ජ්‍යොතිෂවේදී තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ
- දුරාතීතයේ සිට පැවතෙන්නක්
- නිමිත්තෙන් කියන දේ ඉතාම නිවැරැදියි
- නිමිති බැලීම යනු විද්‍යානුකූල ගණිත ශාස්ත්‍රයක්
- එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීමට හොඳම මාර්ගයක්
මනුෂ්‍ය වර්ගයා ලොව පහළ වූ දා සිටම තමන්ට තම පවුලේ අයට ඥාතින්ට හිතවතුන්ට එදිනෙදා ජීවිතයේ ඇතිවන විවිධ දුක්කම්කටොලු කරදර ලෙඩ දුක් මෙන්ම නොයෙක් අතුරු ආබාධ හිරිහැර මානසික පීඩාවනට තුඩු දෙන කරුණු වැනි එදිනෙදා ජීවිතයේ ඇතිවන ප්‍රශ්න සහ අනාගතය පිළිබඳ තොරතුරු දැනගැනීමට මහත් අභිලාෂයක් දක්වයි.
ඒ සඳහා විවිධ වෛදික වේදයට අයත් තාරකා විද්‍යාව, දේහ ලක්ෂණ විද්‍යාව, හස්ත රේඛා ශාස්ත්‍රය, ශබ්ද ශාස්ත්‍රය, ජ්‍යොතිෂ ශාස්ත්‍රය වැනි විවිධ ශාස්ත්‍රීය අංශයන් උගත් ප්‍රවීණ විද්වත් ශාස්ත්‍රඥයින් කරා යෑම සාමාන්‍ය කාටත් පොදු වූ කරුණකි.
මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ නිමිති බැලීමේ ශාස්ත්‍රීය සිද්ධාන්තයන් පිළිබඳ වර්තමාන සමාජයට වැදගත් වන කරුණු සම්බන්ධවය.
නිමිති බැලීම පිළිබඳ අතීතයේදී ස්කන්ධ පුරාණය, අග්නි පුරාණය, ගරුඬ පුරාණය ප්‍රශ්නෝතර හෙවත් දර්ශන ශාස්ත්‍රය වැනි විවිධ ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක් ලියා පළ වී ඇත. එහෙත් වර්තමානයේ ඒවා සොයා ගැනීමට පවා දුෂ්කර වුවද විවිධ විද්වතුන් එම ග්‍රන්ථ ඇසුරෙන් ග්‍රන්ථ රාශියක් ලියා පළ කර තිබේ. වර්තමානය වන විට ඒවා අඩුපඩු සහිතව රහස්‍යභාවයෙන් යුතුව පළ කිරීම නිසා මෙම වටිනා ශාස්ත්‍රය අභාවයට යමින් පවතින බව පෙනේ.
කෙසේ නමුදු නිවැරැදිව නිමිති බැලීම ඉතාමත් විද්‍යානුකූල වූ ගණිත ශාස්ත්‍රයකි. එය සාමාන්‍ය කෙනෙකුට කළ නොහැකිය. වීමංසන බුද්ධියකින් යුතුව ප්‍රඥාගෝචරව කාලයක් තිස්සේ අධ්‍යයනය කර මනා ලෙස ශාස්ත්‍රය ප්‍රගුණ කළ යුතුය. ඒ අනුව බහුල වශයෙන් ඇත්දැකීම් ලැබිය යුතුය.
නිමිති ශාස්ත්‍රය ගැන විමර්ශනය කිරීමේදී එය කොටස් නවයකට ප්‍රභේධ වශයෙන් වෙන් කර ඇති බව පෙනේ. ඒ අනුව ඊශ්වර, මහේස්වර, ක්‍රතේඪවර, ශබ්දේශ්වර, දේවේස්වර, කාලේශ්වර, භුතේශ්වර, දේහේශ්වර, හස්තේශ්වර යනුවෙන් නිමිති ශාස්ත්‍රිය ක්‍රම නවයක් කාල දර්ශන ශාස්ත්‍රය අනුව පෙන්නුම් කරයි. වර්තමානය වන විට මෙම වටිනා ශාස්ත්‍රීය ක්‍රමයන් කාලයාගේ ඇවෑමෙන් විනිවිදභාවයෙන් ප්‍රයෝජනයට ගන්නා පිරිස අඩුය. එහෙත් පිටිසර ග්‍රාමවාසි ප්‍රඥාවන්ත බුද්ධිමත් විද්වතුන් මෙම ශාස්ත්‍රය අනුගමනය කරමින් තම තමන්ගේ එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීමට උපකාර කර ගනිති. විශේෂයෙන් නිමිති බැලීම පාරම්පරික වෛද්‍ය ක්‍රමයට ද අයත් ප්‍රධානතම ශාස්ත්‍රීය අංශයකි.
