සජබ විරෝධතාව මැද කැන්ටිමේ හුටපටේ | Page 2 | සිළුමිණ

සජබ විරෝධතාව මැද කැන්ටිමේ හුටපටේ

පාර්ලිමේන්තු අයවැය විවාදයේ අවසන් සතියේ දෙදිනක්ම ගෙවී ගියේ මැති සබයේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තොරවය. ඒ කලින් දිනවල ඇතිවු අයහපත් සිදුවිම් කිහිපයක් හා ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙනි. සතිය ආරම්භයේ සිට දින දෙකක් සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කරන්නට වූ අතර ඔවුහු ගෙවුණු සඳුදා පාර්ලිමේන්තුව ඉදිරිපිට බෝඩ් ලෑලි අතැතිව නිහඬ උද්ඝෝෂණයක නියැළුණේ කලින් සිදුවු අයහපත් තත්ත්වය පිළිබඳ විමර්ශන කමිටුවක් පත් කරන ලෙස කථානායකවරයාට බල කරමිණි.

‘මිරිස් කුඩු බළකාය පාර්ලිමේන්තුව යළි වනසයි..‘ ‘ 69 ලක්ෂයක් වහල් බවින් මුදවා ගන්නා සටන අරඹමු‘ ,‘රටක් කරවන රට හරක්‘ යනාදි පාඨ අතට ගෙන විනාඩි 40 ක් පමණ කාලයක් පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක නියැළුණු සජබ මන්ත්‍රිවරුන් අසලට අගමැති මහින්ද රජපක්ෂයන්ද එතැනට පැමිණියේ පාර්ලිමේන්තුවට යන ගමනේදිය.

සජබ මන්ත්‍රින් සමඟ සුහද කතා බහක නියැළුණු අගමැතිවරයා පැවැසූයේ මෙවන් අවස්ථාවලදි තමාගේ දේශපාලන ගමන් මඟේ විරෝධතා දැක්වු ආකාරය සිහිපත් වන බවත්, මෙවැනි උද්ඝෝෂණ සංවිධානය කිරීමේදි මීට වඩා වැඩි පිරිසක් එකතු කර ගැනීමේ හැකියාව තිබිය යුතු බවත්ය. සජබ මැති සබය වර්ජනය කරද්දී සජබ මන්ත්‍රීනී ඩයනා ගමගේ පමණක් අවස්ථා කිහිපයකදී පර්ලිමේන්තුවේ රැදී සිටිනු දක්නට හැකි වූ අතර ඇය පැවැසූයේ තමා සජබයේ අයිතිකාරයා බවත්, සජබ ක්‍රියා ගැන තමන්ට ලැජ්ජ සහගත බවත්, මේ අවස්ථාවේ තමාටද කතා කරන්නට අවස්ථාවක් දිය යුතු බවත්ය.

මේ නිසා ගෙවුණු සතියේ ආරම්භයේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ කතා කරන්නට අවස්ථාවක් උදා වූයේ සජබ මන්ත්‍රිවරුන්ගේ කතා නොමැති වීම නිසාය. විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ ද විටක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද තවත් විටක එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද ආණ්ඩු පක්ෂය සමඟ විවිධ කරුණු කාරණ සම්බන්ධව වාද හරඹයන්ට එක්වීම විශේෂත්වයකි.

සජබය කැන්ටිමේ

සජබ පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළද ඔවුන් ඒ දිනවල පාර්ලිමේන්තු උදෑසන ‍භෝජනාගාරයේ සිටීම ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකුගේ නෙත ගැටුණු සිදුවීමක් විය. සජබයේ වර්ජනය සම්බන්ධයෙන් කථානායකවරයාගේ මැදිහත්වීම ගැන විමසමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර කළ කතාවට සභාවේ උණුසුම් තත්ත්වයක් මතු වූයේද සජබය කැන්ටිම වර්ජනය නොකිරීමේ පුවතය.

“සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැතැයි කියමින් අද මේ සභාව වර්ජනය කළා. අපි පාර්ලිමේන්තුවේ කැන්ටිම පරික්ෂා කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් හතර දෙනෙක් ඒකෙන් අද කාලා තියෙනවා. අනුර කුමාරටත්, විජිත හේරත්ටත් කන්න නැතුව මෙතන හිටියා. පස්සේ ඒ දෙන්නත් කන්න ගියා. පාර්ලිමේන්තුවේ කවුරුත් නැහැ කියලා අනුර කුමාර දිසානායක අද උදේ මෙතන රටට පණිවිඩයක් දෙන්න උත්සාහ කළා. එහෙම කිසිම දෙයක් නෑ. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවේ ප්‍රශ්නයකුත් නැහැ. කට්ටියම හොඳට කෑවා. මීඩියා ෂෝ එකක්“ යැයි අලුත්ගමගේ පැවසුවේ උපහාසයෙන් සිනාසෙමිනි.

මේ අවස්ථාවේදී මන්ත්‍රි අනුර කුමාර දිසානායක රීති ප්‍රශ්නයක් මතුකරමින් ඇමැති අලුත්ගමගේට පිළිතුරක් දීමට එකවරම නැඟී සිටියේය. “මේක තමයි මෙතන ප්‍රශ්නේ. මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා තමන්ගේ හිතට එන හිතළු ඔහේ කියවන ඇමැතිවරයෙක් බවට පත්වෙලා. දැන් මා පිළිබඳව සහ විජිත හේරත් මන්ත්‍රීවරයා පිළිබඳව කරපු ප්‍රකාශය වැරදියි. ඒක කරුණාකරලා ඉල්ලා අස්කර ගන්න. ඔයා දැන් නාවලපිටියේ කෘෂිකර්ම ඇමැති නෙවෙයි. ඔයා දැන් රටේ කෘෂිකර්ම ඇමැති. අඩු තරමින් එහෙම හරි තේරුම් අරගෙන වගකීමෙන් කතා කරන්න” අනුර කුමාර කිවේ ආවේගයෙනි.

“ අපි මුල ඉඳල කියන්නම්. අපි මේ පාර්ලිමේන්තුව ගෞරවනීය විදියට තියා ගන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණ කරපු දේවල් අපිට මෙතන කියන්න පුළුවන්. ඒ නිසා බොරුවට මඩගහන්න එන්න එපා.“ අලුත්ගමගේ පැවසුවේය.

“ මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා මා පිළිබඳවත්, විජිත හේරත් මන්ත්‍රීතුමා පිළිබඳවත් කරපු ප්‍රකාශය සම්පුර්ණයෙන්ම වැරදියි. “අනුර කීවේ කතානායකවරයා දෙස මහත් ඕනෑකමින් යුතුව බලමිනි.

පට්ට හොරා

“ඔබතුමාගේ ඔය ප්‍රශ්නය තමයි මුළු පාර්ලිමේන්තුවටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. මතක තියාගන්න. මෙයාද මේ සභාව මෙහෙයවන්නේ ඔබතුමාද. ඔයා මං ගැන හෝ පක්ෂය ගැන ඕන දෙයක් කියන්න. තියෙනවා තියෙනවා කියලා බොරුවට ෆයිල් හොල්ලන්න එපා. අපි ඔයා ගැන කියන්නම්. වගකීමක් නැතුව හැසිරෙනවා. ලැජ්ජ වෙන්න ඕන මෙයා.“මන්ත්‍රි අනුර කුමාරට ඇමැති අලුත්ගමගේ ප්‍රතිචාර දක්වද්දි සබා ගැබ කාල ගෝට්ටියක් දක්වා ඝෝෂාව වැඩි වූයේ විවිධ නම් කියා ආමන්ත්‍රණය කළ නිසාවෙනි

“මම මෙතන කියන්න කැමති නෑ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැසිකිළිවල තිබුණ දේ මම කියන්නේ නැහැ. මම එතැනට යන්නේ නැහැ.“ඒ ඇමැති මහින්දානන්දය.

“මම මහින්දානන්දට කියන්නේ. අඩු තරමින් විනාඩියක් පවතින බොරුවක් කියන්න. තප්පරයක් පවතින බොරුවක්. ඔයා ලැජ්ජ වෙන්න ඕන හලෝ..“ අනුර කුමාර කිවද දිගින් දිගටම දෙදෙනා අතර බහින් බස්විම් ඇතිවිය.

මන්ත්‍රී අනුර මහ හඬින් “පට්ට හොරා” යනුවෙන් කෑ ගසද්දී ඇමැති අලුත්ගමගේ ඊට ප්‍රතිචාර දැක්වූයේ “පට්ට හොරා කවුද. වැව් හාරලා කරපුව කියන්නද“ යනුවෙනි. දෙදෙනාගේම මයික්‍රෙෆෝන ක්‍රියා විරහිත කරවුවද මේ දෙනො අතර වචන හරඹය දිගින් දිගටම පැවැතිණි.

