ලංකාවේ මහා භූ කම්පනයක් වෙයිද? | Page 3 | සිළුමිණ

ලංකාවේ මහා භූ කම්පනයක් වෙයිද?

භූමිකම්පන පිළිබඳව මේ වන විට සමාජයේ විවිධ අදහස් මතුවෙමින් පවතී. එයට හේතුව හම්බන්තොට බුත්තල ආශ්‍රිතව පසුගිය දිනවල වඩා සැලකිලිමත් විය යුතු භූමි කම්පන දෙකක් මතු වීමයි. එසේම නිරන්තයෙන් භූ කම්පන සිදුවීම ඉදිරියේදී වඩා අවදානම් සහිත තත්ත්වයක් බවක පෙර නිමිත්තක් බව ඇතැමුන්ගේ අදහසයි. භූමිකම්පන සක්‍රිය තලමායිම් ආශ්‍රිත සක්‍රීය විභේදවල සිදු වෙයි. භූ ස්ථර ශක්තිමත් වුවද ඒවා චලනය වීමක් සිදු වේ. භූමියේ භූගෝලීය රටාවට ඔරොත්තු නොදීම නිසා භූ චලන ඇති විය හැකිය.

2004 දෙසැම්බර් 26 දින සිදු වූ සුනාමි තත්ත්වය ඇති වීමට පෙරාතුව ආසන්න මාසයක කාලයක් තුළ භූ චලන 5ක් 6ක් පමණ ඇති වී ඇති බව ඇතැම් භූ විද්‍යාඥයන්ගේ මතයයි. මේ කුඩා චලන වඩා බරපතළ චලනයක හෝ දරුණු ආපදාවක් වීමේ සම්භාවිතාවක් පවතින බවත් එහෙත් එය වීමට ද නොවීමට ද ඉඩකඩ පවතින බවත් භූ විද්‍යාඥයන්ගේ මතය වී ඇත. ඈත අතීතයේ පවා භූ චලන සිදුවී ඇති බවටත් මුහුද ගොඩගලන ලද බවටත් ඉතිහාස කතා සාක්ෂි දරයි. ඒ පිළිබඳව විද්‍යානුකූල දත්ත හෝ පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි කෙසේවුවත් ඇතැම් ඉතිහාස ග්‍රන්ථවල ඒ බව සඳහන් වෙයි. එසේම 1615 මෙරට සිදු වූ භූ චලනයකින් මිනිසුන් 2000ක් පමණ මිය ගිය බවත් එවක මෙරට පෘතුගීසි පාලනයක් පැවැති බවත් වාර්තාවල සඳහන් වේ. මේ භූ චලන මැනීම සඳහා 1935 දී පමණ රික්ටර් පරිමාණය උපයෝගී කර ගන්නා ලදී.

මෙරට 1814 මඩකළපුවේ බරපතළ චලනයක් සිදුව ඇති අතර මහාචාර්ය ඩබ්.පී. විතානගේ සඳහන් කර තිබුණේ 1972 වසරේදී මධ්‍යම කදුකර ප්‍රදේශ ආශ්‍රිතව වසරකට මිලිමීටර් එකක් පමණ පොළව එසවීමක් සිදුවන බවයි. එමෙන්ම මෙරට 1993 වන විට භූ චලන 60ක් පමණ සිදුවී ඇතැයි ද ඔහුගේ වාර්තාවක සඳහන් කර ඇත. එසේම මුහුදට ආසන්න කිලෝමීටර් පනහක දුරින් රිච්ටර් පරිමාණ 4.4 භූ චලනයක් පසුගිය දිනක හම්බන්තොටින් වාර්තා විය. මේ සමඟ ඇතැමුන්ගේ අදහස වූයේ එය ඉදිරියේදී දරුණු භූ චලනයක පෙර නිමිත්තක් විය හැකි බවයි. මේ වසරේ භූ චලන 8කට වඩා සිදුවී ඇත‍. මේ භූ චලන පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය.

