සජබ මහනුවර සිට කොළඹට පාගමනින් එන හැටි | Page 2 | සිළුමිණ

සජබ මහනුවර සිට කොළඹට පාගමනින් එන හැටි

මහ­නු­ව­රින් ආරම්භ කළ සමගි ජන­බ­ල­වේ­ගයේ පාග­ම­නට සහ­භාගි වූ සජිත් ප්‍රේම­දාස ඇතුළු පිරිස. ඡායා­රූ­පය-රුවන් මීග­ම්මන

මහනුවරින් ආරම්භ කළ පාගමන පෑලියගොඩින් අවසන් වීමට නියමිතව ඇත්තේ මැයි දිනයට පෙරදා

මෙවර මැයි දිනයට සතියක් තිබියදී මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කරන්නට සමගි ජන බලවේගය පෙලඹුණේ ජන පීඩක දුර්දාන්ත ආණ්ඩුව ඉක්මනින් පලවා හැරිය යුතු බව කියමිනි. නිදහස් අරගලයේ සමගි ජන පාගමන ලෙස නම් කළ මෙය ආරම්භ වූයේ පසුගිය (26) දින මහනුවර ඔරලෝසු කණුව අබියසිනි. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු,ආසන සංවිධායකවරු ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවක් එයට එක්ව සිටියහ. මහනුවරින් ආරම්භ කළ පාගමන පෑලියගොඩින් අවසන් වීමට නියමිතව ඇත්තේ මැයි දිනයට පෙරදාය. මහනුවර සිට කිලෝ මීටර 116 ක දුරක් ගෙවා දහස් සංඛ්‍යාත ජනතාවක් සමඟ කොළඹට ගොස් ජයග්‍රාහි ලෙස මැයි දින රැලිය පැවැත්වීම සමගි ජන බලවේගයේ අරමුණ වී තිබේ.

ඒ සඳහා දළදා සමිඳුන්ගේ ආශිර්වාද මුලින් ලබාගත් පක්ෂ නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨයින් අනතුරුව මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී ආගමික වතාවත් වල නිරත වූයේ මහා සංඝරත්නයේද ආශිර්වාදය අදාළ වැඩපිළිවෙළට ලබා ගැනීමේ අරමුණිනි. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි යන නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කර පිරිසට ආශිර්වාද කළේ ජනතාවට ජීවත්විය හැකි ආර්ථිකයක් සකස් කිරීම සියලු දෙනාගේ වගකීම බවද සිහිපත් කරමිනි.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිත සම්මේලනය, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන ගණනාවක නියෝජිතයෝ මෙයට එක්ව සිිටියහ. සටන් පාඨ සඳහන් පෝස්ටර් ගෙන පාගමනට ජනතාව එක්ව සිටි අතර විශාල කපුටකුගේ අනුරුවක් සහිත ලොරි රථයක්ද ඊට එක්කර තිබිණි.

විසිඑක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජනබලවේගය ඉදිරිපත් කළ යෝජනා අඩංගු ලියවිල්ල සජිත් ප්‍රේමදාස විසින් අස්ගිරි මහනාහිමියන්ට පිළිගැන්වීමද මෙයට සමගාමීව සිදුවූ අතර එම අවස්ථාවට ඔහු හැර පක්ෂයේ වෙනත් කිසිවකුත් සහභාගි නොවුයේ අස්ගිරි මහ විහාරයෙන් ඊට අවසර ලබා නොදීම හේතුවෙනි. මෙම පාගමන සඳහා මහනුවර එක් ආසන සංවිධායකවරයකුට පුද්ගලයින් පන්සිය දෙනකු සහභාගි කරවන ලෙස පක්ෂයෙන් උපදෙස් ලැබී තිබිණි. පාගමනේ සමාරම්භක දින ප්‍රධාන සංවිධාන කටයුතු සිදු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි. අද මේ රට බංකොලොත් තත්ත්වයට පත්වෙලා. ජීවන වියදම දවසින් දවස ඉහළ යනවා. ජත්‍යන්තර ප්‍රජාවට මේ රජය කෙරෙහි විශ්වාසයක් නැහැ.විදේශ රටවල සේවය කරන අය අද රටට ඩොලර් එවන්නේ නැහැ.

