වමේ රික්තකය පුරවන්න ජවිපෙට බෑ | Page 2 | සිළුමිණ

වමේ රික්තකය පුරවන්න ජවිපෙට බෑ

 

ජවිපෙ ගොඩනැඟීමට කලක් වෙහෙස වී කටයුතු කළ ඔබ 2006දී ඉන් ඉවත් වෙනවා. වත්මන් ජවිපෙ ගමන් මඟ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මම ජවිපෙට සම්බන්ධ වෙන්නේ 1973දී. එදා ඉඳලා මම දිගටම වැඩ කළා. 1989දී මම විදෙස් ගත වෙලත් පක්ෂයේ වැඩ කළා. 1989න් පසු පක්ෂය නැවත ගොඩනඟන අවස්ථාවේදිත් මම මූලික වුණා. ජවිපෙ පක්ෂ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ඡන්දය ඉල්ලන තැන දක්වාම මම හිටියා. අද ජවිපෙ ආරම්භක මූලික සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම අමතක කරලා කටයුතු කරන පක්ෂයක් විදිහටයි මම දකින්නේ. ඒ වගේම දැන් ජවිපෙ මම දකින්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සහ සංශෝධනවාදය පිළිගත් සංශෝධනයට ලක්වූ එක්තරා සාමාන්‍ය දේශපාලන පක්ෂයක් විදිහටයි.

 

වාමවාදී දේශපාලන මතවාදයක් අද ජවිපෙ තුළ නැති බවද ඔබ කියන්නේ?

ඔව්, එහෙම එකක් අද නැහැ. දැන් වමක් කියලා එකක් නැහැ. වමේ විග්‍රහයක් මේ රටේවත් අද නැහැ. නිර්ධන පන්තිය මූලික කර ගත් නිර්ධන පන්තියට රාජ්‍ය බලය ලබා දෙනවා කියන තැනක නොවෙයි ඒ අය දැන් ඉන්නේ. අද ජවිපෙ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළි අරන් තියෙනවා . විවිධ හැලහැප්පීම් මත වසර පනස් හත අටක් පක්ෂය ගමන් කරලා තියෙනවා මිසක් ආරම්භක සිද්ධාන්ත මත අද ජවිපෙ පදනම් වෙලා නැහැ. ඒ නිසා මතවාදීමය වශයෙන් පක්ෂය පස්සට ගිහින් මිසක් ඉදිරියට ගිහිල්ලා නැහැ. හැමදාම කෙටි කාලීන ප්‍රශ්නවලට උත්තර සොයමින් තියන ආණ්ඩුවල අර්බුද මතු කරමින් ඔහේ ගලාගෙන යනවා. ලොකු අරමුණු සහ බලාපොරොත්තු නැහැ. මේ වන විට රටේ මිනිස්සු ජවිපෙ වටා එක්රොක් වෙලා ඉන්නවා කියලා ජවිපෙම කියනවා. පළාත් පාලන ඡන්දයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා මට කියන්න පුළුවන්. නමුත් ඡන්දය පැවැත් වූ දවසට අපිට බලාගන්න පුළුවන් ජනතාවගේ මතය කුමක්ද කියලා.

 

ජවිපෙ ප්‍රගතිශිලි බලවේගයක් ලෙස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීම සම්බන්ධයෙන් ඔබ දරන අදහස කුමක්ද?

එය ඔවුන් කළේ උපක්‍රමයක් ලෙසයි. උපාය මාර්ගයක් ලෙස යැයි කීම වැරදියි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය පිළිගත්තේ බලය ලබා ගැනීමටයි. උපක්‍රමයක් ලෙස එදා පාවිච්චි කළා නම් ජවිපෙට මීට වඩා දුරක් යන්න තිබුණා. පාර්ලිමේන්තුව පිළිගත්තාට කමක් නැහැ. අවශ්‍ය දේශපාලන අරමුණ කරා යෑමට නම් පාර්ලිමේන්තුව පාවිචිචි කරන්න පුළුවන්.

