- අස්වැසුමට ප්‍රතිලාභීන් තෝරා ගන්න විද්‍යාත්මක පදනමක් අවශ්‍යයි
- රජය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් එළියට පනිනවා නම් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි
- ආයෝජකයන් ගෙන්වා ගන්න නම් රට ආරක්ෂිතයි, ප්‍රශ්නයක් නැහැ කියන විශ්වාසය ඇති කරන්න ඕනේ
ප්‍රශ්නය : දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධ බව විපක්ෂය දිගින් දිගටම පවසනවා. ඊට හේතුව කුමක්ද?
පිළිතුර : විපක්ෂය හැටියට අපි ඊට විරුද්ධ වෙලා තියෙන්නෙ ප්‍රතිපත්තිමය වශයෙන්. උද්ධමනය සියයට 70ට ඉහළ ගිහින් තිබුණා. ආහාර උද්ධමනය සීයට සීයක් ඉහළ ගිහින් තිබුණා. ETF, EPFවල තියෙන්නෙ ජනතාව ජීවිත කාලයක්ම වැඩ කරපු මුදල්. රජයේ බැඳුම්කරවල මුදල් දාලා තියෙන්නෙ කවුරු හරි ඉතිරි කළ මුදලක්. ඒ ඉතුරුම් කොහොම තිබුණත් ඒවායේ වටිනාකමින් සෑහෙන්න දැන් බැහැලා තියෙන්නෙ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තත්ත්වය තවත් අමාරු වෙන නිසයි අපි විරුද්ධ වෙන්නෙ.
ප්‍රශ්නය : ජනතාව තුළ බියක් ඇතිවෙලා තියෙනවා නේද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ETF, EPF අරමුදල්වලට බලපෑමක් ඇතිවෙයි කියලා?
පිළිතුර : මම කියන්නෙ එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ, මොකද හැම අවුරුද්දෙම ඒ අරමුදලට ලැබෙන මුදල් ප්‍රමාණයයි ගෙවන මුදල් ප්‍රමාණයයි විශාල නිසා මුදල සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවෙන එකක් නැහැ. නමුත් ප්‍රතිලාභ ලැබෙන කාලය කල් දැමීමෙන් ලැබෙන මුදල අඩු වීමක් වෙනවා නම් ඒ ගැන අපි කල්පනාවෙන් සිටිය යුතුයි.
ප්‍රශ්නය : රජය පවසනවා විපක්ෂය මේ සම්බන්ධයෙන් බිල්ලො මවාපෑමට උත්සාහ කරන බව?
පිළිතුර : ආණ්ඩුව අපිට එහෙම චෝදනා කළාට මේ රට විනාශ කළෙත් එයාලමයි. අපි රට භාරදෙන කොට උද්ධමනය සියයට 10ට වඩා අඩුයි. පොලී ප්‍රතිශතය සියයට 10ක් වගේ අගයක තිබුණේ. බඩු මිල හුඟක් අඩුයි. ඕනම කෙනකුට නිෂ්පාදන කරන්න, ව්‍යාපාර පහසුවෙන් කරගෙන යන්න අවස්ථාව තිබුණා. ගෑස්, ඉන්ධන හිඟයක් තිබුණේ නැහැ. මේ අය වැරැදි ප්‍රතිපත්ති අනුගමනය කරලා මේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත් කළා. මුදල් අච්චු ගහපු එකෙන් උද්ධමනය වැඩි වෙලා බඩු මිල අහස උසට ගියා. අපි කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. නමුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලයි. ඒ වගේම මුදල කපා හරින්න බැහැ, කල් ගන්න කියලයි.
ප්‍රශ්නය : IMF ලැබුණාම ආයෝජකයෝ වැඩිපුර එයි කියලා ආණ්ඩුව කිව්වා, දැන් එහෙම තත්ත්වයක් තියෙනවද?
පිළිතුර : ආයෝජකයෝ එන්නේ විශ්වාසය මතයි. රටේ ජනාධිපති කෙනෙක් හිටියට ඒ එක්කම රට බංකොලොත් කරපු පිරිසකුත් ඉන්නවා. එතකොට එතැන විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මුලින්ම ඒ විශ්වාසය ඇති කරන්න ඕනේ. රට ආරක්ෂිතයි, ප්‍රශ්නයක් නැහැ කියන විශ්වාසය ආයෝජකයන් තුළ ඇති කරන්න ඕනේ. ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා ඔවුන් බලනවා. එහෙම නැතිව ඔවුන් එකපාරට සල්ලි දාන්නෙ නැහැ.
ප්‍රශ්නය : මේ වන විට ආණ්ඩුවේ 'අස්වැසුම' සුබසාධක වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුවෙලා නේද?
