බුදුන් උපන්නේ ලංකා­වේද? | Page 4 | සිළුමිණ

බුදුන් උපන්නේ ලංකා­වේද?

ලුම්බිණි ටැම් ලිපිය

පසුගිය 24 වැනි ඉරිදා සිළුමිණ පුවත්පතේ 17 පිටුවේ පළවූ ‘බුදුන් උපන්නේ ලංකාවේද’ යන ලිපිය පිළිතුරකි

ඌණපූර්ණයක්

සම්බුද්ධ තෙමඟුල සිදුවුණු ස්ථානයන් පෙන්නුම් කර දෙන ලෙස අධිෂ්ඨාන කොට රාත්‍රියේ සමාපත්තියට සමවැදී සැතපුණ පසුව එම ප්‍රදේශ පිළිබඳව අවබෝධයක් කරගත් බව මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමියෝ ප්‍රකාශ කරති” යන්නෙන් ආරම්භ වන ඒ ලිපියේ මීවනපළානේ හිමිගේ මූලික තේමාව වී ඇත්තේ ඒ පුදබිම් ලංකාවේ තිබෙන බව ප්‍රකාශයට පත් කිරීමයි.

සිදුහත් කුමරු උපන් ලුම්බිණියේ මායාදේවි විහාරය නමින් මවිසින් ලියන ලද ග්‍රන්ථයේ දෙවන මුද්‍රණයේ හැඳින්වීම මෙසේ ආරම්භ කර ඇත.

“මේ කාලය වනවිට ශ්‍රී ලංකාවේ බුද්ධාගම පිළිබඳ ප්‍රබෝධයක් ඇතිවි තිබෙන බව සඳහන් කළ යුතු කරුණකි. එසේ වුවද ඉතාම කණගාටුදායක කරුණක් වන්නේ සමහර ඉතා අතළොස්සක් බෞද්ධයන් යැයි කියාගන්නා පිරිසක් සිද්ධාර්ථ කුමාරයා උපන්නේ මේ රටේ යැයි සඳහන් කිරීමයි. ඒ සඳහා කදිම ශාස්ත්‍රීය පිළිතුරක් මේ ග්‍රන්ථයෙන් ඉදිරිපත් කළෙමි.

අනගාරික ධර්මපාලතුමා විසින් එදා බුද්ධගයාව ඇතුළු පුරාණ දඹදිවට අයත් පුදබිම් යළිත් බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට කටයුතු කළ ආකාරය ලෝක ජනතාව ද ඉතා හොඳින් දන්නා කරුණකි. මේ පිළිබඳ පෙරදිග මෙන් ම අපරදිග විද්වතුන් ද සිංහල ඉංග්‍රීසි හා වෙනත් අපරදිග භාෂාවලින් ද ලියූ පොත පත ඉතා විශාල සංඛ්‍යාවකි. එසේ තිබියදී ‘බුදුන් උපන්නේ ලංකාවේ’ වැනි මිථ්‍යා මත ප්‍රචාරය කිරීම සඳහා කදිම පිළිතුරක් ලොවටම ඇසෙන්නට දී තිබෙන්නේ 2011 සිට 2013 තෙක් ලුම්බිණියේ (නේපාලයේ) මායා දේවි විහාරයේ සිදු කරන ලද පුරාවිද්‍යා පර්යේෂණ කැණීමය. එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව හා සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් කරන ලද පුරාවිද්‍යා කැණීම ලොව ඉතා ප්‍රකටය. එහිදී කරන ලද ප්‍රකාශයන් මෙන් ම ඒ පිළිබඳ වාර්තා අනුව සිදුහත් කුමරු උපන්නේ (බුදුන් උපන්නේ) ලංකාවේ යන මිථ්‍යා මතයට අතුල් පහරක් දී ඇති බව මෙහිදී අවධාරණය කළ යුතුය.

ඒ සියල්ල ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ගවේෂණ ඇසුරින් සකසන ලදි.

ලුම්බිණි පුදබිම

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය හෙවත් රුම්මින්දෙයි මෙකල පිහිටා තිබෙන්නේ ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශ සීමාවේ සිට කිලෝමීටර් දහයක් (10) පමණ ඇතුළට වන්නට නේපාලයේය. නේපාල දේශයේ බටහිර තෙරායි ප්‍රදේශයේ පිහිටි ලුම්බිණි සල්වනය බුද්ධ කාලයට පෙර සිටම කපිලවස්තු සහ දෙව්දහ වාසීන්ගේ විනෝද උයනක් ලෙසින් පැවතුණි. ප්‍රමෝද වනය ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ලුම්බිණි සල්වනය සල්ගස්වලින් පිරී තිබුණි. එමෙන් ම විවිධ මල් වර්ග වලින් ද මී මැසි වර්ග රැසක් සිටි මේ උයන දෙවුලොව ඉන්ද්‍ර දෙවියාගේ චිත්ත ලතා උයනට සමාන කර ඇත. (ARCHAEOLOGICAL REMAINS OF KAPILAVASTU, LUMBINI AND DEVDAHA – B.K. RIJAL – NEPAL – P.11 – (1979))

පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් මේ කාලයේ දී අපට වැදගත් වන ඉතාමත් විශිෂ්ටතම ස්මාරකයක් එදා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 250 පසුව මෙම පුදබිමෙහි ඉදි වුණි. සිදුහත් කුමරු උපන් මෙම පුදබිමට බුද්ධකාලයේ සිට ඒ ශිලාටැඹ පිහිටු වන කාලය තෙක් ද ඉන්පසුව ද විවිධ පුද්ගලයන් වන්දනා පිණිස පැමිණෙන්නට ඇත. ඒ අනුව ලක්ෂ ගණන් සැදැහැවතුන් හා සංචාරකයන් ලෙසින් මේ පුද බිමට පැමිණෙන්නට ඇත.

එසේ වුව ද සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර 250 කාලයේදී මෙම පුද බිමට ඉතා සුවිශේෂී පුද්ගලයෙක් පැමිණි බව අප හොඳින් දැනගත්තේ ඒ මහා පුරුෂයා විසින් තමාම සිදුහත් කුමරු උපන් පුද බිමට පැමිණ ලුම්බිණි සල්වනයට වැඳ පුදා ගෙන ශාක්‍ය මුණි (සිදුහත් කුමරා) මෙහි උපන් බව සඳහන් කරමින් (බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා) ශිලා ටැඹක් එහි පිහිටුවන ලද නිසා ය. ඒ අක්ෂර සහිත ශිලා ටැඹ පිහිටුවනු ලැබුවේ මගධ අධිරාජයා වූ අසෝක රජතුමාගේ අනුග්‍රහයෙනි. තමාගේ 20 වැනි රාජ වර්ෂයේ දී මේ ශිලා ටැඹ පිහිටුවන ලද බව පමණක් නොව එහි සිදුහත් කුමරු උපත ලද බව ඒ ශිලා ටැඹෙහි දෙතැනකම බ්‍රහ්මී අක්ෂරයෙන් ලියා ඇත. ඒ ශිලා ලිපිය මෙහි සඳහන් වේ.

මායා දේවි විහාරය අසල වූ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය නිරූපණය කෙරුණු මූර්ති ඵලකයක් ද මුකර්ජිට සොයා ගැනීමට හැකිවූයේය. තවද ‍එම අසෝක කුලුන වටා සාදන ලද ගඩොල් ප්‍රාකාරයක් ද ස්නානය කළ පොකුණ ද ස්තූප කීපයක් සහ ආරාම සංකීර්ණයක් ද හමු විය. පතලකින් හමුවූ ඉතා අනගි දුර්ලභ මැණිකක් සොයා ගත් මැණික් ගැන ඉතා හොඳින් දන්නා පුද්ගලයෙකු මෙන් මේ ශිලා ලේඛනයේ වටිනාකම තවත් සුළු මොහොතකින් කියැවීමෙන් පසුව අවබෝධ කර ගත්තේය. ඒ ශිලා ලිපිය මෙහි දක්වා ඇත.

එහි අනුවාදය මෙසේ දැක්විය හැකිය.

1. දෙවන පියෙන පිය දසින ලජින විසති - වසභි සිතෙන

2. අතන අගාඩ මහියිතෙ හිඳ බුද ජාතෙ - සාක්‍ය මුණිති

3. සිලා විගඩහි ච කලා පිතෙ සිලා ථබෙ ච උසපපිතෙ

4. හිද භගවම් ජාතෙති ලුම්බිණි ගාමෙ උබලි කතෙ

5. අථභාගියේ ච

එහි අර්ථය මෙසේය.

දෙවන පියෙන පියදසි (රජුගේ) අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි සාක්‍යමුණි බුදුරදුන් උපන්නේයැයි (සලකා) තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදුරාජණන්වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප්‍රකාශයට පත් කොට) දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක් පිහිටු වීය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කළේය‍. (අසෝක ධංම ලිපි, ගිරි ලිපි, හා ටැම්ලිපි මහාචාර්ය අබය ආර්යසිංහ (2000) පි. 58 – 59

