මහ බැංකු වාර්තාවේ විශ්ලේෂණයන්ට අනුව කෙටිකාලීනව වේදනාකාරී වුවත් දිගුකාලීනව සුබදායී ආර්ථික වර්ධනයක් | Page 3 | සිළුමිණ

මහ බැංකු වාර්තාවේ විශ්ලේෂණයන්ට අනුව කෙටිකාලීනව වේදනාකාරී වුවත් දිගුකාලීනව සුබදායී ආර්ථික වර්ධනයක්

කුත් 2022 වසරේ මහ බැංකු වාර්තාව එළිදැක්වීම අප්‍රියෙල් 27 වැනිදා සිදු විය. එය බරපතළ අසිරුතාවකින් ගෙවුණ වසරක් බව මූලික වශයෙන්ම එම වාර්තාවෙන් කියැවෙයි. මේ ආර්ථික අර්බුදකාරී තත්ත්වය මූලික වශයෙන් කරුණු තුනක් ඔස්සේ හඳුන්වා දී ඇත. අතිඋද්ධමනකාරී තත්ත්වයක් පැවැතීමෙන් ජන ජිවීතය බිඳ වැටීම සහ ලංකාව ලෝකයෙන් හුදෙකලා වීමක් 2022 වසරේදී සිදු විය. ඒ අනුව ආනයන සහ අපනයන ක්ෂේත්‍රය කඩා වැටීමක් සිදු විය.

මේ අර්බුදය හමුවේ දිගුකාලීනව ආර්ථිකයේ පැවැති දුර්වලතා එනම්, අයවැය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟය ඇතුළු ආර්ථිකයේ පැවැති දුර්වලතාවන්ට පරිබාහිරව විශේෂයෙන්ම මේ අර්බුදය ඇති වීමට අදාළ හේතු වූ කරුණු පහක් පිළිබඳ අවධානය යොමු කර ඇත‍.

විශේෂයෙන්ම නොකළ යුතු අවස්ථාවකදී බදු කපා හැරීම, සැලසුම් සහගත නොවන ආකාරයට කාබනික වගාවට යොමු වීම, ණය නොගෙවන රටක් නොවේය යන ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට දිගින් දිගටම සංචිත බිඳවැටෙන අවස්ථාවලදී ණය ගෙවාගෙන යෑම, විනිමය අනුපාතික හැඩගැස් වීමට ඉඩ ප්‍රස්ථා නොදීම විශේෂයෙන්ම පෙර දැනුම් දෙනු ලැබූ සංඥා නොසැලකීම, ආර්ථිකය බිඳවැටීම සම්බන්ධයෙන් නොසලකා හැරීම ආර්ථික අර්බුදයට මූලික වශයෙන්ම බලපෑම් එල්ල කළ කාරණා ලෙස මෙහිදී හඳුනා ගෙන ඇත. ආර්ථිකය යථාවත් කිරීමට මහ බැංකුව ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් කරුණු මෙහිදී ඉදිරිපත් කර ඇත.

විනිමය අනුපාතිකය මුදා හැරීම එහි එක් කරුණකි. එහිදී මහ බැංකුව ඉදිරිපත් කර ඇත්තේ මුල් අවස්ථාවේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා රුපියල අවප්‍රමාණය වීමක් සිදු වීමයි. පසුකාලීනව මහ බැංකුව විසින් ගනු ලැබූ විවිධ උපක්‍රම හේතු කරගෙන විනිමය අනුපාතය ක්‍රමානුකූලව පහළට ගෙන යෑම සිදු විය. වෙළෙඳපොළ බලවේග සමඟ ඉතා හොඳ සන්නිවේදනයක් පවත්වා ගෙන යෑම මීට හේතු විය. ඊට අමතරව විනිමය හිඟය මහ බැංකුව මැදිහත් වීමෙන් අත්‍යවශ්‍ය ආනයනවලට ප්‍රමුඛත්වය දෙමින් එසේම අනවශ්‍ය ආනයන පාලනය කරමින් අත්‍යවශ්‍ය ආනයන පහසුකම් සපයා ගැනීමට පමණක් මහ බැංකුව වෙළෙඳපොළට විනිමය මුදා හැරීම සිදු කෙරිණි.