වම්බටු කුට්ටි

සජබ මන්ත්‍රි හර්ෂණ රාජකරුණා හා ඇමැති නාමල් අතර වාදයක ඇතිවූයේ රටේ ණය ලබා ගැනීම් සම්බන්ධ විවාදයේදිය. විවාදය මතු වූයේ. මන්ත්‍රී හර්ෂණ රජකරුණා සිය කතාවේදී හම්බන්තොට වරාය හා සම්මන්ත්‍රණ ශාලාව ගැන කතා කරද්දීය.

“ අපේ අපනයනය භාගයකට භාගයකින් අඩුවුණා. යහපාලන කාලයේ ආර්ථික වර්ධනයේ යම් අඩුවීමක් වුණා. රාජපක්ෂ කාලයේ 8% වර්ධන වේගයක් ඇතිවුණා. 2013-14 කාලයේ 5% කට අඩුවුණා. අනවශ්‍ය සංවර්ධන කටයුතු, හම්බන්තොට වරාය,ගුවන් තොටුපළ ණය අරගෙන සංවර්ධන කටයුතු සිදු කළා. අධිවේගයේ වැඩිම කොටසක් නිම කළේ 2015-2019 කාලයේ අපි. ඒත් අපි මාර්කටින් කළේ නැහැ....“ මන්ත්‍රී හර්ෂණ කීවේ ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම් මධ්‍යයේය.

“ හම්බන්තොට වරාය හා සම්මන්ත්‍රණ ශාලාව ගැන කතා කළා. සම්මන්ත්‍රණ ශාලාව ණයක් නෙමේ. ප්‍රදානයක්. අපි දෙන්නගෙ නෑකම වෙනමම දෙයක්. බොරු කියන්න එපා“ඒ ඇමැති නාමල්ය.

“ ඇමැතිතුමා ඔයා මම කියූ මුල් කාරණාව අහගෙන හිටියේ නැහැනේ. හම්බන්තොට වචනය ගැන කතා කරද්දී දුවගෙන ආවා .....“

“ ඔයා කිවූ දේ මාධ්‍යයේ යනකොට ඒ බොරු සමාජගත වෙනවා. ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්න...“ ඒ ඇමැති නාමල්ය.

“ මම කිව්වේ ඒ කාලයේ ණය 233% කින් වැඩි වුණා. ණයත් එකක් අනවශ්‍ය ව්‍යාපෘති නිසයි 8% ක වර්ධන වේගයක් කතා කළේ. ඔබගේ පැටලිල්ලට මට කරන්න දෙයක් නැහැ. පේනවනේ නෙළුම් කුලුනට වුණ දේ. දැන් ෂෝක්ද, දන් සැපද?. ඔබතුමාලා රාජපක්ෂ කෙනෙක් නැගිට්ටහම ඕන දෙයක්. අනාගත රාජපක්ෂ මැතිතුමා නැගිට්ටාම එහෙම වෙන්න දෙන්න බැහැ...“ මන්ත්‍රි හර්ෂණ චෝදනා කළේ කථානායක අසුනටත්ය.

මේ අවස්ථාවේ මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි නැඟිට කතා කරන්නට විය.

“ විනයක් ඇතිව කතා කරන්න. ඇගමැතිතුමාගේ ගෙදර ගිහින් රෑට රෑට සිකියුරිටි වැඩියෙන් ඉල්ලනවා..“ ඒ මන්ත්‍රී තිස්ස කුට්ටිය.

“ වම්බටු කුට්ටි...වාඩි වෙන්න. වම්බටු කුට්ටි...වාඩි වෙන්න. හැම ප්‍රශ්නයකටම රබර් සතියක් වෙලා....“හර්ෂණ ඇඟට නොදැනි කියාගෙන ගියේ අතීත සිදුවීමක්ද මතක් කරමිනි.

කලිසම් ඇඳලද?

අයවැය විවාදය දා මන්ත්‍රි එස් එම් මරික්කාර් වේගවත් කතාවක් කළේ ඡන්දයක් තියා පෙන්වන්නයැයි ආණ්ඩුවට අභියෝගයක්ද කරමිනි.