වෙනත් රටවලට සාපේක්ෂව මෙරට භූමිකම්පා අඩුවෙන් සිදු වෙයි. භූ විද්‍යාවක් ලෙස දියුණු වූයේ 2004 සුනාමිය පැමිණීමත් සමඟ බවත් ඒ දක්වා ඒ පිළිබඳව වූ අවධානය අඩු බවත් ඇතැම් භූ විද්‍යාඥයන්ගේ මතයයි. භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය 2012 වසරින් පසුව සක්‍රිය දායකත්වයක් ලබා දෙන ලදි. විධිමත් දත්ත ඉන් අනතුරුව සටහන් විය. භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය භූ කම්පන පිළිබඳ දත්ත රැස් කිරීම අඛණ්ඩව සිදු කරමින් භූ චලන පිළිබඳ විශ්ලේෂණ සහ නවතම තොරතුරු ලබා දීමට කටයුතු කරයි. ඒ අනුව මධ්‍යස්ථාන 4ක් මඟින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සිදු වෙයි. නමුත් නිරීක්ෂණය වැඩි කිරීමට නව දත්ත පද්ධති සකස් කිරීම ඉදිරියේදී සිදුවිය යුතු බවත් ඇතැම් භූ විද්‍යා පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි.

භූමිකම්පා පිළිබඳව වැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා 
- පේරාදෙණිය විශ්වවිද්‍යලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ, භූ ගර්භ සහ පර්යේෂණ අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න

භුමිකම්පා දැනුම්වත්ව හෝ නොදැනුවත්ව සියලු කාලයන්හිදී සිදු වෙනවා. දිනකට සාමාන්‍යයෙන් භූ කම්පන දහදහක් පමණ සිදු වෙනවා. රික්ටර් මාපකයේ අගය 5ට වඩා ඉහළ භූ කම්පා අඩුවෙන් සිදු වෙයි. ලංකාවේ භූමිකම්පා ඈත අතීතයේ සිදුවී තියෙනවා. එහෙත් වඩා වැඩි අවධානයක් යොමුවී තියෙන්නේ මෑත ඉතිහාසයේදී යි. ඒවා ගැන භූ විද්‍යාඥයන් සාකච්ඡා කිරීමට ආරම්භ කිරීමෙන් පසුව වැඩිදෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. 2004 සුනාමිය ඇති වුණාට භූචලන පිළිබඳ අවධානය වැඩි වශයෙන් යොමු වුණා.

මෑතකදී භූමිකම්පා පිළිබඳ අවධානය යොමුවීමත් සමඟ කම්පනමාන පවතින තැන්වල ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ආයතනයක් නොතිබිණි. නමුත් වර්තමානයේ මේ වන විට පුරාවිද්‍යා, භූ ගර්භ සහ පතල් කාර්යාලයේ දවසේ පැය 24 පුරාම කම්පන පිළිබඳව අවධානය යොමු කර තියෙනවා. මේ මධ්‍යම කඳුකරයේ කම්පන සිදුවන ප්‍රදේශ ආවරණය වීමට කම්පන මාන සවි කිරීමට මේ වනවිට කටයුතු කර තියෙනවා. ඒ අනුව තාවකාලික ස්ථානවලත් සවි කර තියෙනවා. ඒ නිසා දත්ත ලැබෙනවා. භූමිකම්පා වැඩි වෙලා නොවෙයි. භූමිකම්පා පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. පසුගිය කාලවලදි දත්ත ගැන අවධානය යොමු කර අපි අධ්‍යයනය කර භූමිකම්පා සිතියමක් සකස් කර තියෙනවා. ඒ සිතියමේ යම් යම් විශේෂිත වූ කලාප තියෙනවා. ඒ අනුව මධ්‍යම කඳුකරයේ හරි මැද කම්පන සිදුවෙනවා. ඒවා බොහෝ විට පොළවේ පැළුම් තළ ආශ්‍රිතව සිදු වෙයි. 1972දි පී. ඩබ්. විතානගේ සඳහන් කර තිබුණා; අවුරුද්දකට මිලිමීටර් එකක් පමණ පොළව එසවීමක් සිදුවෙනවා කියනවා. ලංකාවේ උමං මාර්ගවල අස්සේ කුඩා කුඩා චලනයක් සිදු වෙනවා. ඒ අනුව මධ්‍යම කඳුකර ප්‍රදේශය ඉහළට එසවීම සිදුවෙයි. මධ්‍යම කඳුකරයේ වර්ෂා කාලයට අපේ ජලාශවල ජලය වැඩිවන විට පාෂාණ තට්ටුවලට විශාල බරක් දරන්න වෙනවා. එහිදී පාෂාණ තට්ටුවලට ඇති වන ආතතිය බොහෝ විශාලයි.

