සතුටට හඬක් හොයන කිඹුලාපිටියේ මිනිස්සු | සිළුමිණ

සතුටට හඬක් හොයන කිඹුලාපිටියේ මිනිස්සු

  • ගොඩක් අය වැඩපොළ වහලා දැම්මා. නිෂ්පාදකයන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අමුද්‍රව්‍ය හිඟය

 

  • ගිය සැරේ රුපියල් 60ට තිබුණු රතිඤ්ඤා පැකට් එකක් මේ සැරේ රුපියල් 130යි. 200ට තිබුණු පැකට් එකක් දැන් රුපියල් 450යි. ගිය අවුරුද්දෙ රුපියල් 6 -7ට තිබුණු අහස් කූරක් දැන් රුපියල් 14 -15යි

 

ටානියා මෝසස්, කිඹුලාපිටිය සංචාරයකින් පසුව

දාහය දරාගත නොහේ. අකාරුණික හිරු රැස් හාත්පස දවමින් ඇත. මා දකිමින් සිටින්නේ විඩාපත් මුහුණුය. සෞභාග්‍යය, ප්‍රීතිය, නිමිති කොට පුපුරා යන හැඟීම් ප්‍රකාශ කරමින් ගිගුම් දෙන ප්‍රහර්ෂය ලංකාවට බෙදූ කිඹුලාපිටිය සොහොන් පිටියක හුදෙකලාවක ගිලී ඇතැයි සිතමි. කිඹුලාපිටිය හන්දියේ සිට මීගමු පාර දෙපස මීට මාස කිහිපයකට පෙරදී පවා සක්‍රියවපැවති කුඩා ගිනිකෙළි නිෂ්පාදන ආයතන එකින් එක වැසී ගොස් ඇති අයුරු පෙනේ.

මේ මහා ආර්ථික සුළි කුණාටුවෙන් කිඹුලාපිටියට පමණක් බේරෙන්න ඉඩක් නැති බව දනිමි. එහෙත් මේ අර්ධ නාගරික පරිසරයේ ජීවත් වෙමින් සිටින්නේ මේ රටේ සුවිශේෂී කර්මාන්තයකින් සියවසකට අධික කාලයක් සිය ජීවන වෘත්තිය සරිකර ගත් විශේෂ කර්මාන්තකරුවන් කොටසක් වීම මෙවැනි ගමනකට අප පෙලඹ වූ විශේෂ කරුණ විය. ලංකාවේ කොතැනක ගිනිකෙළි කර්මාන්තයක් පැවතියත් එහි මුල කිඹුලාපිටිය ය. අද ගාල්ලේ ඇත්තේත් මහනුවර ඇත්තේත් පූගොඩ ඇත්තේත් කිඹුලාපිටියේ ගින‍ිකෙළි පරිචයේ වැඩී ගිය අතු පතරය.

මෙම ඉතිහාසගත ගම් පියසේ ගිනිකෙළි කර්මාන්තයේ පුරාවෘත්තය 1917 තෙක් ඇදී යනු අයුරු අසා ඇත්තෙමි. කිඹුලාපිටියේ ඒමිස් මුදලාලි ලංකාවේ මුල්ම රතිඤ්ඤා කරල නිපදවා ඇත්තේ කිඹුලාපිටියේ බව කිඹුලාපිටියේ ඇත්තෝ කියති. ඒ වකවානුවේ කිඹුලාපිටිය හැඳින් වූයේ මහවත්ත ලෙසය.

ඒ කතාවේ හැටියට මහවත්තේ ඒමිස් අත්තා දියේ ගිලී මියෙන්නට යන විදේශිකයෙක් බේරා ගත්තේය. ඒ විදේශිකයා අත්තාට අසීමිතව ස්තුති කර රතිඤ්ඤා නිෂ්පාදනය කරන ආකාරය ලියැවී ඇති පොතක් තෑගි දුන්නේය. යමක් කමක් දැන උගත්ව සිටි තේමිස් අත්තා ඒ පොතේ හැටියට මුල්ම රත්ඤ්ඤා කරල නිෂ්පාදනය කළේය. කිඹුලාපිටියේ ඇත්තන් කියන්නේ ඒ වර්ෂ 1917 දී බවය.

