
භාවනාව තරමක් දුරට මානසික අම්ලයක් වන අයුරු අපි පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එසේම විපස්සනා භාවනාව ක්‍රීඩාවක් නොවන බවද දැනගත යුතුය. පැහැදිලි දැනීම (අවදිමත් බව) ආශ්වාදජනක විනෝදාංශයකට වැඩි යමකි. එය ආශාවෙන් හා ද්වේශයෙන් සැදුණ මඩ ගොහොරුවේ එරී සිටින අප ඉවතට ඔසවා රැගෙන යන මාවතයි.
ඔබගේ ජීවිතයේ වඩා අසුන්දර පැතිවලට මෙම දැනීම පාවිච්චි කිරීම වඩාත් පහසුය. දැනීමේ උණුසුම් රශ්මි කදම්බයට හසු වී දියවී යන බිය හා මානසික පීඩනය දකින ඔබට එම ක්‍රියාවලිය නැවතත් සිදුකිරීමට අවශ්‍ය වනු ඇත. ඒවා රිදුම් දෙන, අමිහිරි චිත්ත ස්වභාවයන්ය. පීඩාකාරී එවන් දේ පලවා හැරීමේ අවශ්‍යතාව තිබේ. සැබෑ ආදරය, මවුපියන්ගේ රැකවරණය හෝ දේශානුරාගය වැනි ඔබ රඳවා ගැනීමට ආශා කරන ස්වභාව සඳහා එම ක්‍රියාවලියම අනුගමනය කිරීම වඩාත් අසීරුය. නමුත් එය අවශ්‍යය. ඍණාත්මක බැඳීම් හා සමානවම ධනාත්මක බැඳීම් ද ඔබව මඩ ගොහොරුවේ රඳවයි. වෙහෙස දරා විපස්සනා භාවනාව පුරුදු කරන ඔබට පහසුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට හැකිවන දුරට මඩෙන් ඉවතට පැමිණිය හැකිය. නිර්වාණයට යන මාර්ගය විපස්සනා භාවනාව පුහුණු කිරීමයි. මෙම උදාර අරමුණ කරා දුක් මහන්සි වී ළඟා වූවන්ගේ වාර්තා දෙස බැලූ විට, ඒ සෑම ප්‍රයත්නයක්ම ඵල දරා ඇති බව පැහැදිලිය.
දැන් භාවනාවේදී අපට වඩාත් වැදගත් වන සිහිය ගැන අවධානය යොමු කරමු.
පාලි බසින් “සති” යන්නෙහි සිංහල තේරුම “සිහිය” යි. සිහිය ක්‍රියාකාරකමකි. සැබැවින්ම එය කුමක් ද? වචනයෙන් එය නිවැරදිව ප්‍රකාශ කිරීම අපහසුය. සිතේ සංකේතාත්මක මට්ටමෙන් වචන සෑදෙන අතර, සංකේතාත්මක චින්තනය වචනයන් විස්තර කරනු ලබයි. සිහිය පූර්ව සංකේතාත්මක අවස්ථාවයි. එය තර්කනයේ විලංගුවලට හසුවී නැත. කෙසේ වෙතත්, සිහිය වඩාත් පහසුවෙන් අත්දැකීමට හැකිවන අතර, “වචන” සඳ දෙසට දිගු කරන ඇඟිලි පමණක් බව මතක තබා ගන්නේ නම්, එය විස්තර කිරීමට පිළිවන. වචන එම විස්තර කරන ද්‍රව්‍යය නොවෙයි. සත්‍ය අත්දැකීම වචනයට එපිටින් හා සංකේතයන්ට ඉහළින් පවතී. මෙහි පැහැදිලි කරනවාට වඩා සම්පූර්ණ වෙනස් පදවලින් ද සිහිය විස්තර කළ හැකිවාක් මෙන්ම ඒ සියල්ල නිවැරැදි වීමට ද ඉඩ තිබේ.
