ගෝඨා-වජිර උඩු ගුවනේ සතරකන් මන්ත්‍රණයක | සිළුමිණ

ගෝඨා-වජිර උඩු ගුවනේ සතරකන් මන්ත්‍රණයක

පාර්ලිමේන්තුව පසුගිය සතියේදී රැස් නොවුණ ද උණුසුම් දේශපාලන කතාබස්වලින් නම් කිසිදු අඩුවක් නොවුයේ සමාජයේ අවධානයට ලක්වන කරුණු කිහිපයක් පිළිබඳව ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් බොහෝ දෙනෙකු කතා කළ නිසාය.

සෞඛ්‍ය ගැටලුව ජනපතිගේ දැඩි අවධානයට

පොලිස්පති ධුරය ගැන මතුව තිබූ ගැටලුව විසඳීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ සිය කාර්යාලය වෙත පැමිණියේ ඉකුත් ඉරිදා ය. එදින මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මෙන්ම සේවා කාලය අවසන්ව සිටි පොලිස්පති සී.ඩි වික්‍රමරත්න ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබුණි. කෙටි සාකච්ඡාවකින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ඔහුව පොලිස්පති ලෙස යළි පත් කිරීමට ජනපති පියවර ගත්තේය.

එදින සවස ඇමති මණ්ඩල රැස්වීමෙන් පසු අගමැති ඇතුළු ආණ්ඩුවට සහාය දෙන පක්ෂ නායකයන් කණ්ඩායමක් ජනපති මුණ ගැසී රටේ පවතින ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් ගැන කතා කළෝය.

මෙහිදි මූලික වශයෙන් සාකච්ඡාවට ගැනුණේ සෞඛ්‍ය ගැටලුවය. ඖෂධ ඇතුළු ශල්‍ය උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් මුදල් වෙන් කරන ලෙස ජනපති රනිල් එහිදි මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය ගැටලුවට පමණක් සීමා නොවූ එම කතා බහ වෙනත් මාතෘකා වෙත ද ඇදී ගියේ නිතැතිනි.

“සර් අස්වැසුම ගැන ප්‍රශ්නයක් මතු වෙලා තියෙන්නේ. මේක අපිට අවාසියට එන්න පුළුවන්.” ඇමති බන්දුල කීවේය.

“විපක්ෂය මේක අරගෙන යනවා. හැබැයි වැඩියෙන්ම ගහන්නේ සමගි ජන බලවේගයනේ.” ඒ ප්‍රශ්නය මනූෂගෙනි.

රනිල් ප්‍රේමදාසව බේරගත් හැටි වජිර සිහිපත් කරයි

“එදා ප්‍රේමදාස මහත්තය ඇති කරපු ජනසවිය නවත්තලා තමයි සමෘද්ධිය ගෙනාවේ. අද ප්‍රේමදාස මහත්තයගෙ පුතා සමෘද්ධිය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක තමයි හොඳම විහිළුව.” ඇමති ශෙහාන් ද කතාවට එක්විය.

“ප්‍රේමදාස මහත්තයගේ දෝෂාභියෝගය වෙලාවේ එතුමාව එ්කෙන් බේරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මෙතුමා එදා ජනාධිපති ප්‍රේමදාසව බේරගත්තේ නැත්නම් එතුමගේ පුතා අද දේශපාලනයේ නෑ.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු විය.

“අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා කොළඹ තියෙන විපක්ෂ නායක කාර්යාලය ආණ්ඩුවට පවරා ගන්න කියලා. මෙහෙම විපක්ෂයකින් වැඩක් නෑ.” ඇමති බන්දුල කියූ විට සැවොම එකිනෙකාගේ මුහුණු දෙස බලන්නට වූහ.