ලංකාවේ මුල්ම රතිඤ්ඤා කරල නිෂ්පාදනය වන්නේ සූර්යා සහ මුවා සන්නාමයෙනි. උන්දෑගේ පරම්පරාවේ කර්මාන්ත උරුමකරුවන් අද ඉන්නේ ඉතාලියේය. එහෙත් සූර්යා සහ මුවා සන්නාමය තවම ඔහුගේ තුන්වැනි පරම්පරාවේ හිමිකම සුළු වශයෙන් වුවත් අඛණ්ඩව අද දක්වා පවත්වාගෙන යන්නේය. එදා තේමිස් අත්තා බිහි කළ කර්මාන්තය මෙතෙක් පළාතක්ම පෝෂණය කරමින් සිටියේය. ඉන් පවුල් ඒකක දෙදහසක් රැකුණේය. කිඹුලාපිටියේ මිනිස්සු කිසිවකුට අත නොපා ගෞරවාන්විතව ජීවත් වූහ. ඔවුහු රටක විශේෂ කර්මාන්තයක් ඉපිද වූහ.

අද ඒ කර්මාන්තය බිඳවැටෙමින් ඇත. අප කිඹුලාපිටියට එන්නේ ඒ ඛේදවාචකයේ හඬ ඔස්සේය. ගෘහ කර්මාන්ත ලෙස පවත්වාගෙන යමින් සිටියදී වසා දැමූ කුඩා ගිනිකෙළි කර්මාන්ත ශාලා දකිමින් අපි ඉදිරියට යමින් සිටියෙමු.

ඒ අතර විශාල ව්‍යාපාර ලෙස පවත්වා ගෙන ගොස් දැන් සීමිත නිෂ්පාදනයක් කරමින් සිටින කර්මාන්තකරුවන් හමුවේ. ආර්ථිකය හමුවේ දරාගත හැකි ප්‍රාග්ධන වත්කමක් සහිත, පවතින දුෂ්කරතා පිළිගත හැකි ශක්තියක් සහිත කර්මාන්තකරුවෝ අතළොස්ස නිහඬ සටනක නිරත වෙමින් සිටිති. එවැනි එක් ව්‍යවසායකයකු සමඟ කෙටි සංවාදයක් සඳහා නැවතුනෙමු.

ඔහු සුරින් ප්‍රනාන්දු ය. පාරම්පරික ගිනිකෙළි කර්මාන්තයක වත්මන් නියෝජනය ඔහු ය. අප දකිමින් සිටින්නේ විශාල කර්මාන්ත ශාලා ගොඩනැඟිල්ලක කෙළවර කිහිප දෙනකු එක්වී රතිඤ්ඤා නිෂ්පාදනය කරමින් සිටින ආකාරයයි.

“ගොඩක් අය වැඩපොළ වහලා දැම්මා. සුළු පරිමාණයෙන් කරපු අයට දරාගන්න බැරි ප්‍රශ්න කිහිපයකුක් මතු වුණා. ප්‍රධානම ප්‍රශ්නය අමුද්‍රව්‍ය හිඟය. රතිඤ්ඤා නිෂ්පාදනයට බලපත්‍ර සහිතව නිකුත් කරන අමුද්‍රව්‍ය තුනක් තියනවා. වෙඩි බෙහෙත් හදන්නෙ ඒ අමුද්‍රව්‍යවලින්. එකක් බේරියම් නයිට්‍රේට්. පොටෑසියම් නයිටේට් දෙවැනි එක. තුන්වැනි එක පොටෑසියම් පර් ක්ලෝරේට්. ඒ වගේම බලපත්‍ර මත නොගෙන්වන අමුද්‍රව්‍ය කීපයකුත් අවශ්‍යයයි. එකක් තමයි ඇලුමිනියම් කුඩු. මේ අමුද්‍රව්‍ය සියල්ලම අවශ්‍යයයි රතිඤ්ඤා නිෂ්පාදනයට. එහෙත් දැන් තියන තත්ත්වය අනුව මේවා ගෙන්වන්න විදිහක් නෑ. උදාහරණයක් විදිහට ගාල්ල දිස්ත්‍රික්කයේ වෙඩි බෙහෙත් බලපත්‍රලාභින් 5 දෙනෙක් විතර ඉන්නවා. නුවර ඉන්නවා 10 -15 අතර ප්‍රමාණයක්. ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම පිරිස ඉන්නේ. ගම්පහ බලපත්‍රලාභින් දෙසීය විසි පහක් ඉන්නවා. ගම්පහ බලපත්‍ර ලාභින්ගෙන් සියයට අනූ නවයක් ඉන්නේ කිඹුලාපිටියේ.