සිහි යනු මේ මොහොතේදී ඔබ භාවිතා කරන ඉතා සියුම් ක්‍රියාවලියකි. වචනවලට එපිටින් පැවතුණු හේතුවෙන් එය අස්වාභාවික නොවේ. සත්‍ය වශයෙන්ම සිහිය වචන ඇති කරන යථාර්ථයයි. පසුව හටගන්නා වචන යථාර්ථයේ මලානික සෙවණැලි වැනිය. මෙතැන් පටන් පෙන්වා දෙන කරුණු සමාන කිරීම් බව වටහා ගැනීම වැදගත්ය. ඒවා අංග සම්පූර්ණ අර්ථ දැක්වීම් නොවේ. එය වාචික තර්කනයට එහායින් පවතී. නමුත් ඔබට එය අත්දැකීමට පුළුවන. වසර දෙදහස් පන්සීයකට පෙර බුදුරදුන් විසින් හඳුන්වා දෙනු ලැබූ විපස්සනා භාවනා ක්‍රමය, නොකඩවා පවතින සිහිය අත්දැකීම සඳහා විශේෂයෙන් සැකසුණු මානසික ක්‍රියාවන් සමූහයකි.
ඔබ යම්කිසි දෙයක් පිළිබඳ දැනගත් විගස, ඔබ ඒ පිළිබඳව චිත්ත රූප මවා ගැනීමට හෝ හඳුනා ගැනීමට පෙර ක්ෂණයකින් ඇති වන ශුද්ධ දැනීමක් ඇත. සාමාන්‍යයෙන් මෙය ඉතා කෙටි කාලයක දැනීමකි. එය, ඔබ යම් දෙයක නෙත ගැටෙන මොහොතේම, යම් දෙයක් මත සිත රඳවන ක්ෂණයකින් හඳුනා ගැනීමට පෙර, අනෙක් දේවලින් එය වෙන්කර ගැනීමට පෙර පවතින මොහොතයි. “ආ මේ බල්ලෙක්” යයි දකින දෙය ගැන සිතීමට පෙර මෙය හටගනියි. එවන්, ඉලක්කයකින් තොරව, ගලායන ශුද්ධ දැනීමේ මොහොත සිහියයි. මෙම අසුරුසැණයක් වන් මොහොතේදී ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් ලෙස ඔබට දැනෙනු ඇත. අනෙකුත් යථාර්ථයන් සමඟ අත්වැල් බැඳගත් ඉන් වෙන් නොවූ මෘදු ලෙස ගලා යන ශුද්ධ දැනීමේ මොහොත ඔබ අත්දකිනු ඇත. ඔබගේ සාමාන්‍ය ඉලක්කගත වූ මධ්‍යම දෘෂ්ටියට පරිබාහිරව නෙත අවටින් පෙනෙන පෙනීමට සිහිය සමාන කළ හැක. නමුත් යමක් දෙස බලා, එය හඳුනාගන්නා විට මෙම මෘදු කේන්ද්‍රගත නොවූ දැනීමේ ඇති ගැඹුරු දැනීම නැතිවී යයි. සාමාන්‍යයෙන් යමක් වටහා ගැනීමේ ක්‍රියාවලියේදී මෙම සිහිය නොපෙනෙන තරම් වේගවත් ය. අප සම්ප්‍රජානනයේ අනෙකුත් පියවර වන හඳුනා ගැනීම, ලේබල ඇලවීම හා ඒ සම්බන්ධ වූ දීර්ඝ චිත්ත රූප මැවීම මත අපගේ අවධානය නාස්ති කිරීමට අපි හුරුපුරුදු වී සිටිමු. සිහියේ මුල්ම මොහොත වේගවත්ව ගෙවී යයි. විපස්සනා භාවනාවේ අරමුණ මෙම මොහොතක දැනීම දීර්ඝ කිරීමයි.