එසේම IMF සහයෝගය ලබා ගැනීමට 2022 මුල් කාර්තුවේ සිට ක්‍රමානුකූලව කටයුතු කිරීම ද සිදු විය. IMF එකට යෑම යම් ආකාරයට කල් ගතවූ කාරණාවක් බවත් 2022 සැප්තැම්බර් මාසය වනවිට මූලික මාණ්ඩලික මට්ටමකට එළැඹීමත් 2023 මුල් කාර්තුව වන විට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම යන කරුණු නිසා ආර්ථිකය සාධනීය තත්ත්වයකට එළැඹීම ආරම්භ විය. රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබු තීන්දු තීරණ කිහිපයක් කෙටිකාලීනව ආර්ථිකය යථාවත් කිරීමට හේතු විය. අනවශ්‍ය වියදම් කපා හැරීම, ආදායම ඉහළ නැංවීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සහ ආනයන පාලනය කිරීම සහ ඉන්ධන කෝටා ක්‍රමයක් යටතේ ලබා දීමට කටයුතු කිරීම වැනි පියවර ඉතා වැදගත් වෙයි. එසේම ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මුලාශ්‍ර හරහා කෙටිකාලීනව ඇති වු ද්‍රවශීලතා අපහාසුතා ඩොලර් හිඟය පියවීමට ගත් පියවර ඇතැම් රටවල මහ බැංකු සමඟ එකඟත්වයට පැමිණ හුවමාරු පහසුකම්වලට එළැඹීම වැනි පියවර සම්බන්ධයෙන් මේ මහබැංකු වාර්තා මඟින් හෙළි කර ඇත. ඒ හරහා වර්තමානයේ ඇති කර ගත් ධනාත්මක ප්‍රගතීන් පිළිබඳ සඳහන් කර ඇත.

ඒ අනුව උද්ධමනය පහළට ගෙන ඒමටත් විශේෂයෙන් 70% දක්වා ඉහළ තිබුණ අගය 35% පමණ අඩු කර ගැනීමටත් හැකියාව ලැබුණි. විනිමය අනුපාතය 370 පමණ තිබූ අගය 320 දක්වා අඩු අගයකට ගෙන ඒමට හැකිවී ඇත. එසේම විදෙස් සංචිත ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතරම අනෙක් ආර්ථික කටයුතු යථාවත් වෙමින් පවතියි. මහ බැංකු වාර්තාවට අනුව 2023 ප්‍රධාන අභියෝගය ලෙස ඔවුන් සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. එහිදී දේශීය මූල්‍ය පද්ධතියට හානියක් නොවන ආකාරයට දේශීය සහ විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන ක්‍රියාවලිය ඉතා අභියෝගාත්මක කාරණාවක් ලෙස 2023 වර්ෂයට අදාළව මහ බැංකු වාර්තාව සඳහන් කරයි. එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කර ගැනීමට මධ්‍යකාලීන සහ දිගුකාලීන තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම වැදගත් කරුණකි. මේ අර්බුදයෙන් උගත් පාඩම් ලෙස හඳුනා ගෙන ඇත්තේ දත්ත මත පදනම් කරගෙන ප්‍රතිපත්තිකරණයේ යෙදිය යුතු බවයි. දත්තවලින් පරිබාහිරව යම් පුද්ගලයන්ගෙ තනි මතයට අනුව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙන් ඇතිවන හානිය එහි සඳහන් වෙයි. නිසි සූදානමකින් තොරව ගනු ලබන ප්‍රතිපත්තිවල ව්‍යසනකාරී ස්වභාවය එහි සඳහන් කර ඇත.