එවිට එම පාෂණ තට්ටු නැමෙන්න බලනවා. එම පැළුම් ආශ්‍රිතව කුඩා චලනයන් මඟින් නැමීම සිදු වෙන්නෙ. ජලය යළිත් ඉවත් වන විට එම ආතතිය ලිහිල් වෙනවා. පාෂාණ තට්ටුවල නැවත චලන සිදු වෙනවා. අප නිර්මාණය කරන ලද මේ සිතියම අනුව තවත් කලාපයක් තියෙනවා. රේඛාවක් දිගේ ත්‍රිකුණාමලයේ සිට උස්සන්ගොඩට යන රේඛාවක්. ඒ රේඛාවේ සනිටුහන් කරන්නේ මධ්‍යම කඳුකර ශ්‍රේණියේ පාෂාණ සහ නැගෙනහිර මුහුදුබඩ කලාපයයි.

මේ අතරතුර මේ රේඛාව පරණ අක්‍රිය තල මායිමක් ලෙස 1976 දී පමණ අපේ මහාචාර්යවරයෙක් හඳුනාගෙන තියෙනවා. මෙය අක්‍රීයතල මායිමක් වුණත් වරින්වර සක්‍රිය විය හැකියි. ලෝකයේ නොයෙක් තැන්වල භූ චලන තත්ත්වයන් සිදුවෙනවා. එමෙන්ම කම්පන සටහන් සිතියම බැලු විට මේ රේඛාව දිගේ කම්පන වඩා වැඩියෙන් සිදුවෙලා තියෙනවා. මේ ආකාරයට හම්බන්තොට කිරින්ද උස්සන්ගොඩ ප්‍රදේශවල මේ නායයෑම් සිදු විය හැකි බව මා කලින් සඳහන් කර තිබුණා. ඒ අනුව මේ ආසන්න දිනක එය සිදු වුණා. එය අක්‍රිය වූ තලමායිමක් වෙන්න පුළුවන්. මොනරාගල, හම්බන්තොට හා බුත්තල ආසන්නව මෑතකාලීනව භූකම්පන දහයක් පහළොවක් පමණ සිදුවෙලා තියෙනවා. මේ භූමිකම්පා සිදුවීම පිළිබඳව කිසිදු දෙයක් කරන්න බැහැ. ඒ සම්බන්ධව දැනුම්වත් වීමයි කළ හැකි වෙන්නේ. භූමිකම්පන සිදුවෙන විට ඒ ගැන හරි අදහසක් ඇති කර ගැනීමට සහ නිශ්චිතව තේරුම් ගැනීමට කරුණු කිහිපයක් අවශ්‍යයයි. එනම් අපේ භූමියේ කොහොමද මේ වැනි දේවල් සිදු වෙන්නේ, අපිට ම අවේණික කම්පන රටාවක් ද තියෙන්නේ කියලා තේරුම් ගැනීමට දත්ත රාශියක් අවශ්‍යයයි. ලංකාව පුරාම කම්පන මාන සවි කළ යුතුයි. ඒ අනුව එය දෙස බලාගෙන හිටියත් නැතත් දත්ත ගබඩා කරගෙන; භූ විද්‍යාඥයන්ට විශ්ලේෂණ කර කම්පන සිදුවෙන්නේ කොහොමද කියලා නිසි අදහසක් ඉදිරිපත් කර තියෙනවා.

භූමිකම්පා සිදුවීමට පෙර නිශ්චිතව කියන්න බෑ
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය කපිල දහනායක

