
- කුජ පාපියකු වුවත් 7 වැන්නේදී සුබ දේ ඉටු කරයි
- ප්‍රවීණ ජ්‍යොතීර්වේදී,විදුහල්පති උපුල් ජයශ්‍රි ද සිල්වා
ග්‍රහ ලොව ‘චණ්ඩියා‘ යන නමින් හැඳින්වෙන කුජ ග්‍රහයා කේන්දරයේ 7 වැන්නේ සිටීම ගැන බොහෝ දෙනා බිය වෙති. එහෙත් වර්තමාන සමාජයේ 'චණ්ඩින්' වුව ද බොහෝ විට හොඳ යහපත් වැඩ කරන අය ද වෙති. ඒ ආකාරයට ග්‍රහ ලොව චණ්ඩින් ද අපේ කේන්දරවල 7 වැන්නේ සිටීමත් නරකට වඩා හොඳ කරන්නට ද පුළුවනි. කිසිම මනුෂ්‍යයෙකුට සම්පූර්ණයෙන්ම හොඳ යයි කියා හෝ නරක යයි කීමට නොහැකිය. හොඳ යයි කියා පිළිගත් මනුෂ්‍යා අතින් ද වැරදි සිදු විය හැක. එසේම නරක යයි සම්මත මනුෂ්‍යයාගෙන් ද හොඳ දේවල් ඉටු විය හැකිය.
ග්‍රහ ලොව ශුභවාදීම ග්‍රහයා ලෙස සැලකෙන ගුරු 7 වැන්නේ සිටීමෙන් විවාහයට අයහපත් බව පැවසේ. එසේම ග්‍රහ ලොව අසුබම ග්‍රහයා ලෙස සැලකෙන සෙනසුරු 7 වැන්නේ සිටීම ද විවාහයට යහපත් යයි මතයක් පවතී. කුජ පාපි ග්‍රහයකු වුවත් 7 වැන්නේ ද සුබ දේවල් ද ඉටු කරයි. එම නිසා කුජ 7 වැන්නේ සිටින කේන්දර හිමියන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවේ. ඒ ඒ ලග්න හිමියන්ට කුජ 7 ලබා දෙන ප්‍රතිඵල මොනවාදැයි විමසා බලමු.
මේෂ ලග්නය
මොවුන්ගේ 07 වැන්න තුලා රාශිය වන අතර එහි කුජ සිටීම යහපත් ලෙස දැක්විය හැකියි. කාර්යශීලි බව හා පැහැදිලි ඥානය මේෂ ලග්න හිමියන්ට නොඅඩුව ලැබේ. ව්‍යාපාර සඳහා දක්ෂතා දක්වන මෙම පිහිටීම් ඇති අය තරමක රාගාධික ගතියක් දක්වයි. නමුත් ඔවුන්ගේ විවාහය අයහපත් නොවන අතර සැපවත් දිවියකට හිමිකම් කියයි.
වෘෂභ ලග්නය
හත්වැන්න වෘශ්චික රාශිය වන මොවුන්ගේ ජන්ම පත්‍රයක කුජ 07 ස්වක්ෂේත්‍රව යෙදීම නිසා රුචක නම් පංචපුරුෂ යෝගය යෙදේ. මෙවන් පුරුෂයන්ට විවාහයෙන් පසු විශාල දෑවැද්දකට හිමිකම් ලැබිය හැකියි. ඉක්මන් තීරණ ගන්නා මෙම පිහිටීම් ඇති අය සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් වනු ඇත.
මිථුන ලග්නය
කුජ 07 වැන්නේ පිහිටි මෙම ලග්න හිමියෝ තම වැඩිහිටි අයගෙන් හෝ විවාහයෙන් දායාද ලබයි. මොවුනට උසස් අයගෙන් උදවු උපකාර ලැබෙන අතරම විවාහයෙන් පසු මොවුහු යහපත් චරිතයෙන් යුතුව හොඳ විවාහ දිවියක් ගත කිරීමට උත්සාහ දරති. ධනු රාශිය මෙම ලග්න හිමියන්ගේ හත්වැන්න වේ.
කටක ලග්නය
07 වැන්න මකරය වන අතර කුජ එහි සිටීම අනුව තරුණ කාලයේ තමාට නොගැළපෙන කාන්තාවන් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගනී. එමෙන්ම ප්‍රේමය නොසිතූ අවස්ථාවක බිඳ වැටෙන අතර පසුව ඇතිවන විවාහය යහපත් එකක් වනු ඇත. එමෙන්ම ක්‍රියාශීලිව කටයුතු කරන දිරිමත් දිවියක් ගත කිරීමට මෙම ලග්න හිමියන්ට කුජ 07 වැන්නේ සිටීමෙන් හැකියාව ලැබේ.