ඒ වගේම සන්නද්ධ අරගලයක් පාවිච්චි කරන්නත් පුළුවන්, ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම වැනි විවිධ උපක්‍රම භාවිත කරන්නත් පුළුවන්. එහි කිසිදු වරදක් නැහැ. නමුත් ජවිපෙ ජාත්‍යන්තර දේශපාලන මතවාදයන්ගෙන් ඈත්වූ නිකන් වමේ පක්ෂයක් කිව්වත් අද අාධ්‍යාත්මකව වමේ ව්‍යාපාරයක් නොවෙයි, වචන විතරයි. 1971 කැර­ැල්ලෙන් පසුව 1988-1989 පසුබෑමෙන් පසුව ලංකාවේ හොඳ වමේ ව්‍යාපාරයක් නිර්මාණය වු‍‍ණේ නැහැ.

ඒ නිසා වමේ පක්ෂයකට ලංකාවේ හොඳ ඉඩක් තියෙනවා. එයට පිළිතුරක් හොයන්න පෙරටුගාමින් උනන්දු වුණාත් ඒ අයගෙනුත් හොඳම පිළිතුරක් ලැබුණේ නැහැ. ජවිපෙ දැන් කෑලි කෑලි කැඩි ගිය පක්ෂයක් පමණයි. සමාජ බලවේගයක් කියන තත්ත්වයෙන් ජවිපෙ ඈත්වෙමින් තියෙනවා.

 

ඔබ කියනවා අද රටේ වමේ ව්‍යාපාරයක් නැහැ කියලා. එසේ නම් වමේ ව්‍යාපාරයක් වෙනුවෙන් රටේ රික්තකයක් තියෙනවා නේද?

අනිවාර්යෙන්ම තියෙනවා. ඒත් වමේ ව්‍යාපාරයක් වෙනුවෙන් රටේ ඇති ඒ රික්තකය පුරවන්න ජවිපෙට බැහැ. එය ජාතික ව්‍යාපාරයකට විතරක් කරන්න බැහැ. වමේ ව්‍යාපාරවලට මේ රටේ තවමත් රික්තයක් තියෙනවා. එය පුරවන්න කිසිවෙකුට නොහැකි වෙලා තියෙනවා. විශේෂයෙන් එය පුරවන්න ජවිපෙට බැරි බව දැනගත්ත අය පක්ෂයෙන් ඉවත් වුණා. වමක් ගොඩනඟන්න කුමාර් ගුණරත්නම් වැනි පිරිස් ඒ අයට පුළුවන් කියලා හිතුවත්. ඒ අයටත් බැහැ.

 

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූ ඒ පක්ෂයක් වන ජවිපෙ ඔවුන් බලයට පත්වුවහොත් නැවත බලාත්මක කරනවා කියලා මැතිවරණ වේදිකාවල කියනවා . ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

මේ ප්‍රකාශ කරන්නේ ජවිපෙ ගැන අවබෝධයක් ති‍ෙයන අය නොවෙයි. පක්ෂයේ ප්‍රතිපත්ති ගැනවත් ඉතිහාසය ගැනවත් අවබෝධයක් තියෙන අය නොවෙයි අද ඉන්නේ. ජවිපෙ ගැන අපිට තියෙන අවබෝධය ඒ අයට නැහැ. විජේවීර සහෝදරයා හිර ගෙදරින් නිදහස් කරගෙන එනකොට හිටපු කණ්ඩායමෙන් ඉතිරි වෙලා ඉන්නේ මම විතරයි. දැන් ජවිපෙ අභ්‍යන්තර ප්‍රතිපත්ති වෙනස් වෙලා. රටත් විනාශ වෙලා පක්ෂයත් විනාශ වෙලා යෑමක් වැනි දෙයක් මෙයින් වෙන්නේ. 13 වැනි ව්‍යාවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවිය යුතුයි. ජවිපෙට කිසිසේත් ප්‍රතිපත්තියක් නැහැ. දැන් ජවිපෙ අරමුණ මන්ත්‍රීවරු තුන හතර කර ගැනීමයි. ඒ වගේම පක්ෂයට තවත් අරමුණක් නම් ආදායම වැඩි කරගන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ටිකක් පත් කර ගැනීමයි.

