‘සැබෑ නිද­හ­සක් ලැබීමට චින්ත­නය නිද­හස් විය යුතුයි’ | Page 2 | සිළුමිණ

‘සැබෑ නිද­හ­සක් ලැබීමට චින්ත­නය නිද­හස් විය යුතුයි’

ශ්‍රී ලංකාව අදින් වසර 73ට පෙරාතුව එනම්, 1948 දි ඉංග්‍රීසීන්ගෙන් දේශපාලනික වශයෙන් නිදහස් රටක් බවට පත් විය. ඒ අනුව පසුගිය 04 වැනිදා සැමරුවේ 73වැනි නිදහස් දිනයයි. නිදහස ලැබූ දා පටන් මේ දක්වා අපි නිදහස සමරමු. අතීතය ආවර්ජනය කරමින් වර්තමානයේ අප මුහුණ පා ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ පැහැදිලි කතිකාවක් ගොඩනැඟිය යුතුය. පවතින ගෝලීය වසංගතයත් සමඟ අපට විශාල අභියෝග රාශියක් ජය ගැනිමට ඇත. වර්තමානයේ අපි අපේ නිදහස භුක්ති විඳින්නේ කෙසේද? අපේ ස්වෛරීභාවය අපට හිමි වී ඇතිද යන්න අපි නැවත කියවා බැලිය යුතු වෙමු. විශේෂයෙන් ම අප දන්නා කාරණාවක් නම් සාම්ප්‍රදායික වශයෙන් යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා ගන්නා විට ඒ රාජ්‍යයන්වලින් එල්ල වූ බලපෑම් නිසා දේශපාලනික වශයෙන් තිබූ යටත්භාවය පැහැදිලිව වටහා ගත හැකිය.ඒ වහල් මනෝභාවයෙන් අපි මිදිය යුතු වෙමු.

 

සම්ප්‍රදායික වශයෙන් ගත් විට බලය යනු දෘශ්‍ය‍යමාන දෙයකි. 1505 සිට පැමිණි පෘතුග්‍රිසින් ලන්දේසින් සහ ඉංග්‍රිසින් අපේ රට මුදා ගන්නා තෙක් බටහිර ජාතින්ගෙන් අපට ලැබුණ උරුමය කුමක්ද? ඒ පිළිබඳ අප සිතා බැලිය යුතුය. විශේෂයෙන් අප යටත් ජාතින්ගේ යටත් විජිතයක් බවට පත්ව සිටි කාලපරිච්ජේදයේදි දේශපාලනික වශයෙන් ස්වෛරීත්වය, ස්වාධිපත්‍යය දේශපාලනික යටත් විජිත ප්‍රතිපත්ති වශයෙන් සකස් වී තිබුණ කාලවකවානුවක අපේ රටේ ස්වාධීනත්වය නිදහස වෙනුවෙන් ඔවුන් සටන් කළ ආකාරය අපේ ජාතිකවීරයන් ක්‍රියා කළ අයුරු අපි අසා ඇත්තෙමු . ඒ ජාතික විරයන් අවස්ථා ගණනාවක්ම නිදහස වෙනුවෙන් සටන් කළ බවද අපි දනිමු. එදා දේශපාලනික වශයෙන් හා සංවිධානාත්මක ව නිදහස් කරගැනිමට ඒ අයට හැකි විය . එදා ඇති වු අරගලවලින් ලැබුණේ දේශපාලනික නිදහසයි. ඒ අනුව එවකට බලය කා පිටද පැටවුයේ ද යන්න අපි දැන සිටියෙමු. එදා අප ඇතුළු කුඩා රාජ්‍යයන් ලබාගත් ඒ දේශපාලනික නිදහස එක්තරා දුරකට නැවත වතාවක් මේවනවිට දේශපාලනික ආර්ථික වශයෙන් රට අභියෝග රැසකට මුහුණ පා ඇත.

වර්තමානයේ මේ බලය ක්‍රියාත්ම වන්නේ කෙසේද යන කාරණාවේදි විශේෂයෙන් වැදගත් වන්නේ බලවත් රාජ්‍යයන්ගෙන් එල්ල වන බලපෑමය. ආයුධ බලයකට වඩා ස්වරූපයෙන් වෙනස් වෙයි. අදෘෂ්‍යමාන බලයකින් බලය ක්‍රියාත්මක වෙයි. මේ ගෝලියකරණය තුළ ආර්ථික වශයෙන් සංස්කෘතික සමාජිය වශයෙන් කුඩා රටවල්වලට විශාල අභියෝග රාශියක් ‍ෙවයි. අද වනවිට ගෝලියකරණයේ වාසි පමණක් කතා කළ ද එහි බලපෑම පිළිබඳව අප තවම සාකච්ජා කොට නැත. විශේෂයෙන් රටවල්වල ස්වෛරීභාවයට ඇති වී ඇති බලපෑම පිළිබඳ කිසි විටකත් කතා කර නැත.