එමඟින් තමන් ළඟට එන රෝගීන්ගේ රෝග තත්ත්වය, ඊට හේතු රෝග නිදාන, කළ යුතු ප්‍රතිකාර ආදී විස්තර නිවැරැදි නාඩි නිමිති ක්‍රම මඟින් ඉතාම සාර්ථකව පැහැදිලි කරගත හැකිය. මෙවැනි ශාස්ත්‍රීය අංශ අනුගමනය කරන වෙද මහතකු බොහෝ විට ප්‍රතිපත්තිගරුකව ආගමික කටයුතු කරමින් ඉෂ්ට දේවතානුස්මරණයෙහි යෙදී එම කටයුතුවල නිරත වන බව නම් නොරහසකි.
නිතිපතා නිමිති කටයුතු සඳහා පිරිස් පැමිණෙන ස්ථානවල කිළි හරණය කළ කහ දියර බඳුනක්, දෑසමන් පිච්ච මල් දැමූ පැන් බඳුනක් තැබීම හෝ වෛද්‍යවරයා කටයුතු කරන ස්ථානයේ සමන් පිච්ච මල් බඳුනක් තැබීම එවැනි ස්ථානවල පෙනෙන්නට තිබෙන සුලබ දර්ශනයකි. කහ දියර බඳුන එලෙස තබන්නේ නිමිති බැලීමට කිළිදෝෂ සහිතව එන අයට අත් මුව දෝවනය කර ඇතුළුවීම සඳහාය.
දරුවකු වැඩිවියට පත්වූ පසු සමහරු තමන්ට පහසු අයුරින් ගම්මිරිස් කොළ සිවිය කොළ රැගෙන එති. එහි අරුත හෙවත් යථාර්ථය නොදන්නා අය සිතන්නේ ගම්මිරිස් කොළ රැගෙන යන්නේ එය චාරිත්‍රයක් ලෙස කියාය. නමුත් ශාස්ත්‍රීය සිද්ධාන්තයට අනුවත් විද්‍යානුකූලවත් එහි ඉතා වැදගත් හරයක් හා පලයක් ඇත. බලි යාග, ශාන්තිකර්ම, පිරිත් කොටු වැනි ස්ථානවල පවා ගම්මිරිස් කොළ කිණිති රෑන් පිටින් කපා එල්ලති.
එයට ප්‍රධානම සාධකය වන්නේ ගම්මිරිස් කොළවල ඇති විෂබීජ නාශක බලය තුළින් කිළිදෝෂවල බලපාන විෂ සහිත කිරණවල ශක්තිය විනාශ වී යන බැවිනි.
තවද කහ දියර කිළිහරණය කර හෝ නොකර තැබුවත් කිළි දෝෂ හරණය වන අතර සමන් පිච්ච මල් බඳුනක් තබන්නේ එහි කිළි නොවැදීමේ මහා බලයක් ශක්තියක් ඒ තුළ ගැබ්ව පවතින නිසාය.
නිමිති බැලීමට උපකාර වන ඉෂ්ට දේවතානු ශක්ති බලය වඩ වඩාත් ශක්තිමත් වීමට සමන්පිච්ච මල් තුළ තිබෙන ක්‍රියාකාරි ඖෂධ හා ගුප්ත ශක්තිය අතිශයින්ම බලවත් වේ.
සමන්පිච්ච මල් තුළ තිබෙන අතිසූක්ෂ්ම ගුප්ත බලය ආකාර්ෂණය පූජනීයත්වය නිසාම එම මලට ධාතුන් වහන්සේලා පවා වඩින අතර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේ වඩින ස්ථානවල නිරන්තර සමන්පිච්ච මල් සුවඳ විහිදී යන බව අපගේ අත්දැකීමය.
