පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000ක් අරන් ජාතික පිලේ දොරට තට්ටු කරන යෞවනයා | සිළුමිණ

පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000ක් අරන් ජාතික පිලේ දොරට තට්ටු කරන යෞවනයා

1999 ඔක්තෝබර් 19 වැනිදා පොලිස් නිලධාරියකු වූ ලූෂන් සූරියබණ්ඩාර හා හිරන්ති සූරියබණ්ඩාර යුවළට දාව පවුලේ බඩපිස්සා ලෙස උපදින පුංචි පුතුට ඔවුහු පසිඳු සංජුල සූරියබණ්ඩාර යන නම තැබූහ. පසිඳුගේ පියා හිටපු බාස්කට් බෝල් ක්‍රීඩකයකු වන අතර ඔහු ජාතික මට්ටමින් ද ක්‍රීඩා කර ඇත. පවුලේ වැඩිමහල් පුතු වන උමේෂ් සහ පවුලට එක් වූ බාල පුතු ද ක්‍රීඩකයකු වීම දැකීම ලූෂන් සූරියබණ්ඩාර දුටු සිහිනයක් විය හැකිය. එහෙත් ඒ සිහිනය වැඩිමහල් පුතු වූ උමේෂ්ගෙන් ඉටු වූයේ නැත. ඔහු පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස දක්ෂතා දැක්වුවද එය අතරමඟ නතර කර වෙනස් ඉලක්කයක් කරා ගමන් කළේය. එහෙත් අපේ කතාවේ කතානායකයා වන පසිඳු සූරියබණ්ඩාර ඔහුගේ පියාගේ සිහිනය කෙමෙන් කෙමෙන් ඉටු කරමින් ඔහුගේ මාවත එළිපෙහෙළි කරගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. අධ්‍යාපනයට ද දක්ෂයකු වන ඔහු උපාධිධාරියෙකි.

“මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. A 8ක් හා B එකක් අරගෙන. ඊට පස්සේ උසස් පෙළ කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාණිජ අංශයෙන්. සාමාන්‍ය පෙළ සිංහල මාධ්‍යයෙන් කරලා තමයි උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළේ. උසස් පෙළත් හොඳින් සමත් වුණා B දෙකක් හා C එකක් අරගෙන. ඊට පස්සේ ICBT එකෙන් මම අලෙවිකරණය සම්බන්යෙන් වැඩිදුර ඉගෙන ගත්තා. මම දැනට පීපල්ස් ලීසිං සමාගමේ වැඩ කරනවා. ඒ ආයතනයෙන් මට පුහුණුවීම්වලට හා මැච්වලට යන්න කාලය ලබා දෙනවා, උදවු කරනවා. ඔවුන් මගේ ක්‍රීඩා ගමනට හයියක් වෙලා තියෙනවා. දැන් මගේ ජීවිතේ ගෙවෙන්නේ ක්‍රිකට් එක්ක. මැච් නැති දවස්වලට රැකියාවට යනවා. අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් යනවා. මගේ පිතිකරණ වේගය හා තාක්ෂණික පැත්තේ අඩු පාඩු තියෙනවා නම් මගේ පුහුණුකරුවන්ගේ උදවු ඇතුව ඒවා හදා ගනිමින් තමයි මම ක්‍රිකට් ගහන්නේ. මම දැන් ක්‍රීඩා කරන්නේ මූවර්ස් ක්‍රීඩා සමාජයට. මූවර්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු චාමර කපුගෙදර මහත්මයා. ඔහු මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. මම කලින් ක්‍රීඩා කළේ SSC එකට…”

ඔහු පසුගියදා පැවති සමාජ ක්‍රීඩා තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් නිශාන් මධුෂ්කට පමණක් දෙවැනියා වෙමින් ලකුණු 1091ක් ලබා ගත්තේය. ඔහුගේ පිත්තේ හයිය එසේ වේගයෙන් ගමන් කර ඇති හෙයින් ඔහුට නුදුරු දිනකදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාවක් පවතින බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් ඉන් නොනැවතී පසිඳුට ඔහුගේ ලකුණු ගැනීමේ වේගය වැඩි කර ගැනීමට ද සිදු වේ. ක්‍රිකට් ක්‍රීඩාවට නිරන්තරයෙන්ම දක්ෂයන් බිහි වන හෙයින් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එම නිසා කණ්ඩායමට ඇතුළත් වීම යනු විශාල අභියෝගයක් ජය ගැනීමකි.

