
අනෝරා වැස්ස තොර තෝංචියක් නැතිව කඩා හැලෙන්නට විය. එකල වැස්සෙන් මං මාවත් පිරී නොගියද පහත් බිම් මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන තැන් මඩගොඩවල් නිසා අපවිත්‍ර වී තිබුණි.
අව්ව වැස්ස නොබලා නිතර විහාරස්ථානයට පැමිණෙන එක් දායිකාවක් කැලණිය විහාරස්ථානයට පැමිණියාය. විහාරස්ථානයේ ජනතාව ගමන් කළ සෑම තැනකම පයක් තැබීමට නොහැකි ලෙසින් මඩ වී තිබුණි.
ඒ දෙස අවධානයෙන් බැලූ ඇයට පෙනුණේ දුරබැහැර ප්‍රදේශවලින් පැමිණ සිටි බැතිමතුන් පවා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.
ඇය තීරණයක් ගත්තාය. විහාර බිමේ ගඩොල් ඇතිරිය යුතු යැයි සිතූ ඇය වහාම ඒ සඳහා කටයුතු කළාය.
අප මේ පැවසුවේ 1888 වසරේ කැලණි පුදබිමේ වූ සිදුවීමකි. ඒ කාන්තාව වෙන කිසිවකු නොව ඩී. ආර්. විජයවර්ධනයන්ගේ මව වන හෙලේනා විජයවර්ධනයි.
ඇය විහාර බිම ගඩොල් අතුරා ප්‍රතිසංස්කරණය කර පූජා කරන ලද්දේ තම කුඩා දරුවන්ද සහභාගි කරගෙනය. එවකට ඇයගේ තුන් වැනි දරුවා වූ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ වයස අවුරුදු දෙකහමාරක් පමණි. හෙලේනා විජයවර්ධන සැම විටම කැලණිය විහාරස්ථානයට පැමිණියේ ඩී.ආර්. විජයවර්ධන හා ඩී.සී. විජයවර්ධන පුතුන් දෙදෙනාද සමඟය.
කුඩා කල කැලණි විහාරය අමදියි
මව සමඟ විහාරයට පැමිණෙන ඩී. ආර්. විජයවර්ධනයන් ඉදලක් ගෙන පන්සල ඇමදීමත් මල් ආසන පිරිසුදු කිරීමත් කළේ ඉතා ආශාවෙනි. දුර බැහැර ගම්වලින් පැමිණි බොදුනුවෝ මේ කුඩා දරුවාගේ ක්‍රියාව මහත් සේ අගය කළහ. කෙදිනක හෝ මේ දරුවා බෞද්ධ පුනරුදයට විශාල සේවාවක් කරනු ඇතැයි ඔවුන් පැවසුවේ ඔහු දානපති යුවළකගේ පුතකු බව දැන ගැනීමෙන් පසුවය.
නිරතුරුව කැලණිය රජමහා විහාරයේ අවශ්‍යතා ඉටු කළ හෙලේනා විජයවර්ධන 1902 වසරේ කිරිගරුඬ පූජාසනයක් කැලණිය විහාරස්ථානයට පූජාකිරීමද ඩී. ආර්. විජයවර්ධන හොඳින් මතක තබාගත් සිද්ධියකි. එවිට ඔහුගේ වයස අවුරුදු 16කි. මේ තරුණයාට කුඩා කල සිටම තම මවත් පියා වූ දොන් පිලිප් විජයවර්ධනයන් බුදු සසුනට කරන්නා වූ සේවය මැනවින් දක්නට ලැබුණි.
කැලණිය දුරුතු පෙරහර ආරම්භය
ඒ අතර ඩී. ආර්. විජයවර්ධන නීතිය හැදෑරීම පිණිස එංගලන්තයට ගොස් යළි මෙරටට පැමිණියේ 1912 වසරේදීය.