ගම්පහ කර්මාන්තකරුවන්ට පමණක් මාසෙකට පොටෑසියම් නයිට්‍රේට් ටොන් 30ක් විතර අවශ්‍ය වෙනවා. මේ වන විට මාස තුනකට විතර පස්සේ ලංකාවටම ඇවිත් තියෙන්නෙ පොටෑසියම් නයිට්‍රේට් ටොන් 44යි. ලබන බදාදා ඒ ටොන් 44 බලපත්‍රවල ප්‍රමාණයට අනුව බෙදා හරින්න තීරණය වෙලා තියෙනවා. අනෙක් අමුද්‍රව්‍ය තිබුණොත් තමයි මේ ප්‍රමාණයෙන් අපට කර්මාන්තය කර ගැනීම සඳහා ප්‍රයෝජනයක් එන්නේ"

ඔහු කියන්නේ බලපත්‍ර නිකම්ම නිකම් කඩදාසි බවට පත් වී ඇති ආකාරය ය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ බිඳවැටීමත් සමඟ ආයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම, ප්‍රවාහන වියදම් අධික වීම, අලෙවිය අඩු වීම තුළ රතිඤ්ඤා කරලක මිල නියම කර ගැනීමට අසීරු අඩියකට තමන් පත් වී ඇති බවය. සුරින් වෙඩි බෙහෙත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සාරාංශයක් කීවේය.

“පොටෑසියම් නයිට්‍රේට් බෑග් එක පහුගිය සිංහල අවුරුද්දට කලින් ගත්තේ රුපියල් එකොළොස් දහස් දෙසීය පනහට. දැන් තිස් හතර දාහයි. බේරියම් නයිට්‍රේට් ගත්තේ රුපියල් අටදාහට. දැන් විසි හය දහස් පන්සීයයි. පර් ක්ලෝරේට් කියන එක රුපියල් දොළොස් දහස් පන්සීයයි මේ අවුරුද්දෙ මුලදි. දැන් ඒක හතළිස් හතර දහස් පන්සීයක් වෙනවා. ඇලුමිනියම් පවුඩර්වලත් ළඟ ළඟ කිහිප වරක් මිල වෙනස් වුණා. තිස් දාහට තිබ්බ පවුඩර් එක දැන් එක්ලක්ෂ හතළිස් දාහක් වෙලා.

ඉවතලන සාමාන්‍ය අබිලි කඩදාසිවලින් තමයි බම්බු ඔතන්නේ. ඒවා කිලෝ එකක් ගත්තේ රුපියල් 45-50ට. මේ වෙනකොට ඒකත් 210ක් වෙලා. රතිඤ්ඤා කරලක නිෂ්පාදන පිරිවැය රුපියල් 7ක් වෙලා. ඒක පාරිභෝගිකයා අතට යනකොට ලොකු මිලක් වෙනවා. දැනටමත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කර්මාන්ත කරගන්න බැරි වෙලා තියෙන්නෙ. දැන් අපිවත් ඒ තැනට තල්ලු වෙලා යනවා. ”

මීට පෙර දවසේ පැය 24 පුරා පුද්ගලයන් 16 දෙනකු වැඩ කළ ඔහුගේ කර්මාන්ත ශාලාවේ දැන් වැඩ කරන්නේ සේවකයන් 08 දෙනකි. ක්ෂය වී ගෙන යන කර්මාන්තය දකිමින් ඔහුගෙන් සමුගෙන මහ මඟට පිවිසියෙමු.

