
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු නේවාසිකාරය පිහිටා තිබෙන සංඝාරාමය සහ කෙහෙල් පන්නල හා හිඳගල වලව් ද්විත්වයත් විහාරයත් සාදවා පරිත්‍යා කර තිබෙන්නේ ඩී. ආර් විජයවර්ධනයන් විසිනි. එම පවුලේ උරුමයක් වූ අක්කර අටකට භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවත්නා ගස් කොළන් සහිත වටිනා ඉඩම පාලනය වන්නේ විශ්වවිද්‍යාලීය සංඝාරාම විහාර භාරකාර මණ්ඩලය මඟිනි.
බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබ බැරිස්ටර්වරයකු ලෙස මෙරටට පැමිණි දොන් රිචඩ් විජයවර්ධනයන් මෙරට ජනතාව හඳුනන්නේ ඩී.ආර් විජයවර්ධන නමිනි.
ලේක්හවුස් ආයතනය බිහි කරමින් දිනමිණ, ඩේලි නිවුස්, සිළුමිණ, ඔබ්සවර් වැනි පුවත්පත් පාඨකයන් අතර ජනප්‍රිය කරවමින් ඒ ඔස්සේ නිදහස් සටනට පන්නරය දුන් විජයවර්ධන මහතා මෙරට ආගමික හා අධ්‍යාපන අංශය කෙරෙහි කරනු ලැබූ සුවිශේෂි සේවාව සුළුපටු නොවන්නේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භය හා එහි විකාශනය සම්බන්ධව අවධානය යොමු කිරීමේදී එය මොනවට පැහැදිලි වෙයි.
සිලෝන් යුන්වර්සිටි කොලේජ් නමින් 1921 දී කොළඹ සීමිත ඉඩක ආරම්භ කළ ලන්ඩන් විශ්වවිද්‍යාලය පිළිගත් උසස් අධ්‍යාපන ආයතනය කොළඹින් පිටතට ගෙන යායුතු බවට 1938 වසරේදි තීරණය කරනු ලැබුවේ එහි විදුහල්පති ලෙස ශ්‍රීමත් අයිවෝ ජෙනිංගස්ය. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසක් නිරීක්ෂණය කිරීමට ජෙනිංග්ස් මහතා පියවර ගනිත්දී එය සුන්දර හන්තානට හා මහවැලි නදියට මැදිව පේරාදෙණියේ ස්ථාපිත කළ යුතු බවට හඬ නැඟූ පිරිස අතර පෙරමුණ ගත්තේ ඩි.ආර් විජයවර්ධන මහතාය. විශ්වවිද්‍යාලය එම ස්ථානයේ ආරම්භ කිරීමත් නේවාසිකව අධ්‍යාපනය ලබන සිසුන් අතරට භික්ෂූන් වහන්සේලාද ඇතුළත් විය යුතු බවට හඬ නැඟීමෙන් නොනැවතී ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමේ කාර්යයේද නියමුවෙකු ලෙස හෙතෙම කටයුතු කළේය.
“මේ රටේ අධ්‍යාපන හා ආර්ථික කටයුතුවලට බ්‍රිතාන්‍ය රජය මැදිහත්ව කටයුතු කරත්දී අපේ දේශපාලනඥයන්ට වඩා ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ ඩී.ආර් විජයවර්ධන මහතා ඔහුගේ එම මතවාදය පුවත්පත් ඔස්සේ ප්‍රබල ලෙස සමාජ ගත කළා. අප රටට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවට පොන්නම්බලම් අරුනාචලම් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ ලංකා විශ්වවිද්‍යාල සංගමයේ හඬ ලේක්හවුස් පුවත්පත් ඔස්සේ ජනතාව අතරට ගෙන යෑමට මූලිකත්වය ගත්තේ විජයවර්ධන මහතා යැයි කීම නිවැරදියි. 1942 වසරේදී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට මුල්ගල් තැබුණද ගොඩනැගිලි ඉදිකර නිල වශයෙන් එය විවෘත වූයේ 1952 වසරේදීයි.
