සව් කඩදාසි ඉරටු සරුංගල් බිමට බාද්දී චීන සරුංගල් උඩ යන හැටි | සිළුමිණ

සව් කඩදාසි ඉරටු සරුංගල් බිමට බාද්දී චීන සරුංගල් උඩ යන හැටි

සුගිය සතියක ඉන්දියාව අභ්‍යවකාශය ජයගත් බවට ලෝක ප්‍රජාවම බලා සිටියේ මවිතයට පත්වෙමිනි. ඒත් 1957දී යූරි ගගාරින් උඩුගුවනට යවා රුසියාව ඉතිහාසගත විය. එහෙව් රුසියාවම 'ලයිකා' නමැති බැල්ලියක උඩුගුවනට යවා මහත් පෙරළියක් කළේය. ඒත් මේ අභ්‍යවකාශ තරගයට තරගයක් දෙමින් අපේ ඇත්තකු අභ්‍යවකාශය ජය ගත්තේ බල්ලකු උඩුගුවනට යවා අපේ හැටියට වාර්තාවක් තබමිනි. මේ පුද්ගලයා වස්කඩුවේ ජීමන් වීරසිංහය. ඔහු මෙම බල්ලා සහිත කූඩුව උඩුගුවනට යැවූයේ වස්කඩුව මුහුදු තීරයේ සරුංගල් 20ක් එක්කොට උඩුගුවනට යවා බල්ලා සහිත කූඩුව එම නූලටම ගැටගැසීමෙනි.

පසුගිය වසරේ ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ අතර මෙම අරගලකරුවන්ට විසිර යන ලෙස නියෝග නිකුත් කෙරුණේ පසුගිය වසරේ අගෝස්තුවේ මුලදීය. එයින් වඩාත් ප්‍රමෝදයට පත්වූයේ මෙරට සරුංගල් යවන්නන්ය. ලංකාවේ කොළඹ සරුංගල් යැවීමට නම් දරාපු පාරාදීසය ගෝල්ෆේස් එකය. සරුංගල් යැවීමෙන් මෙරට භාෂාවට එක්වූ වචනයක් තිබේ. එනම් 'කූරියා ගැසීම'ය. නූල කැඩී හෝ පොට පැටලීමෙන් පොළොවට එන සරුංගලය පොළොවේ හොට බිම ඇන ගන්නවාට කියන්නේ 'කූරියා ගහනවා' කියාය. අන්තිමට සරුංගල් ගහන්නට නම් දරාපු ගෝල්ෆේස් පිටිය අල්ලන් හිටපු අරගලකරුවන්ගේ අරගලය ද 'කූරියා ගසා' ජන්මාන්තරගත විය.

ගෝඨාභය ජනපති යුගයේ ඩොලර් හිඟ වීම නිසා ආනයනික භාණ්ඩ 30ක් තහනම් කරන ලදි. එහිදී එක් තහනම් ආනයනික භාණ්ඩ ප්‍රවර්ගයක් වූයේ Toys නමැති වර්ගීකරණයයි. අපි දන්නා හා තේරෙන භාෂාවෙන් ටෝයිස් කියන්නේ සෙල්ලම් බඩු ය. ආනයනික සරුංගල් වර්ගීකරණයට ලක් වූයේත් Toys යනුවෙන් නිසා චීන ආනයනික සරුංගල් ද තහනමට ලක්විය. චීන සරුංගල් තහනමට ලක්වන විට කුඩා සරුංගලයක් රුපියල් 50/=කට පමණ මිලදී ගත හැකිව තිබුණි.

චීන සරුංගල් රුපියල් 50/= ගත හැකි නිසා බොහෝ දෙනා සරුංගල් හදන්න බට කපන්න, කිතුල්පිති කපන්න, සව්කොළ ගේන්න, සව්කොළ අලවන්න පාප්ප ඩප්පි ගේන්න ගියේ නැත. කඩයෙන් රෙඩිමේඩ් සරුංගලයක් අරන් හිටන් පොඩි එකාට දුන්නේ සුටුස්ගාලාය.

එහෙත් එහෙවු චීන සරුංගලය උඩ ගියේ අප ලජ්ජාවට පත්කරමින් අපට හොඳ සරුංගල් ඉතිහාසයක් තිබූ බවට අවඥාවෙන් සිනාසෙමින් විය යුතුය. චීන සරුංගලය උඩයන අතීතය දත් වැඩිහිටියන් විස්සෝප වූයේ මෙසේ විය යුතුය.

