ආණ්ඩුවේ යෝජනාවට සජබ ඇතුළේ ගාලගෝට්ටි | සිළුමිණ

ආණ්ඩුවේ යෝජනාවට සජබ ඇතුළේ ගාලගෝට්ටි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජනාව පසුගිය සතියේදී දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයට ලක් වූ කාරණයක් විය.

මෙම ලිපිය ලියන 30 වැනි සිකුරාදා සවස වන විටත් මෙම කරුණු ගැන දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් වාද විවාද පැවැත්වෙමින් තිබුණු අතර එදින සවස පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීම මෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් කමිටු රැස්වීම ද උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණු බව වාර්තා වේ.

විශේෂ ඇමති මණ්ඩල රැස්වීමක් කැඳෙව්වේ ඇයි?

යුරෝපා සංචාරය නිමකර මෙරටට පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහට කෙටි විවේකයක් හෝ ගැනීමට ඉඩක් නොලැබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීමට තිබූ නිසාවෙනි. ඔහු විදේශයේ සිටම මෙරට නිලධාරීන්ට හා මැති ඇමතිවරුන්ට උපදෙස් දෙමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සැලසුම් සකස් කොට තිබුණි. මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ දිගින් දිගටම ඔහු සාකච්ඡා කළේ රටටත් ජනතාවටත් හානියක් නොවන පරිදි මෙම ගැටලුව විසදා ගැනීමට ය. අවසානයේ ඔවුන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එකඟ වෙන, රටේ බැංකු පද්ධතියටත් හානියක් නොවන, සේවක අරමුදල්වලට ද හානියක් නොවන මූල්‍ය යෝජනාවක් සකස් කෙරුණි. ජනපතිතුමා මේ ගැන සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද හෙළිදරව් කළේය.

එහිදී තීන්දු කෙරුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අනුමත කිරීම වෙනුවෙන් විශේෂ ඇමති මණ්ඩල රැස්වීමක් කැඳවීමටය. ඉන්පසුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට ද මේ ගැන පැහැදිලි කිරීමට තීන්දු කෙරිණි.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට ද මේ ගැන දැනුම්දීමට තීරණය කළ ජනපති රනිල් ඇමති මණ්ඩල අනුමැතියෙන් පසු යෝජනාව පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට ද තීන්දු කළේය.

ජනපති රනිල් අඟහරුවාදා පෙරවරුවේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණි අතර නව ගුවන් හමුදාපති පත් කිරීම ගැන ද සාකච්ඡා කෙරිණි. පොලිස්පතිධුරය ගැන කිසිවක් කතා නොකිරීමට ජනපති රනිල් වගබල­ාගෙන තිබුණි. ගම්පහ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ජනපති සහභාගි වූයේ එදින සවසය.

විපක්ෂයට ජනපතිගෙන් පිළිතුරක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ බැංකු පද්ධතියට හෝ සේවක අර්ථසාධක අරමුදල්වලට කිසිදු හානියක් නොවන බව ජනපති ප්‍රසිද්ධියේම කීවේ එහිදීය. උත්සවය අවසන්වී ජනපති පිටත්ව යාමට සැරසෙද්දී ඇමති ප්‍රසන්න රණතුංග සමඟ සහන් ප්‍රදීප්, මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමතිවරුන් ජනපතිතුමන් ළඟට කිට්ටු වී කීවේ විපක්ෂයේ බොරු ප්‍රචාරවලට ජනාධිපතිතුමා නිසි පිළිතුරක් දුන් බවය.

මාධ්‍ය මඟින් ඊට ලොකු ප්‍රචාරයක් ලැබීම හේතුවෙන් ජනතාවගේ සැක සංකා දුරුවීමට එය විශාල හේතුවක් වූ බව ද ඔවුහු පෙන්වා දුන්නෝය.