පිළිතුර : සුබසාධක රාජ්‍යයක් විදිහට අපි අනිවාර්යෙන්ම අඩු ආදායම්ලාභීන්ට සමාජ ආරක්ෂණය දිය යුතුමයි. ජනසවිය දුන්නේ අවුරුදු දෙකකට. ආණ්ඩුව ඒක සමෘද්ධියට හැරෙව්වා. පර්යේෂණවලින් හෙළිවෙලා තියෙනවා සමෘද්ධිය ලැබූ අයගෙන් සියයට 60ක්ම ඒක නොලැබිය යුතු අයයි කියලා. මෙතැනදී ඉලක්කය විය යුත්තේ සැබෑ දුප්පතුන්. ඒ අයට සොච්චමක් දීලා වැඩක් නැහැ. අපි මුදල් කපන්න කියන්නෙ නැහැ. නමුත් අර නුසුදුසු සියයට 60 ඉවත් කරලා ඉතිරි සියයට 40ට මුළු මුදලම දුන්නා නම් ඔවුන්ට දෙගුණයකට වැඩි මුදලක් ලැබෙනවා. රාජපක්ෂ ආණ්ඩුව එදා ඉඳලම කළේ මේක දුප්පතුන් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් වෙනුවට දුප්පත්කම විකුණමින් ඡන්ද කිරීමයි.
ලර්න් ඒෂියා ආයතනය කළ සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා 2019දි දුප්පතුන් හිටියෙ සියයට 14යි, දැන් එය සියයට 31 දක්වා වැඩි වෙලා කියලා. අද සියයට 47ක් පමණ දෛනික ආහාර ප්‍රමාණය අඩකින් පමණ අඩු කරලා. සියයට 33ක් පමණ එදිනෙදා ආහාර වේල් 3, වේල් 2කට අඩු කරලා. ජනතාවගේ ඉතුරුම් එදිනෙදා අවශ්‍යතාවලට වැය කරන්න සිදු වෙලා නිසා ඉතුරුම් සියයට 50ක් විතර පහළට ඇවිත්. සියයට 32ක් පමණ තමන්ගේ වත්කම් විකුණලා දරුවන් පෝෂණය කරනවා. එවැනි තත්ත්වයක් තුළ පවුල් ලක්ෂ 20කට පමණ අස්වැසුම දෙන්න හදනවා. එයට දුප්පතුන් තෝරා ගන්නෙ කොහොමද කියන එක ගැටලුවක්. රජය කියනවා ලෝක බැංකුවේ නිර්ණායක 22ක් තියෙනවා කියලා. ඒ නිර්ණායක මත තෝරගන්න ගියාම මේක දේශපාලනීකරණය වෙනවා. අද ඔය තෝරාගත් ලැයිස්තුවට විරුද්ධ වෙලා ඉන්නෙ රට නැතිකරපු දේශපාලඥයන්ම තමයි. දැන් ඔවුන් ඒකට විරුද්ධ වෙලා කතා කරනවා නම්, සමෘද්ධිය දේශපාලනීකරණය වුණා කියලා අපි පිළිගන්න ලෑස්තියි.
ප්‍රශ්නය : මේ වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ගැන ඔබේ අදහස?
පිළිතුර : අපි මුල ඉඳලම කිව්වා ඔය තෝරා ගැනීමේ වැඩපිළිවෙළ හරියන්නෙ නැහැ, ඒකට විද්‍යාත්මක පදනමක් තියෙන්න ඕනේ කියලා. ඒකට විද්‍යාත්මක පදනමක් අවශ්‍යයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් විදුලි බිල අනුව පාරිභෝජනය අඩුවෙන් භාවිත කරන අයට සහනාධාර දෙන්න කියලා කියනවා. ඒ පදනම විද්‍යාත්මකයි.
ප්‍රශ්නය : කුමන ආකාරයකට ප්‍රතිලාභීන් තෝරගත්තත් සහනාධාර දීමෙන් පමණක් දුප්පත්කම තුරන් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
පිළිතුර : පැහැදිලිවම, ඔය ක්‍රමයෙන් විතරක් දුප්පත්කම තුරන් කරන්න බැහැ. නමුත් මෙතැන තියෙන වැදගත්ම කාරණය මේ වැඩසටහනෙන් දුප්පතුන්ට පමණක්ම උදව් කරන්න ඕනේ. උදව් කරද්දි ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් දෙන්න ඕනේ.
ඒ වගේම ඒ අයට දුප්පත්කමෙන් ගැලවෙන්න අවස්ථාව දෙන්න ඕනේ සහ අවස්ථා පුළුල් කරන්න ඕනේ. එතකොට අපේ කාන්තාවන්ට මැදපෙරදිග ගිහින් ගෙදර කුස්සියක වැඩ කරන්න අවශ්‍ය නැහැ. NVQ මට්ටමේ සහතිකයක් සමඟ පුහුණුවක් සමඟ විදේශ රැකියාවකට ගියොත් වැඩි වැටුපක් ලබන්න පුළුවන්. ඒ වගේම ව්‍යපාරයක් ආරම්භ කරන්න දැනුම, තාක්ෂණය සහ ආයෝජනය සඳහා පසුබිම හදලා පහසුකම් දෙන්න ඕනේ. ඒ අවස්ථා පුළුල් කළ යුතුයි.