“ඒ සන්දියේ අපි ගොයම් කැපුවාම අපිම තරගෙට හදපු සරුංගල් නියරේ ඉඳන් උඩ ඇරියා. අපි ඒ කාලේ සරුංගල් හදනකොට ඉගෙන ගත්තේ මෝස්තර විවිධත්වය, ලලිත කලා කුසලතා, සුළඟේ ප්ලාවිත බලය ඒවා මුකුත් දැන් ළමයි දන්නෑ සරුංගල් හදන්නැති නිසා.”

මෙවර සරුංගල් වාරයට අප ලිපිය ලියන්නට වැඩ ඇල්ලුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රඟහල ළඟිනි. රඟහල අසල පදික වේදිකාවේ විවිධාකාරයේ සරුංගල් අලෙවියට තබා තිබුණි. එතැන සරුංගල් අලෙවියේ නියුතු වූයේ රාජාය.

“මං අවුරුදු පහේ ඉඳල සරුංගල් හදල මෙතැන විකුණනවා. මං දැන් අවුරුදු 50කට වැඩිය මෙතැන සරුංගල් විකුණනවා. මං පොඩිකාලේ ඉඳන් විකුණන්නම තමයි සරුංගල් හැදුවේ. වැඩේ පටන් ගන්න කාලේ සව ්කොළයක් සතයක්වත් නෑ. ඔය කියන කාලේ මේ නුගේගොඩ ඕන තරම් බට ගස් තිබුණා.”

චීන සරුංගල්වලින් බිස්නස්වලට තරගයක් නැත්ද?”

“ඒවා එකම ඩිසයින් එකකට එන්නේ. ඒවගේ ද අපේ ඒවා කියන ඕන ඩිසයින් එකකට හදල දෙනවා.”

“දැන් ඔය සරුංගල් හදන හැටි අලුත් කොල්ලන්ට කියල දෙන්නෙ නැද්ද?”

“හරිම ආසයි කියල දෙන්න. මෙතැන සරුංගල් හදන හැටි සමහර ඉස්කෝල ළමයි වටවෙලා බලන් ඉන්නවා. සමහරු ෆේස් බුක් දාලත් තිබුණා”

“ඔය අඩියක් විතර උස 'වවුල්' සරුංගලයක් කීයද?”

“ඒක තමයි අඩුම රුපියල් 350/=යි. අඩි 7 - 8 උස මොනර සරුංගල් හදනවා හත්අටදාහක් වෙනවා. වැස්සොත් බිස්නස් සවුත්තු වෙනවා.”

අප මේ කතා කළ රාජා වැනි සීසන් එකට එළියට බහින 'වැඩකාරයින්' ආණ්ඩුවෙන් කිසිම සහනයක් නැතුව කිහිප දෙනෙකුට රැකියා ලබා දී කුටුම්බ සංරක්ෂණයේ යෙදෙන අන්දම විස්මය ජනකය.

“සරුංගල් කාලෙට සරුංගල් හදල විකුණනවා. වෙසක් කාලෙට වෙසක් කූඩු හදනවා. තරුපහේ හෝටලයක, බැංකුවක වෙසක් කූඩු ඕඩරයක් ගත්තොත් ගොඩේ ගොඩ. නත්තල් කාලෙට ගවලෙන් වගේම නත්තල් ගස් හදනවා. අවුරුද්ද පුරා වැඩ තියෙනවා. කවදාවත් කෙනෙක් යටතේ රස්සාවක් කරලා පුරුද්දක් ඇත්තේම නැහැ.”