බතලේගල පරිසර පද්ධතියට හානියක් වන බවට ජනපති රනිල්ට තොරතුරක් ලැබුණේ මේ අතරවාරයේය. එම මොහොතේම ජනපති ලේකම් සමන් ඒකනායකට කතා කළ රනිල් මේ ගැන සොයා බලා වාර්තා කරන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව ජනපති ලේකම් සමන් කෑගල්ල දිසාපතිගෙන් ඊට අදාළව වාර්තාවක් කැඳවීමට පියවර ගත්තේය. ජනපති රනිල් බදාදා දිගටම රැඳී සිටියේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේය.

බෙල්ලන්විල පෙරහරට රාජ්‍ය අනුග්‍රහය

බෙල්ලන්විල රාජමහා විහාරයේ වාර්ෂික පෙරහර මංගල්‍ය ගැන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ එදින පැවැතියේ ජනපති උපදෙස් මතය. ඊට බෙල්ලන්විල රජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියන් මෙන්ම මන්ත්‍රී ගාමිණි ලොකුගේ ද සහභාගී වී සිටියහ.

බෙල්ලන්විල පෙරහර කමිටුවේ ඉල්ලීම වූවේ පෙරහර පැවැත්වීමට අදාළ සහාය ජනපති කාර්යාලයෙන් ලබා දෙන ලෙසය. මෙම සාකච්ඡාවට ඉකුත් වසරේ පෙරහැර සංවිධානය කිරීමට ඉදිරිපත් වූ අනුග්‍රාහක භවතුන් ද එක්ව සිටියහ.

“ගිය වසරේ පෙරහර මංගල්‍යයට දැක්වූ දායකත්වය අඩුවක් නැතුව ඔබ තමුන්නාන්සේලාට මෙවරත් ලබා දෙන්න පුළුවන්ද?” ජනපති ලේකම් විමසුවේය. පැමිණ සිටි අය එක හඩින් පැවසූවේ ඔවුන් එයට උපරිම සහාය දක්වන බවය. එක් අයකු ගිය වසරේ දැක්වූ දායකත්වය දෙගුණයකින් වැඩි කරන බව ද ප්‍රකාශ කළේය.

“එහෙමනම් හාමුදුරුවනේ අඩුපාඩු තව තිබුණොත් අපට දන්වන්න. පෙරහර මංගල්‍යයට අපි පූර්ණ රාජ්‍ය අනුග්‍රහකත්වය දක්වනවා.” සමන් ඒකනායකගේ පිළිතුරෙන් සතුටට පත් බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැමිණ සිටි අයට පුණ්‍යානුමෝදනා කළේ ජනපතිගේ මැදිහත්වීම අගය කරමිනි.

සාකච්ඡාව කෙටි වේලාවකින් අවසන් වූ බැවින් එහි සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ජනපති ලේකම් දෙස බලා “ඔයා මේක ඉක්මණට ඉවර කළා.” කියා එය අගය කළේ ඔහු ද එදින කාර්ය බහුලව සිටි බැවිනි.

සවස කැඳවා තිබූ හදිසි කැබිනට් රැස්වීමට ජනපති ගියේ තනිව නොවේය. ඊට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන අය කැඳවා තිබුණි. ඔවුන් ඇමති මණ්ඩලය වෙත ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර සිටියෝය. ඔවුන් පැහැදිලි කරද්දී ජනපති ද ඊට එක්වෙමින් කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

ජනපති ගෙනා උපන්දින තෑග්ග

ඇමති මණ්ඩලය දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ යෝජනාව අනුමත කළේ ඉන් අනතුරුවය. කැබිනට් රැස්වීම නිමවා ජනපති රනිල් ගියේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමටය. ඔහු ආණ්ඩු පක්ෂ රැස්වීමට ආවේ කේක් ගෙඩියක් ද රැගෙනය. “ඔන්න මම ඔයාලට තෑග්ගක් ගෙනාවා.” ජනපති සාකච්ඡා කාමරයට ඇතුළු වූවේ එසේ කියමිනි. කවදාවත් නැතුව ජනපති මේ කරන්න යන්නේ කුමක්දැයි නොදත් පිරිස ජනපති දෙස බැලුවේ තුෂ්ණිම්භූතවය.

