
ලේක්හවුස් ආයතනයේ ආරම්භක පුරෝගාමී පුවත්පත වන ‘දිනමිණ’ ඇරඹෙන්නේ මෙම ජාතික මෙහෙවර උදෙසාය. ‘සරසවි සඳරැස’ පුවත්පතෙන් ඉවත් වූ එච්.එස්. පෙරේරා විද්‍යාලංකාර මහ පිරිවෙනෙ පරිවේණාධිපති රත්මලානේ ධර්මාරාම ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අධිරාජ්‍ය විරෝධී නිදහස් සටන අවදි කළ හැකි පුවත්පතකට නමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ඉතිහාසයේ සඳහන් වේ
ලංකාවේ අධිරාජ්‍යවාදී අරගලය අධ්‍යයනය කිරීමේදී පුවත්පත් කලාවේදියාගේ භූමිකාව සුවිශේෂී ලෙස හඳුනාගත හැකි ය. නිදහස් අරගල ගැන විමසා බැලීමේදී එහි අවධි 3ක් තිබේ.
ක්‍රි.ව. 1815දී උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමඟ වාරියපොල සුමංගල හිමියන්ගේ නායකත්වයෙන් අධිරාජ්‍යවාදී විරෝධී සටන 1818 ඌව වෙල්ලස්සෙන් ඇරඹී නිදහස් සටන් ව්‍යාපාරය දක්වා ඇදී ගියේය. එම ව්‍යාපාරය අවසන් වූයේ දැඩි වේදනාකාරී අත්දැකීම් සමුදායක් සමඟිනි. දස දහස් ගණනක් දේශප්‍රේමී භික්ෂූන් සහ සටන්කාමීන් එම අරගලයේදී ජීවිත පරිත්‍යාග කළ අතර තවත් බොහෝ දෙනා වධ හිංසාවලට ලක්වී බන්ධනාගාරගත වූහ. නිදහස් අරගලයේ පළමු අවධිය වශයෙන් මෙය හැඳින්විය හැකිය.
මෙම නැඟිටීමෙන් පසුව 2 වැනි අදියර වශයෙන් ක්‍රි.ව. 1848 සහ තවත් වකවානුවලදී විවිධ නැඟිටීම් හඳුනාගත හැකි නමුත් ඉන්පසු නැවත එවැනි නැඟිටීම් හඳුනාගත නොහැකිය.
ලංකාලෝකයෙන් ලැබුණු ආලෝකය
නිදහස් සටන් ව්‍යාපාරයේ 3 වැනි අදියර නිර්මාණය වන්නේ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ, ගිහි පැවිදි පඬිවරුන් ගෙන ගිය බුද්ධිමය ශාස්ත්‍රීමය නිදහස් සටන් ව්‍යාපාරයෙනි. මෙරට දකුණු ලකින් ඇරඹෙන මෙම බුද්ධිමය ශාස්ත්‍රීය ව්‍යාපාරයට නායකත්වය දෙන භික්ෂුන් වහන්සේලාගෙන් මෙරට අධිරාජ්‍යවාදී විරෝධී මතය ගොඩනැඟෙන පුවත්පත් බිහිවන ආකාරය දැකිය හැකිය. මෙරට පළමු වැනි පුවත්පත වන ‘ලංකාලෝකය’ බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර යටත්විජිත පාලනයට එරෙහි මතවාදයන් ගොඩනඟන ව්‍යාපාරයක් ලෙස එම පුවත්පත ශක්තියක් හා ආදර්ශයක් ලබාදුන්නේය. මෙරට ප්‍රථම බෞද්ධ මුද්‍රණාලය වූ ‘ලංකෝපකාරය’ මුද්‍රණාලයේ බුලත්ගම ධම්මාලංකාර හිමියන් සහ තායිලන්තයේ චූලාලංකාර රජුගේ අනුග්‍රහයෙන් ලැබුණු මුද්‍රණ උපකරණ භාවිත කොට මෙම පුවත්පත ඇරඹිණි. නිදහස පිළිබඳ මුල්ම ස්වදේශික මතය ගොඩනැඟෙන මෙම පුවත්පත හරහා බෞද්ධ ප්‍රබෝධයේ කාහලනාදය මීළඟට අපට හමුවන්නේ පංච මහාවාද ප්‍රධාන කොටගත් පානදුරාවාදය කේන්ද්‍ර කොටගෙනය. මිෂනාරිවරුන් සමඟ සිදුවූ මෙම වාද සඳහා නායකත්වය දුන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, බුලත්ගම ධම්මාලංකාර හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, වස්කඩුවේ සුභූති හිමි ප්‍රධාන භික්ෂුන්වහන්සේලා ප්‍රමුඛ ගිහි පඬිවරුන් සියලුදෙනාම පාහේ මේ අවධියේ ගොඩනැඟෙන සිංහල පුවත්පත්වල කතුවරුන් මෙන්ම ලේඛකයන්ද වූ බව පෙනී යයි.