ගෝලියකරණයේ සාධනීය ලක්ෂණ පිළිබඳ පමණක් අපි මෙතෙක් සාකච්ජා කොට ඇත්තෙමු . එහි සාධනීය ලක්ෂණ නැතුවා ම නොවෙයි. නමුත් මෙහිදි වැදගත් වෙන්නේ ඒ පිටු පස ඇති අභියෝගයන් නිසියාකාරයෙන් තේරුම් ගෙන ඇති ද යන කාරණාවය. එක් පැත්තකින් ගෝලියකරණය සේම බාහිර බලපෑම් අප මත පැටවෙන ආකාරයේ වෙනසක් ඇති වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදි රටක් නිසා ස්වෛරීභාවය අනුව අපි නිදහස් ව නිවහල් ව තීන්දු තීරණ ප්‍රතිපත්ති සකස් කරමින් ඉදිරියට යායුතුය. නමුත් මේ වනවිට සෑම කුඩා දිළඳු රටක් ම බලවත් රටවල ආර්ථික බලපෑමට නතුව ඊට අනුරූපව නතුවීමකට ද ලක්ව ඇත. මේ නිසා බොහෝ රටවල් පශ්චාත් යටත්විජිතකරණයට හා දේශපාලනික සිරකරුවන් බවට පත් ව ඇත. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ ජාත්‍යන්තර ආයතනයන්, ගිවිසුම්, නියෝග වැනි වෙනස් ස්වරූපයන්ය. යටත් විජිත සමයේ මෙන් ආයුධ සන්නද්ධ ව නොවූවත් වක්‍රාරයෙන් බලහත්කාරයන් කරනු ලබන ආකාරයක් දක්නට ලැබෙයි. මේ නිසා මෙයට අපි මුහුණ දෙන්නේ කෙසේ ද මේ ජාත්‍යන්තර සාධක නොසලකා ගමන් කළ නොහැකිය. එනම් ජාතික රාජ්‍යය සංකල්පයක් තුළ ඒ ස්වෛරීභාවය අපට ඇත, තීන්දු තීරණ ගැනීමේ ස්වෛරීභාවය ඇති බව පැවසුවද අපි බොහෝ අවස්ථාවල බාහිර බලපෑම්වලින් තොරව ගමන් කරන්නේ කෙසේද යන කාරණාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මේ සන්දර්භය අපි තේරුම් ගත යුතුය. දේශීය වශයෙන් මේ ජන කොටස් තේරුම් ගැනීම පමණක් නොව, අප තුළ ඇති වහල් මනෝභාව මානසික වශයෙන් නිරවුල් කර ගත යුතුය. අපි අපේ චින්තනය ශක්තිමත් කර ගත යුතුය. ඒ තුළින් වර්තමානයේ ඇති අභියෝගයන්ට මුහුණ දීමට හැකිවනු ඇත. වර්තමානයේ ඇති අභියෝග පැමිණෙන්නේ පැරණි සම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අනුව නොවන නිසා අප ඒ පිළිබද විචාරශීලි මනසින් සිටිය යුතුය. මේ සියල්ල අවබෝධ කර නොගන්නාතාක් අපට සිදුවන්නේ අපේ ස්වෛරීභාවය නිදහස සංස්කෘතිය ජනපැවැත්ම සභ්‍යත්වය විනාශ වීමයි. ඒ පිළිබඳව අපි අවබෝධයෙන් නොසිටීම මෙය තේරුම් නොගැනීමේ වාසිය ලබා ගන්නේ බලවත් රටවල්ය.