අතරින් පතර තවමත් යන්තමින් සක්‍රිය ගිනි කෙළි කර්මාන්ත ශාලා ද හමුවිය. සේපාල් ප්‍රනාන්දු එවැනි කර්මාන්තයක් හිමි කිඹුලාපිටියේ ඉතිහාසයක් ඇති ව්‍යාපාරිකයෙකි. පුරා වසර හතළිස් දෙකක් තිස්සේ ඔහු ගිනිකෙළි කර්මාන්තයේ නියැළී සිටින අතර තවමත් ඔහුගේ කර්මාන්ත ශාලාව තුළ 40 දෙනකු සේවය කරති. තවත් 30 දෙනකු ආයතනයෙන් පිටත සිට සේවා සපයති. කිඹුලාපිටිය ගිනිකෙළි කර්මාන්තකරුවන්ගේ සංගමයේ අනුශාසක ලෙස කටයුතු කරන්නේ ද සේපාල් ප්‍රනාන්දු ය.

ඔහුට අනුව නම් කර්මාන්තයේ පවතින මූලික ගැටලුව මිල ඉහළ යෑම නොවේ. සෑම භාණ්ඩයකම මිල ඉහළ යන අවස්ථාවේදී රතිඤ්ඤා කරලක නිලා කූරක මිල ඉහළ යෑම මිනිසුන් ප්‍රශ්න නොකර පිළිගන්නා බව ඔහු පෙන්වා දෙන්නේය. ගැටලුව ඇත්තේ අමුද්‍රව්‍ය නොලැබීම තුළය.

“මේ මූලික ගැටලුව මතු වුණේ පසුගිය රජයෙන් ගත්තු වැරැදි තීරණයක් නිසා. ආනයනය කරන කට්ටිය හිටියත් අමුද්‍රව්‍ය ගේන එක නැවැත්තුවා. කර්මාන්තයේ ප්‍රධානම බිඳවැටීම පටන් ගත්තෙ එතැනින්. මේ පළාතෙ බහුතරයක් යැපෙන්නෙ මේකෙන්. මා යටතේ සුළු ව්‍යාපාරික පවුල් 10ක් නඩත්තු වෙනවා. මේ කිසිම කෙනෙක් රජයට බරක් වෙච්චි අය නොවෙයි. අපි ඉල්ලන්නෙ අපේ කර්මාන්තය කරගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික විතරයි. දැන් බලන්න, පොටෑසියම් නයිට්‍රේට් ඇවිත් කියලා කියනවා. බදාදා ඒක බෙදනවා කියන පණිවිඩය ආවා. ඒත් දැන් ඇලුමිනියම් පවුඩර් එක නෑ. මේ හැම අමුද්‍රව්‍යයක්ම නැතිව වෙඩි බෙහෙත් නිෂ්පාදනය කරන්න බෑ. මං දකින්නෙ මෙතන තියෙන්නෙ මිල වැඩි වීමේ ප්‍රශ්නය නෙමෙයි. මිල වැඩි වීම සමාජය පිළිගන්නවා. හැමෝටම වෙඩි ද්‍රව්‍ය ලැබෙන්නෙත් සමාන මිලට. එතකොට නිෂ්පාදන වියදම එකයි. තමන්ගෙ සන්නාමය ආරක්ෂා කරගන්න උත්සාහ කරන කෙනෙක් වැඩිපුර ප්‍රමිතියට නිෂ්පාදනය කරලා වැඩි මුදලට තමන්ගෙ නිෂ්පාදන අලෙවි කරයි. තව කෙනෙක් ලාභය ගැන කල්පනා කරලා නිෂ්පාදනය කරයි. වෙළෙඳපොළ මිල වැඩි වීම පිළිගන්නවා. මෙතන ගැටලුව තියෙන්නෙ ආනයනික වෙඩි ද්‍රව්‍ය හිඟය. එතන තමයි මේ කර්මාන්තය කඩා වැටෙන්න මුල” ඔහු කීවේය.