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ‘රිවිරැස’ පුවත්පතේ කර්තෘත්වය දැරූ අතර කොග්ගල පඬිවරයාගේ ප්‍රධානත්වයෙන් ‘ලක්මිණි පහන’ පුවත්පත ඇරඹිණි. පානදුරාවාදය සංලක්ෂ්‍යය කරගෙන ඇතිවූ ප්‍රබෝධය පදනම් කොටගෙන ඕල්කට්තුමාගේ ආගමනය දැකිය හැකි ය. ඕල්කට්තුමාගේ පැමිණීමත් සමඟ පරම විඥාර්ථ සමාගම ආරම්භ වී, අනතුරුව ‘සරසවි සඳරැස’ හා ‘ද බුඩිස්ට්’ සඟරාව ඇරඹිණි. මීට සමගාමීව සමකාලීන යුගයේ බිහිවූ අනගාරික ධර්මපාලතුමා, පියදාස සිරිසේන, හේමපාල මුණිදාස, ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි, සී. දොන් බස්තියන් ජයවීර යන කර්තෘවරුන්ගේ මෙහෙයවීමෙන් ‘සිංහල බෞද්ධයා’, ‘සිංහල ජාතිය’, ‘සිංහල බලය’, ‘ස්වදේශ මිත්‍රයා’, ‘දිනපතා ප්‍රවෘත්ති’ යන පුවත්පත් ආරම්භ වන ආකාරය දැකිය හැකි ය.
ජාතික වගකීමට උර දුන් ‘දිනමිණ’
මෙරට සාමාන්‍ය බහුතර ජනතාව අතර අධිරාජ්‍යවාදයේ සමාජගත බව, නිදහසේ වැදගත්කම, ජාතික අනන්‍යතාවක අවශ්‍යතාව පිළිබඳ මතවාද සමාජගත කෙරිණි. මීට සමාන්තරව උතුරුකරයේ ආරුමුගම් නාවලර්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ‘හින්දු ඕගන්’, ‘උදයභානු’ පුවත්පත් මඟින් එම සමාජය තුළද නිදහස පිළිබඳ කතිකාව අවදි කළ ආකාරය දැකිය හැකිය. මුස්ලිම් ජාතික සිද්ධි ලෙබ්බෙගේ ප්‍රධානත්වයෙන් ‘මුස්ලිම් නේෂන්’ පුවත්පත එම ජන කණ්ඩායම් අතරද නිදහස පිළිබඳ සමාජගත කෙරිණි. ලේක්හවුස් ආයතනයේ ආරම්භක පුරෝගාමී පුවත්පත වන ‘දිනමිණ’ ඇරඹෙන්නේ මෙම ජාතික මෙහෙවර උදෙසාය. ‘සරසවි සඳරැස’ පුවත්පතෙන් ඉවත්වූ එච්.එස්. පෙරේරා විද්‍යාලංකාර මහ පිරිවෙන පරිවේණාධිපති රත්මලානේ ධර්මාරාම ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අධිරාජ්‍ය විරෝධී නිදහස් සටන අවදි කළ හැකි පුවත්පතකට නමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ඉතිහාසයේ සඳහන් වේ.