ඒ අනුව අපට පමණක් නොව කුඩා ජාතීන්ට, කුඩා රාජ්‍යයන්ට මේ මඟින් මිදිමට අවකාශ නො ලැබෙයි. විශේෂයෙන් භූගෝලිය වශයෙන් මරමස්ථානයක පිහිටීම නිසාම අපිට ඇතිවන විදේශ දේශපාලනික බලවේගයන්ගෙන් මිදීමට අවකාශ නොලැබෙනු ඇත. මේ දේ අපි තේරුම් ගත යුතුයි. අපි ආර්ථික වශයෙන් කල්පනා කර බැලූවිට මෑතකාලීනව ගමන් කළේ නව ලිබරල්වාදි ආර්ථික මොඩලයක් කරායි. නවලිබරල්වාදි ආර්ථික උපායමාර්ග වල ගමන් කරන ලද අපි කෝවිඩ් 19 ඇතිවීමත් සමඟ ම ඇතිකරගනිමින් තිබූ මේ නව ආර්ථිකය තුළ එක්තරා දුරකට හිර වීමක් සිදුවිය. එය අපිට අනපේක්ෂිත සිදුවීමකි. මෙතෙක් කල් අපිට ආවේණික ආර්ථික මොඩලයක් පිළිබඳව හිතීමේ අවකාශය නොතිබිණි. අපි හිතනවාට වඩා අපේ චින්තනයන් පාලනය කිරීමට ඇති උපාය මාර්ග ජාත්‍යන්තර වශයෙන් අපි ගොඩනගා සිටි නිසා ඒ තුළින් ගොඩ ඒමට අසීරු විය. අපේ ඉතිහාසයේ අපට උගත හැකි පාඩම් ඇත. අපි කරපින්නාගෙන නොගියත් අපේ ඉතිහාසය අපි රැකගත යුතුය.

අපි අපේ ගමන් මාර්ගය ශක්තිමත් කරගෙන ගමන් කළහොත් ඒ මත අපිට හිතීමේ අවකාශය ලැබෙනු ඇත. ශ්‍රී ලංකික අනන්‍ය ප්‍රතිපත්තියක් සකස් කරගැනීම ඉතාමත් සුදුසු වෙයි. භාෂාව සාහිත්‍ය ඉතිහාසය සංස්කෘතියෙන් තොරවීම නිසා අධ්‍යපනය හුදෙක් වෙළඳ පොළ අරමුණු කරගනිමින් ගමන් කෙරුණි. ඒ නිසා අපේ අධ්‍යාපනය තුළ අපිට හිතවත් නිදහස් නිවහල් ජාතියක් නිර්මාණය කිරීමට අවැසි චින්තනය නොතිබිණි. අපේ අනාගත පරපුරේ නව දිශානතිය පිළිබඳව නැවත කියවීමක් අපි කළ යුතු වෙයි. අපිට අවශ්‍ය කරනුයේ මොන ආකාරයේ චින්තනයක් ද යන කාරණාව පිළිබඳව නැවත කියවීමක් කළයුතු වෙයි. නිවහල් චින්තනයක් ස්වාධින චින්තනයක් ගොඩ නැගිම තුළ ඉතිහාසයේ අපිට උරුම අපට ආවේණික සාහිත්‍ය භාෂාව සංස්කෘතිය ජනශ්‍රැති හැදෑරීමට හැකිවනු ඇත.ඒ තුළින් අපේ දේ නැවත ගොඩනැඟීමට හැකිවෙයි. ජාත්‍යන්තර භාෂාවන් හැදෑරීම ප්‍රතික්ශේප කිරීම නොව ඒවා හැදෑරිම තුළ ඇති කර ගතයුතු වන්නේ ජාතීන් අතර සබඳතාවන් ශක්තිමත් කරගැනීමයි. ජාත්‍යන්තර භාෂා හැදෑරීම තුළ ලෝකය පුළුල් වෙයි. නමුත් අපේ රටේ මුල අපි හොඳින් හඳුනාගත යුතු වෙයි. ගෝලීයකරණය තුළ ජාත්‍යන්තර සංස්කෘතිවල ඇති යහපත් දේ ලබා ගැනීම නොව වරද ඒවා සියල්ල අපේ අක් මුල් සිඳගෙන කිදා බැසීමයි. අපි ඒවාට ගැති වීය යුතු ජාතියක් නොවෙයි. අප ප්‍රෞඪ ජාතියකට හිමි කම් කියූ ජාතියකි. අපි අපේ යහපත් දේ විනාස කර නොගත යුතුයි