එහෙත් එක් අයෙක් පමණක් සිදුවන්නේ කුමක්දැයි අනුමාන කළේ එදින ඔහුගේ උපන් දිනය වූ බැවිනි. රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර දෙස හැරුණු ජනපති රනිල් මේ ඉන්නේ “බර්ත්ඩේ බෝයි” කියා පෙන්වමින් ඔහුට කේක් කැපීමට ආරාධනා කළේය. ශෂීන්ද්‍ර රාජපක්ෂගේ උපන්දිනය එදින බව දැනගත් හැමෝම ඔහුට සුබ පතන්නට රොක් වූහ.

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ උපන් දිනය වෙනුවෙන් රටටම තෑග්ගක් ලබාදෙන බවත් එය අස්වැසුම බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියපු කතාවට සියල්ලෝම සිනාසුණහ.

පැමිණ සිටි පිරිස ශෂීන්ද්‍ර කැපූ උපන්දින කේක් කෑමෙන් පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන මුදල් ලේකම්, මහබැංකු අධිපති හා ආචාර්ය සමරතුංග කළ දේශනයට සවන් දුන්හ. ඔවුන් ඇසු ප්‍රශ්නවලට මහබැංකු අධිපති මෙන්ම ජනපති ද පිළිතුරු බැන්ඳේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ බැංකු පද්ධතිය ආරක්ෂා වන ආකාරය ගැනත්, සේවක අරමුදල් සුරැකෙන ආකාරයත් ඔවුන් පැහැදිලි කර දුන්නෝය. එසේම සේවක අරමුදල් හි පොලී අනුපාතය 9%ක අගයේ දිගටම පවත්වාගෙන යන ආකාරය පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් අනුගමනය කරනා වැඩපිළිවෙළ ගැන ද මෙහිදී පැහැදිලි කරනු ලැබීය. පාර්ලිමේන්තුවේදි මෙම කරුණු ඉදිරිපත් කරන්නැයි ජනපති රනිල් පිරිසට උපදෙස් දුන්නේ තවත් ගැටලු ඇතිනම් විමසන ලෙස ද කියමිනි.

‍‍‍ශෙහාන් හා ජගත් කුමාර අතර උණුසුම් වාදයක්

අස්වැසුම සහන ක්‍රමය ගැන ගැටලුව පැන නැඟුණේ මේ අතරවාරයේය. ජගත් කුමාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අදහසට ප්‍රතිවිරුද්ධව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පිළිතුරු දීම හේතුවෙන් උණුසුම් වාදයක් ඇති වූයේය. ඊට මැදිහත් වූ ජනපති රනිල් කීවේ මෙම කාරණය ගැන පූර්ණ අධ්‍යයනයක් කරනා බවය. ඉන්පසුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපති පිටත්ව ගියේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂ නායක හමුවට එක්වීම වෙනුවෙනි.

සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂ කණ්ඩායම් රැසක් මේ හමුවට එක්ව සිටි අතර ඔවුන්ට ද ජනපති ඇතුළු කණ්ඩායම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පැහැදිලි කර දුන්නේය. විපක්ෂ මන්ත්‍රීවරු රැසක් එහිදි ප්‍රසාදය පළ කළේ ණය කප්පාදුවකින් තොරව මෙම ගැටලුව විසඳීමට ජනපති ගත් උත්සාහය අගය කරමිනි.

අරගලකරුවන් විනාශ කළ නිවෙස බලන්න රනිල් යයි

ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ තායිලන්ත තානාපති කාර්යාලයේ ප්‍රධාන ශාලාව වෙත ගියේ කලා ශිල්පී එස්. එච්. සරත් ගේ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමටය. එය නරඹා එන අතරතුර අරගලකරුවන් විසින් ගිනිබත් කළ වසර 50කට ආසන්න කාලයක් තමන් ජීවත් වූ නිවෙස වෙත යාමට ද ඔහු අමතක නොකළේය. සුන්බුන්ව පැවැති නිවෙස කෙමෙන් කෙමෙන් යළිත් ඉදිවෙන ආකාරය දැක ඇසට කඳුළක් නැඟෙන අයුරු අසල සිටියවුන්ගෙන් වසන් කිරීමට ඔහුට නොහැකි විය. ඒ එය තම දහඩිය මහන්සියෙන් ඉදිකළ නිසාවෙන් විය යුතුය.