“ 2010-15 ගත්තු අධික ණය. ණය වාරික ගෙවා ගන්න බැහැ. සත පහක් වත් වැඩක් නැති ව්‍යාපාර. කරපු වැඩක් නැහැ. මේ කෘත්‍රිම තුනෙන් දෙක මහ පොළොවේ නැහැ. ඡන්දය තියන්න. ඔය කෑගහන අය ගැට ගහලා තියන්න. අපි බොරලු ගැන නෙමේ කතා කළේ. රටේ ආර්ථිකය ගැන. ඡන්දය තියන්න. ආණ්ඩුව පෙරළලා පෙන්වන්නම්. මහින්ද සුළඟ හැදුවේ කවුද? විමල් හා ගම්මන්පිල. ඒත් අද ඒ අය කැලෑවේ....“මන්ත්‍රි එස් එම් මරික්කාර් වේගවත් කතාවක් කළේ සභාවේ දැඩි ඝෝෂා මධ්‍යයේය.

“ කරුණාකරලා කියන්න අපි ඡන්දයක් නොතිබ්බේ කවද්ද?..ඊට පිළිතුරු දුන්නේ ඇමැති රෝහිත අබේගුණවර්ධනය.

“ පුළුවන්නම් පළාත් පාලන ඡන්දය තියලා පෙන්වන්න..“ යළි ඒ අභියෝගය මන්ත්‍රී මරික්කාර්ගෙන්ය.

“ අපි නියමිත කාලයට ඡන්දය තියන්නම්. කලිසම ඇඳගෙනද දන්නේ නැහැ ඡන්දය තියෙනවද කියලා ඇහුවේ..“ ඇමැති රෝහිත අබේගුණවර්ධන කතා කළේ උපහාසයක්ද සමඟිනි.

“ අපි හෙළුවෙන් දුවන්නේ නැහැ. අපිනම් කලිසම ෂර්ට් දෙකම ඇඳගෙනයි යන්නේ...“ මන්ත්‍රී මරික්කාර් ඊට පිිළිතුරු දෙද්දි සභාවේ ඝෝෂාව තීව්‍ර වූයේ “උඩට ඇඳලා. යටට ඇඳලා නැහැ......“ වැනි වදන් කියමිනි.

සෝමා අක්කගේ ගේ

සෝමා අක්කගේ ගෙට වුණු දේ ගැන පාර්ලිමේන්තුවේ හැඟුම්බර කතාවක් කළේ වන ජිවි රාජ්‍ය ඇමැති විමලවීර දිසානායකය. ඒ වන ජිවි අමාත්‍යාංශ වැය ශීර්ෂය වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරාය අලි ගම් වැදීම පිළිබඳව කළ කතාවේදිය.

“ අලි අගල් කපන්න ආණ්ඩුවෙන් සත පහක්වත් වියදම් කරන්නේ නැහැ. අලි වැට සාර්ථක නැහැ. රට බේරාගත් සරත් ෆොන්සේකාත්, උසම ඇමැති චමිපිකට රණවක මහත්වරුත් මේ අමාත­්‍යාංශයේ හිටියා. ඒත් විසඳුම් ලැබුණද? අලි ගමට එනවා නම් මොකද කරන්නේ? අවුරුදු 25 ක් බණ්ඩක්කා විකුණපු සෝමා අක්කගේ ගේ එක රැයින් බිමට දැම්මා. හැමෝම පරිසර හිතකාමි. පාර හදන්න ඕන. ඒත් පස් කපන්න බැහැ. .....“ ඔහු සිය කතාවේදි දැඩිව අවධාරණය කළේ තමන් කෙසේ හෝ මේ අලි ප්‍රශ්නයට විසඳුම් ගෙනෙන බවයි.

සර් හා ගෝලයා

ගුරුවරයකු හා ගෝලයකු අතර මැති සබයේ වාදයක් හට ගත්තේ වෙ‍ෙළඳ අමාත්‍යාංශ වැය ශීර්ෂයදාය. සර් ඇමැති බන්දුල ගුණවර්ධනය. ගෝලයා සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්ය.

