පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

හින්දි අධ්‍යයනයට ‘හින්දි බසට පහසු මගක්’

කෘතිය - හින්දි බසට පහසු මගක් 
පර්වර්තක - එස්.ජී. විවේකා සමරසිංහ 
ප්‍රකාශක - කර්තෘ ප්‍රකාශනයක් 
මිල- රු 2,700 
දුරකතන අංකය - 077 9086577

' හින්දි බසට පහසු මගක් ' කෘතියේ පර්වර්තනය කළ විවේකා සමරසිංහ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියකි. 1976-1979 කාලය තුළ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවේදී ඇය හින්දි භාෂාව විෂයක් වශයෙන් හැදෑරුවාය. මෙය EMKAY POCKET DICTIONARY නමැති මුල් කෘතිය අනුසාරයෙන් සකස් වී ඇති කෘතියකි. ඉංග්‍රීසි, සිංහල හා හින්දි යන ‌ෛත්‍රයිභාෂාත්‍රයෙන් සකස් වී ඇති ලේඛනයක් වන හෙයින් මෙය ත්‍රයිභාෂික ශබ්දකෝෂයක් වශයෙන් ස්ව උත්සාහයෙන් භාෂාව හදාරන සිසුන්ට පමණක් නොව විද්වතුන්ට ද එකසේ මහෝපකාරී වන ග්‍රන්ථයකි. මේ ග්‍රන්ථය පරිශීලනය කරන්නෙකුට ඉංග්‍රීසියෙන් වුව ද හින්දි භාෂාව හැදැරීමට අවකාශය ලැබෙයි. විවේකා සමරසිංහ විසින් මෙම හින්දි ශබ්දකෝෂය සිංහලට පරිවර්තනය කිරීම ආරම්භ කර ඇත්තේ 2002 වසරේදි වන අතර අවසන්ව ඇත්තේ 2011දී. මෙහි ඉංග්‍රීසි හා හින්දි අර්ථ පමණක් දහදාහක් ඇති අතර, සිංහල අර්ථ සමඟ වචන විසි දහසකට ආසන්න ප්‍රමානයක් අන්තර්ගතව ඇත. ඇය පවසන පරිදි මෙම ශබ්දකෝෂයේ ඇත්තේ හින්දුස්ථාන පොදු ව්‍යවහාරයේ යෙදෙන සරල වචනය. ඇයට මෙය කෘතිය පර්වර්තනය කිරීමේ කාර්යයේදී භාරතයේ වියතුන් විසින් රචිත ශබ්දකෝෂ විශාල පිටුවහලක් වී ඇති අතර, ඉංග්‍රීසි බසින් වූ ශබ්දකෝෂ ද අත්වැලක් වී ඇත.

'හින්දි බසට පහසු මගක් ' ශබ්දකෝෂය අධ්‍යයනයට පහසුවන පරිදි වචන පෙළ ගැස්ම සිදුකර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ ආකාරාදි පිළිවෙළටය. මුලින් ඉංග්‍රීසි වචනය, අනතුරුව ඊට අදාළ හින්දි වචනය හා තේරුම මෙන්ම සිංහල වචනය හා තේරුම ආදි එක්තරා පිළිවෙළකට වචන අපූරුවට ගොනු කර ඇත. පිටු 606කින් සමන්විත වන මෙම ග්‍රන්ථය පරිශිලනයට පහසුවන ආකාරයට සකස් කොට තිබීම විශේෂත්වයකි.


‘රැය’ කාව්‍ය සංග්‍රහය

කෘතිය - රැය කාව්‍ය සංග්‍රහය 
කර්තෘ - කුරුඳුකුඹුරේ නන්දසිරි 
සංස්කරණය - එස්. බී බුද්ධික සුදසිංහ 
මුද්‍රණය - ස්ටැට් ෆොටෝ, මිගමුව 
දුරකතන අංකය - 077 4034984 / 037 3377979

කුරුඳුකුඹුරේ නන්දසිරි විසින් රචිත කාව්‍ය සංග්‍රහයක් වූ ' රැය ' කාව්‍ය සංග්‍රහය ඔහුගේ අලුත්ම කෘතියයි. මින් පෙර ජාතක කතා-1, ජාතක කතා -2 වැනි ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කර ඇති කර්තෘගේ මෙම කාව්‍ය නිර්මාණය සංස්කරණය සිදුකර ඇත්තේ නීතිඥ එස්. බී බුද්ධික සුදසිංහය. ඔහු විසින් තම පියා වූ කුරුඳුකුඹුරේ නන්දසිරිගේ සුවිශාල කවි පන්ති අතරින් සුළු ප්‍රමාණයක් තෝරා ගනිමින් මෙම කාව්‍ය නිර්මාණය සංස්කරණය කර ඇත.


පියදස් කල්පගේ ගේ ‘නිලඹර’

කෘතිය - නිලඹර 
කර්තෘ - පියදස් කල්පගේ 
ප්‍රකාශක - සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 
දුරකතන අංකය - 071 6894633/ 041 2221380 
මිල රු 450

බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවන් පිළිබඳ ලියූ කර්තෘගේ තුන්වැනි පද්‍ය නිර්මාණ සංග්‍රහය මෙය වෙයි. කලාභූෂණ රාජ්‍ය සම්මානලාභියෙකු වන ගාල්ලේ පියදස් කල්පගේ කොළඹ යුගයේ නව පරපුරේ වියත් කවියන් අනුගමනය කරන්නට මේ කාව්‍ය නිර්මාණය හරහා උත්සහ ගෙන ඇත. මොහුගේ 'නිලඹර'පද්‍ය නිර්මාණ සංග්‍රහයේ විශේෂත්වයක් වන්නේ රසයට හානියක් නොවන පරිදි, පද විකෘති කිරීමකින් තොරව අග සිට මුල එළිසමය රකිමින් කවි ලිවීමයි.


‘මියගිය හෘද සාක්ෂිය’ කාව්‍ය සංග්‍රහය

කෘතිය - මියගිය හෘද සාක්ෂිය 
කර්තෘ - ඒ.ජේ.ඒ. අබේනායක 
ප්‍රකාශනය හා බෙදාහැරීම - ඒ. ජේ. ඒ. අබේනායක, උස්වැටකෙයියාව 
දුරකතන අංකය - 077 6775140 /070 6775140 
මිල රු 300

'මියගිය හෘද සාක්ෂිය' කාව්‍ය සංග්‍රහය කර්තෘගේ ප්‍රථම කවි පොතයි. මෙයින් කැකෑරෙන සමාජ ප්‍රශ්න සමුදායක් සහෘදයා හමුවේ මුදාහැර තිබේ.

සමාජයේ කැකෑරෙන සමාජ ප්‍රශ්න, ඒවාට විසඳුම් ඇත්ද, විසඳුම් ලබාදීමට පාලකයින් සමත් වී ඇත්ද ආදි සමාජයේ පවතින යථාර්ථය අපූරුවට සිය කවි පන්තීන් හරහා විග්‍රහ කෙරෙන අතර සමාජයේ වැඩිපුර කතා නොකරන පීඩාවට පත් වූ පන්තීන් ගැන ද කාව්‍ය නිර්මාණ හරහා අපූරු විග්‍රහයක් කිරීමට හැකි වී ඇත.

Comments