භූමිකම්පාවක් ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිදුවිය හැකියි. භූමි අභ්‍යන්තර ක්‍රියාවලිය නිශ්චිත වශයෙන් කියන්න බැහැ. භූචලන ගැන කතා කරන විට කිසිවකුට අනාවැකියක් පළ කළ නොහැකිය. ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක භූචලන සිදුවිය හැකිය. එහෙත් ඒ කොතනකදැයි කල්තියා කිසිදු විද්‍යාඥයකුටවත් කිසිදු විද්‍යාවකටවත් නිශ්චිත වශයෙන් කිව නොහැකිය. භූමිකම්පා පිළිබඳව මෙතෙක් කල් අනාවැකි පළ කරලා නැහැ. සමහර භූවිද්‍යාවන් කියනවා; මේ පසුගිය දිනක සිදු වූ භූකම්පනය විශාල භූකම්පනයක පෙර නිමිත්තක් කියලා. ඒක අපිට නිශ්චිත වශයෙන් කියන්න බැහැ. සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය ඕනෑම තැනක සිදුවිය හැකියි. අපේ රටේ ඉතිහාස කතාවලත් භූමිකම්පා පිළිබඳව සඳහන් කර තියෙනවා. භූමිකම්පා සිදුවීමකදී වහාම ගස්කොළන් නැති ප්‍රදේශයකට යා යුතුයි. භූමිකම්පා සිදුවන ස්ථාන දළ වශයෙන් දක්වන්න හැකි වුවත් ඊළඟ පාර එම ස්ථානයේම භූකම්පාවක් නොවිය හැකියි. විශාල වශයෙන් පාෂාණ චලනය වීමකින් ගමන් කිරීමක් සිදු වුවහොත් විශාල කම්පනයක් ඇති විය හැකියි. භූමියේ අභ්‍යයන්තරය ක්‍රියාකාරී දේහයක්. ලෝදිය උඩට මතුවී ගිනි කඳු සෑදීම වැනි විපර්යාසයන් පොළව අභ්‍යන්තරයේ සිදුවන්නා සේ නොයෙක් ක්‍රියාකාරී දේ ඒ තුළ සිදු වෙනවා. පෘතුවිය ගමන් කරන ක්‍රියාකාරී දේහයක්. ඒ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන භූමිකම්පා තියෙනවා. එසේම අභ්‍යන්තරයේ විවිධ ව්‍යුහ ලක්ෂණ සහ පාෂාණ වර්ගත් තිබෙනවා. එසේ ම සමහර පාෂාණ වර්ග කැඩීම භයානකයි. සමහර විට සුළු වශයෙන් භූකම්පනයක් තිබිලා නැතිවෙන්නත් පුළුවන්. කෙසේවෙතත් කම්පනයක් වූ වහාම ගොඩනැගිලි ගස් කොළන් නොමැති ස්ථානයකට යෑම ජිවිත ආරක්ෂාවට ඉතා වැදගත්.

ඉදිරියේදී භූකම්පනවලට ඔරොත්තු දෙන ආකාරයේ ව්‍යාපෘති සැලසුම් කිරීම අවශ්‍යයි
- ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ තාක්ෂණික අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ භූමිකම්පා සිදුවන ප්‍රදේශයක නොවෙයි. ඒ අනුව භූමිකම්පා හානිදායක විශාල පරිමාණයේ භූමිකම්පා ලංකාව ආසන්නයේ සිදුවනවා යැයි නිශ්චය වශයෙන් විශ්වාසයක් නැහැ. සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ නැති සහ දළ වශයෙන් දැනෙන මට්ටමේ භූමිකම්පා මෑතකාලීනව ඇතිවී තියෙනවා. ඒවා මධ්‍යම කඳුකර ප්‍රදේශවල සිදුවී තියෙනවා. මධ්‍යම කදුකරයේ ඇති පාෂාණ ස්ථරවල සුළු චලනය වීමක් සිදුවිය හැකියි. විශාල ජලස්ථරයක් මධ්‍යම කඳුකරයේ ගබඩා කරලා තියෙනවා; ජලයේ බරත් සමඟ ඒ ජලය යට තියෙන පාෂාණවල චලනයන් ඇති විය හැකියි. එසේම හුණු ගල් කර්මාන්තය ආශ්‍රිත ප්‍රදේශවල අභ්‍යන්තරයේ කුහර කඩා වැටීම නිසා ඇතිවන කම්පන තරංග ද විය හැකියි. ආසන්නයේම සිදු වූ භූ කම්පනය 4.4 වන බවත් එය මෑත ඉතිහාසයේ සිදුවූ විශාල කම්පනයක්. එය මුහුද ආශ්‍රිතව සිදු වූ නිසා එහි හානියක් නැහැ. නායයෑම් සිදුවන තවත් සක්‍රිය සාධකයක් තමයි භූකම්පන. එසේම වෙනත් හේතු ද විය හැකියි. භූ කම්පනවලින් සිදුවිය හැකි තවත් අනිසි විපාකයක් වන්නේ ගොඩනැගිලි කඩාවැටීමයි. ඉදිරියේදී භූකම්පනවලට ඔරොත්තු දෙන ආකාරයේ ව්‍යාපෘති සැලසුම් කිරීම අවශ්‍ය වෙතැයි මා විශ්වාස කරනවා. භූමිකම්පන නැතැයි සිතා තමයි මෙතෙක් කල් අපි මේ දේවල් කළේ. සාමාන්‍යයෙන් ජපානයේ වැනි රටවල රික්ටර් පරිමාණ 6, 7ක පමණ කම්පනයකට ඔරොත්තු දෙන ආකාරයෙන් සකස් කරලා. එනමුත් අපේ රටේ ඒ පිළිබඳව සැලකීමක් නැතුව මේ ඉදිකිරීම් දේ කරන්නේ. භූමිකම්පාව නායයෑමට යම් බලපෑමක් කරන්නේ කෙසේද යන කාරණය අධ්‍යයනය කිරීම සහ ගොඩනැගිලි සහ සංවර්ධන ව්‍යාපෘතිවලදි භූමිකම්පාවල බලපෑම සැලකීම වැදගත්ය යන කාරණා දෙක මතු කිරීම කාලීනයි කියලා මා හිතන්නේ.

