ඔය කමිටුවයි IMF සාකච්ඡාවයි අතර සම්බන්ධයක් නෑ | Page 2 | සිළුමිණ

ඔය කමිටුවයි IMF සාකච්ඡාවයි අතර සම්බන්ධයක් නෑ

හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ ඉදිරි සැලසුම් මොනවාද?

මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් අපිට ඉතා පැහැදිලියි. අපේ ප්‍රමුඛ අරමුණ ඒ ක්‍රියාමාර්ගය වළක්වා අපේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් දිගටම භුක්ති විඳීමට හැකි ආකාරයේ වාතාවරණයක් සකස් දීමයි. මේ ආණ්ඩුව පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරමින් සිටින බව ඉතා පැහැදිලියි. මෙය ඒකාධිපති රාජ්‍යයක් කරා ගමන් කිරීමක්. ප්‍රතිත්‍රස්ත පනත නීතිගත කිරීමට ගත් උත්සාහය සාර්ථක වුණා නම් කිසිදු වෘත්තිය සමිතියකට, විශ්වවිද්‍යාලවලට, මාධ්‍යවේදීන්ට ප්‍රජාතන්ත්‍රීය වැඩපිළිවෙළකට අවස්ථාවක් නැහැ, ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසට මේ සියල්ල හංවඩු ගැසෙනවා. ඒ සඳහා මෙහි ඉතා පුළුල් නිර්වචනයක් තියෙනවා. ඒ පනතේ තුන්වැනි වගන්තිය අනුව එයට දෙන දඬුවම වසර විස්සක සිර දඬුවමක්. එහි හයවැනි වගන්තිය යටතේ මාධ්‍යවේදීන් යම් සිදුවීමක් සම්බන්ධයෙන් පින්තූරයක්, වාර්තාවක් ලිව්වොත් ආධාර කිරීමක් ලෙස සලකා වසර 20 සිර දඬුවමක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. එයට හේතුව IMF ගිවිසුමේ අන්තර්ගත කොන්දේසි ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේදී විශාල මහජන විරෝධයක් අනිවාර්යෙන්ම ඇති වෙනවා.මේ අය මේ කොන්දේසි දාන්නේ එයට මුහුණ දීමටයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා මුලින් කිව්වා, නමුත් දැන් එය කරන්න සූදානම් වෙනවා කියන කාරණය ආණ්ඩුව පිළිගන්නවා. ආණ්ඩුව දන්නවා මේවාට විරුද්ධව අනිවාර්යෙන් ජනතාව පෙළ ගැසෙන බව. මේ කරන්නේ මර්දනයක්. මර්දනයකට අවශ්‍ය නීති මේ ස්ථාපිත කරන්නේ. මේ දේවල්වලට විරුද්ධව සියලු දෙනාම පෙළ ගැසීමක් සිදු වෙනවා.

මූල්‍ය අර්බුදයෙන් රට ගලවා ගැනීමට විසඳුම් ඉදිරිපත් කළ ජාත්‍යන්තර සමාගම්වලින් සුදුසුම ආයතනය තෝරා ගැනීමට පත් කළ කැබිනට් කමිටුවේ සාමාජිකයකු ලෙස ඊට නිර්දේශ ලබාදී ඒ අනුව ප්‍රංශ සමාගමක් වෙත පැවරුණු වගකීම් මත IMF සමඟ ඇතිකර ගත් ගිවිසුමට පාර්ලිමේන්තුවේදී පක්ෂව ඡන්දය නොදීම විස්මයට කරුණක් බව ඇතැමුන්ගේ අදහසයි. එසේ කිරීමට හේතුව කුමක්ද?

