද්ධ සංගමය සිදු කළ සහ තවමත් සිදුකරමින් පවතින කාර්යභාරය ඉතා ප්‍රසංශනීයය.

 

ඩී. ආර්. විජයවර්ධන ජන්ම දින සමරු පින්කමට දිගුකාලීනව සහාය දක්වන ලේක්හවුස් බෞද්ධ සංගමයේ ආරම්භය සනිටුහන් වන්නේ රණපාල බෝධිනාගොඩයන් සභාපතිත්වය දරන සමයේදීය. එනම්, 1980 වසරේ ජනවාරි 10 වැනිදාය. සංගමයේ ආරම්භක ලේකම්වරයා වන්නේ එවකට බුදුසරණ පුවත්පතේ කර්තෘත්වය දැරූ ප්‍රේමසිරි අබේසිංහයන්ය. සභාපතිත්වය ඩී.කේ. සෝමසිරි හිටපු අධ්‍යක්ෂවරයා විසින් දරනු ලැබීය.

ප්‍රකට මිහින්තලේ ආලෝක පූජාව පැවැත්වීමට, වෙසක් උත්සවය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය ඉදිරිපිට වෙසක් කූඩු තරගය, භක්ති ගීත තරගය පැවැත්වීමටත් ආරම්භයේ සිට මෑතක් වන තුරුම ලේක්හවුස් බෞද්ධ සංගමය විශාල දායකත්වයක් දක්වනු ලැබුවේ පාලනාධිකාරියේ මඟපෙන්වීම සහ පූර්ණ දායකත්ව‌ෙයනි. වෙසක් උත්සවය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන කොත්තමල්ලි දන්සල ආරම්භ කළේද බෞද්ධ සංගමයයි.

ආයතනයේ පාලනාධිකාරියේ මඟපෙන්වීම සහ පූර්ණ සහයෝගය ඇතිව එදා සිට මේ දක්වා ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් ඉටු කරන ආගමික හා සමාජ සත්කාර රැසකි. ඒ අතර ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව අඛණ්ඩව පවත්වනු ලබන වැඩසටහන් අතර සෑම වසරක් ආරම්භයේදීම ආයතනයටත් කාර්යමණ්ඩලයටත් සෙත් පතමින් සිදුකරන සෙත් පිරිත් සඡ්ඣායනය සහ සම්බුද්ධාලෝක විහාරයට සිදුකරන දහවල් දානමය පින්කම සංවිධානය කරනු ලබන්නේ පාලනාධිකාරියේ උපදෙස් සහ අනුග්‍රාහකත්වය මැදය.

සෑම වසරකම පෙබරවාරි මාසය ලේක්හවුස් ආයතනයේ සමස්ත කාර්යමණ්ඩලයටම සුවිශේෂී වන්නේ ආදිකර්තෘ ඩී. ආර්. විජයවර්ධන ජන්ම දින සමරු පින්කම හේතුවෙනි.

ඒ නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනාමය පින්කමත්, පසුදා සාංඝික දානමය පින්කමත්, දහවල් දානමය පින්කමත් සංවිධානය කරනු ලබන්නේ බෞද්ධ සංගමය විසිනි. ඒ සඳහා පාලනාධිකාරියේ පූර්ණ මඟපෙන්වීම සහ දායකත්වය ඉහළින්ම ලැබීම එම කටයුතුවල සාර්ථකත්වයට විශේෂයෙන් ඉවහල් වේ.

වෙසක් සහ පොසොන් උත්සව වෙනුවෙන් පැවැත්වෙන දානමය පින්කම් මෙන්ම ජුලි මාසයේදී ස්වාමින්වහන්සේලා සියක්නමක් වෙනුවෙන් පැවැත්වෙන පිණ්ඩපාත දානමය පින්කමද ලේක්හවුස් බෞද්ධ සංගමයට විශේෂිත වේ.

ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන ලේක්හවුස් ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ අනුස්මරණ පින්කම යටතේ ශිෂ්‍යාධාර වාර්ෂික වැඩසටහන සංවිධානය කරනු ලබන්නේද බෞද්ධ සංගමයයි. නොවැම්බර් මාසයේදී පැවැත්වෙන වාර්ෂික ලේ දන්දීමේ පින්කම සිදුවන්නේ ලේක්හවුස් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ දායකත්වයෙනි.

ඉහත කී ආගමික වැඩසටහන්වලට අමතරව සමාජ සහ ප්‍රජා සත්කාරද ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් සිදු කෙරේ.

සෑම මසකම ධර්ම පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැරීම, වෙහෙර විහාරස්ථාන ගොඩනැඟීම, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිදුකෙරෙන ඉල්ලීම්වලට කාරක සභා අනුමැතිය යටතේ මූල්‍යාධාර ලබාදීම, වසර කිහිපයකට වරක් ධර්ම ග්‍රන්ථයක් නොමිලේ ලබාදීම ආදී කටයුතු ඒ අතර වේ.

මහරගම පිළිකා රෝහලේ ළමා වාට්ටු හතරක් සඳහා රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ඖෂධ සහ උපකරණ ලබාදීමද මෑත කාලයේ ලේක්හවුස් බෞද්ධ සංගමය මුල් වී සිදු කළ සමාජ සත්කාරයකි.

ආයතනයේ සියලුම බෞද්ධ සේවක සේවිකාවන් බෞද්ධ සංගමයේ සාමාජිකත්වය දරන අතර ආයතනය තුළ ප්‍රමාණාත්මකව විශාලම සංගමය වන්නේද මෙම සංගමයයි. සංගමයේ වත්මන් උප සභාපති ලෙස රවීන්ද්‍ර විජයගුණවර්ධන කටයුතු කරයි.

වර්තමානයේ සංගමයේ ලේකම් ලෙස ප්‍රියන්ත කුමුදුසිරි, භාණ්ඩාගාරික ලෙස ප්‍රියන්ත විජේසූරිය කටයුතු කරයි. සංගමය විසින් සිදුකරනු ලබන සෑම සද් කාර්යයක් සඳහාම සභාපතිවරයා, අධ්‍යක්ෂමණ්ඩලය ඇතුළු පාලනාධිකාරියෙන් ලැබෙන ආශිර්වාදය සහ මඟපෙන්වීමත් සමස්ත සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගයත් නිලධාරි මණ්ඩලය කෘතවේදීව සිහිපත් කරති.

 

Comments