නිරීක්ෂණ මධ්‍යස්ථාන හතරකින් අවශ්‍ය තොරතුරු රැස් කෙරෙනවා
- භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය භූකම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන

භූමිකම්පා සක්‍රිය තලමායිම් ආශ්‍රිත සක්‍රිය විභේදවල සිදු වෙයි. සාමාන්‍යයෙන් එවැනි සාමාන්‍ය තලයක් මත විශාල හානිදායක භූ චලන සිදුවීමට ඉඩකඩ අඩුයි. ලංකාවේ තැනින් තැන වරින්වර සිදුවීම් වාර්තා වී තියෙනවා. සමහර ප්‍රදේශවල අඛණ්ඩව මේ භූ චලන සිදුවී තියෙනවා. 2012 අම්පාර ප්‍රදේශයේ වටිනාගල සහ 2020 දිගන ප්‍රදේශයේ සිදු වුණා. 2023 බුත්තලද එවැනි සිදුවිම් සිදු වුණා; වසරකට සාමාන්‍ය කිහිපයක් සිදුවෙනවා; පිටට දැනෙන දෙක තුනක් සිදු වෙනවා. නොදැනෙන උපකරණවල සටහන් වන අවස්ථා තියෙනවා. මේ භූ කම්පන ලංකාවේ තියෙන දුර්වල කලාපවල සිදුවෙන්න පුළුවන්. කුමන රටාවකට සිදු වෙනවාද? කුමන ප්‍රදේශවල බහුවලව සිදුවෙනවා ද යන නිගමනයකට ඇවිල්ලා නැහැ; එවැනි නිගමනයකට ඒමට තරම් අධ්‍යයන කටයුතු කර නැහැ; එවැනි අධ්‍යයන කටයුතු කිරීමට අපිට හොඳ දත්ත පද්ධතියක් අවශ්‍යයි; එසේම ඇතැම් රටවලට සාපේක්ෂව මෙරට භූමිකම්පා අඩුවෙන් සිදු වෙයි. එය විද්‍යාවක් ලෙස දියුණු වූයේ 2004 සුනාමිය පැමිණීමත් සමඟ ඒ දක්වා ඒ පිළිබඳව අවධානය අඩුවෙන් යොමු වූයේ මේ වැනි භූකම්පන පිළිබඳව අඩුවෙන් වාර්තා වන නිසයි. අපේ මධ්‍යස්ථානයේ මේ සම්බන්ධයෙන් දත්ත රැස් කිරීම අඛණ්ඩව සිදු වූයේ 2012 පසුවයි. දැනට පවතින ප්‍රධාන මධ්‍යස්ථාන 4න් අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්; නමුත් නිරීක්ෂණය වැඩි කිරීමට නව දත්ත පද්ධති සකස් කිරීම සුදුසුයි; ඒ අනුව එහි නිරවද්‍යතාව වැඩිවෙයි. පසුගිය දිනවල මුහුදට ආසන්න කි.මී 50 දුරින් සිදු හම්බන්තොට රිච්ටර් මාපක 4.4 වැනි ප්‍රමාණයකින් භූමි කම්පනයක්ද සිදු විය. රික්ටර් මාපක 3.5 පෙබරවාරි 06 වැනිදා සහ මේ වසරේ 8කට වඩා භූ චලන සිදු වෙලා තියෙනවා. මෙතෙක් සිදුවී ඇති භූ චලන පිළිබඳ මෙතෙක් සිදුවූ ගණන නිශ්චිතව වාර්තා වී නැත; 2012 පසුව දත්ත සටහන් නියමාකාරයෙන් සිදුවී ඇති අතර ඒ අනුව මිනිස් ජීවිතවලට හානියක් සිදු වී නැත.

Comments