අපි නැවත හැරී බැලීමේදි අපේ ආර්ථික ප්‍රතිපත්ති නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සමඟ කොතෙක් දුරට ද යා හැකිද? එහි ඇති බාධා සීමා මොනවද? ස්වදේශීය ආර්ථික මොඩලයක් තුළින් අපි ගමන් ගන්නේ කෙසේද? යන කරුණු මතු වෙයි. එහිදී අපිට සැබෑ නිදහස් රටක් ලෙස ඉදිරියට යාමට හැකිවෙයි. විදේශ බලවේගවලින් මිදීමට වර්තමානයේ නොයෙකුත් සටන් පාඨ ඇතිවී තිබුණ ද සටන් පාඨය යථාර්ථයක් බවට පත් කරගත යුතුයි. අපි සැබෑ වශයෙන් රටට ආදරය කරන රටේ සංස්කෘතියට දේශීයත්වයට ජාතියට ආදරය කරන දේශීය චින්තනයක් ගොඩනැගිය යුතු වෙයි. ජාතික වශයෙන් අපිට ආවේණික චින්තනයක වර්ධනය කිරීම ළිං මැඩි න්‍යායක් පටු අදහස් බව ඇතැමුන් ගේ අදහසයි. නමුත් ළිං මැඩි චින්තනය යනු බාහිර කිසිදු දෙයක් බාර නොගැනීමයි. බාහිරට විවෘත නොවී ආවෘත වීමයි. අපි ගෝලීය ක්‍රමයෙන් මිදී සම්ප්‍රදායික මහනුවර යුගයට නැවත යෑමට නොහැකියි. පවතින දේ මත අපි ඉදිරියට යා යුතුයි. අපිට සංවර්ධනය අවශ්‍යයි. අපි සියලු දෙනා සංවර්ධනය පිළිබඳව කතා නොකරන තැනක් නැති තරම්ය. නමුත් සංවර්ධනය අපි කෙසේ අත්පත් කරගත යුතුයිද කුමක්ද සංවර්ධන මාවත සෙවිය යුතුය. අපරාධවලින් පිරුණු සමාජයක වාණිජ පරමාර්ථ තකා කරන සමාජයක අපරාධ වැඩි සමාජයක සමාජ පිළිල වැඩි සමාජයක සමාජ නිදහසක් ලබාගැනීමට කිසිදු දිනක හැකි නොවෙයි, අපේ සංස්කෘතියේ යහපත් දේ වෙයි. අපිට ගෝලියකරණය න්‍යාකරණයෙන් මිදි යා නොහැකියි. අපි එයට යා යුතුවන්නේ කෙසේද ? මෙයයි අපි මේ නිදහස් දිනයේදී සැබෑ වශයෙන්ම සිතිය යුත්තේ.

බාහිර බලපෑම් වැඩි තැන අපට සටන් කිරීමට නොහැකි බව සත්‍යයකි. අපි මනස නිවහල් ව ශක්තිමත් කරගතහොත් වර්තමානයේ මේ අදෘශ්‍යමානව එන සමහර සංස්කෘතික බලවේග සමාජ බලවේග ආර්ක බලවේග වලට අපි මුහුණ දිය හැකිවෙයි. අපි ඒ සඳහා ශක්තිය ගත යුතුයි.

දේශීය වශයෙන් අපිට ආවේණික ශක්තිය අපි කායිකව මානසිකව ලබාගත යුතුයි. අපි බාහිර රටවල් කායික මානසික මිනුම් දඬුවලට අද හුරුවී සිටියි. එය බැඳී ඇත්තේ ද ගෝලිය වෙළද පොළ ආර්ථික ක්‍රමවේද සමඟයි. ඒනිසා අද විශේෂයෙන් ආර්ථික වශයෙන් පහළට වැටී ඇත. ආනයන වියදම වැඩිවි අපනයන අඩුවී ඇත.

මේ ගෝලීය වසංගතය අපේ රටේ ජනතාවගේ නැවත ඇස් හැරවීමට සමත් විය. අපේ මුළු චින්තනය ම නැවත ගොඩනැඟීමට කාලය එළැඹ ඇත. අපේ නිදහස අපි නැවත ගොඩනැගිය යුතුයි. අපි ස්වාධීන සෛවරීභාවය ජාතියක් බවට පත් කරගැනීමේ වගකීම ඇත්තේ ද අපිටමයි. එපමණක් නොව පාලකයා පත් කරන්නේ ද ජනතාව විසින්මයි. ඒ පාලකයන් ඉදිරියට ගෙන යන්නේද ජනතාව විසිනි. දේශපාලනික වශයෙන් ඉදිරියට යන්න නම් ගෝලීයදේශපාලනයේ භූ දේශපාලනයේ යථාර්ථය තේරුම් ගැනීම ඉතා වැදගත් වෙයි. මේ දේශපාලනික පාලකයන්ට හෝ වෙනත් බලගතු රටවල්වලට බැණ බැණ සිටීමෙන් ඇමරිකාවට බැණීමෙන් වර්තමාන භූ දේශපාලනයේ යථාර්ථය තේරුම් ගැනීම ඉතා වැදගත් වෙයි. අපි මේ දේශපාලනික තරගයේ ඉත්තන් බවට පත් වී ඇත. එයින් අපි උපායශිලීව මිදිය යුතුයි.