ලංකාවේ සරුංගල් පුරාණය ගැන නිශ්චිතව ලේඛනගත නොවූවත් සරුංගලය මුලින්ම නිර්මාණය වූයේ ක්‍රි.පූ. 5 වැනි සියවසේ බව සඳහන්ය. බටහිර මතය වන්නේ ග්‍රීක ජාතික විද්‍යාඥයකු වූ ටැරෙම්ටම්හි ආකිටස් මෙකී සරුංගලයේ නිමැවුම්කරු වූ බවය. ඇතමුන්ගේ මතය වන්නේ ඉංගිරිසියෙන් සරුංගලයට Kite යන පදය යෙදීමට ද ආකිටස් නාමය මහෝපකාරී වී ඇති බවය. කොරියාව, චීනය, ජපානය, මලයාව ආදී රටවල සරුංගල් යැවීම ආවේණික සාම්ප්‍රදායික විනෝදාංශයක් වී ඇත. පවුලේ සියල්ලෝම සරුංගල් යැවීමට එක්වෙති. තරගකරුවන් උනුන් පරයා තරග කිරීමේදී (Kite Fighting) සරුංගල් රැල්වලට වීදුරු කටු හෝ පිඟන් කටු අලවා ඉහළ යවති. එසේ කරන්නේ තරගකරුවන්ගේ සරුංගල්වල රැල් කපා දැමීමේ අරමුණෙනි.

සොලමන් දූපත්වල වැසියෝ සව්කොළවලින් සාදාගත් ත්‍රිකෝණාකාර සරුංගලයක අගට ඇමිණූ එල්ලෙන වැලක අගිස්සෙහි හොඳින් ඇලවෙන මකුළුදැල් ගුළියක් ඇම ලෙස අලවා මාළුන් ඇල්ලීමට යොදා ගනිති. ඒ සරුංගල් මාළු ඇල්ලීම නම් අපට තාමත් ආගන්තුකය.

බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ සරුංගල් ගැන අතීත උරුමයක් අපට ඇත්නම් පැරණි බිතු සිතුවම්වල අපේ හෙළයන්ගේ සරුංගල් ගැන කිසිදු චිත්‍ර සටහනක් නැත්තේ ඇයිද යන පැනයයි. සරුංගල් රසිකයන්ගේ මේ අතීත උරුමයට පිහිටට එන්නේ තන්තිරිමලේ පුරාණ ලෙන් විහාරයේ සෙල්ලිපියක තවමත් පුරාවිද්‍යාඥයන් හඳුනා නොගත් සලකුණකි. 'කයිට්ස් ශ්‍රී ලංකා' සංවිධානය නිර්වචනය කොට ඇත්තේ එය සරුංගලයක රූපයක් බවය. සිංහලයා පැවත එනවා යැයි කියන විජය රජුටත් එහා ඉතිහාසය ගැන කියවෙන රාවණා රජු දඬුමොණරය නිපදවීමට සිද්ධාන්තය රැගෙන ඇත්තේ එවක සරුංගලයකින් බව මෙම විද්වතුන්ගේ සනාථ නොවූ මතවාදයකි.

ලංකාවේ පුවත්පත් ආයතන පැවැත්වූ සරුංගල් තරග අතරින් මුල්ම සරුංගල් තරගය ලෙස ලේඛනගතව ඇත්තේ හැටේ දශකයේ 'දවස' කොම්පැනිය පැවැත්වූ සරුංගල් සැණකෙළියයි. එහි ප්‍රචාරක නිලධාරියා ලෙස කටයුතු කොට ඇත්තේ නාරද දිසාසේකරය. නාරද පසු කලෙක වඩාත් ජනප්‍රිය වූයේ ගායකයකු වශයෙනි.

2014දී මෙරට සරුංගලය භාවිතය අර්ථාන්විත අරමුණක් වෙත ගොනු කෙරෙනු දක්නට ලැබුණි. එහිදී නිර්වචනය වූයේ සරුංගලය යනු සාමයේ සංකේතයක් ලෙසය. එවකට ලංකාවේ ජනාධිපතිවයා ජාතින් අතර සමගිය නැංවීමේ අරමුණෙන් ගාලුමුවදොර වෙරළ තීරයෙන් සරුංගලයක් අහසට නැංවූ වේලාවේම එවකට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර සිං මෝදි ද නවදිල්ලියෙන් ආකාසයට සරුංගලයක් යැවීම අදට ද ඓතිහාසික සිදුවීමක් වී තිබේ. 2014 අගෝස්තු මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වුණු ජාතික භාෂා ඒකාබද්ධතා සතිය නිමිති කර ජාතික මට්ටමෙන් ලංකාවේ ස්ථාන 9ක සරුංගල් වැඩමුළු පැවැත්විණි. 19 වැනිදා ගාලුමුවදොර ඇතුළුව ලංකාවේ ස්ථාන හතකරදී, සරුංගල් සිය ගණනක් අහසට නැංවිණි. අගෝස්තු මාසයේ 30, 31 මීගමු වෙරළ තීරයෙන් ද එසේ සරුංගල් අහසට නැංවුණේ එම ක්‍රියාදාමයෙහිම කොටසක් ලෙසිනි. කයිට්ස් ශ්‍රී ලංකා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව මෙම කටයුතු මෙහෙයවා තිබේ.