සිංහ ලග්නය
සිංහ ලග්නයට කුම්භ 07 වැන්න වන අතර ම දුටු දුටු අය සමඟ ප්‍රේම සබඳතා ඇති කර නොගන්නා ස්ථිර අදහස් ඇති අයකු වෙයි. අවංකව සත්‍යවාදීව ප්‍රේම කිරීම නිසා ඔහුගේ හෝ ඇයගේ විවාහ ජීවිතය සාර්ථක එකක් වනු ඇත.
කන්‍යා ලග්නය
මීනය හත්වැන්න වෙයි. කුජ මෙහි තැන්පත් වීම නිසා විවාහය තරමක් පසු වනු ඇත. මෙම ජන්මියාගේ විවාහය තරමක් ප්‍රමාද වෙයි. එක් වරක් නොව දෙතුන්වරක් ම විවාහ වනු දක්නට ලැබේ. සීමාව ඉක්මවා ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව කටයුතු කිරීම නිසා විපත්වලට මුහුණ දෙන අවස්ථා ද ඇත. එහෙත් දේපළ ලැබීම් අතින් යහපත්ය.
තුලා ලග්නය
කුජ ග්‍රහයාගේ මුල ත්‍රිකෝණය වන මේෂ රාශිය මෙහි හත්වැන්න වෙයි. උසස් අදහස් ඇති අයකු වේ. තම මතයට ම කටයුතු කරයි. විවාහ සහකරු සමඟ අසමගිකම් ඇති කර ගනියි. යුක්ති ගරුක අයෙකු වනු ඇත.
වෘශ්චික ලග්නය
වෘෂභ රාශිය 07 වැන්න වන මෙහි කුජ තැන්පත් වීම සමඟම රාගික හැඟීම් උත්සන්න කරයි. මෙම ජන්මීන්ගේ විවාහය ඉක්මන් කරවන අතර එසේ නොවුණහොත් අයථා සම්බන්ධතා නිසා චරිතය හානිකර ගනී. මේ හේතුව නිසාම විවාහය ද අසාර්ථක වන අවස්ථා බොහෝය. මෙය නිතරම යහපත් පිහිටීමක් නොවන අතර ජීවිතය බොහෝ විට අසාර්ථක භාවයක් මේ තුළින් ඉස්මතු වෙයි. නමුත් නිර්භීතය. කිසිවකුට බිය නැත. ඕනෑම අවදානම් අවස්ථාවකට වුව ද මුහුණපෑමට සුදුසුය.
ධනු ලග්නය
07 වැන්න මිථුන වන අතර එහි කුජ ග්‍රහයා තැන්පත් වීමෙන් මෙවන් ජන්මීන් ප්‍රේම සබඳතා කීපයක් ඇතිකර ගන්නා බව පෙනේ. තරුණියන්ට හිරිහැරකොට සතුටු වීමට, විකෘති කාමාශා තුළින් මෙවන් පිරිමි උත්සාහ කරයි. තම අදහස් නිතර වෙනස් කරන චපල ගති ඇති අය වෙයි. නිතර විනෝදයට බර අය නිසා ආදර සම්බන්ධතාවලට ද මොවුන් එතරම් සුදුසු නොවන පුද්ගලයෝ වෙති. එහෙත් තම ඥාතීන්ට ඉතාම හිතවත් වෙයි. ඔවුන් වෙනුවෙන් පණ දීමට වුව ද සූදානම්ය.
මකර ලග්නය
කුජ ග්‍රහයාගේ නීච රාශිය වන කටක රාශිය 07 වැන්න වනු ඇත. ආදර බන්ධන කීපයක් ඇතිකර ගන්නා මොවුන්ගේ එඩිතර ගතිය ද තරමක් අඩුය. විවාහක දෙපළ අර නිතර අසමගිය වර්ධනය වීමෙන් විවාහය පුණ්‍යවන්ත නොවන අතර ලැබෙන දරුවෝ ද එතරම් භාග්‍යවන්තයෝ නොවෙති. මොවුන් කරන කියන දේවල් පළමු වර වැරදී ගියත් දෙවන වර බොහෝ විට සාර්ථක වනු ඇත.
කුම්භ ලග්නය
සිංහ රාශිගතව පිහිටි කුජ 07 වැන්නේ සිටීමෙන් නිතර සතුටින් තම ජීවිතය ගත කිරීමට උත්සාහ දරයි. අවංකව කටයුතු කරන මොවුහු පහසුවෙන් ආදර සම්බන්ධතා ඇතිකර ගනිති. මෙම ග්‍රහ පිහිටීම් ඇති අය සමාජයටත් තම කාලත්‍රයාටත් ළෙන්ගතුව කටයුතු කරයි.
මීන ලග්නය
කන්‍යා රාශියේ කුජ මෙම අයගේ 07 වැන්නේ පිහිටීම නිසා මොවුන් තරමක් කපටිසහගතය. තමාට නොගැළපෙන අය සමඟ රහස් සබඳතා ඇති කර ගන්නට පහසු අයකු වනු ඇත. විවාහය ද තරමක් කල් පසු වෙයි. මෙම ජන්මීහු සමාජ සේවා කටයුතුවල නියැළෙන්නට ඉදිරිපත් වෙයි.