 

එදා ජවිපෙ අභ්‍යන්තරයේ යම් ප්‍රතිපත්ති සමුදායක් තිබුණ බවත් අද ජවිපෙට ප්‍රතිපත්තියක් නැති බවත් ඔබ කියන්නේ කොහොමද?

ජවිපෙට අද වන විට තිරසාර ප්‍රතිපත්තියක් නැහැ. පරිපාලන වැඩසටහනක් නැහැ. අද තියෙන ප්‍රතිපත්ති මහපොළවේ පැළ කරන්න පුළුවන් එකක් නොවෙයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තිබුණත් එය ඒ සඳහා ඒ අයට දේශපාලන බලයක් නැහැ. ලක්ෂ 8ක් පමණ ගත්ත පක්ෂයකට 69 ලක්ෂයකට වඩා ඡන්ද ගන්න කොච්චර අසීරුයිද? ජවිපෙ ප්‍රතිපත්තියක් තිබුණත් හුදෙකලාව ස්වාධීනව කටයුතු කරන්න බැහැ. ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කළත් ප්‍රාදේශීය සභා ගොඩනඟන්න රජයේ මුදල් තිබිය යුතුයි.

 

2006 පසු ඔබ ජවිපෙ සමඟ ගමන් කළ දේශපාලනික ගමන් මඟ වෙනස් කිරීමට මේ හේතු කාරණා මූලික වුණාද?

ජවිපෙට එදා 41ක් හම්බවුණා. මන්ත්‍රීවරුන් 39ක් දිවුරුම් දුන්නා. එදා 41 අද තුනට බැහැලා. එයට හේතුව මේ අයගේ වැරදි උපායමාර්ගිකයන් වගේම දේශපාලන වැරැදි තීන්දු තීරණ. ජවිපෙ 2005 වසරේ වරද්ද ගන්නේ ඒ අය තමන් ගැන අධිතක්සේරුවක සිටිය නිසයි. මිනිසුන් ඡන්දය දුන්නාම මුළු ලංකාවේම 2004 මැතිවරණයෙන් ජවිපෙ අපෙක්ෂකයා ජයග්‍රහණය කළා.

එය දේශපාලන ජයග්‍රහණයක් නොවෙයි. එදා ප්‍රධාන පක්ෂයට ඡන්දය දෙන විට ජවිපෙට එදා එක මනාපයක් හම්බ වුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජවිපෙ පිරිස් මනාප ගැහුවේ නැහැ. ඒ නිසා එදා මුළු ලංකාවෙම බොහෝ තැන්වල පළවෙනියා ජවිපෙ වුණා.

ඒනිසා ජවිපෙට ජනතාව හුගාක් කැමැතියි කියලා ඒ අය මේ සිදුවීම විග්‍රහ කර ගත්තා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ඒ අවස්ථාවේදි පොදුවේ එකට ඉල්ලනවා නම් පළාත් පාලන 25ක බලය දෙන්න කැමැති වුණා. 2005 පළාත් පාලන මැතිවරණය ජවිපෙ වෙනම ඉල්ලුවා. මොකද වුණේ?...අවාසනාවන්ත කමක මහත... අන්තිමට මුකුත් නැතිවෙලා ගියා. අන්තිමට පැවැත් වූ පළාත් පාලන මැතිවරණය ජවිපෙට ලංකාවේ එක් කොට්ඨාසයක් විතරයි ජයග්‍රහණය කරන්න ලැබුණේ. මෙවරත් වෙන්නේ එහෙම තමයි. එක් කොට්ඨාසයක් දිනවපු ගමන් නගර සභාවල ඡන්ද ටික එකතු කරාම මන්ත්‍රීවරයෙක් වෙයි. නමුත් මම හිතන්නේ නැහැ කොට්ඨාසයක් දිනන්න හැකියාවක් තියෙයි කියලා. ජවිපෙ අධිතක්සේරුව නිසා අතීතයෙත් වරද්ද ගත්තා වර්තමානයෙත් වරද්ද ගන්නවා.

