කේන්ද‍ෙරන් පෙන්වන අල්පායුෂ යෝග | Page 9 | සිළුමිණ

කේන්ද‍ෙරන් පෙන්වන අල්පායුෂ යෝග

අකාලයේ දිවි අහිමි වන ග්‍රහ පිහිටීම් සිය ගණනක්

ළමා කාලයේදී තදබල අපල ඇති කරන බාලාරිෂ්ට යෝගය

හදිසි අනතුරකින් මියගියානම් ඒ කේන්දරේ පස්වැන්නාධිපති සහ දොළොස්වැන්නාධිපති නීච වෙලා

හදිසි අනතුරුවලින් අකල් මරණයක් අත ළඟදැයි ජන්ම පත්‍ර  පරික්ෂාවේදී දැනගත හැකියි

 

 

මේ දිනවල ජන සමාජයේ නිතර කතාබහ වන සහ අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්‍රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වාභාවික විපත් හේතුවෙන් මිය යන සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබීමයි. මෙම කාරණය වත්මන් සමාජය තුළ කැපී පෙනෙන මාතෘකාවක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම මෙම අනතුරු හේතුවෙන් වැඩි වශයෙන් අපට අහිමි වනුයේ අපේ රටේ සම්පත වන දරුවන්, තරුණ තරුණියන් හා වැඩිහිටි ජනතාවයි.

ඉහත සඳහන් ආකාරයට හදිසි අනතුරු ස්වාභාවික විපත් හෝ රෝගාබාධ හේතුවෙන් අකාලයේ මියයන පුද්ගලයන්ගේ ජන්ම පත්‍රවල මෙම අල්පායුෂ යෝග හා ග්‍රහ පිහිටීම් සඳහන්ව ඇත්තේද යන්න පිළිබඳව විමසා බැලීමට අදහස් කරන්නෙමි.

යම් ජන්මියෙකු මෙලොව උපදින විට හා ළමා කාලයේදී තදබල ලෙස අපල ඇති කරන බාලාරිෂ්ට යෝග නැතහොත් අයුෂයට පීඩා ගෙන එන ග්‍රහ පිහිටීම් රාශියක් මෙන්ම එක් එක් වයස් සීමාවලදී මෙන්ම තමන් උපන් දිනයේම මියයෑමට ලක්වන ග්‍රහ යෝග හා ග්‍රහ පිහිටීම් උසස් ජ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු විසින් ඉපැරණි පොත් පත්වල දක්වා ඇත.

වත්මන් සමාජයේ වැඩි වශයෙන් අනතුරු සිදුවන්නේ රථවාහන හේතුවෙන් මහ මග අතරමගදී හදිසි අනතුරකින් මියයෑම කෙරෙහි පිහිටන ග්‍රහ යෝග විමසා බැලීමේදී පස්වැන්නාධිපති හා දොළොස්වැන්නාධිපති නීච වී අඩු නැතිවම නීච ග්‍රහයන් දුටුවහොත් එම ග්‍රහයන් පස්වැන්නාධිපති නොදුටුවහොත් එම තැනැත්තා මිය යන්නේ මහමඟ සිදුවන හදිසි අනතුරුවලින්ය.

ජ්‍යොතිෂයේ ඉගැන්වෙන අන්දමට යම් තැනැත්තකු හදිසි අනතුරුවලට ලක්වී මියයෑමට බලපානු ලබන ග්‍රහ පිහිටීම් එකක් දෙකක් නොව සිය ගණනක්ම වෙයි.

ජන්ම පත්‍ර තුළ හදිසි අනතුරුවලට ලක්විය හැකි ග්‍රහ යෝග අපට හඳහන් පරීක්ෂාවේදී දැකගත හැකිය.

කෙසේ වෙතත් ඔබේ ලග්නයේ ලග්නය, ලග්නාධිපති, චන්ද්‍රයා සහ රවි යන ග්‍රහයන් හතර දෙනාගෙන් තුන් දෙනකුවත් දුබල වී ඔවුන් පාපී ග්‍රහයන්ට මැදිවී අශුභ ග්‍රහයන් සිටීමකට හෝ දැකීමකට ලක්වේනම් ඔබේ කේන්දරයේ හදිසි අනතුරු යෝගයක් ඇති බව වටහා ගන්න.