මේ ස්ථානයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් කරනු ලැබුවේ ඩී. ආර් විජයවර්ධනයන්ය. ගොඩනැඟිලි ඉදිකිරීමේ සැලසුම් කිරීම්වලට පැට්‍රික් ඇබර්ක්‍රොම්බි සම්බන්ධ කරමින් ඒ සඳහා ඔහු පෙලඹවීමේ කටයුතු සිදුකර ඇත. ඒ, දෙවන ලෝක යුද්ධයට මැදිවීම නිසා විශ්වවිද්‍යාලය ඉදි කිරීමේ වැඩකටයුතු ඇන හිට තිබීම නිසාය. ඩොනල්ට් ෆර්ගියුසන් මහතා සතුව තිබූ ඕලන්ද හා පෘතුගීසි පොත් හා සිතියම් විශාල ප්‍රමාණයක් ඩී.ආර් විජයවර්ධන මහතාට ලබාදී තිබෙන අතර ඒවා සියල්ල ඒ මහතා පසුව විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර තිබෙනවා.අදත් එය Ferguson Collection නමින් අප සතුව තිබෙනවා”පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය රාසයියා මහේෂ්වරන් මහතා අතීත මතක අවදි කරමින් පැවසුවේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු නේවාසිකාරය පිහිටා තිබෙන සංඝාරාමය සහ කෙහෙල් පන්නල හා හිඳගල වලව් ද්විත්වයත් විහාරයත් සාදවා පරිත්‍යා කර තිබෙන්නේ ඩී.ආර් විජයවර්ධනයන් විසිනි. එම පවුලේ උරුමයක් වූ අක්කර අටකට භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවත්නා ගස් කොළන් සහිත වටිනා ඉඩම පාලනය වන්නේ විශ්වවිද්‍යාලීය සංඝාරාම විහාර භාරකාර මණ්ඩලය මඟිනි. සංඝාරාමය සහ හිඳගල වලව්ව අදටත් ක්‍රියාත්මක වන්නේ භික්ෂු නේවාසිකාගාර ලෙසිනි. මෙම සියලුම ගොඩනැඟිලිවල අභ්‍යන්තරයේ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කර ඇත.
“මේවා විජයවර්ධන පවුලේ පාරම්පරික උරුමයන්. ඩී.ආර් විජයවර්ධන මහතා සිංහල බෞද්ධ ව්‍යාපාරය තුළ සිටි ප්‍රභූවරයෙක්. එතුමා ජාතික ව්‍යාපාරය තුළ යම් යම් වැඩ කොටස් කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාල අංශ ගණනාවකින් සුවිශේෂි වෙනවා. ඒ අතරින් මෙහි ගොඩනැගිලිවල දක්නට ලැබෙන පැරණි ගෘහ නිර්මාණ කලාව විශේෂයි. බෞද්ධ ආචාරධර්ම ටික ඔබ්බලා තමයි මේවා හැදුවේ.පැරණි තක්ෂලාවේ අධ්‍යාපන ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ.
ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයෝ නේවාසිකයි. ගුරුවරයා ළඟ නැවතිලා සිසුන් ඉගෙන ගන්නවා. භාරකාර මණ්ඩලයක් යටතට විජයවර්ධන මහතා එදා ෙමය පත්කළා. 1947 ජනවාරී 23 දා මේ සඳහා වන ප්‍රතිඥා පත්‍රය අත්සන් කර තිබෙනවා. විජයවර්ධන මහතා භාරය හදන්න මුල පුරමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 2 1/2 ක මුදලක් පෞද්ගලිකව ලබාදී තිබෙනවා. ඩී. ආර් විජයවර්ධන, හේම හෙන්රි බස්නායක, පනාගොඩගේ බර්ට්‍රම් ප්‍රනාන්දු, පියදාස ධර්මසිරි, රණතුංග මුදලිඳු, ලියෝ පෝල්ඩ් ජේමිස් ද සිල්වා සෙනෙවිරත්න යන පස්දෙනා නියෝජනය වෙනවා. ඔවුන්ගේ අභාවයෙන් පසු ඒ පවුල්වල පත්කරනු ලබන සාමාජිකයෙකු භාරකාර මණ්ඩලයට පත් වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට හා ආචාර්ය භික්ෂූන් වහන්සේලාට නේවාසිකව වැඩ ඉන්න පහසුකම් සලසන්න සංඝාරාමය ගොඩ නැඟුවා. ඒක ලේක්හවුස් ශාලාව කියලා තමයි අදටත් හඳුන්වන්නේ. ඒකට සම්බන්ධව විහාරයක් හැදුවා.