එදා අසෝක රජතුමා ලුම්බිණි පුදබිමට පැමිණියේ රජවී වසර 20 සපිරෙන අවුරුද්දේ බව එම ශිලාටැඹෙහිම සටහන් කර ඇත. අසෝක රජුගේ නාමය එහි සඳහන් කර ඇත්තේ ‘දෙවන පියෙන පියදසින ලජින‘ යනුවෙනි. අසෝක රජතුමා ලුම්බිණියට පැමිණි බව සංස්කෘත ග්‍රන්ථයක් වන දිව්‍යාවදානයෙහි ද සඳහන් වේ. එහි සඳහන අනුව අසෝක රජු ලුම්බිණි පුදබිමට පැමිණියේ රාජ රාජ මහා මාන්‍යාදීන් සමඟය. ඒ සමඟ තවත් භික්ෂූන් වහන්සේ නමක් ද වැඩම කළහ. උන්වහන්සේ උපගුප්ත නම් වූහ. අසෝක රජතුමාගේ අධ්‍යාත්මික උපදේශක හිමියන් වූයේ ඒ භික්ෂූන් වහන්සේ ය. උන්වහන්සේ දකුණු අත දිගු කොට මේ ස්ථානයේ සිදුහත් කුමාරයා උපත ලැබුවේ යැයි අසෝක රජතුමාට පැවැසූ බව දිව්‍යාවදාන ග්‍රන්ථයෙහි සඳහන් වේ.‍ (KAPILAVSTU LUMBINI AND DEVDAHA – P.13)

පාහියන් සහ හියුං ෂාං

අසෝක රජතුමාට පසුව (ශිලාටැඹ පිහිටුවීමට පසුව) පාහියන් හිමියන් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී ද එයින් වසර 200 පමණ පසුව හියංෂාං නම් චීන භික්ෂුන් වහන්සේ ද මෙම සිදුහත් කුමරු උපන් පුද බිමේ අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹ ගැන උන්වහන්සේලාගේ චාරිකා සටහන්වල සඳහන් කර ඇත. සිදුහත් කුමරු උපන් සල්රුක් සෙවණ ද පාහියන් හිමියන් දුටු බව සිය වාර්තාවල සඳහන් කර ඇත‍. හියුංෂාං හිමි ද ලුම්බිණියේ අදත් දක්නට ලැබෙන ශාක්‍ය පොකුණ ද සල් උයන හා ස්තූප සහ වෙනත් ගොඩනැගිලි ද දුටු බව සඳහන් කර ඇත. අසෝක රජු මෙහි පිහි‍ටුවන ලද ස්තම්භය ගැන ද හියුංෂාං චීන භික්ෂුන් වහන්සේ සඳහන් කරති.

(සිදුහත් කුමරු උපන් ලුම්බිණියේ මායාදේවි විහාරය - සිරිසමන් විජේතුංග පි. 80 – 81)

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය යුනෙස්කෝ මගින් ලුම්බිණි පුදබිම WORLD HERITAGE ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත් කළේ 1997 දීය.

ප්‍රධාන පුදබිම් හතරක්

මහා පරිනිබ්බාන සූත්‍රයෙහි බෞද්ධයෙකු විසින් වැඳ පුදාගත යුතු පුදබිම් හතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ පුදබිම් සතර නම් සිද්ධාර්ථ කුමාරයා උපත ලැබූ ලුම්බිණි පුද බිම (මෙකල නේපාල දේශයේ) සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බුද්ධගයාව, බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනය පැවැත්වූ සාරානාථය සහ බුදුරජාණන්වහන්සේ වසර 45ක් ලෝක සත්ත්වයාගේ යහපත සලසා මහා පරිනිර්වාණයට පත්වූ කුසිනාරාවය. මේ පුදබිම් සියල්ලම වසර 150 අධික කාලයක් තිස්සේ ඉන්දියානු මෙන් ම බටහිර විද්වතුන් ද රාශියක් පුරාවිද්‍යා පර්යේෂණ පවත්වා ඉතා විශාල ග්‍රන්ථ සම්භාරයක් විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සහ ජර්මන් හා චීන, ජපන් ආදී භාෂාවලින් පර්යේෂණ පවත්වා ඇත. (දඹදිව සිවු මහා පුදබිම් - සිරිසමන් විජේතුංග පි. 10 )

මේ තොරතුරු අනුව සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උපත ලැබුවේ ලංකාවේ යැයි පවසන පින්වතුන්ට යථා තත්ත්වය ඒ කරුණුවලින් පැහැදිලි වෙනු ඇත. අනගාරික ධර්මපාලතුමා පිළිබඳව ද දෝෂාරෝපණය කළේ මේ යුගයේ නොව එතුමා බුද්ධගයාවේ මහ නඩුවට සම්බන්ධවූ කාලයේදීය. එහෙත් මේ රටේ සමහර මිනිසුන් එතුමාට එකල ද නිග්‍රහ කළ නමුදු සිංහල බෞද්ධයා යළි නගා සිටුවීමට නම් බුදු දහම හා බුදු සසුන රැකගත යුතු බව එතුමා නිතරම පැවසූ වදනකි. දේශපාලකයන් ගැන ද එතුමා ඉතා ගැඹුරින් ප්‍රකාශ කළ කරුණු පිළිබඳ ආචාර්ය ගුණදාස අමරසේකර අප හිතවත් විද්වතාණන් ‘අනගාරික ධර්මපාලතුමා මාක්ස්වාදීද’ යන ඔහුගේ ග්‍රන්ථයේ නිසි ලෙසින් විග්‍රහ කර ඇත.

Comments