ආර්ථිකමය වශයෙන් අපි මෙයින් මිදෙන්නේ කෙසේ ද? යන කරුණු අප මත ඇති වගකීමයි. ආර්ථික වශයෙන් ගැති භාවයෙන් අපි මිදෙන්නේ කෙසේද? මුල්කාලීනව ආර්ථික උපාය මාර්ග දේශපාලනික ක්‍රියාකලාප දෘෂ්‍ය වුවද වර්තමානයේ දේශපාලනික උපාය මාර්ග දෘෂ්‍යමාන නොවෙයි. ඒවා ආර්ථික ස්වරූපයෙන් මතු වී ඇත.

ලෝකයේ සම්පත් ඩැහැ ගන්නා බලවතුන් තුන්වන ලෝකයේ රටවල්වලට සම්පත් ඩැහැ ගන්නා ස්වරුපයක් ඇත. අද අපිට උරුම වී ඇත්තේ කුමක්ද අනාගතයේදි අපිට මේ පරිසර විනාශයෙන් මේ පිරිසිදු ජලය විනාශ වීමට පටන් ගෙන ඇත. අපිට ජල මූල විනාශ වෙමින් පවතී. ලෝකයේ පිරිසුදු ජලය ඇති රටවලට අද ජලය අහිමි වී ඇත. මේ වැනි තත්ත්ව ඉදිරියට ඇතිවිය හැකියි. පරිසරයත් සමඟ අනාගතයේ දි මෙවැනි දේවල් රැකගත යුතුයි. මේ සමාජ දේශපාලනික ආර්ථික සංස්කෘති කරුණු පිළිබඳව සිතමින් අපි නිවහල් ජාතියක් ලෙස අපේ සමාජයට, පරිසරයට, අපේ අතීතයට ගරුකළ යුතුයි. අතිතය කරපින්නා ගැනීම නොව අතීතයෙන් පාඩම් උගත යුතුයි. ඉතා හොඳ ගමනක් යාමට නම් අපට මේ සියල්ල සාකච්ඡා කළ යුතු වෙයි. දේශීය වශයෙන් සිතමින් මේ රටට ආවේණික උරුමය අපි රැකිය යුතුයි. භාෂාව, සාහිත්‍ය, ඉතිහාසය අපි උගත යුතුයි. මේ ආකාරයෙන් අපේ දේ රැකගනිමින් ඉදිරියට යෑමේදි හොඳ නිර්මාණ ශක්තියක් ඇති ජාතියක් බිහි වෙයි. අපිට මානව සම්පත ඉතාමත් ඉහළ මට්ටමින් ඇත. ඉතිහාසයේ පුරාජේරුව පිළිබඳව කතාකළ ද අපිට ආවේණික අනාගතයක් පිළිබඳව අප නොසිතයි.

ඉතිහාසය වර්ණනා කරමින් එ ඉතිහාසයෙ නටබුන් මතවාඩි වි සිටියද අනාගතය නැවත අලුතින් ගොඩනැගිමට උත්සහ නොකරයි එය කළයුතු ප්‍රධාන මෙහෙවරයි. අනාගත පරපුරට උරුම කර දියයුත්තේ පරිසරය ගහ කොල සතා සිවුපාවා ඇළ දොල ජලය මෙන්ම ආධ්‍යාත්මිකව අපිට අහිමි වෙමින් පවතින සංස්කෘතියෙන් සභ්‍යත්වය අපේ සංස්කෘති චින්තනයයි.හොද ජාතියක් නිර්මාණය කිරිමට ඒවා අත්‍යවශ්‍ය සාධකවෙයි. මේ නිදහස් දිනයේ මේ පිලිබදව අවධානය යොමුකර නව චින්තනයක් සමග අපි ඉදිරියට ගමන් කළහොත් අපි සැබෑ ජාති හිතෛෂි සාංස්කෘතියක්, ආර්ථිකයක් දේශපාලනයක් හිමි නිවහල් නිදහස් ජාතියක් වනු ඇත..

Comments