අහසට මුදාහරින මේ සරුංගල් මෝස්තර හා හැඩරුව අතින් බලද්දී, ලංකාව පුරා ප්‍රදේශයෙන් ප්‍රදේශයට බරපතළ වෙනස්කම් නොවෙතත් කපුටු හැඩයේ සරුංගල් මොරටුවට ආවේණික ඒවාය. කලෙකට ඉහත යාපනයේ සරුංගල් ද ඒ ප්‍රදේශයටම ආවේණික ලක්ෂණ කැටි කර ගනිමින් අහසට නැඟුණ ඒවා බවට අද බොහෝ දෙනකුට අමතකව ඇත. අපේ රටේ වී ගොවිතැනත් ඒවා නෙළා ගැනීමෙනුත් පසු වෙල්එළියේ සරුංගල් යැවීමත් එකට බද්ධ වී ඇත්තේ ඓතිහාසිකවය. එහෙත් අපේ සමාජයේ රාත්‍රී ජාමයේ සරුංගල් අරින ගොවීන් ගැන අප අසා නැත. අපේ ගොවීන් මෙන් නොව ජපන් ජාතිකයන් සරුංගල් යවනු ලබන්නේ සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන්. අඳුර වැටුණ පසුවද සරුංගලයක් ඉතා හොඳින් උඩ යමින් තිබෙනවා නම් එම සරුංගලය හිමි තැනැත්තාගේ අස්වැන්න සරුවන බව ඔවුහු විශ්වාස කරති. එසේම ජපානයේ ඇතැම් පළාත්වල අලුත දරුවන් උපන් මවුපියන්ට සුබ පැතීම සඳහා ද සරුංගල් දෙන පුරුද්දක් ඇත.

මෑත කාලයේ ලංකාවේ දැවැන්තම සරුංගලය නිපදවා අහසට යවා ඇත්තේ මුල්ලේරියාවේ තරුණයන් පිරිසකි. ඒ මීට වසර 23කට පෙරය. මේ සරුංගලයට මුල්වී ඇත්තේ සමන් දේවප්‍රිය ඇතුළු මුල්ලේරියාවේ එවකට තරුණ පිරිසකි. මෙම සරුංගලය අඩි 12ක් උස අතර පළල වී ඇත්තේ අඩි 10කි. මේ සඳහා යොදාගෙන ඇත්තේ උණ ලී වෙනුවට කිතුල් පටි හොඳින් වේළා ගෑමෙන් පසුවය. මෙම යෝධ නයාගේ නැට්ටේ දිග පමණක් අඩි 1200ක් වී ඇත. මුල්හරියේදී නැට්ටේ පළල අඩි 4ක් වී ඇත. මෙම යෝධ නයා අහසට නැංවීමට යොදාගෙන ඇත්තේ නැව් කඹයකි. කිලෝමීටරයක් දිගට ඇද ඇති මේ නැව් කඹය දහය බැගින් 60 දෙනෙක් එකවර ගුවනට ඇදීමෙන් මෙම දැවැන්ත නයා සරුංගලය උඩුගුවනට නංවා ඇත. ඉන්පසු දිනක මෙම දැවැන්ත නයා සරුංගලය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ ගුවනට නංවා ඇති අතර එදා ගහක පැටලීමෙන් නාගයාගේ නැට්ට කැඩී ගොස් ඇත.

කොරෝනාවෙන් පසු මෙරට ජනජීවිතයේ විනෝදාංශ වෙනස් වුණාක් මෙන්ම සරුංගල් යැවීමේ විනෝදාංශය ද වෙනස් වී ඇත. කොතරම් ආනයනික සෙල්ලම් බඩු තහනම් කොට ඇති බව කීවත් පිටකොටුව තොග වෙළෙඳපළට ගිය අපට තොග කඩ පිරී ඉතිරී යන්නට ඒවා ගොඩගසා තිබුණි. මෙච්චර තහනමක් තියෙද්දීත් පිටකොටුවට මේ ආනයනික විසිතුරු සෙල්ලම් බඩු එන්නේ කොහොමදැයි අපට ඇතිවූයේ ප්‍රශ්නයකි.