සඳරැසට මුහුණදිය හැක්කේ හිරුට බැවිනුත් හිරුට කියන්නේ දිනමිණ බැවිනුත් ‘දිනමිණ’ යන නාමය තබන ලදී. ‘දිනමිණ’ පුවත්පත මෙරට නිදහස් සටන අවදි කළ කර්තෘ මූලික පුවත්පතක් වශයෙන් ඇරඹිණි. එච්.එස්. පෙරේරාගේ ඇවෑමෙන් මේ වනවිට නිදහස් සටන් ව්‍යාපාරයේ තුන්වැනි අදියරට පැමිණ තිබිණි. ඊට නායකත්වය දුන්නේ විදේශීය අධ්‍යාපනය නිමා කර, මෙරටට පැමිණි තරුණ පිරිසකි. මෙම තරුණ පිරිස එකතුවී ලංකා ජාතික සංගමය ආරම්භ කළ අතර එහි නියමුවා වූයේ ඩී.ආර්. විජයවර්ධන තරුණයාය. ඩී.ආර්. විජයවර්ධන සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ එංගලන්තයේ තිබූ සංවිධානාත්මක පුවත්පත් කර්මාන්තයට ප්‍රවේශ වෙමිනි. මේ වනවිට එච්.එස්. පෙරේරා රෝගාතුර වීම නිසා වරින් වර නැවතෙමින් තිබූ ‘දිනමිණ’ පුවත්පත ප්‍රකාශයට පත් කිරීමට ඩී.ආර්. විජයවර්ධන මහතා කටයුතු කළේය. මීට අමතරව තවත් නායකයකු වූ එෆ්.ආර්. සේනානායක යටතේ තිබූ ‘ද සිලනීස්’ පුවත්පතේ අයිතිය ඩී.ආර්. විජයවර්ධන විසින් පවරා ගනු ලැබීය. යටත් විජිත පාලකයන් යටතේ පැවති ‘ඔබ්සවර්’ සහ ‘කොමර්ෂල් ඇඩ්වර්ටයිසර්’ පුවත්පත් මිල දී ගෙන ස්වදේශික ව්‍යාපාරික පුවත්පත් ආයතනය වූ ‘ලේක්හවුස්’ පිහිටුවීමට කටයුතු කළේය.
ඩොමිනියන් නිදහසට පෙරළි කළ පත්තර මහගෙදර
මේ වනවිට ව්‍යවස්ථාදායක නීතිරීති හරහා ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ලබාගැනීමට කතිකා ආරම්භ වී තිබිණි. මේ අතරතුර මෙරට පුරෝගාමී වාමාංශික ව්‍යාපාරය වූ සමසමාජ පක්ෂය, සූරියමල් ව්‍යාපාරය හරහා ‘කම්කරුවා’, ‘සමසමාජය’, ‘සමසමාජිස්ට්’, ‘සමධර්මන්’, ‘නවශක්ති’, ‘ජනශක්ති’ ආදී පුවත්පත් මඟින් පූර්ණ නිදහසින් යුක්ත ස්වරාජ්‍යයක් සඳහා උද්ඝෝෂණ පැවැත්විණි.
මේ අතරතුර ලංකා ජාතික සංගමයේ නායකයන් ගෙන ගිය පක්ෂ ඇරඹීමේ ව්‍යාපාරය සහ වෙනත් ඉල්ලීම් වෙනුවෙන් ලේක්හවුස් පුවත්පත් ‘මත වේදිකාවක්’ ලෙස ක්‍රියාත්මක විය. ලංකාවේ නිදහස වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළවල තීරණාත්මක සාකච්ඡා කෙරුණේ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ දියතලාවේ පිහිටි නිවාඩු නිකේතනයක් වූ ‘ආකේඩියා උද්‍යානය නිවෙසේ’ සිට බව පොතපත පෙන්වා දෙයි. මීට වසර 73 කට පෙර අත්කරගත් ඩොමිනියන් තත්ත්වයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත සකස් කිරීමෙහිලා ලේක්හවුස් ආයතනය සහ එම පුවත්පත් පුරෝගාමී ලෙස ඩී.ආර්. විජයවර්ධන මහතා සක්‍රීයව ක්‍රියා කළ ආකාරය ඉතිහාසය පිරික්සා බැලීමේදී මැනවින් කැපී පෙනෙනු ඇත.