“මම ක්‍රිකට් ගහන්න කලින් සෙල්ලම් කළේ ටෙනිස් ක්‍රීඩාව. මගේ තාත්තා හිටපු බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක්. අයියා සහ මමත් මොකක් හරි ක්‍රීඩාවකට යොමු වෙනවට තාත්තා කැමැත්තෙන් ඉන්න ඇති කියලා මට හිතෙනවා. හැබැයි කවදාවත් කියලා නැහැ මේක කරන්න මෙහෙම ඉන්න කියලා. ඒ නිසා තාත්තගේ කැමැත්ත මොකක්ද කියලා හිතා ගන්න බැහැ. අම්මා ගෘහණියක්. අම්මට ඕනෑ වුණේ මම, අයියා වගේම අක්කා චමින්ද්‍රිත් හොඳින් ඉගෙන ගන්නවා බලන්නයි. අක්කා දැන් ඉන්නේ විදෙස් ගත වෙලා. අයියා ලංකාවේ රැකියාවක් කරනවා. එයත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් . 19න් පහළ දක්වා එයා ක්‍රීඩා කරලා තියෙනවා. ඊට පස්සේ එයා ක්‍රිකට් ක්‍රීඩාවටට සමු දුන්නා…”

ටෙනිස් ක්‍රීඩාවට සමු දී ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත් පසිඳු පාසලේ 13න් පහළ සිට පාසල් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් නායකත්වය දැරූ ක්‍රීඩකයෙකි. ඔහු දකුණත් පිතිකරුවෙක් ලෙස දක්ෂතා දක්වනවා සේම පන්දුවෙන් හා පන්දු රැකීමට ද දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකි.

ටෙනිස් ක්‍රීඩාවට සමු දී ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත්තේ ප්‍රසිද්ධිය සඳහා ද එසේත් නැත්නම් මුදල් ඉපැයීමේ අරමුණින් දැයි විමසූ පැනයට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ඔය කාරණා දෙකම නිසා නෙමෙයි. මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ පාසල් 13න් පහළ කණ්ඩායම නියෝජනය කරමින්. 19න් පහළ දක්වා පාසල් කණ්ඩායමේ ක්‍රීඩා කළා. ටෙනිස් ගහන එක නතර කළේ දෙකම එකට සෙල්ලම් කරන්න බැරි නිසයි. ආසාව තිබ්බේ ක්‍රිකට් ගහන්න. නමුත් ඒ මත්තේ හිටියෙත් නැහැ. එක ක්‍රීඩාවක් තෝරා ගත්තොත් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කියන විශ්වාසය නිසා තමයි ක්‍රිකට් තෝරා ගත්තේ. අනිත් එක කාලයක් ක්‍රිඩා කරන්න පුළුවන් කියන අදහසින් මිසක් සල්ලි හොයන්න නෙමෙයි. සල්ලි හොයන්නම ක්‍රීඩා කළා නම් මට දැන් වාහනයක්වත් තියෙන්න ඕනනේ. මම පාවිච්චි කරන්නේ තවම තාත්තගේ වාහනේ. වාහනයක් නැහැ වගේම මම තවම යැපෙන්නේ ගෙදරින්. ක්‍රිකට්වලට ඇවිත් ක්ලබ් මැච් හෝ ලැබෙන ඕනෑම තරගයක මගේ උපරිම දක්ෂතා දක්වන්න තමයි මම උත්සාහ කරන්නේ. මගේ දක්ෂතා අනුව කවද හරි මට ජාතික කණ්ඩායමේ අවස්ථාව හිමි වෙයි කියලා හිතෙනවා. එතෙක් මම දවසින් දවස මගේ දක්ෂතා ගොඩනඟා ගන්න උත්සාහ කරනවා. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණොත් ඒක ලොකු වාසනාවක්. අවස්ථාව හිමි වුණොත් හොඳින් ක්‍රීඩා කරන්න තමයි හිතාගෙන ඉන්නේ…

පසිඳු පැවසුවේ ඔහු උමතුවෙන් මෙන් ක්‍රිකට් තරග නැරඹූ ක්‍රීඩා ලෝලියකු ද නොවූ බවය. එහෙත් කුඩා වියේ සිට ක්‍රිකට් පන්දුවට සහ පිත්තට ආදරය කළ අයෙකි. කුඩා කල අතරින් පතර ක්‍රිකට් තරග නැරඹූ පසිඳු නිවෙසේදී ඔහුගේ සහෝදරයා සමඟ ක්‍රිකට් පිත්ත, පන්දුව හුවමාරු කරගෙන සෙල්ලම් කළ කොලු ගැටයෙකි.