එහෙත් තමාගේ ආගම, ජාතිය, භාෂාව ආදී සියල්ල විජයවර්ධනයන්ට ඉතා හොඳින් මතක තිබුණි. එම නිසාම ඩී. ආර්. විජයවර්ධනයන් හැම විටම පන්සල ඇසුරු කරගනිමින් මවුපියන්ගේ අඩි පාරේ යන්නට විය.
1927 වසරේ කැලණිය දුරුතු පෙරහර ආරම්භ කරන ලද්දේ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ මව විසින් වන අතර එහි සියලු වගකීම් කරට ගෙන කටයුතු කළේ ඩී.ආර්. විජයවර්ධන හා ඔහුගේ වැඩිමහල් සොහොයුරු ඩී. සී. විජයවර්ධන විසිනි. දුරුතු පෙරහරේ නිර්මාතෘ නොවුණත් එහි සියලු මෙෙහයුම් කටයුතු සිදු කළ තැනැත්තා ලෙසින් ඩී. ආර්. විජයවර්ධන ගෞරවයට පාත්‍ර විය.
එම පෙරහර ආරම්භ කළ දිනම කැලණි රජමහා විහාරයේ නව විහාර ගෙයට මුල් ගල තබන ලද අතර එහි කටයුතුද සංවිධානය කිරීමේ වගකීම් කරට ගත්තේද විජයවර්ධන සොහොයුරන් විසිනි.
දරුවන් විසින් ලබා දුන් මේ ශක්තිය නිසා හෙලේනා විජයවර්ධනට තම බෞද්ධ කටයුතු සිතැඟි පරිදි කර ගන්නට හැකියාව ලැබුණු අතර ඇයට කැලණි විහාරයේ සිතුවම් අදින්නට සිත් වූයේද දරුවන් විසින් ලබා දුන් සහයෝගය නිසාමය. ඒ වෙනුවෙන් සෝලියස් මැන්දිස් ශිල්පියා තෝරා ගැනීමෙන් පසුව ඔහුට ඉන්දියාවේ අජන්තා ඇතුළු සිතුවම් නරඹන්නට යැවුවේද ඩී. ආර්. විජයවර්ධනයන්ගේ උපදෙස් අනුවය. අජන්තා ඇතුළු සිතුවම් නරඹා පැමිණීමෙන් පසුව මාස කිහිපයක් මල්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක සිතුවම් නිර්මාණය කරන්නට සෝලියස් මැන්දිස්ට පැවරුවේ ඔහුගේ නිර්මාණ තව දුරටත් පරීක්ෂා කර බලන්නටය.
නව විහාර මන්දිරයක්
දින දෙක තුනකට වරක් මල්වානට ගොස් ඒවා පරීක්ෂා කරන්නට ඩී.ආර්. විජයවර්ධනයන් විසින් කටයුතු කරන ලදී. කැලණිය චිත්‍ර නිර්මාණය කිරීමට සෝලියස් මැන්දිස්ට පැවරුණේ එයින් සෑහීමකට පත්වූ පසුවය. කැලණිය විහාරයේ නඩත්තුවට තම මව විසින් කලා වැව ප්‍රදේශයේ අක්කර 250ක ඉඩමක් ලබා දුන් බව දැනගත් ඩී.ආර්. විජයවර්ධනයන් එහි ගොස් එහි අඩුපාඩු සොයා බැලුවේය. මව විසින් සිදු කරන්නා වූ කුමන හෝ බෞද්ධ වත්පිළිවෙත් හෝ ඩී.ආර්ගේ සහයෝගය ලැබුණි. තම පියාගේ ව්‍යාපාර කටයුතු තිබුණද ඒ ඔස්සේ ගොස් මුදල් උපයන්නට ඔහුට අවශ්‍ය නොවීය. ඔහු කළේ ධාර්මික ලෙසින් තම ශක්තියෙන් දිවි සරිකර ගැනීමකි. එයද සැම විටම බුදු දහමට මුල්තැන ලබා දීමෙනි.