කාර්ය මණ්ඩලයට මහෝපාධ්‍යය හිමි, ප්‍රධාන ආරක්ෂක නිලධාරී, අරක්කැමි, ගබඩා බාරකරු හා කම්කරු ඇතුළත් වුණා. මෙහි සිට විශ්වවිද්‍යාලයට යන්නට එන්නට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට හා ආචාර්ය ස්වාමින්ද්‍රයන් වහන්සේලාට වාහනයක් රියදුරු සමඟ ලබාදී තිබුණා.මේ සියල්ල වියදම් භාරය මඟින් දැරුවා. 1971 වනතෙක් මේ භාරය පවත්වාගෙන ගියා.
ඒ වකවානුවේ ඇතිවූ දේශපාලන ගැටලු මත එම කටයුතු විශ්වවිද්‍යාලයට පවරා දුන්නා. දේපොළ තිබෙන්නේ තාමත් භාරය යටතේයි. දැන් පරිපාලනය විශ්වවිද්‍යාලය මඟින් කරන්නේ. මහෝපාධ්‍යය ධූරය හා ආරක්ෂක නිලධාරී පමණයි පැරණි කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස ඉන්නේ” භික්ෂු නේවාසිකාගාරයේ පූර්ණකාලීන උප ශාලාධිපති, සංඝරාම විහාර භාරකාර මණ්ඩලයේ උපාධ්‍යය කහගල සාරානන්ද නාහිමියෝ පවසති.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ භික්ෂූන් වහන්සේලාට නේවාසිකව අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල සපුරා ලීමට කටයුතු කළ ඩී.ආර් විජයවර්ධනයන් එම ඉඩම් හා ගොඩනැගිලි භාරයක් යටතට පත් කිරීම සඳහා අත්සන් කළ ලියවිල්ල විශ්ලේෂණය කිරීමේදී එතුමා තුළ වූ අභිප්‍රාය මැනවින් හඳුනා ගැනීමට පුළුවන.
ඩී. ආර් විජයවර්ධනයන් සිදු කළ ජාතික, ආගමික හා ශාසනික සේවාව අති මහත්ය. එතුමා තුළ මේ සඳහා වූ අවංක කැපවීම ජාතියක් ලෙස අප අගය කළ යුතුය. විජයවර්ධනයෝ මේ සියල්ල කළේ පෙරළා කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂා නොකරමිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට එතුමා කළ සේවයට ගෞරව කරනු පිණිස ගෞරව උපාධියක් පිරිනැමීමට පාලනාධිකාරිය තීරණය කළත් එතුමා එය පිළි නොගත්තේය. එසේ වුවත් ඩී.ආර් විජයවර්ධන නමින් නේවාසිකාගාරයක් නම් කිරීමට පාලනාධිකාරිය කටයුතු කළේය. විජයවර්ධන ශාලාව නමින් අදටත් පවත්වාගෙන යනු ලබන එම ගොඩනැගිල්ලේ නේවාසිකව සිටින්නේ සායන කටයුතුවලට සහභාගි වන නේවාසික වෛද්‍ය සිසුවියන්ය.
ඡායාරූප-රුවන් මීගම්මන