සජිත්ට යාල කැලෙන් කාර්යාලයක්

“නෑ මම කිව්වේ එතුමා නිතරම යාල කැලේට වෙලා ඉන්න හින්දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයක් නඩත්තු කරන එක අපරාදේ කියලයි. අපි එතුමට යාල කැලේ බංගලාවක් අරගෙන විපක්ෂ නායක කාර්යාලයක් දාලා දෙමු.” බන්දුල කියද්දී සැමට සිනහව නතර කර ගැනීමට නොහැකි වූහ.

“විපක්ෂයේ චෝදනාවලට පිළිතුරු දෙනවාට වඩා වැදගත් වෙන්නේ අස්වැසුම ගැන ඇත්ත කතාව ජනතාවට කියන එක. ” ජනපති රනිල් කීවේ ඇමති ශෙහාන්ට ය.

ජනපති රනිල් 20, 21 ඉන්දියාවට

අඟහරුවාදා පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත ජනපති ගියේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහාය. සති කිහිහපයකට පසු පොලිස්පති ද ආරක්ෂක මණ්ඩල හමුවට පැමිණ සිටියේය. ඒ වන විට මෙරටට පැමිණ සිටි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වත්‍රා ජනපති මුණ ගැසුණේ ද ආරක්ෂක අමාත­්‍යාංශයේදී ය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ලේකම් සමන් ඒකනායක ශ්‍රී ලංකාව පැත්තෙන් එම හමුවට එක්ව සිටි අතර ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ඇතුළු කණ්ඩායමක් ඉන්දීය පාර්ශ­්වයෙන් එක්ව සිටියහ.

ලබන 20 හා 21 යන දෙදින තුළ ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන පූර්ව සාකච්ඡාවක් වෙනුවෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණ සිටියේය. ජනපතිගේ විදේශ සංචාරය ගැන කතා කිරීමෙන් පසුව ජනපති ආරක්ෂක මණ්ඩල රැස්වීමට එක්වූ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ ඉන්දීය විදේශ ලේකම්වරයා සාකච්ඡාවේ ඉතිරි කොටස කරගෙන ගියේය.

ජනපති මාධ්‍ය ලේකම්වරුන් හමුවෙයි

ජනපති රනිල් ආරක්ෂක අමාත්‍යාංශයේ සිට පැමිණියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය වෙතය. ඒ මාධ්‍ය ලේකම්වරුන් වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය සංවිධානය කර තිබූ වැඩමුළුවක දේශනයක් වෙනුවෙනි. ආණ්ඩුවේ පණිවුඩය රටට ගෙන යන ආකාරය ගැන මාධ්‍ය ලේකම්වරුන් දැනුම්වත් කළ ජනපති වැඩි වේලාවක් නොසිට ඉන් පිටව ගියේ රත්නපුර අධිකරණ සංකිර්ණය විවෘත කිරීමට යාමට පෙර තවත් හමුවීම් කිහිපයක් යොදාගෙන තිබුණු බැවිනි.

තලතා, රනිල්ට‍ බොරු කිව්වේ ඇයි?

යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ ඇමති වූ තලතා අතුකෝරළ ඉදිරිපත් කළ අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත කළ එදා අගමැති වූ වර්තමානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පසුගියදා රත්නපුරයට ගියේ ය. තලතා අතුකෝරළ දුටු රනිල් “ආ එදා මට කියලා බොරු කැබිනට් පත්‍රිකාවකට නේද අනුමැතිය අරන් තියෙන්නේ.” ජනපති කී දෙයින් වික්ෂිප්ත වූ තලතා මන්ත්‍රිනිය “මොකක්ද සර් ඒ කතාව” යැයි පෙරළා විමසුවාය.