1941 වසරේ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන ගිය අවස්ථාවේදී ඩී.ආර්. විජයවර්ධනයන් මහා සංඝරත්නය වෙනුවෙන් භික්ෂූ නේවාසිකාගාරයක් ස්ථාපිත කරන්නට කටයුතු කෙළේය.
අදටත් එහි දක්නට ඇති සංඝාරාමය එම ආරම්භය ලෙස දැක්විය හැකිය. එමෙන්ම අධ්‍යාපනය ලබන සියලු භික්ෂූන් වහන්සේට අවශ්‍ය දානමාන පහසුකම්ද එහි ඇති කළේය. භික්ෂූන් වහන්සේට තම දැනුම වර්ධනය කර ගැනීම පිණිස පහසුකම් ඇති කිරීම ඔහුගේ අරමුණ විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ උරුමය රැක ගන්නට ඔහු විසින් දිගින් දිගටම කටයුතු කළ අතර එහි විජයවර්ධන ශාලාව ස්ථාපිත කෙරුණේ ඔහුට කරන ගෞරවයක් ලෙසිනි.
එකල සේදවත්තේ පදිංචිව සිටි ඩී.ආර්. විජයවර්ධනයන් විසින් කැලණිය විහාරයට අමතරව, සේදවත්ත විහාරයට, කොළඹ ගංගාරාමය, බම්බලපිටිය වජිරාරාමය ඇතුළු විහාරස්ථානවලට උපරිම ලෙසින් පහසුකම් ඇති කරන ලදී. විශේෂයෙන්ම ඔහු විසින් ඉතා වටිනා පර්චස් 37ක භූමි භාගයක් වජිරාරාමයට පූජා කිරීම මෙහිලා අගය කළ යුතුමය.
එමෙන්ම ගංගාරාමයේ වැඩ වාසය කළ දෙවුන්දර ජිනරතන හා දෙවුන්දර වාචිස්සර නා හිමිවරුන්ගේ අවවාද හා උපදෙස් අනුව කටයුතු කරමින් ගංගාරාමයේත් කොළඹ නගරය ඇසුරු කරගෙන බෞද්ධ කටයුතු සිදු කරන්නටද කටයුතු කෙළේය.
විශේෂයෙන්ම විහාරය ගොඩ නැංවීම මෙන්ම පොහොය සීමාව සකස් කිරීම වැනි කටයුතු ඩී.ආර්. විජයවර්ධනයන් එදා සිදු කළ සේවාවන් අතර වේ.
එම අනුග්‍රහයෙන් නොනැවතුණු ඔහු ඇති හැකි අය හරහා බුදු දහමේ උන්නතියට හැකි උපරිම දායත්වයක් දැක්වූයේය.
මානෙල්වත්න බුදු සසුනට
ඔහුගේ ඥාතියකු වූ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධනයන්ගේ පරපුර සතු වූ අක්කර 36ක් පමණ වූ භූමි භාගයක් කැලණිය මානෙල්වත්ත දහම් දැනුම ලබා ගනු පිණිස බුදු සසුනට පූජා කරන්නට මුල්වූයේද ඩී. ආර්. විජයවර්ධනයන්ය.
මීට වසර කිහිපයකට පෙර නාගානන්ද විශ්වවිද්‍යාලය බිහිවූයේ එදා එම භුමිය පරිත්‍යාග කිරීමෙන් ඇතිවූ බොදු පුනරුදයේ ප්‍රතිඵලයක් මතය.