යම් ජන්මියෙකු උප්පත්ති අවස්ථාවේදී රවි හා කුජ යන ග්‍රහයින් දෙදෙනා සංයෝග වී සඳුගෙන් 7 වැන්නේත් රාහු ලග්නයේත් තැන්පත්ව සිටියහොත් එම ජන්මියා දින 10 කින් මියයාමට හැකියාව ඇත. එමෙන්ම සෙනසුරු ලග්නයේම වී චන්ද්‍ර හෝ රවි හත්වැන්නට වී යමෙකු උපත ලැබුවහොත් 4 වැන්න පඨවි රාශියක් වී එහි පාපී ග්‍රහයන් වේනම් එයද හදිසි අනතුරු ගෙන දෙන තත්ත්වයකි. එවැනි අය මියයන්නේ වාහනවලින් සිදුවන හදිසි අනතුරුවලින් නොව තාප්ප, කඳු, ගොඩනැඟිලි, යකඩ සුන්බුන් ආදියට යටවීමෙනි.

චන්ද්‍රයා ලග්න භාවයේද රවි 9 වන භාවයේද කුජ හෙවත් අඟහරු 8 වන භාවයේද සෙනසුරු 12 වන භාවයේද ජන්ම පත්‍රයක පිහිටා සිටිය කල එම ග්‍රහයන් සුබවාදී ගුරු හෙවත් බ්‍රහස්පතිට නොපෙනෙන්නේද එම ජන්මියා ඉපදුණු වහා මරුවට පත් විය හැකිය. නමුත් ගුරු 5 වැන්නේ ප්‍රබලව සිටියහොත් පමණක් ඔහු ජීවත් වනු ඇත.

ඉහත ආකාරයටම ග්‍රහයන් තැන්පත් වී 4 වැන්නේ ජල රාශියක් යෙදුණහොත් ඔහු නියත වශයෙන්ම මිය යන්නේ ජලයේ ගිලීමෙනි. එමෙන්ම කේන්දරයක 8 වැන්නෙහි සඳු සිට ශනි, කුජ යන ග්‍රහයන් සංයෝග වුවහොත් හෝ එම ග්‍රහයන් දකින්නේනම් එම තැනැත්තා මියයන්නේද ජලයේ ගිලීමෙනි. ජ්‍යොතිෂ මතයන්ට හා නියමයන්ට අනුව ඔහු වයස අවුරුදු 32දී හෝ 39 දී මියයයි.

පාප ග්‍රහයන්ගෙන් පීඩිත වූ සඳු 12 වැන්නට පැමිණ ජන්මයක් ලැබුවහොත් පාප ග්‍රහයන්ගේ දශා කාලයක් පැමිණි විට එම තැනැත්තා දියේ ගිලී මිය යන්නේය. එසේම යම් අයෙකුගේ කේන්දරයේ 6 වැන්න කටක, මීන වැනි ජල රාශියක් වී හතරවැන්න දුබල වී නිම වූ අවස්ථාවක් වේනම් ඔහු මිය යන්නේද දියේ ගිලීමෙනි.

කේන්දරයක 5 වැන්නාධිපති, 9 වැන්නාධිපති සමඟ පාප ග්‍රහයන් සමඟ සංයෝග වුවහොත් අටවැන්නාධිපති අටෙහි චන්ද්‍රයා නොදුටු යෝගයකින් උපත ලැබූවෙකු වේනම් ඔහු නියත වශයෙන්ම මිය යන්නේ නැව්, පාරුව හෝ ඔරුවෙන් ජලයට වැටීමෙනි.

රාහු සහ ලග්නාධිපති ග්‍රහයා දුර්වලව සංයෝග වී 7 වන රාශියේ තැන්පත්ව සිටි කල 21 මසකින් හෝ 21 දිනකින් එම ජන්මියාට විපතක් සිදු වනු ඇත. එම විපත හදිසි අනතුරකින් හෝ හදිසි රෝගාබාධයකින් සිදුවීමට ඉඩ ඇති අතර එය බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය දාම සිදු වූ අවස්ථා අප දැක ඇත.

අටවැන්නෙහි චන්ද්‍රයා සහ රාහු යෙදී ලග්නයේ කෘර ග්‍රහයන් දුටුවහොත් ඒ රුදුරු (නපුරු) ග්‍රහයන් හෝ දශා කාලයේදී එම තැනැත්තා මිය යන්නේ ඔළුව හෝ බෙල්ල කැපීමකිනි. කුජ ග්‍රහයා දෙවැන්නට පැමිණ නපුරු ග්‍රහයෙක් දුටු විට ඔහු මිය යන්නේ ගින්නකට හසු වීමෙනි.