IMF යන හෝ නොයන එක නොවෙයි, ගිය පසුව IMF සමඟ සාකච්ඡා කරගෙන යන ක්‍රමවේදය සහ ආකල්ප පිළිබඳයි මගේ විරෝධය. IMF සමඟ සාකච්ඡා කරනකොට අපේ රටේ අවශ්‍යතා සහ අපේ රටේ තත්ත්වය පිළිබඳ කිසිවක් ඉදිරිපත් වුණේ නැහැ. ආණ්ඩුවට ලොකු බයක් තිබුණා මෙය අසාර්ථක වෙයි කියලා. ඒ නිසා IMF එක පැත්තෙන් එන යෝජනාවලට ආණ්ඩුව එකඟ වුණා. සාර්ථක සංවාදයක් කරන්නේ එහෙම නොවෙයි. අවසාන වශයෙන් මුදල් අමාත්‍යාංශයට, මහ භාණ්ඩාගාරයට කිසිදු කාර්ය භාරයක් ඉතිරි වෙලා නැහැ. පොලී අනුපාතය සියලු දෙනාටම බලපානවා. පොලී අනුපාතයට බලපෑම් කරන්න මහ බැංකුවට හෝ භාණ්ඩාගාරයට බලයක් නැහැ. IMF එකෙන් අහන්නේ නැතුව එහි අනුමැතිය නැතිව කිසිදු දෙයක් කරන්න බැහැ. මූල්‍ය ප්‍රතිපත්තිය ගැන තීරණයක් ගන්න අපිට නිදහසක් නැහැ. මේ IMF වාර්තාව සමහර කරුණු පිළිබඳ දිනෙන් දින මාසෙන් මාසයට කරුණු වාර්තා කරන්න අවශ්‍යයි. මේවා කිසිසේත් ඔබින ක්‍රියාමාර්ග නොවෙයි.

මේ සාකච්ඡා මතු කරගෙන ගියේ ඉතා වැරදි විදිහටයි. සමහර කොන්දේසිවලට යළිත් සාකච්ඡා කරන්න වෙනවා. IMF සමඟ සාර්ථක සාකච්ඡා පැවැත්වූ රටවල් මීට වඩා එකඟතාවක් අනුව එඩිතර ආකාරයට කටයුතු කරනවා. මේ දේවල්වලට එකඟ වෙන්න පුළුවන්, මේ දේවල්වලට එකඟ වෙන්න බැහැ කියලා සාකච්ඡා කරන්න අවශ්‍යයි. මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය මේකයි. විදුලි බිල මේ විදිහට වැඩි කළාම සියයට 25කට බිල් ගෙවන්න අපහසු වෙනවා. එවැනි කරුණු ඉදිරිපත් කරලා සමාජ සාධාරණත්වයට අනුකූල පරිදි IMF එකේ ගිවිසුම සකස් කරගන්න අවශ්‍යයි. මේ ආණ්ඩුවට බයක් තිබුණා මේ කරුණු ඉදිරිපත් කරන්න ගියොත් මේ IMF ව්‍යායාමයම අසාර්ථක වෙයි කියලා.

එසේ නම් සුදුසුම ආයතනය තෝරා ගැනීමට පත් කළ කැබිනට් කමිටුවේ සාමාජිකයකු ලෙස ඔබ කටයුතු කර නිර්දේශ ලබා දීම සිදු කළේ ඇයි?

එම කමිටුව සහ IMF අතර සාකච්ඡාවයි අතර සම්බන්ධයක් නැහැ. ඒ කමිටුව තීරණය කළේ නැහැනේ IMF එක හම්බ වුණාම මොනවාටද එකඟ වෙන්නේ සහ මොනවටද එකඟ නොවෙන්නේ කියලා. උපදේශක සභාවක් ලෙස ABC පත් කරගන්නේ කියන කාරණාව පමණයි කමිටුවේදී සාකච්ඡා වුණේ. මේ කාරණය අවුල් කර ගැනීම සැලසුම් සහගතව ඉදිරිපත් කරන ලද තර්කයක්. එයට අවංකභාවයක් නැහැ.

මෙය ඔබේ දේශපාලන කණ්ඩායම වෙත ජනතාවගේ ප්‍රසාදය යොමු කර ගැනීමේ පටු දේශපාලන අරමුණක් විය හැකි බවයි ඇතැමුන්ගේ අදහස?