මේ ගත වෙමින් තිබෙන්නේ කිඹුලාපිටියේ ගිනිකෙළි කර්මාන්තකරුවන් ලබන සිංහල අවුරුද්ද වෙනුවෙන් සිය නිෂ්පාදන සකස් කරන කාලයයි. එහෙත් ඔවුන්ට මෙවර නත්තල සඳහාවත් තම නිෂ්පාදනය කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

එහෙත් බොහෝ බිඳවැටීම් අතර අත්නොහළ බලාපොරොත්තු සහිතව කර්මානතයේ නිරත වන්නෝ ද වෙති. කිඹුලාපිටියේ ඇවිද යන අපට හමුවූ ගිනි කෙළි කර්මාන්තකරුවකු වූ විමල් කුමාර එවැන්නෙකි.

“වෙළෙඳාම අඩු වෙලා තියෙනවා තමයි. නමුත් සාපේක්ෂව මිලත් වැඩි වෙලා තියෙනවා. ගිය සැරේ රුපියල් හැටක් වෙච්චි රතිඤ්ඤා පැකට් එකක් මේ සැරේ රුපියල් 130ක්. ගිය අවුරුද්දෙ 200ක් වෙච්චි පැකට් එකක් මේ පාර රුපියල් 450යි. ගිය අවුරුද්දෙ රුපියල් 6 -7යි කිවුව අහස් කූරක් දැන් රුපියල් 14 -15යි. ගිය සැරේ අරන් ගිය රතිඤ්ඤා ප්‍රමාණයෙන් බාගයයි දැන් අපෙන් පාරිභෝගිකයො මිලදී ගන්නෙ. බඩුවල මිල ගණන් වෙළෙන්දන්ටත් හිතා ගන්න බෑ. ඒ අය වාහනයක් දෙකක් ඇරලා තමයි බඩු ගන්නේ. වෙනදා ඩීසල් ලීටර 50ක් දුවලා විකුණන බඩු ටික විකුණන්න ඩීසල් ලීටර 100ක් ගහන්න ඕන. පැකට් 10ක් ගත්ත පොඩි කඩයක මුදලාලි කෙනෙක් දැන් ගන්නේ පැකට් තුනක් වගේ සංඛ්‍යාවක්. ඉස්සර ඉල්ලුම වැඩි නිසා වැඩ කරන අයට වුණත් මාසෙකට දවස් දෙකක් විතර තමයි නිවාඩුවක් ලැබෙන්නේ. දැන් තත්ත්වය වෙනස්. මිනිස්සුන්ට අමාරු කාලයක්...ඒත් ඔවුන් පුළුවන් විදිහට රතිඤ්ඤා මිල දී ගන්නවා.” ඔහු කියන්නේ එසේය.

“එය නම් යහපත් ප්‍රවෘත්තියකි. කටාන ආසනයේ සියයට පනහකගේ ජීවනෝපාය බැඳී ඇත්තේ ගිනිකෙළි සමඟය. මූලිකම නිෂ්පාදනය රතිඤ්ඤාය. රතිඤ්ඤා කරල කිඹුලාපිටියේ කර්මාන්ත ශාලාවක් තුළ මුල සිට අවසන්වන තුරු නිපද වන්නේ නැත. රතිඤ්ඤා කරලේ බම්බුව හදා මැටි කට්ටය ගසා සකස් කිරීම කිඹුලාපිටියේ එක් කර්මාන්තයකි. බම්බුවක් සකස් කර මැටි කට්ටය ගසා සකස් කරන බම්බු 1000කට රුපියල් 200ක් මිලක් ගෙවයි. ඒ කොටස කිරීම සඳහා මෙම කර්මාන්තය හා සම්බන්ධ ගෘහ ඒකක තුන්සීයයකට ආසන්න ප්‍රමාණයක් කිඹුලාපිටියේ සිටී.