එංගලන්තයේ අධ්‍යාපනය ලද අවදියේදී ශ්‍රී ජවහල්ලාර් නේරු වැනි ශ්‍රීමතුන්ගේ ආභාසයෙන් ලද පන්නරයෙන් ජාතිය ආගම ගැන ඇතිවුණු ජාතිමාමකත්වය නිසා මෙරට බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් මුදාගැන්මේ සටනට ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීමේ වගකීමද කරට ගත් ඔහු ලේක්හවුස් ආයතනය ආරම්භ කෙළේය. ආගමට දහමට ලැදි ජනතාවක් ආගමානුකූලව තම අයිතිය ලබාගැනීමට මෙහෙයවීම එහි අරමුණ විය. විශේෂයෙන්ම බෞද්ධ සිරිත් විරිත්වලට මුල්තැනක් ලබා දී බෞද්ධ හැඟීම් උද්දීපනය වන ලෙසින් කටයුතු කිරීම ඔහුගේ අරමුණ විය.
ඒ අනුව යමින් මාධ්‍ය හැසිර වූ ඔහු ‘දිනමිණ’ ‘සිළුමිණ’ ඇතුළු පුවත්පත් ආරම්භ කළේ එම පුවත්පත්වල නාමයන් පවා භික්ෂූන් වහන්සේගෙන් සකස් කරගෙන පුවත්පත්වලට යොදමිනි.
බුදුසරණ පුවත්පතේ ආරම්භය
විශේෂයෙන්ම බුදුසරණ පුවත්පත ඔහු ආරම්භ කෙළේ භික්ෂූන් වහන්සේට තම ලේඛන කලාව වැඩි දියුණු කර ගැනීම පිණිසත් ජනතාවට බෞද්ධ පුවත්පතක අවශ්‍යතාව තිබුණු නිසාත්ය.
සිංහල මාධ්‍යයට අමතරව ඉංග්‍රීසි සහ දෙමළ පුවත්පත්ද ඔහු ආරම්භ කළේ බුදු දහමට අනුව සියලු දෙනාට සමව සැලකීමේ සහ තොරතුරු පුවත් දැන ගැනීමේ අවශ්‍යතාව මතය. කිසිවිටෙක අන්තවාදී ලෙස බුදු දහම ප්‍රවර්ධනයට කටයුතු නොකළ අතර සංහිඳියාව ඇති කිරීම ඔහුගේ පුවත්පත් ආරම්භයේ මුලික අරමුණ විය.
මහජනතාව සැම විටම බොදු පිළිවෙත් අනුගමනය කරමින් සාරධර්ම අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවට දිනමිණ හා සිළුමිණ දැඩි අවධානයක් යොමු කරන ලදී. 1924. අප්‍රේල් මස 5 වැනිදා දිනමිණ පුවත්පතේ ‘ගමරාලගේ‘ ලිපිය නමින් පළ වූ විශේෂාංගයේ එක් ජේදයක් මෙහි ලා දක්වන්නේ එම ලිපිය එකල මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් පවා ඇගැයීම් කර ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ආදර්ශයට ගෙන තිබූ හෙයිනි.
“සිංහල බස තුච්ඡ කොට පාගා දමා අනික් භාෂා වැලඳ ගනී නම් එයින් සිදුවිය හැකි හානි වඩාත් බලවත් ය. ස්වභාෂා පොත පත බැලීමත් අමුත්තන් සමඟ සිය බසින් කතා කිරීමත් ලජ්ජාවක් කොට සිතන්නා නියම සිංහලයෙක්දැයි වටහා ගත යුතුයි.