“වෙළෙඳ ඇමැති හතරවැනි හරස් විදියට ගියා. ගිහින් මාෆියා නවත්වන්න හැදුවා. දැන් යන්නේ නැහැ. ඒ පාලන මිල අයින් කළ නිසා. දකුණු ඉන්දිය චිත්‍රපටවල මෙන් කඩා ගෙන පැන්නා. දැන් කළු කඩ කාරයන්ට ඕන විදියට රජය මෙහෙයවනවා. ආණ්ඩුව ඒ අය ඉදිරියේ දණ ගැහුවා. කළුකඩකාරයින්ව පාලනය කරගන්න බැරි වුණා......“සජබ මන්ත්‍රි මුජිබර් රහුමාන් ඉන් අනතුරුව පැනයක් මතු කළේ ප්‍රඥා බන්දු අරමුදලට මුදල් අය කිරිම සම්බන්ධවය.

“ප්‍රඥා බන්දු අරමුදල පාර්ලිම්න්තුවෙන් සම්මත කළ එකක්ද? කැබිනට් අනුමැතියක්ද? ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාව රෙස්පිරෝනා නැනෝ මාර්ස්ක් එකෙන් රුපියල් දෙකක් මේ අරමුදලට යවනවා “මන්ත්‍රී මුජිබර්ගේ චෝදනාවට ඇමැති බන්දුල පැහැදිලි පිළිතුරක් දෙන්නට විය.

“ප්‍රඥා බන්දු අරමුදලට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා අරමුදලෙන් රුපියල් දෙකක් බැර වීම් සම්පූර්ණ අසත්‍යයක්. මෙය මගේ උපන්දිනය වෙනුවෙන් පුද්ගලික අරමුදලින් ලක්ෂ 100 ක් යොදවා ආරම්භ කළ එකක්. අද එය කෝටි 2 දක්වා වැඩි වුණා. ඔබතුමා මගේ ගෝලයෙක් අසරණ දරුවන්ට පිහිට වෙන්න.......“ ඇමැති බන්දුල කීවේ ගෝලයාගෙන් ඉල්ලීමක්ද කරමිනි.

“ මගේ සර් කෙනෙක් හින්දා දුකයි. අපේ බන්දුල සර් ඉස්සර ඔහොම හිටියේ නැහැ.....“ කී මන්ත්‍රි මුජිබර් කතාව අවසන් කළේ පුරුදු ලෙස ගෑස් චෝදනාවෙන්මය.

“ මේක පුදුම රටක්. මිනිසුන්ගේ ගෙවල්වලට බෝම්බ යවලා පුපුරනවා. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. සියලු දෙනාම දැනුවත්වමයි මේ වෙනස කළේ...“ ඔහු කතාව නිම කළේ ගැස් ප්‍රශ්නයට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි අවධාරණය කරමිනි.

නයි මුගටි සිරවිල්ල

පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනෙකුට පසුගියදා අපූරු ඇබැද්දියක් විය. ඒ පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සජබ මන්ත්‍රි ඉදුනිල් තුෂාර හා පොදු ජන පෙරමුණු මන්ත්‍රි ලලිත් එල්ලාවල හිරවූ පුවතක් පසුගියදා පාර්ලිමේන්තුවේ කතා බහකට හේතු විය. විනාඩි විස්සකට වැඩි කාලයක් සිරි වී සිටි ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තු නිලධාරීන් එළියට ගෙන ඇත්තේ දැඩි පරිශ්‍රමයකිනි. මෙය මන්ත්‍රි ලලිත් එල්ලාවල මැති සබයේදි අනාවරණය කළේ මෙවන් ස්ථානවල ක්‍රියාකරුවන්ගේ අවභව්‍යතාව ගැන අවධාරණය කරමිනි.

“ මාත් එක්ක් මේ හිරවුනේ විපක්ෂයේ තුෂාර ඉදුනිල් මන්ත්‍රිවරයා. ගංවතුරක් ගැලුවහම නයයි මුගටියයි දෙන්නම එක කොට් එල්ලිලා ජීවිත බේරගන්න උත්සාහ කරනවා කියලා කතාවක් තියෙනවා. ලිෆ්ට් එකේ හිරවෙද්දී මටත් ඒ කතාව මතක් වුණා...“ මන්ත්‍රි එල්ලාවල ඒ කතාව සිහිපත් කළේ සභාවම සිනා සයුරේ ගිල්වමිනි.

ගෙවුණු සතියේ සිකුරාදා සවස්භාගය වන විට පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදයන් අවසන් වූ අතර තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීම සිදුවිය.

Comments