දේශපාලන උපක්‍රමයක් ලෙස නොවෙයි, අපේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳ තියෙන කැක්කුමටයි අපි මේ ක්‍රියාමාර්ග ගන්නේ. ජනතාවට මේ විදිහට බිල් ගෙවන්න බැහැ. විදුලි බිල සියයට තුන්සිය පනහකින් වැඩි වුණාම කොහොමද එය ජනතාව දරාගන්නේ. පටු දේශපාලන අරමුණකින් නොවෙයි අපි මේ දේවල් කරන්නේ. අපි කටයුතු කරන්නේ අඩු ආදායම්ලාභීන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා රැක ගැනීම සඳහායි. කෙටිකාලීන අභිමතාර්ථයක් ඉෂ්ට කර ගැනීමට අපිට අවශ්‍යතාවක් නැහැ.

රටක් ලෙස ගොඩනැඟීමට IMF සමඟ එකඟ වී ගත් තීරණවලට ඔබ එකඟ නැහැ කියලද කියන්නේ?

ඒ කාරක සභාවේ අරමුණ වුණේ කිනම් සමාගමක් ද තෝරා ගන්නේ කියන කරුණයි. IMF සාකච්ඡා කරන ආකාරය කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් කාරණක්. ඒ නිසා ඒ කාරණා දෙක දෙකක්.

පොදු වැඩපිළිවෙළක් සැකසීම සඳහා සමඟි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී සිටිනවා. එහි අරමුණ කුමක්ද?

විපක්ෂය තුළ විවිධ මතවාද තියෙනවා. මත පිළිබඳ ගැටලුවක් නොවෙයි. ප්‍රතිත්‍රස්ත පනතට අමතරව වෙනත් අධිකාරියක් පිහිටුවමින් සමාජ මාධ්‍ය පවා පාලනය කිරීමට සූදානම් වෙනවා. ඒවාට අපි විරුද්ධයි. ඒ දේවල්වලට විරුද්ධව කටයුතු කිරීම මෙන්ම මහ පරිමාණ වංචා දූෂණ වැළැක්වීමට අපි කටයුතු කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ලබාගන්න පුළුවන්. එය ණයක් නොවෙයි, IMF ණය මුදලට වඩා දෙගුණයක් එයින් ලැබෙනවා. IMF මඟින් ලැබෙන්නේ ණයක්. එය ගෙවන්න වෙනවා. මේ සඳහා මාස 24ක් තිබුණා නඩු දාන්න. දැන් 23 වෙලා තියෙනවා. කිසිදු පියවරක් ගත්තෙ නැහැ. එයට මොකක් හරි හේතුවක් තිබෙනවා. ඒවා ගැන හොයලා බලන්න අවශ්‍යයි. සමුද්‍ර පරිසර ආරක්ෂක අධිකාරියක් සම්පූර්ණයෙන්ම මේ නඩුව පවරන්න අවශ්‍ය ලංකාවේ කියලා උපදෙස් දුන්නා. මේ සිදු වූයේ ලංකාවේ මුහුදු තීරය තුළයි. අපේ රටට මේ වන්දි මුදල ලබා ගන්න කටයුතු කරන්න අවශ්‍යයි. IMF මුදල ලබා ගැනීමට ජන පීඩිත කොන්දේසිවලට එකඟ වෙන්න වෙනවා. එක්ස්ප්‍රස් පර්ල්වලින් හම්බවෙන මුදල්වල එක කොන්දේසියක්වත් නැහැ. අපිට අයිති මුදල අපි ලබා ගන්න අවශ්‍යයි. මේ සඳහා මුළු විපක්ෂයම එකා වගේ එකතු වෙලා රටට වෙන මේ අසීරුතාව සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මෙවන් අසීරු තත්ත්වයක් තුළදී අක්‍රමිකතා වැළැක්වීම සඳහා උද්‍යෝගිමත්ව කටයුතු කිරීමටයි වික්ෂයක් ලෙස අපි කටයුතු කරන්නේ.

විපක්ෂයේ එකමුතුවේ අරමුණ ඉදිරියේදී සන්ධානගත වීමක් කියලා බොහෝ දෙනෙකුගේ අදහස වෙලා තියෙනවා. එහෙත් මේ එකමුතුවේ ඇතැම් පක්ෂ ඔබට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවාදයන් දරන පක්ෂ නේද?