 

ජවිපෙ හැර ගිය ඇතැම් අය කියනවා, 2006 පසුව ජවිපෙ සුජාතභාවය නැති වුණා කියලා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

මම කියන්නේ සුජාත භාවය නැති වුණේ 2005න් පසුව කියලයි. මහින්ද රාජපක්ෂ මහතාට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා නායකත්වය දීලා එජනිස සමඟ එකතු වෙලා ඡන්දයට ඇවිල්ලා මන්ත්‍රීවරුන් 41 ගත්ත එක වරදක් නොවෙයි. එදා උපාය මාර්ගය නිවැරදිව තෝරා ගත්තා නම් එයට ගැළපෙන උපක්‍රම සොයන්න තිබුණා.

එදා 2004 පසුව තෝරපු උපක්‍රම ලද බොළඳ මටසිලිටි උපක්‍රම කියලයි මම හිතන්නේ. ආරම්භයේදීම බොළඳ ආකාරයට කටයුතු කළා. මන්ත්‍රීවරුන් 41ක් ජවිපෙට හම්බ වුණාම එයින් දෙකක් නිකන් දුන්නා. එතකොටම තේරෙනවා මොනතරම් බොළඳ මිනිසුන්ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉන්නේ කියලා. ඉන් පසුව පළාත් පාලන මැතිවරණය වෙනම ඉල්ලනවා කියලා වෙනම ඉල්ලලා තිබුණු එකත් නැති කර ගත්තා. රට මහින්දට, ගම ජවිපෙට කියලා වෙනම ඉල්ලුවා. ඒ කාලේ මම කිව්ව රට මහින්දට දීලා ගම ජවිපෙට දෙන්නේ නැහැ කියලා. ඒ වගේම දුන්නේ නැහැ. පළාත් පළාත් ආයතනයක්වත් ජයග්‍රහණය කරන්න වුණේ නැහැ. යන්තම් ජන්ද 400කින් තිස්සමහරාමේ විතරක් බේරා ගත්තා. ඒකත් තව ඡන්ද 400ක් ලැබුණා නම් පරාදයි. එතැන සිටම ජවිපෙට වරදින්න පටන් ගත්තා. එතැන් පටන් අාධ්‍යාත්මික ජවිපෙ වෛරී දේශපාලනයක් පටන් ගත්තා. එයින් පසුව මමයි මුලින් ඉවත් වුණේ. ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීකම භාර දීලා ගෙදර ගියා. මගෙන් පසුව නන්දන ගුණතිලක, විමල් වීරවංශ, කුමාර් ගුණරත්නම් සහ සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත්ව ගියා. මම දන්නේ නැහැ මිනිසුන් කුමක් අරමුණු කරගෙන ජවිපෙ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවාද කියලා. දැන් ඒ පක්ෂයේ ගන්න හරයක් තියනවාද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. එහි අද මොන විප්ලවයක්වත් නැහැ. තරුණ බලවේග උසි ගන්වලා ප්‍රචණ්ඩ දේවල්වලට උනන්දු කරලා යොමු කරන්න පුළුවන් බලවේගයක් ඒ අයට තියෙන්න පුළුවන්. නමුත් ඒ අයට ඉලක්කයක් ඇතිව ගමන් කරන්න පුළුවන් සමාජ බලවේගයක් නැහැ.