සුබ සාධනවාදී ප්‍රතිපත්තිවල දිගුකාලීන ආර්ථික ව්‍යසනකාරී ස්වභාවය, එහි හානිකරභාවය මේ අර්බුදය තුළ උගත් පාඩමකි. ප්‍රතිපත්ති තීරණ කල් දැමීම, නිසි කලට නොගැනීම ආර්ථික පිරිවැයකට කරුණකි. ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂඥ මත නොසලකා හැරීමේ ප්‍රතිවිපාකය සමඟ IMF එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඊට පරිබාහිරව ආර්ථීකය දිගුකාලීනව නඟා සිටුවීමට අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ කරගෙන යෑම සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය වේ. යම් ආකාරයට IMF හා ඊට පරිබාහිර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් ආර්ථිකය නැවතත් 2022 වසරේදී මුහුණ දුන් බංකොලොත්භාවයට පත් වනු ඇත. එහිදී ආර්ථිකය විෂම චක්‍රයකට මුහුණ දීම සහ ආර්ථිය බිඳ වැටීමකට ද ලක් වෙයි. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතුයි. 2022 වර්ෂයේ අර්බුදය කුමක්ද? එයට හේතුව කුමක්ද? එය විසඳීමට ගත් කෙටිකාලීන දිගුකාලීනව ගත් පියවර කුමක්ද? ඒ සඳහා අවශ්‍ය වන මහජන සහාය කුමනාකාරද යන්න පිළිබඳ මෙහි සඳහන් කර ඇත. ඒ ආකාරයට ප්‍රතිසංස්කරණය නොකළොත් අපේ ආර්ථිකය නැවතත් බිඳ වැටීම සිදු වෙයි. ණය ගැති භාවය, තීව්‍ර වීමට ඇති ඉඩකඩ පිළිබඳ සවිස්තරාත්මකව සම්පිණ්ඩනයක් මේ වාර්තාවේ දැක්වෙයි. නිදහසින් පසු මහ බැංකුව ඉදිරිපත් කරනු ලැබු ස්වාධීන විශ්ලේෂණයක් ලෙස මෙම වාර්තාව හැඳින්විය හැකියි. තවදුරටත් සහනාධාර මානසිකත්වය මත ඉදිරියට යා නොහැකි යන කාරණාව සහ දේශපාලනඥයන් විවිධ දේවල් නොමිලේ ලබා දෙමින් සහන ලබා දීමට භාණ්ඩ සහ සේවා මිල වැඩි නොකර පවත්වා ගෙන යෑම යන කාරණා නිසා ආර්ථිකයක් ව්‍යවසනකාරී තත්ත්වයට පත් කිරීම යන කාරණාව ඉතා හොඳින් මෙහි පැහැදිලි කර ඇත. මේ ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත් දිගුකාලීනව ආර්ථික වර්ධනයක් රට තුළ ඇති කර ගැනීමට උපකාරී වෙයි. එනම්, 2022දී මුහුණ පෑ විශාල ආර්ථික බංකොලොත් භාවය වළක්වා ගැනීමට මේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම අවශ්‍ය වන අතරම ඒ සඳහා මහජනතාවගේ සහයෝගය ලබා ගත යුතුය. මහ බැංකුව සහ රජය කෙටිකාලීන ගනු ලැබූ පියවර ආර්ථිකය තවදුරටත් අර්බුදයට යෑම වළක්වා ගෙන ආර්ථිකය යම් සාධනීය තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වීම යන කරුණ මෙහිදී ඉස්මතු කර ඇත.

කෙටිකාලීනව අත්කර ගත් ජයග්‍රහණ මහජනතාවට සන්නිවේදනය වීම හරහා දිගුකාලීනව ආර්ථිකය යථාවත් කිරීම සහ වර්ධනයක් අත් කර ගැනීමට හැකියාව ලැබෙයි. මහ බැංකුව මහජනතාවට වග කියන ආයතනයක් ලෙස මේ ආර්ථීකයේ නියම චිත්‍රය මහජනතාවට සන්නිවේදනය කිරීම ඉතා වැදගත් වෙයි. ගත යුතු තීන්දු තීරණ ගැනීම සඳහා මහජන සහයෝගය ලබා ගැනීම යන කාරණාව ද ඉතා වැදගත් වෙයි. නොමිලේ ලබා දීම් සහ සහනාධාර දේශපාලනය අවසන් විය යුතුය යන කාරණාව තරයේ ගෙන හැර පෑ යුතුය. මේ ආකාරයේ සහනාධාර මානසිකත්වයක් තුළ සමස්ත ආර්ථිකය අර්බුදයට යන බව ජනතාව තේරුම් ගත යුතුය.

ආර්ථිකය සම්බන්ධයෙන් මහ බැංකු වාර්තාව මෙහිදී පැහැදිලි කරන කරුණු නම්, මේ රට මේ තත්ත්වයට පත්වීමට වැරදුණේ කොතැනද? මෙවැනි දෙයක් වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද? ගත් පියවර කුමක්ද? අත්කර ගත් ප්‍රගතිය කුමක්ද? යන කාරනාව ඉතා සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමයි. ඒ කරුණු පිළිබඳ ජනතාව දැනුම්වත් වීම වන අතරම ඉදිරියට ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සහයෝගය ලබා දිය යුතුය. බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කතා කිරීමේදී සේවා සහ භාණ්ඩවල මිල ඉහළ දැමීම පිළිබඳ සලකා බැලුවත්, උපයන විට බද්ද අය කිරීම සහ අනෙකුත් බදු වැඩි කිරීම රාජ්‍ය සේවයට බඳවා ගැනීම වැනි තීන්දු තිරණ කෙටිකාලීනව ජනප්‍රිය තීන්දු තීරණ නොවෙයි. නමුත් බරපතළ තීන්දු ගැනීම සිදු වී ඇත. අර්බුදය තවදුරටත් තීව්‍ර වීම වළක්වාගෙන ආර්ථිකය අනෙක් සාධනීය දිශානතියක් කරා හරවා ධනාත්මක තත්ත්වයකට පත් කරවීමට නම් මේ තීරණ අත්‍යවශ්‍ය වෙයි. මේ තත්ත්වය තිරසර කිරීමට නම් නැවත වතාවක් ආර්ථික වර්ධනය කරා ඉදිරියට ගමන් කරවීමට නම් මහ බැංකුව සඳහන් කරන ආකාරයට ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කර ගැනීම IMF ඇතුළු අනෙකුත් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ ඉන් ඔබ්බට ගොස් ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය වන්නා වු ප්‍රතිසංස්කරණ මෙන්ම ගෝලීය ආර්ථිකයත් සමඟ මෙරට ගැටගැසීම වැනි ප්‍රතිසංස්කරණ කළ යුතුය යන කාරණාව මෙහිදී ඉදිරිපත් කර ඇත.