“මට කිව්වේ අධිකරණ සංකිර්ණයක් හදනවා කියලානේ. ඒත් හදලා තියෙන්නේ මන්දිරයක්නේ. මේකට සුප්‍රීම් උසාවියත් ගෙනාව නම් තමයි හරි.” ජනපති කී විට සැවොම කොක් හැඬලූහ. තලතා මන්ත්‍රිනියට උත්සවයේ පසුපස අසුනක් වෙන්ව තිබුණ බැවින් ජනපති රනිල් ඇය හා පසු පස බලමින් කතා බස් කරනු බොහෝ දෙනෙකු බලා සිටියේ කුතුහළයෙනි. නමුත් ඔවුන්ගේ කතාව කිසිවෙකුටත් ශ්‍රවණය වී තිබුණේ නැත. රත්නපුරයේදි ජනපති තවත් කතාවක් කළේය. ඒ ස්වීඩනයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී එරට වැසියන් පිරිසක් කුරානයට ගිනි තැබීමේ සිද්ධියට මානව හිමිකම් කොමිසම කිසිවක් ප්‍රකාශ නොකීරීම ගැන ය. දේශීය මෙන්ම විදේශීය මාධ්‍යවලත් ජනපතිවරයාගේ මෙම කතාව ගැන වැඩි අවධානයක් යොමු වී තිබුණි,

බග්ලේ හා සාගල බර වැඩක

බදාදා දහවල් ඉන්දීය මහකොමසාරිස් බග්ලේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මුණ ගැසුණේ ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන කතා කිරීමටය. ඒ අතරවාරයේ ඔවුන් ජනපතිගේ ඉන්දීය සංචාරයේදි අනුමත කිරීමට නියමිත දෙපාර්ශ්වයටම බලපාන ආර්ථික සහයෝගිතා ගිවිසුම් කිහිපයක් ගැන ද කතා කළහ.

දෙරට අතර තෙල් නල එළීමක් ගැන මෙන්ම විදුලිය සම්බන්ධ කිරීමක් ගැන ද කතා කළේ එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව පවතින බැවිණි. අත්සන් කිරීමට යෝජිත මෙවැනි ගිවිසුම් කිහිපයක් ගැන මෙහිදි සාකච්ඡා කෙරිණි.

කුරානය ගැන ජනපති කළ කතාවට පැසසුම්

ජනපති රනිල් පුරුදු පරිදි බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ සතියේ ආර්ථික සමාලෝචනය ගැන කතා කිරීමටය. ආර්ථික සමාලෝචනයට එක්වීමට පෙර ජනපති පැමිණ සිටි මැති ඇමතිවරුන් හා නිලධාරීන් සමඟ කතාවට එක්වූයේ පවතින දේශපාලන තත්ත්වය ගැනය. රත්නපුරයේදී කුරානය ගැන කතා කිරීම ගැන විමසා සිටියේ ශෙහාන් සේමසිංහය.

“ආගමික නිදහස හැම කෙනෙකුටම තියෙන්න ඕනේ. අනෙකුත් ආගම්වලට පළමුව ගරු කරන්න කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. බටහිර සංවිධාන මේ ගැන කතා නොකළාට ආසියාවේ සංවිධාන මේ ගැන කතා කරනවා. පකිසතානය දැනටමත් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගේන්න හදන්නේ. අපිත් මේකේ සම අනුග්‍රහකත්වය ගන්න තීරණය කලා. සිංගප්පූරුවත් මේකට එන බව කියනවා. ඉස්ලාම් නොවන රටවලින් ලංකාව තමයි මේ කාරණයේදි ඉදිරියට ඇවිල්ලා ඉන්නේ.” ජනපති දීර්ඝ විස්තරයක් කළේය. “අපේ සමහර ජාතීවාදීන් මේක අල්ලගෙන තියෙන්නේ වැරදි පැත්තෙන්.” ඒ පැනය රුවන් විජයවර්ධනගෙනි.

“හරි හෝ වැරදි ලෝකය ඉස්සරහට යන්නේ ජනතාවගේ මේ ආගමික විශ්වාසයන් පදනම් කරගෙනයි. ජනතාවගේ විශ්වාසයන් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. එක කොටසක් විශ්වාස කරන දේ තවත් කොටසක් විශ්වාස කරන්නේ නෑ. ඒක තමයි ලෝක ස්වභාවය අපිට මේකට ගරහන්න බෑ.” ජනපති කීවේ නළල රැලි ගන්වමිනි.