මිනිස්සු පාරට ගේන්නේ කවුද?

“අස්වැසුම සහනය ගැන දැන ගන්න ජනතාව පාරට ඇවිල්ලා ඉන්නේ.” ප්‍රශ්නය ඇමති ප්‍රසන්නගෙනි.

“මෙතනදි ජනතාව පාරට ගේන්නේ නිලධාරීන් කණ්ඩායමක්. මේ අය මුලදී මේ සමීක්ෂණය කරන්නත් බෑ කිව්වා. හෙංචයියෝ ටිකක් තමයි කලඑළි බැහැලා ඉන්නේ.” රාජ්‍ය ඇමති ශෙහාන්ගේ මතය එය විය.

ජාත්‍යන්තර සහයෝගය ලැබෙන හේතු ජනපති පහදයි

“අපිට මේ ආධාරය ලැබෙන්නේ ලෝක බැංකුවෙන්. අයි.එම්.එෆ් වැඩසටහන කරපු නිසා තමයි අපිට මේ සහන ලැබෙන්නේ. ඉතින් අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් එක වැඩක්. අපි දැන් ප්‍රශ්න එකින් එක විසඳාගෙන යනවා. අපිට පොහොර ටොන් 50,000ක් නොමිලේ ලැබුණා. අයි. එම්. එෆ් කළමනාකාර අධ්‍යක්ෂතුමිය, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්තුමිය, ජර්මන් චාන්සලර් වගේ අය මුණ ගැසුණු වෙලාවේ කිව්වේ අපේ වැඩපිළිවෙළට සහාය දෙනවා කියලායි.

ඉතින් මේ මල් වට්ටියට අත ගහනවද නැද්ද කියලා හැමෝම තිරණය කරන්න ඕනේ. මේ වැඩපිළිවෙළේ ගියොත් රටත් ගොඩ අපිත් ගොඩ.” ජනපති දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දීර්ඝ කිරීමට සම්බන්ධ වීම ගැන වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රණාමය ජනපතිට හිමිවන බව ඔවුන් දන්වා ඇතැයි කීවේ මන්ත්‍රී වජිරය. එදින සවස ජනපති බැංකු නිලධාරීන් මුණ ගැසී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කරුණු පැහැදිලි කර දුන්නේය.

ජනපති රනිල් බ්‍රහස්පතින්දා සවස නුවර බලා පිටත්ව ගියේ තානාපතිවරුන්ට අක්තපත්‍ර පිරිනැමීමේ උත්සවයට සහභාගි වීමටය. සිකුරාදා පෙරවරුවේ මහනුවර ජනපති මැදුරේදි මෙම උත්සවය පැවැත්විණි. ජනපති රනිල් සති අන්තයේ නුවරඑළිය, හම්බන්තොට හා කතරගම බලා පිටත්ව ගියේ උත්සව කිහිපයකට සහභාගි වීම උදෙසාය.

අගමැති දිනේෂ්, රුමේනියාවට දෙන්න යන දේ

පසුගිය සතියේ, මෙරටට පැමිණි රුමේනියානු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Traian Hristea, අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් හමුවී, විශේෂ ඉල්ලීමක් කළේය. "ලාංකිකයො 25,000කට ආසන්න ගණනක් දැනට අපේ රටේ සේවය කරනවා. ඒත් තාම තානාපති කාර්යාලයක් නෑ" රුමේනියානු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"තව රැකියා අවස්ථාව වැඩිකර ගන්න, අපට උදව් ඕනෙ" දිනේෂ් කියද්දී එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කීවේ "පුළුවන්, තව 5000කට වඩා වැඩි කරලා 30,000 ඉලක්කයට යන්න පුළුවන්"

"ඔබතුමා විදේශ ඇමති කාලෙ රුමේනියාවට තානාපති කාර්යාලයක් ඇරඹීමේ අඩිතාලම දැම්මා, දැන් අගමැති විදියට ඒ වැඩේ ඉවර කරමු"