“දැන් ගොඩක් අය ඉන්දියාවෙන් නැත්නම් චීනෙන් බැගේජ් දාලා ගේනවා තමන්ට අතේ අරන් එන්න පුළුවන් විදිහට. ඒත් නැත්නම් උණ්ඩියල් සිස්ටම්වලට සල්ලි රට යවල මේ බඩු ගේනවා. බඩු ඩිමාන්ඩ් නිසා සියයට දෙතුන් සීය ලාභ තියල තමයි විකුණන්නේ.”

මේ විසිතුරු භාණ්ඩ ඇති තැන් අතර වඩාත් ජනප්‍රිය ස්ථාන වූයේ රැජින වීදිය, චයින ස්ට්‍රීට්, මැලිබන් වීදිය, පීපල්ස් පාක් හා පැරණි නගරශාලා ගොඩනැඟිල්ලයි. මේ බොහෝ තැන්වල ලංකාවේ හදන ලද සරුංගල් ද තොග පිටින් දැකගත හැකි විය.

ලංකාවේ බටපතුරු, ඉරටු දමා සව්කොළ හෝ තෙල්කොළ ඇලවූ වවුලා සරුංගලයක මිල රුපියල් 350/=කි. අඩි 4ක් පමණ උස ඉංගිරිසි කොඩිය තාලයට ඇලවූ ටිකක් බර සරුංගලයක් රුපියල් 800/=සිට විවිධ මිල ගණන්වලට අලෙවියට තබා තිබුණි. පීපල්ස් පාක් එකේ, මැලිබන් වීදිය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ සරුංගල් හදන අමුද්‍රව්‍ය ඇති ස්ථාන ලෙසය. සරුංගල් බඳින ටුවින් නූල - උඩඅරින නයිලෝන් නුල් - දැති හැඩයට තෙල්කොළ - සව්කොළ කපන කතුරු මෙන්ම ගම් ඩප්පි මේ වැනි සරුංගල් හදන අමුද්‍රව්‍යයයි. සරුංගල් අටුව හදාගත් පසු එය වර්ණවත් කරන්නට ක්‍රේප් කොළ, විනිවිද පෙනෙන සෙලෝපේන් කඩදාසි, සව්කොළ මෙන්ම තෙල්කොළ ද මේ අතර ඇත.

“වෙනදාට නම් මේවා මෙලහකටත් ඉස්කෝලෙ යන ළමයි අරන් ගිහින් සරුංගල් හදන්න පටන් අරන්. ඒත් දැන් ළමයින්ට මේවා ගානක් නැහැ. නිතරම ෆේස්බුක් තමයි. කඩෙන් චීන සරංගලයක් අරන් ගිහින් තමන් හැදුවයි කියල දාගන්නවා.”

කොළඹ තොග වෙළෙඳපළ නිරීක්ෂණය කළ විට අපූරු අලුත් චීන සරුංගලයක් ද අපට දැකගත හැකි විය. එහි ඇති කුඩා ස්විච් එක දමා සරුංගලය උඩ අරින විට එයින් අමුතුම ආකාරයේ කුඩා LED විදුලි බුබුළු බුදුරැස් මාලාවක් මෙන් නිවෙමින් පත්තු වෙමින් ආලෝකවත් වන අතර චීන සංගීත රාවයක් ද මඳ පවනේ සරුංගලය දෙසින් ඇසෙන්නේ චමත්කාරජනක ලෙසය.

මේ විසිතුරු භාණ්ඩ විකුණන තොග වෙළෙන්දන් අපට කියා සිටියේ බොහෝ විදේශිකයන් තමන්ගෙන් ලංකාවේ බතික් සරුංගල් ඉල්ලා සිටින බවය.

“මේක විදේශ විනිමය ගේන්න පුළුවන් ඉල්ලමක්. ලංකාවේ තරම් ලස්සන සරුංගල් හදන්නේ නෑ කොහේවත්. ඊටත් වැඩිය ලංකාවේ සරුංගල් කැටයම්වලට චීන සරුංගල්වලට තරග කරන්න බෑ. චීන ඒවා බර නෑ. උඩ යන්නේ නෑ. ලංකාවේ කිතුල් පිත්තෙන් හදපු සරුංගල් තමයි සුද්දෝ ඉල්ලන්නේ.”