“පුංචි කාලේ ඉඳලා මම ක්‍රිකට් තරග බලලා තියෙනවා. මම මුලින්ම ක්‍රිකට් ගහන්නේ මගේ අයියා එක්ක. එයා ඉස්කෝලේ ක්‍රිකට් ගහපු නිසා ගෙදරදී මාත් එක්ක ක්‍රිකට් ගැහුවා. එහෙම තමයි ක්‍රිකට්වලට කැමැත්ත ඇති වුණේ. පොඩි කාලේ මගේ වීරයා වුණේ කුමාර් සංගක්කාර. ඔහු මගේ ප්‍රියතම ක්‍රීඩකයා. ඔහු දක්ෂ නිහතමානී ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහු ක්‍රීඩා කරන රටාව දිහා මම හරි ආශාවෙන් බලාගෙන හිටියා.“

කුමාර් සංගක්කාර පමණක් නොව, මෙවර පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලානය එංගලන්තයට රැගෙන යෑමට පෙරමුණ ගත් එම කණ්ඩායමේ නායක ජෝස් බට්ලර්ට ද පසිඳු විශේෂයෙන් ප්‍රිය කරයි. කඩුලු රකින්නකු හා ආරම්භක පිතිකරුවකු වූ ජෝස් පසිඳුගේ ලෝකයේ වීරයෙකි. ඔහුගේ ක්‍රීඩා විලාසයට ඇළුම් කරන පසිඳු මුලින්ම විදෙස් සංචාරයකට සම්බන්ධ වන්නේ 2018 වසරේදීය. ඒ, වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිවුදින තරග හා එක්දින තරග නියෝජන කිරීම සඳහාය. 2018 වසරේ ආසියානු කුසලාන තරගය වෙනුවෙන් බංග්ලාදේශයට ගොස් ආසියානු කුසලාන මහා තරගයක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකර ගැනීමට ද පසිඳු වාසනාවන්ත විය.

“2018 අවුරුද්දේ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයයට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියා කණ්ඩායම. අපි අනුශූරතාව දිනා ගත්තා. ඒ තරගය මගේ ජීවිතේ අමතක නොවන අවස්ථාවක්. ඊට අමතරව 2018 අවුරුද්දේ බිග් මැච් එකේදී රාජකීය විද්‍යාලයේ නායකත්වය දැරුවේ මම. ඒ තරගාවලියේදි මම ලකුණු 1000ක් ගැහුවා. 2019 වර්ෂයේත් ලකුණු 1000 පසු කළා. 2019 SLTමොබිටෙල් - ඔබ්සවර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වුණා. මාත් එක්ක එකට ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් දැන් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා. එයාලා වගේම මගේ පළමු පුහුණුකරු හා අනෙක් සියලුම පුහුණුකරුවන් මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ අම්මා, තාත්තා, අක්කා, අයියවත් ආදරයෙන් සිහි කරනවා. පවුලේ අයගේ සහායත් මගේ ගමනට ලොකු හයියක් වුණා. එයාලා මං ගැන සතුටු වෙනවා ඇති. එයාලා මට දුන්නු හා තවම දෙන නිදහස නිසා තමයි මම මෙච්චර දුරක් ආවේ…“ ඔහු කතාව අවසන් කළේ එලෙසිනි. පසිඳු ඉතා ප්‍රිය කරන කුමාර් සංගක්කර හෝ ජෝස් බට්ලර් වැනි දක්ෂ ක්‍රීඩකයකු බවට පත්වී ක්‍රිකට් ලොව ජය කෙහෙළි නංවන්නට හැකියාව උදා වේවා යැයි අපි ද ඔහුට සුබ පතන්නෙමු.

Comments