මවුපියන් නොතකන්නා හට මොන ජාතියක්ද? සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් ජාතියක් වශයෙන් අභිවෘද්ධියට පැමිණෙන්නට සිංහල වර්ගයා කැමැති වේ නම් ස්වභාෂාව ඉගෙන, ඒ භාෂාව කෙරෙහි නිසි සම්මානය දැක්වීමද ස්ථිර ලෙස අධිෂ්ඨාන කර ගත යුතු බව කියම්හ. ”
ලේක්හවුස් ආයතනය ගොඩ නැංවීමේදීද එහි අභ්‍යන්තරය බෞද්ධ කලා ශිල්ප අනුව යමින් නිර්මාණය කරන්නට ඔහු කටයුතු කළේය. වෙසක් හා පොසොන් පොහොය දිනවලදී විශේෂ ආගමික පින්කම් රැසක් සිදු කළ ඔහුට අවශ්‍ය වූයේ එකල විදුලි එළිය නොමැතිව තිබූ බෞද්ධ විහාරස්ථාන කිහිපයක් පොහෝ දිනට ආලෝකවත් කිරීමටය. එය ඔහුගේ ජීවිත කාලයේ සිදු කරන්නට ඔහුට හැකි නොවුණත් ඔහුගේ පුත් රංජිත් විජයවර්ධනයන් ලේක්හවුස් - මිහින්තලා ආලෝක පූජාව 1963 වසරේ ආරම්භ කරන ලද්දේ පියාගේ ඒ අඩි පාරේ යමින් ඔහුගේ අදහසක් මල් පල ගැන්වීමක් ලෙසිනි. පෙර පැවසූ පරිදි හුනුපිටිය ගංගාරාමය සංවර්ධනය කෙරෙහිද රංජිත් විජයවර්ධනයන් අවධානය යොමු කළේ පියා විසින් ගෙන තිබූ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමක් ලෙසිනි. එසේම ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන්ට හා ඔවුන්ගේ දු දරුවන්ට ශිෂ්‍යත්ව හා සුබසාධන කටයුතු සලසමින් බුදු දහමට අනුව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
මිහින්තලාවට ආලෝකයක්
එය සිංහල ජාතික ආයතනයක් විසින් සේවක සුබසාධනය වෙනුවෙන් වැඩි අවධානයකින් කටයුතු කළ පළමු අවස්ථාව ලෙස දැක්විය හැකිය. කොළඹ දිස්ත්‍රික්කයේ පෙරහරක් ආරම්භ කිරීමේ අපේක්ෂාවක් ඩී. ආර්. විජයවර්ධනයන්ට තිබුණු අතර එය ඔහුට ඉටු කළ නොහැකි වුවත් ගංගාරාමයේ නවම් පෙරහර ඔහු වෙනුවෙන් ඔහුගේ පුත් රංජිත් විජයවර්ධන ආරම්භ කළේය.
වර්තමානයේ ගංවතුර වැනි ස්වභාවික උවදුරුවලින් විපතට පත් වන්නන්ට ආධාර උපකාර කරන්නට විවිධ ආයතන ප්‍රසිද්ධියේ කටයුතු කළත් ඩී. ආර්. විජයවර්ධන එදා කැලණි ගඟ පිටාර ගලා අසරණ වූවන්ට යළි තම නිවාස වෙත යෑමට අවශ්‍ය පහසුකම් සැලසුවේ කිසිදු ප්‍රසිද්ධියක් නොකරය. එය තවත් අයකුට ආදර්ශයක් ලෙස ගන්නට පමණක් ඔහු කටයුතු කළේය. වර්තමානයේ බෞද්ධ ප්‍රබෝධයේ මුල් හිමිකරු වශයෙන් කටයුතු කළ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ බොහෝ සේවාවන් අප්‍රසිද්ධ බව අපට මෙයින් පැහැදිලිය.
බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය, බෞද්ධ සිද්ධස්ථාන ආලෝකවත් කිරීම, පෙරහර ආරම්භය, බෞද්ධ පුවත්පත් ආරම්භය, ස්වභාවික ව්‍යසනවලින් අසරණත්වයට පත්වන්නන්ට පිහිට වීම මෙන්ම ආයතන සේවකයන්ට සුබසාධන කටයුතු ආරම්භ කිරීම වැනි සාමාන්‍ය පුරවැසියකුට සිදු කළ නොහැකි සේවාවන් රැසක් ඩී.ආර්. විජයවර්ධනයන් අපට උරුම කර දුන් බව මේ අනුව පෙනේ.
ඔහුගේ නාමය සදා අමරණීය වන්නේ මේ සියල්ලේම නිහඬ නියමුවා ඔහු වන හෙයිනි.