"අනිවාර්‍යයෙන් ඒ ගැන ප්‍රමුඛතාව දෙනවා, මොකද අපේ ශ්‍රී ලාංකිකයන්ට බොහෝ අවස්ථා දීලා, උදව් කරන මිතුරෙක් තමයි රුමේනියාව"

"ඔබතුමත් එදා ඉඳල ම රුමේනියා ජනතාවගෙ මිතුරෙක්, නැවතිලා තිබුණ ශ්‍රී ලංකා - රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ආරම්භ කළෙත් ඔබතුමාගෙ පුතා, යදාමිණි මන්ත්‍රීතුමා"

එම හමුවෙන් පසු රුමේනියානු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා හමුවූ අතර, ශ්‍රී ලංකා - රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ කැඳවුම්කරු, යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙන්ම සාමාජික මන්ත්‍රීවරු ද ඊට එක්ව සිටියහ.

පිරිසක් හර්ෂව වටකර ගනිති

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජනාව ගැන වැඩිම වාර ගණනක් රැස්වීම් පැවැත්වුණේ සමගි ජනබලවේග‍යේ කීවොත් එය නිවැරදිය. පසුගිය සතියේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මීට අදාළ සාකච්ඡා 5කට අධික ප්‍රමාණයක් පැවති බව වාර්තා වේ.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය සතියේ පැවති රැස්වීමක් දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව දැනගන්නට ලැබේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම එක් රැස්වීමකදී පිරිසක් ප්‍රකාශ කොට ඇත්තේ මේ අවස්ථාවේ දී කොන්දේසි හා සංශෝධන සහිතව ආණ්ඩුව ගෙන එන මෙම යෝජනාවට සහ‍යෝගය ලබාදිය යුතු බවයි.

මෙම ‍යෝජනාවට සහාය දී ආර්ථිකය යම් අර්බුදයකට ගියහොත් එහි වගකීම සමගි ජනබලවේගයට භාර ගැනීමට සිදුවන බව තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වා දී තිබේ.

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා යමක් පැහැදිලි කිරීමට ගිය අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහු වටකරගෙන දොස් පවරා ඇති බවද වාර්තා වේ.

හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු බැංකු හා රක්ෂණ ආයතනවලට අදාළ නොවන බවයි.

නමුත් තවත් මන්ත්‍රීවරුන් පිරිසක් හර්ෂගෙන් විමසා ඇත්තේ ඒ සඳහා ලබාදිය හැකි සහතිකය කුමක්ද? කියායි.

සංවර්ධන බැඳුම්කර හා ජාත්‍යන්තර බැඳුම්කර හරහා බැංකුවලට යම් බලපෑමක් සිදුවිය හැකි බවත් EPF,ETF අරමුදල්වලට යම් බලපෑමක් ඇති විය හැකි බවත් එම මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇති අතර මේ නිසා උණුසුම් සංවාද ඇති වී තිබේ.

සමඟි ජන බලවේගයේ ගාලගෝට්ටිය එළියට පැමිණීම පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමේදී සිදුවීමට හැකි නිසා සමඟි ජනබලවේගයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට අදහස් කරන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමට සජිත් එරෙහි වෙයි

ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟම විපක්ෂ නායක සජිත් මුදල් කමිටු රැස්වීමට සහභාගී වීමට තීන්දු කළේය.

ජනතාවගේ අරමුදල්වලට බලපාන අයුරින් ආණ්ඩුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බවට ‌චෝදනා කරමින් විපක්ෂ නායක සජිත්‌ ප්‍රේමදාස සැලසුම් කර තිබුණේ මේ පිළිබදව දැඩිව ප්‍රශ්න කරන්නටය.එහෙත් ආණ්ඩුව නියෝජනය කරන කමිටු සාමාජිකයන් ඊට එකහෙළා එරෙහි වූහ. ඒ වෙනකොට එම රැස්වීමට සහභාගිවීමට පමණක් විපක්ෂ නායකයාට අවස්ථාවක් හිමි විය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට විපක්ෂ නායකවරයා උපදෙස් දුන්නේ ආණ්ඩුවේ අස්වැසුම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ජන මතය ගොඩනංවන ලෙසටය. ඒ අනුව සමගි ජන බලවේගයේ සියලු ආසන සංවිධායකවරු තමන්ගේ සියලු ආසන ආවරණය වන පරිදි ජනතාව ඒකරාශී කරන්නට වූහ. ආණ්ඩුවට එරෙහිව සජිත් ඇතුළු විපක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඊට ඩලස් පිල, ගම්මන්පිල පාර්ශ්වය, දෙමළ සංවිධානය, මනෝ, දිගම්බරම් , හකීම්, බදුර්දීන් ඇතුළු පිරිස එක්කර ගැනීමට ද කටයුතු කරමින් සිටී.