“ලයිට් රේල්වේ ව්‍යාපෘතිය ණය බරක් විතරයි. මේක දුවන්නේ එක පැත්තකට විතරයි කියා ජ.වි.ප මන්ත්‍රීවරයෙක් මේක විවේචනය කරලා.” ඒ කතාව ඇමැති ප්‍රසන්නගෙනි.

“මේ දුම්රිය දුවන්නේ ඉස්සරහට තමයි. මෙයාලා ඉස්සරහට එන්න බයයි.” ඒ පිළිතුර මන්ත්‍රී වජිරගෙනි.

“රටේ ජනතාවට ජාත්‍යන්තර සබඳතා තියෙන නායකයෙකු පැමිණිමේ අගය දැනිලා තියෙන්නේ, ආර්ථික අර්බුදත් එක්ක ජනාධිපතිතුමා බලයට පැමිණි නිසයි.” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් ද අදහස් එක් කළේය.

භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීම ගැන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරීත්වය ගැන ද මෙහිදී සමාලෝචනය කෙරිණි.

වෘත්තිය සමිති නායකයින් අගමැති දිනේෂ්ට කි‍ව්වේ මොනවාද?

රාජ්‍ය සේවයේ මෙන්ම පොදුවේ වෘත්තීන්වල කරුණු රැසක් සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන අවස්ථාවක, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂව සියලු වෘත්තීය සමිති අගමැති දිනේෂ් හමුවිය. වෘත්තීය සමිති 50කට ආසන්න නායකයෝ අරලියගහ මන්දිරයේ බ්‍රහස්පතින්දා(13) පැවති රැස්වීමට එක්ව සිටියහ. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ යන මහත්තුරුද අගමැති සමඟ මේ සාකච්ඡාවට සහභාගි වූහ.

"ආ කොහොමද ?" ප්‍රකාශ කරමින් තමන් දීර්ඝ කාලයක් තිස්සේ දන්නා වෘත්තීය සමිති නායකයින්, දිනේෂ් උණුසුම් ලෙස පිළිගත්තේය.

"මේ අයට කරුණු ගණනාවක් කතා කරන්න තියෙනවා" සිසිර ජයකොඩි කියද්දී

"අපි කතා කරමු" ලොකුගේ සිනහවෙමින් කීය.

අගමැති දිනේෂ් කතාව ඇරඹීය.

"රාජ්‍ය සේවකයන්ට බොහෝ ප්‍රශ්න තියෙනවා, ආණ්ඩුව එක්ක බේරගන්න. ඒවා ඔක්කොම එන්නෙ වෘත්තීය සමිති නායකයෝ වන ඔය සහෝදරියන්ගෙ කරපිටට"

"රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේදී, වෘත්තීය සමිති සමඟ අදහස් හුවමාරුව බොහෝම මදි" එක් වෘත්තීය සමිති නියෝජිතයෙක් පෙන්වා දුන්නේය.

"ඒ අදහස් බෙදාගැනීම විය යුතුයි. නැත්නම් ඔය සහෝදරවරු කොහොමද තමන්ගෙ සාමාජිකයො අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ " අගමැති දිනේෂ්, ඒ ගැන විශේෂ අවධානය යොමු කළේය.

ගුවන්යානයේ සතරකන් මන්ත්‍රණය

තව වසර තුන හතරකින් මේ රටේ මිනිස්සු ගෝඨාභයට අත වනන බවත් තමාගේ ගෙදර හෝ විකුණලා ගෝඨාභය රැකබලා ගැනීමට තමා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පසුගිය දිනවල අවස්ථා කිහිපයක දී ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනය. 