ඉන්ධන පෝලීම් තියෙන, පැය හත අටක් විදුලිය කපන රටකට විදේශිකයෝ එන්නේ නැහැ. ඖෂධ නැතුව අහිංසක රෝගීන් මරණයට පත්වන දිනය අත ළඟයි.මේවන විටත් රෝහල් වල බෙහෙත් නැහැ. ගෑස් මිල අහස උසට නැඟලා. ගොවීන්ට පොහොර නැහැ. ජනතාව මේ ආණ්ඩුව පලවා හරින්න පාරට බැහැලා ඉන්නේ. තවත් මේ අය බලයේ හිටියොත් ජනතාවට කන්න වෙන්නේ පස් තමයි. නිදහස සඳහා 1815 දීත් 1848 දීත් කන්ද උඩරට ජනතාව ඉංග්‍රීන්ට එරෙහිව සටන් දෙකක් කළා. එම සටන් වලදී දහස් සංඛ්‍යාත රණවිරුවන් පිරිසක් අපේ රටට අහිමි වුණා. එහෙත් ඔවුන් නිදහස් සටන අත්හැරියේ නැහැ. නිදහස සඳහා වන අරගල වල තෝතැන්නක් වන කන්ද උඩරටින් අපි නූතන නිදහස් සටන ආරම්භ කළේ ජන පීඩක ආණ්ඩුව ගෙදර යවන මූලික පියවර තබමින්.

ලක්ෂ්මන් කිිරිඇල්ල පාගමන ආරම්භයේදී පැවසුවේ මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටට වැඩම කළ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේය.

ජනතාව කියනවා ජනපතිට අගමැතිට ගෙදර යන්න කියලා. ඒ වගේම ඔවුන් කියනවා ආණ්ඩුවට ඉවත් වෙන්න කියලා. මුදල් හොරකාපු අය නීතියට හමුවට ගෙනල්ලා ඔවුන් හොරාකාපු සම්පත් නැවත පවරා ගන්න කියලා ජනතාව කියනවා. අපි රජයට කියනවා මේ ජනතා හඬට කන්දෙන්න කියලා. මේ රටේ දේශපාලන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා ජනතාව ජීවත්කරවීමේ ගමන ශක්තිමත් කිරීමේ අධිෂ්ඨාන පාගමන මහනුවරින් ආරම්භ කළේ ජනතා අපේක්ෂා ඉටු කිරීමේ පියවරක් ලෙසයි.ජනමතයට සවන් දී ජනතා ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට අපි නැවත නැවතත් කියනවා'.

සමගි පාගමන ආරම්භ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස එසේ පැවසුවේය.

මහනුවරින් ආරම්භ කළ පාගමන මුල්දිනට අවසන් කරන්ට සැලසුම් කර තිබුණේ මාවනැල්ල නගරයෙනි. එසේ වුවත් එය කඩුගන්නාව ඩෝසන් කුලුන අබියසින් අවසන් කිරීමට සිදුවූයේ පස්වරුවේ එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙනි.

පසුදින එම ස්ථානයෙන් ගමන් ඇරඹි සමගි ජනබලවේග නායකයන් ඇතුළු පිරිස ගලිගමුව දක්වා ගමන් ගත්හ. සජිත් ප්‍රේමදාස මාවැනැල්ල නගරයේදී පාගමන හා එක්වූයේ මාවනැල්ලේ පිහිටි හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවය.

ගලිගමුවෙන් 28 දින ආරම්භ වූ පාගමන එදින පස්වරුවේ දංඕවිටට ළඟා විය.පසුදින (29) දංඕවිටින් ගමන් අරඹා යක්කල දක්වා පැමිණි පිරිස එහි විවේක ගත්හ. යක්කලින් 30 දින පෙරවරුවේ ගමන් ආරම්භ කළ පිරිස පෑලියගොඩ දක්වා පැමිණ පසුදින කැම්බල් පිටියේදී සමගි ජනබලවේගයේ මැයි දින රැලිය හා එක්වීමට නියමිතය.

Comments