මැතිවරණයක් තවම නැහැ. දැනට අපිට තියෙන්නේ ජනතාවගේ නිදහස රැක ගැනීමයි. එය පක්ෂ විසින් තීරණය කළ යුතු දෙයක්. අපි මේ එකමුතුව හදාගත්තේ ආණ්ඩුවේ සමහර කාරණා සම්බන්ධයෙන්. උදාහරණ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවීමට කර ඇති යෝජනා සම්බන්ධයෙන් ගත් විට විශාල ගැටලු තියෙනවා. එසේ වුවහොත් වෙන කිසිම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ස්වාධීන අධිකරණයකට යෑමට අපේ කිසිදු පුරවැසියෙකුට හැකියාවක් නැහැ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියට කැඳවීම තුළ ඒ අයගෙන් හරස් ප්‍රශ්න විමසිය හැකියි. ඒවගේම අධිකරණ කටයුතු සම්බන්ධයෙන් නියෝග දීමට හැකියාව තියෙනවා. එය මේ රටේ උත්තරීතර අධිකරණයට අත තැබීමක්. ඒ නිසා මෙය සාධාරණීකරණය කරන්න බැහැ. බලය බෙදීමේ න්‍යාය අනුව පාර්ලිමේන්තුවට කාර්ය භාරයක් තියෙනවා. අධිකරණයට කාර්ය භාරයක් තියෙනවා. පාර්ලිමේන්තුව ආක්‍රමණය කරන්න හැදුවොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විෂයය ක්ෂේත්‍රය එහිදී නීතියේ ස්වාධිපත්‍යයක් නැතිවෙනවා. එයට විරුද්ධවයි අපි පෙළගැසෙන්නේ. මොන ආකාරයේ මතයක් දැරුවත් දේශපාලනිකව හැමෝම විරුද්ධ පක්ෂ ලෙස සම්පූර්ණයෙන් එකමුතු වෙනවා. එකම වැඩපිළිවෙළකට අවතීර්ණ වීම මේ රටේ පුද්ගල නිදහස රැකීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක්.

ඔබ කියන්නේ ඉදිරි මැතිවරණයකදී සන්ධානගත වීමක් සිදු විය හැකිද?

දැන්ම එවැනි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. මැතිවරණයක් තවම ප්‍රකාශයට පත් කරලා නැහැ. දැනට අපිට තියෙන්නේ ජනතාවගේ නිදහස හා ජීවන මට්ටම රැක ගැනීමයි. මැතිවරණවලදී කොහොමද සන්ධානගත වෙන්නේ සහ මොනවද කරන්නේ කියන කරුණ පසුව අවධානය යොමු වන කරුණු.

නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත වෙනුවට විකල්ප වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි කියන විපක්ෂයේ ඒ වැඩපිළිවෙළ කුමක්ද ?

මගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳව විපක්ෂය කමිටුවක් පත් කරලා තියෙනවා. අපි ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධයි. දැනට තියෙන පනතටත් අපි විරුද්ධයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් අපි අකමැතියි. එහෙත් ප්‍රතිත්‍රස්ත පනත ඒ සඳහා ආදේශ කරන්න බැහැ. එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානකයි. විපක්ෂයේ අසුන්ගෙන සිටින දේශපාලන පක්ෂවල විවිධ මත තියෙනවා. ඒ පිළිබඳ හොඳම විසඳුම ගැන ගැඹුරින් සාකච්ඡා කරන්නයි විපක්ෂ නායක කමිටුවක් පත් කළේ. දැනට අපි සාකච්ඡා කරමින් පවතිනවා. හැමෝටම පිළිගන්න පුළුවන් සාධාරණ විසඳුමකට අවතීර්ණ වීමයි අපේ බලාපොරොත්තුව.

IMF පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද?

අපි එයට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. එහෙත් එය සම්මත වුණා. එය සම්මත වුණා කියන්නේ අනාගත ආණ්ඩුවට ඒ වගන්ති ගැන සාකච්ඡා කරන්න බැහැ කියන එක නොවෙයි.

Comments