මේ කතාව ගැන දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර ඒ ගැන තවත් අවධානය යොමු වුයේ පසුගිය 9 වැනි ඉරිදා රාත්‍රී සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණි ගුවන්යානයක ව්‍යාපාරික පන්තියේ සිදු වූ සිදුවීමක් නිසාය. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් එම ගුවන්යානයෙන් මෙරටට පැමිණි අතර පැය තුනහමාරක් තිස්සේම මෙම සතරකන් මන්ත්‍රණය සිදුවූ බව එම ගුවන් යානයේ ගමන් කළ සෙසු මඟීන් කිහිපදෙනෙකුට හොඳින්ම නිරීක්ෂණය වී තිබුණි.

ඔවුන් දෙදෙනාගේ බිරින්දෑවරුන් දෙදෙනා එහි සිටිය ද වජිර හා ගෝඨා අතර සිදු වූ කතාබස් ගැන එම දෙදෙනාගේ අවධානය යොමු නොවුණු බවද වාර්තා වේ. බිරින්දෑවරුන් දෙදෙනා වෙනම කතාබස් කරමින් සිටියදී වජිර හා ගෝඨා අතර අරගලයේ සිටම මේ දක්වා සිදු වූ සිදුවීම් පිළිබඳව දීර්ඝ වශයෙන් කතාබස් වී ඇති බව දැනගන්නට ලැබේ.

මෙම දෙදෙනා සිංගප්පුරු‍ ගුවන් ‍තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේත් සෑහෙන වේලාවක් කතාබස් කර ඇති බවද ගුවන් ‍තොටුපොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වජිර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පුරුවට ගොස් තිබුණු අතර ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා කාම්බෝජයේ හා ලාඕසයේ සංචාරය කර නැවත සිංගප්පුරුව හරහා පැමිණෙද්දී මෙම හමුව සිදු වී තිබුණි.

නව ත්‍රස්තවාදයක් ගැන සජිත් කතා කරයි

රට මේ වන විට මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ රටට සත්‍ය හෙළි කිරීමේ අරමුණ පෙරදැරිව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකවරයකු විසින් කමිටුවක් ස්ථාපිත කිරීම (13) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8 දී සිදු වූ බව සමගි ජන බලවේගය පවසයි.

මෙම කමිටුව හරහා දූෂණ වංචාවලට වැට බැඳීම, සුසමාදර්ශී පාලනයක් උදෙසා විධිවිධාන සැකසීම, ඒ ඒ ක්ෂේත්‍රවල ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කිරීම මෙන්ම විවිධ ක්ෂේත්‍රවල පැන නැඟී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වේ. හුදු දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව රටට සත්‍ය හෙළිදරව් කිරීම මෙම කමිටුවේ මුඛ්‍ය අරමුණ බව මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් පැවසීය.

මෙම අවස්ථාවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය යනාදිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතළ කඩා වැටීමක් සිදුව තියෙනව. වසර 30ක් පැවැති ත්‍රස්තවාදය වගේම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළත් මේ වන විට ත්‍රස්තවාදයක් වී ඇතිවෙලා" සජිත් කීවේය.

"බෙහෙත් ගෙන්වීමේ දී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවට පනතේ සඳහන්ව තියෙනවා.

ඒත් ඒක නොසලකා විශේෂ අවස්ථාවක් කියලා පනතේ 109 වගන්තිය උපයෝගී කර ගෙන මිනිසුන්ගේ මළකඳන් මතින් ‘වෛද්‍ය ව්‍යාපාර’ කරනවා." සජිත් කීවේය. "මේ නිසා තමයි බාල නිර්වින්දන ඖෂධ ලබාදීලා පසුගිය කාලයේ දරුවන්ගේ, පුරවැසියන්ගේ ජීවිත රැසක් නැති වුණේ" හර්ෂණ රාජකරුණා කීවේය.