පසුගිය සඳුදා ද විපක්ෂයේ විධායක කමිටුව රැස්වී ආණ්ඩුවේ මේ ක්‍රියාවලිය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරනු ලැබීය. 

"රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතිනවා" ජී. ඇල්. පීරිස් කීවේය.

"විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය යෝජනා කර සිටියේ නිවැරදි සමීක්ෂණයකින් එම කටයුතු සිදු කරන්න කියලා. වෙරිටේ රිසර්ච් ආයතනය පවා පෙන්වා දීලා තියෙන විදිහට විදුලි පරිභෝජනය මත හෝ ප්‍රතිලාභීන් තෝරා ගත්තා නම් එය විද්‍යාත්මකව නිවැරදි තේරීමක්" විපක්ෂ නායකවරයා සඳහන් කළේය. "ලර්න් ඒෂියා ආයතනය දිස්ත්‍රික්ක 13ක නිවාස 10000ක් කේන්ද්‍ර කර ගෙන සිදු කරන ලද සමීක්ෂණයකට අනුව රටේ දුප්පත් ජනගහනය සියයට 14 සිට සියයට 31 දක්වා වැඩි වෙලා.

ඒ කියන්නේ සියයට 17කින් වැඩි වෙලා තියෙනව. ලක්ෂ 30 සිට දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 70ක් වෙලා. රජයේ මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය මඟින් ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් කොටසටකට මෙම සහන නොලැබී යනවා" සජිත් කීවේය.

"අස්වැසුම හොඳ වැඩසටහනක්. එසේ වුවත් එය ක්‍රියාත්මක කරන ආකාරය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි. මෙය නිවැරදි විය යුතුයි" චන්දිම වීරක්කොඩි කීවේය.

ජනපතිගේ යුරෝපා සංචාරයේ වැදගත්කම වජිර පෙන්වා දෙයි

එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එංගලන්තයේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත වෙමින් සිටින මොහොතක මෙම බලමණ්ඩල රැස්වීම් පැවැති නිසා ජනාධිපතිතුමන්ගේ සංචාරය පිළිබඳව පැමිණ සිටි ක්‍රියාකාරීන් පාක්ෂිකයන් මෙන්ම මාධ්‍ය දැනුම්වත් කිරීමට ද වජිර මෙම බලමණ්ඩල අවස්ථාවක් කරගත්තේය.

මෙම බලමණ්ඩල සඳහා සහභාගී වූ සියලුදෙනා දැනුම්වත් කරමින් වජිර ප්‍රකාශ කළේ,

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පසුගිය සතියේ එංගලන්තයේ සහ ප්‍රංශයේ සංචාරය කරමින් ලෝක නායකයන් රැසක් මුණ ගැසී තිබෙනවා.