මෙම සිහිය, නිවැරැදි ක්‍රම, උපකාරයෙන් දීර්ඝ කර ගත් විට, එහි ගැඹුර කොතරම්ද යත්, විශ්වය පිළිබඳ ඔබගේ දැක්ම මුළුමනින් ම වෙනස් කරන බව ඔබට දැනෙනු ඇත. මෙවන් දැක්මක් නිතිපතා පුහුණුව තුළින් ම ඉගෙන ගත යුතුය. ක්‍රමය ඉගෙන ගත් විට සිහියට විවිධ පැතිකඩ ඇති බව ඔබ දකිනු ඇත.
සිහියේ ලක්ෂණ:
සිහිය සිතිවිල්ලේ ප්‍රතිබිම්බයකි. එය කිසිම වෙනසක් නොමැතිව සිදුවෙමින් පවතින දෙය පමණක් පෙන්නුම් කරයි. එය පූර්ව නිගමනවලින් තොරය.
සිහිය විනිශ්චයකින් තොර, නිරීක්ෂණයයි. එය විවේචනයකින් තොරව දෙයක් දැකීමට මනසේ ඇති හැකියාවයි. මෙම හැකියාවේ උපකාරයෙන් කෙනෙක් අප්‍රසාදයෙන් හෝ විනිශ්චයකින් තොරව දේවල් දකියි. එම පුද්ගලයා කිසිවකින් විශ්මයට පත් නොවෙයි. ඔහු දේවල් ස්වාභාවිකව පවතින ආකාරය පිළිබඳ තුලිත උනන්දුවක් දක්වයි. එම පුද්ගලයා තීරණ හෝ තීන්දු නොගනියි. හුදෙක්ම නිරීක්ෂණය කිරීමක් පමණක් කරයි. විද්‍යාඥයෙක් අන්වීක්ෂයෙන් යමක් දෙස බලා, පූර්ව නිගමනයකින් තොරව, පවතින දේ පමණක් දකිනවා මෙන් භාවනානුයෝගියා තම අත්දැකීම් නිරීක්ෂණය කරයි. “තීන්දු නොගැනීම හා තීරණය නොකිරීම” යනුවෙන් අදහස් වන්නේ එයයි. මෙලෙසින් භාවනා පුහුණු වන්නා, අනිත්‍යය, දුක හා අනාත්ම බව දැක ගනියි.
අප තුළ විවිධ මානසික ස්වභාවයන් ඇතිවන බව නොපිළිගන්නේ නම්, ඇතුළත සිදුවෙමින් පවතින දේ අපක්ෂපාතීව නිරීක්ෂණය කළ නොහැකිය. විශේෂයෙන් අමිහිරි චිත්ත ස්වභාව පිළිබඳව මෙය ඉතාමත් සත්‍ය කරුණකි. අප තුළ ඇති බිය දැක ගැනීමට නම් අප බය බව පිළිගත යුතුය. අප තුළ අවපීඩනය පවතින බව පිළිගැනීමෙන් තොරව එය බලාගත නොහැක. නොසන්සුන් බව, කලබලකාරී බව හා අනෙකුත් අපහසුකාරී චිත්ත ස්වභාව සම්බන්ධයෙන් ද එය එසේමය. යම් දෙයක පැවැත්ම නොපිළිගන්නා ඔබට එය විමර්ශනය කළ නොහැක. සිහිය අප තුළ ඇති කුමන හෝ අත්දැකීම් පිළිගනියි. ඒවා ජීවිතයේ තවත් සිදුවීම් පමණකි. ආඩම්බරයක් ලජ්ජාවක් හෝ පුද්ගලිකත්වයක අවදානමක් නැත. එහි ඇත්තේ පවතින දෙය පමණක්මය.