"අද පිළිකා රෝගීන්ට අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ උපකරණ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැලි වෙලා. ඒ වගේම පැරණි උපකරණ භාවිත කරනවා. ඒ අතරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රට අතහැර යනවා. ඇත්ත හෙලිදරව් කරන වෘත්තිකයන් රජය දඩයම් කරනවා."එහෙම කීවේ ලක්ෂ්මන් කිරිඇල්ල ය.

සජබයෙන් ජවිපෙට ප්‍රහාරයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ ආණ්ඩුවේ අස්වැසුම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ජන මතය ගොඩනංවන ලෙසටය.

ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟම විපක්ෂ නායක සජිත් මුදල් කමිටු රැස්වීමට සහභාගි වීමට තීන්දු කළේය.

නමුත් මේ කිසිවකට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වනු දැකිය නොහැකි විය.

"එතුමන්ලා කොහොමද හිතට එකඟව මේවට විරුද්ධ වෙන්නේ. එයාලා ඉන්න තැන හැමෝම දන්නවනෙ" එසේ කීවේ තුෂාර ඉදුනිල් ය.

"ඒක හරි. හැබැයි ඔයවගේ වෙලාවක විපක්ෂ නායකතුමා රටේ නොහොටියනම් එයාලා කොහොම කියයිද" හර්ෂණ රාජකරුණා කීවේය.

මහමෝදර, කරාපිටිය රෝහල්වල ගැටලුවලට වජිරගෙන් විසඳුම්

ගාල්ල කඩවත් සතර සම්බන්ධීකරණ කමිටු රැස්වීම එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා උදෑසන ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙහිදී සෞඛ්‍ය අංශයෙන් මහමෝදර රෝහලේත්, කරාපිටිය මහ රෝහලෙත් දැනට පවතින අඩුපාඩු පිළිබඳව රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයත් සමඟ සාකච්ඡා කොට ඒවාට වජිර විසින් විසඳුම් ලබාදුන්නේය.

මෙහිදී මිලියන 50ක් රෝහලේ බාහිර රෝගී අංශයේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා වෙන්කර ඇති බවත් වජිර රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයට පෙන්වා දුන්නේය.

රෝහල් දෙකෙහි පවතින ගැටලු ඉක්මනින් නිරාකරණය කළ යුතු බවත් යම් හෙයකින් රෝහල් දෙකෙහි කටයුතු අඩපණ වුවහොත් එය සමස්ත දිස්ත්‍රික්කයටම බලපාන බව වජිර ප්‍රකාශ කළ අතර ඒ සඳහා අවශ්‍ය කරන සියලු කටයුතු තමාගේ මැදිහත් වීමෙන් සිදුකර දෙන බව වජිර නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර සිටියේය.

රනිල්ගේ තවත් ඉදිරි පිම්මක් වජිර හෙළි කරයි

මේ අතර දිවයින පුරා ඇති ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කය තුළ සංවිධානය කරන ලද වැඩසටහනක් ගාල්ල ගිංතොට ප්‍රදේශයේදී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාංජලී ද සිල්වා මහත්මියගේ සංවිධායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගීව සිටියහ.

ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණයට කළින් එතැන තිබූ ඵලකය වජිර විසින් නිරාවරණය කළ අතර ඉන් අනතුරුව කෙටි රැස්වීමක් ද මෙම ස්ථානයේම සංවිධානය කර තිබුණි. එහිදී වජිරට මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව උදා විය.

මෙහිදී කෙටි අදහස් දැක්වීමක් කළ වජිර ප්‍රකාශ කර සිටියේ,

අපේ වාසනාවකට වැටුණු ජාතිය යළි නඟා සිටුවන්න අපිට ජාතික නායකත්වයක් ඉතිරිව තිබුණා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා අපේ රටට විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයටම ආදර්ශයක් දෙමින් අපේ රට ඉතාමත් කෙටි කාලයක් තුළදී නැවත ලෝකය සමග නඟා සිටෙව්වා.