 

ඔබ ජවිපෙට එක් ප්‍රාදේශීය සභාවක්වත් ජයග්‍රහණය කර එය සාර්ථක කර ගන්න බැරි බවට චෝදනා කළත් ජවිපෙ ඇතැම් පිරිස් කියන්නේ මේ මැතිවරණය රටේ ‍දේශපාලනික බලය වෙනස් කිරීමට තීන්දුවක් ලැබෙන මැතිවරණයක් බවයි. ඒ සම්බන්ධයෙන් ඔබ දරන අදහස කෙබඳුද?

ඒ අය හැමදාම කියන්නේ මැතිවරණ ළං වුණාම මූලාරම්භය කියලනේ. ඒත් ඒ මූලාරම්භවලින් මුකුත් වෙන්නේ නැහැ. හැමදාම මූලාරම්භය කියලා විතරයි කියන්නේ. 1971 ඉඳලා 1988-89 දක්වා මූලාරම්භ කියලා තමයි ඒ අය කිව්වේ. හැම මැතිවරණයකදීත් ඒකම කියනවා. ඒත් වැඩක් වුණේ නැහැ. පසුගිය නව වැනිදායෙන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය ගෙදර යවනකල් වෙනසකට මූලාරම්භයක් කිව්වා.

නමුත් මොකක්ද වුණේ? කිසිම දෙයක් වුණේ නැහැ. ඉදිරි මැතිවරණයේන් පසුව කඩාකප්පල්කාරී ලෙස පළාත් පාලන ආයතන යම් ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයට පත් කිරීම සඳහා වූ රිමොට් කන්ට්‍රොල් එක ජවිපෙ අතට ගන්නයි මේ සූදානම් වෙන්නේ. කිසිම සභාවක යෝජනා දිනවන්න බැරි වෙයි. අය වැය පරද්දන්න ඉදිරිපත් වෙයි. ජවිපෙ කියන්නේ දෙකට බෙදෙන එකේ මැද ඉලක්කම කියලයි මම හිතන්නේ. ජවිපෙ පළාත් පාලන ආයතනවල තීරක බලය බවට පත්වෙයි. මේ අයට නගර සභාවක් අරන් කරන්න බැහැ.

නමුත් කරන අයටත් කරන්න බැරි වෙන්න ප්‍රශ්න ඇති කරයි. ඒ අයගේ ඉදිරි අරමුණ පාර්ලිමේන්තු විසුරු වීමයි. මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි කර ගැනීමයි එහි අරමුණ. පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් වැඩි කරලා ඒ මන්ත්‍රීවරුන් පාවිච්චි කරලා පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරුන් වැඩි කරගන්නයි ඒ අය උත්සාහ කරන්නේ.

 

ජවිපෙ හිටපු ප්‍රබල සාමාජිකයෝ කියනවා, ටයිකෝට් දාගෙන ඉන්න ශ්‍රම වහල්ලුන්ට කම්කරු පන්තිය සම්බන්ධයෙන් විඥානයක් නැහැ කියලා. ඒ නිසා නිවැරදි දිශානතියක් ජවිපෙට අද නැති බවත් එ අයගේ අදහසයි. නායකත්වයක් නැති අරගලවලින් දේශපාලන පෙරළියක් කරන්න පුළුවන්ද?

බෑ, එහෙම කරන්න බැහැ. හොඳම උදාහරණය තමයි 2022 ජුනි 09 වැනිදා ඒක කරන්න අපහසු වුණා. එයින් වුණේ රට තවත් කඩා වැටුණ එකයි. එසේ නම් දැන් රට ගොඩනැඟීමයි කළ යුත්තේ.

 

ජවිපෙට තියෙන ලොකුම චෝදනාවක් තමයි රටක් ගොඩනඟන්න තරම් හැකියාවක් නැති බව සහ ජාත්‍යන්තර සම්බන්ධතා ඔවුන් සතුව නැති බවයි. මෙය ඔබ දකින්නේ කුමන ආකාරයකටද?

ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගන්න එතරම් වෙල­ාවක් යන්නේ නැහැ. ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන්වරුන් රාජ්‍ය බලය ගත්තාට පස්සේ ඒ අයව පිළිගත්තා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රිකව හෝ හමුදා කුමන්ත්‍රණයක් මඟින් රාජ්‍ය බලය ගත්තාට පසුව එය පිළිගන්න ඕනෑම රටක් පෙලඹෙනවා. ඇමරිකාව සිරියාවට විරුද්ධව වන විට රුසියාව සිරියාවේ පැත්ත ගන්නවා. නමුත් අපිට ඒ ප්‍රශ්න එන්නේ නැහැ.

ජවිපෙ රාජ්‍ය බලය ගන්න ලක්ෂ හැට නවයක් ගන්නේ කවදදාද ? ජවිපෙට පුළුවන්ද එතනට එන්න. ජවිපෙට එක පළාත් සභාවක්වත් තනිවම පිහිටුවන්න බැහැ. හවුලේ කරන්න පුළුවන් වෙයි.

 

ඔබ ජවිපෙ ගැන කලකිරීමට ආසන්නතම හේතුව ලෙස දකින්නේ කුමක්ද?

මම ඉවත් වුණේ පෞද්ගලිකව ඒ අය සමඟ ගමන් කරන්න බැහැ කියලා මට දැනුණ නිසයි. දේශපාලන මතයත් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලදි මම ඒ අය සමඟ එකඟ නැහැ. ඒ නිසයි දිගින් දිගටම ජවිපෙ කැඩිලා බිඳිලා යන්නේ අද ඉන්න අය පක්ෂයේ මූලික සිද්ධාන්ත ගැනවත් දන්නේ නැහැ. අපි 1989 පසුව නැවත ජවිපෙ ගොඩනැඟුවත් ඒ විශාල මෙහෙවරට දායකත්වය දුන්න කිසිවෙක් අද නැහැ. ඒ අය සියලු දෙනා ඉවත් වෙලා ගිහිල්ලා.

2006 සිට 2015 දක්වා මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කටයුතු කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩ නඟන ක්‍රියාවලියට මූලික වී මමත් කටයුතු කළා. ජවිපෙ අද බලය ලබා ගැනීමේ අරමුණින් පිහිටුවන ලද තවත් දේශපාලන පක්ෂයක් පමණයි.

එදා දේශපාලනික මතවාදීමය ගැටුම් නිසා නන්දන ගුණතිලක, විමල් වීරවංශ, කුමාර් ගුණරත්නම් අභ්‍යන්තර සංවිධානවල විශාල පිරිසක් සමඟ සෝමවංශ අමරසිංහත් ඉවත් වුණා. ඒ කිසිදු පක්ෂයකට වාමාංශික දේශපාලනික බලවේගයක අවශ්‍යතාව සැපිරීමට නොහැකි වුණා.

 

ජවිපෙ වේදිකාවලදි කියන කතා අහන ජනතාව ජවිපෙට ඡන්දය දෙන්න නැත්තේ ඇයි?

ජවිපෙට ආණ්ඩු බලයක් අරගෙන කවදාවත් කටයුතු කරන්න බැහැ. හොරකම නතර කරන්න ජවිපෙ කියන දේ අහන්න වේදිකාව අසලට මිනිසුන් එනවා. කවුරුත් කැමතියි සුන්දර කතා අහන්න. නමුත් යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් කියලා හිතන, ඒ ගැන විස්වාස කරන මිනිසුන් හිඟයි.

මෙවර යම් ප්‍රමාණයක් ඡන්දය දුන්නත් ඡන්දයෙන් පස්සේ වැරදුණා කියලා මිනිසුන් හිතයි. ඡන්දය දෙන්න තරම් ජනතාව තවමත් ජවිපෙ විශ්වාස කරන්නේ නැහැ. කතිරේ ගහන්න ගියාම මිනිසුන් එය කරන්නේ නැත්තේ ඒ නිසයි.

 

Comments