ප්‍රශ්නය : ණය කළමනාකරණය ගැන ඔබේ අදහස ?
පිළිතුර : ණය තියාගෙන ණය ගන්න එක හොඳ වැඩක් නෙවෙයි. නමුත් දැන් අපි ඉන්න තත්ත්වය එක්ක ණය ගෙවන්නෙ නැතිව ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා ණය ගෙවන්න, ණය ගන්න ඕනේ. නමුත් එහෙම ගන්න ණය යොදවන්න ඕනේ හරි විදිහටයි.
උදාහරණයක් විදිහට කෙනෙක් ව්‍යාපාරයක් කරනකොට තමන්ගෙ ප්‍රාග්ධනය දානවට අමතරව ණයත් ගන්නවා. ණය ගන්න එක වරදක් නොවෙයි. ණය ගන්නකොට ණය ගෙවන්න වෙන බව දන්නවා. ඒ නිසා ණය යොදවන්නේ ණයට වඩා ලාභයක් ලැබෙන විදිහට. අපේ රට ලෝක බැංකුවේ අඩු ආදායම් සාමාජිකයෙක් විදිහට ඉන්න කාලේ අපිට ණය ලැබුණේ බොහොම අඩු පොලියට. ඒ වගේම ඒවා දීර්ඝකාලීන ණය.
ඊටපස්සේ අපේ ඒක පුද්ගල ආදායම ඉහළ ගිහින් අපි මධ්‍යකාලීන ආදායම් ලබන රටක් වුණාට පස්සෙ අපිට තවදුරටත් ලෝක බැංකුවේ ඒ ජනේලය විවෘත වුණේ නැහැ. එතකොට අපිට ණය ගන්න වුණේ වෙළෙඳපොළෙන් වෙළෙඳපොළ පොලියට. එහෙම ගත්ත ණය අපි යොදවන්න ඕනේ ඊට වඩා විශාල ප්‍රතිලාභ ලැබෙන දේවල්වලට. එහෙම ගත්ත ණය අපි නිෂ්පාදන, අපනයන දියුණු කරන්න පාවිච්චි කළා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් පහුගිය කාලේ එහෙම වැඩි පොලියට ගත්ත ණය වියදම් කළේ එහෙම ප්‍රතිඵලයක් ලැබෙන විදිහට නෙවෙයි. අධිවේගී මාර්ග, අහස්යානා එන්නෙ නැති ගුවන්තොටුපළ, නැව් එන්නෙ නැති වරාය සහ මැච් ගහන්නැති ස්ටේඩියම් හදන්න තමයි ඒ ණය ගත්තේ.
දැන් කියන්න පුළුවන් ඔයාලගෙ ආණ්ඩුවෙනුත් ණය ගත්තනෙ කියලා. ඔව් අපි ගත්තා. 2019-2015 කාලේ අපි ගත්ත ණයවලින් සියයට 90ක්ම අරගෙත තිබුණේ ගත්ත ණය ගෙවන්නයි. එහෙම නැතිව ඵලක් නැති දේවල් ගොඩනඟන්න අපි ණය ගත්තෙ නැහැ.
ප්‍රශ්නය : රජයට ඔවුන් අපේක්ෂා කරන සංවර්ධන ඉලක්කවලට යා හැකිවෙයිද?
පිළිතුර : රට දැන් තියෙන විදිහ අනුව නම් යන්න බැහැ. හුඟක් ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා. ඒ ප්‍රතිසංස්කරණ කරන්න නම් ජනතාව අනුමත කළ ජනතා ඡන්දයෙන් පත්වුණු ජනතා විශ්වාසය දිනා ගත් රජයක් තියෙන්න ඕනේ. එතකොට හරි ප්‍රතිපත්ති අනුගමනය කරන්න පුළුවන්.
රටේ ප්‍රධානම විපක්ෂය විදිහට සමගි ජන බලවේගය වගකීමෙන් කටයුතු කරන පක්ෂයක්. රජය කරන හොඳ ආර්ථික ප්‍රතිසංස්කරණවලට අපි විරුද්ධ නැහැ. නමුත් අපි එකහෙළාම කියනවා ඒවා කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළයි. නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, ජනතාවගේ ස්වෛරී බව ආරක්ෂා විය යුතුයි. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදීව කාලානුරූපීව පැවැත්විය යුතුයි. මේ රජය ඒ රාමුවෙන් එළියට පනින බවක් අපිට පේනවා. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.