මෙවැනි නායකයෙක් අපේ රට පාලනය කිරීම ගැන අපි සතුටු විය යුතුයි.

එතුමා ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකර අපි සියලුදෙනාම ඊට සහයෝගය ලබාදිය යුතු බව මා මේ මොහොතේදී ප්‍රකාශ කරන්න කැමතියි, “ යැයි වජිර මෙම උත්සව සභාව අමතා ප්‍රකාශ කර සිටියේය.

අලුත්ම ඇඹුල්තියල් මාළු කතාව අජිත් රාජපක්ෂගෙන්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතර පසුගියදා සාකච්ජාවක් සිදුකෙරුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි නියොජ්‍ය කථානායක කාර්යාලයේය.

“සමහර දේශපාලන පක්ෂ අමු බොරු ගොතන විදිය හිතාගන්නවත් බැහැ.” යනුවෙන් කතාව පටන් ගත්තේ ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයාය.

“මේ ගොල්ලන් මොනවද නොකිව්වේ. හම්බන්තොට සංවර්ධනයට තාමත් මඩ ගහන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට” යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂය.

"හම්බන්තොට කරපු සංවර්ධනයට මාර මඩ ගැහිල්ලක් තමයි ගහන්නේ. මුළු ලෝකයෙන්ම හොඳම වරායක් වන හම්බන්තොට වරායට කියන්නේ මහින්ද රාජපක්ෂගේ ස්විමින්ග් පූල් එක කියලා.

එතකොට යහපාලන ආණ්ඩුවෙන් මත්තල එයාර් පෝට් එකේ වී ගබඩා කළා.

සුරියවැව ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට මැච් දෙන්නේ නැතුව තියෙනවා. ක්‍රිකට් ගහන්නේ නැති ග්‍රවුන්ඩ් එකක් කියලා.

දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවම මේගොල්ලන් කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයට ගමෙන් ඇඹුල්තියල් මාළු ගේන්න මේ හයිවේ එක හැදුවා කියලා.

දේශපාලඥයින් ඔය කතා ඔහොම කියනකොට ටී.වී එකෙන් පත්තර කියවන සමහර මාධ්‍ය මහත්තුරු කියයි, හම්බන්තොට ස්විමින්ග් පූල් එකේ ඉන්නේ ඇඹුල්තියල් හදන්න ගන්න මාළු කියලා” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියපු කතාවට හැමෝම සිනහසුහ.

මනූෂට උතුරෙන් පැසසුම්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට පසුගිය සතියේ උතුරේ දෙමළ ජාතික මන්ත්‍රීවරුන් රැසකගෙන් දුරකතන ඇමතුම් ලැබුණේ පැසසුම් කිරීමටය. ග්ලෝකල් ෆෙයාර් 2023 යාපනයේ මුටුවේලි ක්‍රීඩාංගනයේදී මේ මස 15 සහ 16 දිනවල පැවැත්වීමට නියමිතයි.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහජන සේවා සමඟ අදාළ නිලධාරීන් ගමට යාමයි.

උතුරේ සිට මුදල් වියදම් කරමින් කොළඹ පැමිණ තම සේවා ඉටුකරගැනීම වෙනුවට උතුරේ ජනතාවට උතුරේදීම ඔවුන්ගේ ගැටලුවලට අදාළ අංශවලින් කඩිනමින් විසඳුම් ලබාදීම ග්ලෝකල් ෆෙයාර්හි අරමුණයි.

මෙවැනි සේවාවක් උතුරේ ජනතාව වෙනුවෙන් සිදුකිරීම සඳහා දින දෙකක් වෙන්කිරීම ගැන උතුරේ ජනතා නියෝජිතයින් රැසක්ම මනූෂට කතාකොට සිය ප්‍රසාදය පළ කර තිබු බව වාර්තා වේ.

Comments