එසේම ඔහුගේ බිරියගේ කේන්දරයේ කුජ වැනි නපුරු ග්‍රහයෙක් 7 වැන්නේ සිටියහොත් විවාහ වී වසර 7කින් ස්වාමියා මිය යන්නේ ගින්නට හසුවීමෙනි. මෙම යෝගය වැන්දඹු යෝගයක් ලෙසද ජ්‍යොතිෂයේ ඉගැන්වෙයි.

අකුණු සර වැදී හදිසි අනතුරකින් මියයන පුද්ගලයාගේ කේන්දරයක කුජ, යුරේනස්, 7 වැන්නාධිපතිව 12හි සිටියි. සුබ ග්‍රහයන් එම ස්ථානවල නොසිටීමද අකුණු සර වැදී මිය යෑමට හේතුවකි.

කුජ අටවැන්නේ සිටියදී රවි, කුජ ග්‍රහයන් මේෂ, සිංහ, ධනු වැනි රාශියක තැන්පත් වූ විට ඔහු මියයන්නේද අකුණු සර වැදී හෝ වෙඩි, බෝම්බ වැනි ක්‍රමයකට ගොදුරු වීමෙනි.

චන්ද්‍රයා සමග පාපී ග්‍රහයෙකු යෝගව සිටිය විටදී 7 වැන්නේ හෝ ලග්නයේ පාපී ග්‍රහයෙකු සිටි කල්හි හා එම චන්ද්‍රයා සුබ ග්‍රහයෙක් විසින් නොදකින ලද්දේනම් එම යෝගයෙන් උපන් ජන්මියා ඔහුගේ හෝ ඇගේ උපන් දිනයෙන් දින කීපයකින් මිය යනු ඇත. එය බොහෝ විට සතියකට අඩු කාලයකි.

කුජ ලග්නයෙහි යෙදී රවි ග්‍රහයා ශනිගෙන් පීඩා වුවහොත් ඔහු මියයන්නේද ගිනිඅවි, බෝම්බ හෝ ගින්නකට හසුවීමෙනි.

කුජ දෙවැන්නට පැමිණි නපුරු ග්‍රහයන් දුටුවහොත් හා දෙවැන්නේ සුබ ග්‍රහයන් නැත්තේනම් ඔහු මිය යන්නේද ගිනි බයෙනි. මෙවැනි ග්‍රහ පිහිටීම් දුම්රියට පැන වාහනයකට පැන තමන් විසින්ම මරණයට පත්වීමටද හේතුවේ.

කේන්දරයක පස් වැන්නාධිපති 1, 5, 9 යන ත්‍රිකෝණ ස්ථානවල යෙදී ශනි හෝ රාහු සමඟ සංයෝග වුවහොත් ඔහුගේ මරණය ක්ෂණික මරණයකි.

9 වැන්නෙහි කුජ, ශනි, රාහු යන ග්‍රහයන් තුන්දෙනා සමඟ රවි යෙදී උපත ලැබුවහොත් අශුභ ග්‍රහයන්ගේ මහ දශා කාලයකදී ඔහු මිය යන්නේ අවි ආයුධවලින් කැපුම් කෙටීම්වලින් ලද තුවාල හේතුවෙනි.

මේ ආදී වශයෙන් හදිසි අනතුරුවලට බලපානු ලබන ග්‍රහ පිහිටීම්, යෝග හා යෙදීම් ජ්‍යොතිෂයට අනුව ඉතා විශාල සංඛ්‍යාවක් පිහිටයි.

ඉහත සඳහන් කර ඇත්තේ හදිසි අනතුරු ස්වාභාවික විපත් වැනි උපද්‍රව හේතුවෙන් අඩු වයසින් විශේෂයෙන්ම තමන්ගේ උපත සිදු වූ දිනයේදීම මරණයට පත්වන හා තවත් ඒ අාකාරයට රථවාහන හෝ වෙනත් අයුරකින් මරුමුවට පත්වන ජන්මීන්ගේ හඳහන් තුළ දක්නට ලැබෙන ග්‍රහ පිහිටීම්ය.

විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ඉහත සඳහන් ආකාරයට හදිසි අනතුරුවලින් මියගිය ජන්මීන්ගේ ජන්ම පත්‍ර විමසීමේදී මෙම තත්ත්වය අපට දැක ගත හැකිය.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

Comments