සරුංගල් කියන්නේ අප හිතන තරම් සරල නිර්මාණයක් නොවේ. ඈත අතීතයේ කොරියානු ජෙනරාල්වරයෙක් තම සේනා ප්‍රබෝධවත් කිරීමට සරුංගල් යොදා ගත් බවක් ද කියැවෙන අතර, ඈත අතීතයේ තවත් ‍ෙජනරාල්වරයෙක් දිය පහරක් හරහා ගිය සරුංගලයක් මුල් කරගෙන පසුව ඒ දිය පහර හරහා සරුංගලයේ නූල ගිය මඟ ඔස්සේ රේඛාවක් සේ කේබලයක් යෙදූ බවත්, මෙය පාලම් කර්මාන්තයේ උපත සටහන් කළ බවත් කියැවේ. මෑතකදී තම ගමේ තනියෙන් ඇළක් කැපූ සියදෝරිස් ගැන නාටකයක් මහරගමදි පෙන්වන ලදි. කතා තේමාවට අදාළ සියදෝරිස් නාට්‍ය බලන්නට පැමිණ සිටියේය. ඔහු මා සමඟ කියා සිටියේ ඇදළ කපන නිවැරැදි ඉසව්ව තමා සොයා ගත්තේ ඇළ ගඟට වැටෙන තැන සිට සරුංගලයක් යවන අන්තය සටහන් කර ගැනීමෙන් බවය.

අපේ රටේ නම් සරුංගල් යැවීම සැණකෙළියක් බවට පත්වූයේ මෑත කාලයේදීය. අද වනවිට ලෝකය පුරා ජනප්‍රිය ක්‍රීඩාවක් වන සරුංගල් යැවීම විවිධ ආකාරයෙන් සිදු කරනු ලැබේ. වාතයට වඩා සැහැල්ලු හා වාතයට වඩා බර ආදී ලෙසට සරුංගල් වර්ග කරනු ලැබේ. අප දන්නා කියන සරුංගල්වලට අමතරව වායු පුරවනු ලබන 'කයිටූන්' නම් බැලුන් වර්ගය ද සරුංගල් වර්ගීකරණයට අයත් වන ඒවාය. සරුංගල් ගැන කළ හැකි විග්‍රහයක් නම් මෙරට තවමත් ක්‍රීඩාවක් ලෙස දියණු කොට නැති බවය. නිසි ක්‍රමවේදයක් මත සරුංගල් ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත කළොත් එයට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ද අබිබවා යා හැකිය. පිටරටවල කයිට් සර්ෆින්, කයිට් ෆයිටින් වැනි තරග පවා පැවැත්වේ. කයිට් සර්ෆින් යනු අහසට යැවුණු සරුංගලයක එල්ලී, සිදු කරන දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවකි. කයිට් ෆයිටින් නම්, සරුංගල් මාට්ටු දැමීමයි. ක්‍රීඩාවක් ලෙසින් තවමත් අපට නුහුරු වුවද, සරුංගල් කිහිපයක් සැරිසරන තැනක මේ මාට්ටු දැමීම අදටත් සිදු වේ. කුඩා කල සරුංගල් යවද්දී, මේ 'කයිට් ෆයිටින්' ලෙසින් අප කළේ බ්ලේඩ් කුඩාවට කඩා නයිලෝන් නූල් පොට අතරට තබා සරුංගලයට නූල් දීමය. ඝනකමින් වැඩි නයිලෝන් නූලක් දිගේ අහසට නැඟුණු සරුංගලයක් වුවත්, මේ ප්‍රහාරක බ්ලේඩ් උපක්‍රමයෙන් කැපී යයි. එවැනි විටක, නූල කැඩුණු සරුංගලය දිව යන අත ඔස්සේ දුවගොස් අයිතිකරුවන්ට පෙර එය ඩැහැ ගැනීම තරගයේ ප්‍රධාන තේමාවය. කෙසේ නමුත් සරුංගල් ක්‍රීඩාව අද බාල ළමුන් අතරට එක්වී ඇතත් එය වැඩිහිටි පරම්පරාව තමන් වෙත පවරා ගතහොත් ලංකාවේ සරුංගල් ක්‍රීඩාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති කිරීමට හේතු වනවා නොඅනුමානය.

Comments