මෙහිදී එතුමන් ආසියානු කලාපයත්, ඉන්දු චීන සම්බන්ධතාවය සහ යුරෝපීය සම්බන්ධතාවය සමාන කරගනිමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. එතුමාට පැහැදිලි ස්ථාවරත්වයකින් ඇමෙරිකා එක්සත් ජනපදයත්, ඉන්දියාව, චීනය ඇතුළු සෙසු බලවත් රටවලුත් එකතු කරගෙන ශ්‍රී ලංකාව දියුණු කරගැනීම සඳහා ගත යුතු පියවර ගැන එතුමාගේ මෙවර එංගලන්ත සහ ප්‍රංශ සංචාරයෙන් බලාපොරොත්තු වෙනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරම් රාජ්‍ය තාන්ත්‍රිකව ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි තවත් නායකයෙක් අපේ රටේ නැහැ. එතුමාට අවුරුදු 50ක දේශපාලන පළපුරුද්දත්, අත්දැකීමුත් අපේ රට ලෝකය හමුවේ ඔසවා තැබීමට උදව් වෙනවා. ඒ නිසයි මම කියන්නේ ඇමෙරිකාව ලොකු වෙන්න පුළුවන්; එංගලන්තය ලොකු වෙන්න පුළුවන්, නමුත් ඒ හැම රටකටම වඩා අපේ ජනාධිපතිතුමා විශාලයි කියලා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරන ආකාරයට 2048 වසර වනවිට අපේ රට ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්වෙන්න නම් අපි ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවිය යුතුයි. ඒ සඳහා එතුමා සියලු දේශපාලන පක්ෂවල මෙන්ම ශ්‍රී ලාංකේය සමස්ත මහජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

මේ ගමන අපට තනියෙන් යන්න බැහැ. ඒකට සියලුදෙනාම පක්ෂ පාට, කුලමල භේද පසෙකලා රට වෙනුවෙන් සිට ගත යුතු වෙනවා. පක්ෂ පාට වශයෙන් අපි බෙදුණු නිසා අපිට වැරදුණා. දැන්වත් ඒ වරද අපි නිවැරදි කරගත යුතු වෙනවා”යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

ජනසවියට වජිරගෙන් ‍ෂොට් එකක්

මේ අතර අස්වැසුම ගැන ද වජිර අබේවර්ධන අදහස් දැක්වීය. “අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ සියලු දෙනාටම එය හිමි වෙනවා. කිසි කෙනෙක් බිය වන්නට අවශ්‍ය නැහැ. මොකද දැන් අපේ රටේ ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා කිසිම කෙනෙකුට අසාධාරණයක් සිදුවෙන්න දෙන් නැති බව මට ස්ථීරයි. ඒ ගැන ආයේ වචන දෙකක් නැහැ.

එදා ප්‍රේමදාස මැතිතුමා අසරණ ජනතාව වෙනුවෙන් ජනසවිය ගෙනාවා කියලා විපක්ෂයේ අය කියනවා.

තරහ වෙන්න එපා මම එක දෙයක් කියන්නම්, මේ ජනසවිය නිසා තමයි එක්සත් ජාතික පක්ෂය වැටුණේ. ජනසවිය ලැබුණේ තෝරාගත් පිරිසකට පමණයි. අනෙක් පිරිස තමන්ට ජනසවිය නොලැබුණු නිසා පක්ෂයට වෛර කළා. ඒ නිසා ඊළඟ මැතිවරණයේදී ඔවුන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්කළා.

දුප්පතාගේ හිතවතා දුප්පතා කියලා ඇතැම් විපක්ෂයේ පක්ෂ දේශපාලන සටන් පාඨ ඉදිරිපත් කරනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. දුප්පතාගේ හිතවතා විය යුත්තේ පොහොසතෙක්. එහෙම වුණොත් පමණයි දුප්පත් අයට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.

ඒ විතරක් නෙමෙයි සමහර අය කියනවා මට ඇහුණා 2015 – 2019 පාලන කාලය තුළදී තමයි අපේ රට වැඩියෙන්ම ණය ගත්තේ කියලා. මේ කතාවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මා ප්‍රකාශ කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහෙම ණය ගත්තේ නැහැ. එතුමා මේ කාලය තුළ සිදු කළේ 2004 සිට අපේ රට ගත් ණය පිළිබඳව පොත්වල සටහන් කර ඒවා ලෝකයට ඉදිරිපත් කිරීමයි.

අපි ලෝකයත් සමඟ ගනුදෙනු කරනවා නම් ඒවා විනිවිදභාවයෙන් යුක්ත විය යුතුයි. බොරු ඉදිරිපත් කරලා අපිට ලෝකයත් සමඟ ඉදිරියට යන්න බැහැ. “යනුවෙන් ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

Comments