එතැන් සිට කර්මාන්ත ශාලාවේ රතිඤ්ඤා කරල් නිම කිරීම සිට අලෙවිය දක්වා වූ කොටස තුළ විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. පාරම්පරිකව කර්මාන්තය කරගෙන පැමිණි නමුත් වෙඩි බෙහෙත් බලපත්‍ර නොලැබුණු පිරිසක් ද කිඹුලාපිටියේ ගිනිකෙළි කර්මාන්තයේ නිරතව සිටියහ. පසුව එම නීති විරෝධී නිෂ්පාදන ක්‍රියාවලිය නිමා කරමින් බලපත්‍ර දීමේ ක්‍රියාවලිය සංශෝධනය වූයේය. පවතින ක්‍රමය තුළ ඔවුහු සියලු දෙනාම රටේ සමස්ත ආර්ථික අර්බුදයේ ගොදුරු බවට පත් වී සිටිති.

කුමාර යටතේ මේ වන විට සේවකයෝ 15ක් පමණ සේවය කරති. ගැටලුව වී ඇත්තේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් කර ගැනීමට ඇති අමුද්‍රව්‍ය හිඟකමය.

“කිඹුලාපිටියේ රතිඤ්ඤා අලෙවියේ අමතකම නොවන මතකය මොකක්ද?"කුමාරගෙන‍් ඇසුවෙමි.

“්‍ප්‍රභාකරන් මැරුණ දවස” ඔහු සැණින් පිළිතුරු දුන්නේය.

“මට මතකයි එදා මිනිස්සු අපේ කුණු ගොඩවල තිබුණු රතිඤ්ඤා පවා සල්ලි දීලා අරන් ගියා. මම හිතන්නෙ එකම දවසක වැඩිම රතිඤ්ඤා විකිණුණේ මෑත ඉතිහාසයේ එදා.”

දැන් තත්ත්වය වෙනස්ය. හැම තැනම පැතිරී ඇත්තේ අසුබවාදී ආකල්පය. එහෙව් රටක මිනිස්සුන්ට රතිඤ්ඤයක් පත්තු කර පුපුරුවා හැර ලබා ගත හැකි ප්‍රහර්ෂයක් ඉතිරි වී ඇතැයි සිතන්නට නොහැකිය. එවැනි සමාජ වටපිටාවක් තුළ මේ කර්මාන්තයේ හෙට දවස කුමක් විය හැකිද? ඔවුන්ගෙන් සමුගන්නා මොහොතේ කල්පනා කළෙමි.

“ඇත්තටම කුමාර.. කිඹුලාපිටියෙ ගිනිකෙළි ඉවර වෙයිද?” අවසන් ප්‍රශ්නය ඔහුගෙන් විමසුවෙමි. කුමාර සිනාසුණේය.

“මේ කර්මාන්තයෙ අපි අවුරුදු ගාණක් ඉන්නවා. මම මේකෙ හැටි දන්නවා. අපිට සල්ලි නෑ තමයි. අපි දුකෙන් තමයි. ඒත් අපි කෑම බීම ටික ගන්නවා. දරුවන්ගෙ ඉස්කෝලෙ වැඩ කටයුතු කරන්න පොත් පත් ටික ගන්නවා. සෙල්ලම් බඩු ටික ගන්නවා. ඒ වගේම තමයි පොඩි උන්ගෙ ලොකුම සතුටක් තමයි උත්සව කාලෙට රතිඤ්ඤා පත්තු කරන එක. ඒක අම්මලා තාත්තලා කොහොම හරි කරනවා..”

“මේ කර්මාන්තය වැටෙන්නෙ නෑ මිස්...” ඔහු යළිත් කීවේය. කුමාරගේ ඒ බලාපොරොත්තුසහගත වදන් තුළ විශාල ශක්තියක් ගැබ් වී ඇති අයුරු දුටුවෙමි. මෙවැනි ව්‍යසන කාලවලදී ආර්ථික බිමටම සමතලා වීමට නොදී අල්ලා ගන්නේ මෙවැනි ධෛර්යවන්ත මිනිසුන් විසිනි. ඒ මිනිස්සුන්ගේ විශ්වාසය රටකට බිඳනොවැටෙන පදනමක් නිර්මාණය කරන බව ද විශ්වාස කරමි.

ඡායාරූප - සමන්ත වීරසිරි

Comments