සිහිය අපක්ෂපාතී නිරීක්ෂණයයි. එය පැත්තක් නොගනියි. එය දකින දෙයෙහි එල්බ නොගනියි. එය දකිනවා පමණි. යහපත් චිත්ත ස්වභාවයන් නිසා සිහිය එයින් මත් නොවෙයි. අමිහිරි චිත්ත ස්වභාව මඟ නොහරියි. ප්‍රසන්න දෙයෙහි ඇලීමක් හෝ අප්‍රසන්න දෙයින් පලායෑමක් නැත. සිහිය සෑම අත්දැකීමක්, සිතිවිල්ලක් හා හැඟීමක් එක හා සමානව සලකනු ලබයි. කිසිවක් සඟවන්නේ නැත. කිසිවක් මැඬ පවත්වන්නේ නැත. කිසිවකට විශේෂ සැලකීමක් ද නොකරයි.
සිහිය සංකල්පනාවෙන් තොර දැනීමයි. තවත් වචනයකින් කිවහොත් එය පිරිසිදු අවධානයයි. එය සිතීම නොවෙයි. එය සිතිවිලි හෝ සංකල්ප සමඟ සම්බන්ධකම් ඇතිකර නොගනියි. එය අදහස්, මතිමතාන්තර හෝ මතක කෙරෙහි ඇල්මක් ඇති කර නොගනියි. එය දකිනවා පමණි. සිහිය, අත්දැකීම් සංසන්දනයෙන් තොරව සටහන් කර ගනියි. ඒවා නම් කිරීමක් හෝ ගොනු කිරීමක් නොකරයි. සෑම දෙයක්ම පළමුවරට සිදුවෙන්නාක් මෙන් එදෙස බලා සිටියි. එය මතකය හෝ මෙනෙහි කිරීම මත සිදුවන ලක්ෂණයක් නොවේ. එය සිතිවිලි මාධ්‍යයෙන් තොර සිදුවෙමින් පවතින්නා වූ දේවල ඍජු හා ක්ෂණික අත්දැකීමයි. සම්ප්‍රජානන ක්‍රියාවලියේ සිතිවිලිවලට පෙර සිහිය පැමිණෙයි.
සිහිය වර්තමාන මොහොත පිළිබඳ දැනීමයි. එය දැන් මෙතැනදීම සිදු වෙයි. මේ මොහොතෙහි සිදුවන දේ නිරීක්ෂණයයි. එය නිරතුරුව ගෙවී යන මොහොතේ මුළුමනින් ම සිටියි. දෙවන ශ්‍රේණියේ ගුරුතුමිය ඔබගේ මතකයට නැඟේ නම් එය මතකයකි. එවිට දෙවන ශ්‍රේණියේ ගුරුතුමිය මතක් වූ බව දැන ගැනීම සිහියයි. එම ක්‍රියාවලිය සිහියට නඟන ඔබ “ආ මම මතක් කරමින් සිටිමි” යයි ඔබට ම පවසනු ඇතිනම් එය සිතීමයි.
සිහිය මමත්වයෙන් තොර පරීක්ෂාකාරී බවයි. තමා පිළිබඳ සම්බන්ධයක් නැතිව එය සිදුවෙයි. “මා”, “මගේ”, හෝ “මම” යන සංකල්ප නොමැතිව සෑම දෙයක්ම සිහියෙන් දැකීමයි. උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙහි වේදනාවක් හටගත්තා යයි සිතමු. සාමාන්‍ය විඥානය (උඩුසිත) “මගේ පාදය රිදෙනවා” කියයි. සිහිය පාවිච්චි කරන පුද්ගලයා එම හැඟීම සංවේදනයක් ලෙස පමණක් සනිටුහන් කර ගනියි. “මම” යන සංකල්පය එයට එකතු නොකරයි. සම්ප්‍රජානනයට කිසිවක් එකතු කිරීමට හෝ එයින් කිසිවක් අඩු කිරීමට සිහිය ඉඩ නොදෙයි. කිසිවක් වැඩි දියුණු කිරීමක් නොකරයි. කිසිවක් අවධාරණය නොකරයි. විකෘති කිරීමකින් තොරව ඇති දේ ඇති සැටියෙන් දකියි.
(මීළඟ කලාපයෙන් සිහිය සම්බන්ධ මූලික කාර්යයන් තුනක් ගැන දැනගනිමු)