තවද නිමිති බලන ස්ථානවල නිරන්තර ඖෂධීය තෙල් වර්ග තුළින් පහන් දැල්වේ. මෙලෙස කිළි හරණය සඳහා අනුගමනය කරන ක්‍රියාව නිසාම පාරම්පරික සිද්ධාන්තවලට අනුගතව සකස්කර ඇති තෙල් බෙහෙත්වල යන්ත්‍ර මන්ත්‍රාදි කිළිවල බලපෑම්වලින් ආරක්ෂාවේ. සාමාන්‍යයෙන් බුලත් අතක් රැගෙන පඬුරු තබා වෙද මහතා අතට දීම නිමිති බැලීමේදී අනුගමනය කරන චාරිත්‍ර ධර්මතාවකි. එය බොහෝ අය අනවබෝධයෙන් කළද එලෙස කරන්නේ ඇයිද? යන්න සාමාන්‍ය ජනතාව පමණක් නොව සමහර ඇදුරන්ට පවා ඒ ගැන නිසි අවබෝධයක් නැත. ඒ පිළිබඳවද සාරාංශ කොට කරුණු දැක්වීම වැදගත් වනු ඇත.
නිමිති බැලීමට අවශ්‍ය දත්ත තොරතුරු ඒකරාශි කරගැනීමේදී බුලත් මූලික ගණයෙහිලා සැලකේ. එය ශාස්ත්‍රයේදී නාග ලතා චක්‍රය යනුවෙන් හඳුන්වනු ලැබේ. නාගලතා චක්‍රයට අනුව බුලත් කොළ වර්ග වශයෙන් වෙන්කර වෙන් වෙන්ව ගණන් කර තබනු ලබයි.ඒවා ස්ත්‍රී, පුරුෂ, මනුෂ්‍ය, නාග, දේව, නපුංසක, රෞද්‍ර, රොග, ඉන්ද්‍ර, යම යනුවෙන් ඒ ඒ කාණ්ඩයට අයත් බුලත් ගණිත ක්‍රමයට අනුව ශාස්ත්‍රානුකූලව වෙන්කර ගනු ලබයි.
මේවා පොදුවේ ගත් විට එක තැනකට තුන බැගින් අයත් වන අතර මේවා බලන අයගේ නැකතේ සිට ක්‍රමයෙන් ගණිනු ලබයි. එලෙස ගණිනු ලබන නිෂ්ට, අනිෂ්ට, දුෂ්ට, සාධ්‍ය, අසාධ්‍ය, අරිෂ්ට, ප්‍රභාෂ්වර, විපරීත යන අට වැදෑරුම් කොටස්වලට අයත් බුලත්වල සංඛ්‍යාව ගණනය කරනු ලබයි.
ඒ සඳහා නියමිත ශාස්ත්‍රීය කරුණු සංක්ෂිප්තව තීරණය කිරීම සඳහා අවම වශයෙන් බුලත් දාහක්ද උපරීම වශයෙන් නැකත් විසිහතකට අදාළව විසිහතක් හෝ ඒ අතර ගණනක් අවශ්‍ය වේ.
මේ කරුණු මෙලෙස අනුගමනය කළ යුත්තේ ඉන්ද්‍ර ගුරුළුව, යම කාලය, පංච පක්ෂිත්වය, තත්කාලය, නාගලතා චක්‍රය, පංචභූත චක්‍රය ඇතුළු අෂ්ට චක්‍රයම උපනිස්ශ්‍රය කරගෙන කාල දර්ශන චක්‍රයට අනුව නිමිති බැලීමේදී පමණි. නිමිති බැලීමේ සාර්ථකම ක්‍රමය එයයි. ප්‍රශ්නකරුගේ අදාළ කරුණු ඉතාමත් නිවැරදිව විසඳිය හැකි බව මෙම ශාස්ත්‍රීය ක්‍රමය මඟින් අප අත්දැකීම් ලබා ඇත. සාමාන්‍ය තත්කාලය පමණක් උපයෝගී කරගෙන නිමිති බලන අයට මෙම ක්‍රම අදාළ නොවන බව කාරුණිකව සැලකිය යුතුය.