මෙම මහ බැංකු වාර්තාවේ සවිස්තරාත්මක තොරතුරු ප්‍රමාණයක් මහජනතාවට සම්පිණ්ඩනය කර ඇත. මේ අර්බුදය තේරුම් ගැනීම හා අර්බුදයට විසඳීමට ගෙන ඇති තීන්දු තීරණ මොනවාද යන කරුණ පිළිබඳ දැනුම්වත් වීම වැදගත් වෙයි. මෙහි ආර්ථිකයේ ඇති ගැටලු පිළිබඳ ස්වාධීන මතයක් පළ කර ඇත. වැරදුණ තැන් නිවැරැදි කරගත යුත්තේ කෙසේද? එසේ නොකළොත් කුමක් වෙයිද යන කරුණ මෙහි සඳහන් කර ඇත.

මේ ක්‍රියාමාර්ග ඉදිරියේදී අනුගමනය නොකිරීම තුළ එහි ප්‍රතිවිපාකය මහජනතාවට ඍජුවම සන්නිවේදනය කිරීමට සිදු වෙයි. මහජනතාව මෙන්ම දේශපාලන පක්ෂ ද එය තේරුම් ගත යුතුය. බරපතළ සුබසාධනවාදී ප්‍රතිපත්තිවල ඇති දැඩි භයංකාර තත්ත්වය මහ බැංකු වාර්තාවල ඉදිරිපත් කර ඇත. ආර්ථිකය ව්‍යසනයක් කරා ගමන් කිරීමට දිගින් දිගටම ලබාදෙන සහනාධාර දේශපාලන තීන්දු තීරණ හේතු වේය යන කාරණාව මූලික වශයෙන්ම පැහැදිලි කර ඇත. නිදහසින් පසුව මහ බැංකුව පළමු වතාවට ආර්ථිකය පිළිබඳ ස්වාධීන අර්ථ දැක්වීමක් මෙවර සිදු කර තිබේ. මෙවැනි විශ්ලේෂණ ඉතා වැදගත් වෙයි.

අපේ ආර්ථිකය මහා ප්‍රපාතයකට තල්ලු වීමට ඉඩ නොදී ගලවා ගැනීමට මහජනතාව මේ අර්බුදය තේරුම් ගත යුතුය. ජනප්‍රිය සුබසාධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතු නැත. ඒ පිළිබඳ ජනතාව මෙන්ම පොරොන්දු දෙන දේශපාලනඥයෝ ද දෙවරක් කල්පනා කළ යුතුයි යන පණිවුඩය ලබා දී ඇත. දේශපාලනඥයෝ ඒවා පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව තීන්දු තීරණ ගැනීම පිළිබඳ නැවත කියවා බැලිය යුතුය. දත්ත මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තිකරණයකට සහ විශේෂඥ මත මත පදනම් වූ ගමනකට යා යුතුය. අත්‍යවශ්‍ය ජන කණ්ඩායම් සඳහා පමණක් සුබසාධනය සැලසිය යුතුය.

ඉතා කෙටි කාලයක් තුළ මේ ප්‍රතිසංස්කරණ කළ යුතුය. අවම වශයෙන් 2030 වන විට යම් ධනාත්මක ආකාරයකට වර්ධනය වන තත්ත්වයකට ආර්ථිකය පෙරළිය යුතුය. ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත. මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට ජනතාව ද සහාය ලබා දිය යුතුය. මෙය අසාර්ථක වුවහොත් රටේ අනාගතයට සියලු දෙනාම වගකිව යුතුය. 2022 පෙර තිබූ දේශපාලන සංස්කෘතිය තවදුරටත් වලංගු නොවන බව අප තේරුම් ගත යුතුය. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් සියල්ල නොමිලයේ දෙන මානසිකත්වයකින් මිදී ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ යුතුය. ඒ හරහා රටට සිදුවී ඇති විනාශය දෙස අවධානය යොමු කර මේ අර්බුදයෙන් ගොඩඒමට අවශ්‍ය වන දිශානතියට රට ගමන් කරවීමට සියලු පාර්ශ්ව තමන්ගේ සහයෝගය ලබා දිය යුතුය.

Comments