මම කෙල්ලෙක්නේ, ඒ නිසා පාසල් යුනිෆෝම් එකෙන් අතේ බැට් එකක් තියාගෙන කරේ බෑග් එක දාගෙන බස් එකේ එනකොට හැමෝම මම දිහා බැලුවේ අමුතු දෙයක් විදිහට. ටික කාලයක් යද්දී ඒක මටත් මිනිසුන්ටත් සාමාන්‍ය දෙයක් වුණා.” එලෙසින් මේ පිළිසඳරේ ආරම්භය සටහන් කළේ කාන්තා ක්‍රිකට් තුළින් ලෝකයටම දිනූ චමරි අතපත්තු ය. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන එකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩීකාව වන්නේ ඇයයි. මේ වනවිට චමරි පස් වැනි වතාවටත් ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ක්‍රීඩා කරන්නීය.
“මම හිතුවේ නැහැ මේ වතාවේ මට බිග් බෑෂ් එකට ආරාධනා ලැබෙයි කියලා. මොකද ගිය අවුරුද්දෙත් තරගය අතරමග නතර කරලා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තරග සංචාරයකට සම්බන්ධ වෙන්න සිදු වුණා. ඒ නිසා මෙවර අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි කියලා එහෙ සංවිධායකයන් කිවුවා. නමුත් නොහිතපු මොහොතක ආරාධනා ලැබුණා අවසන් තරග 10ක් සඳහා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මම හරිම සතුටින් ඊට සම්බන්ධ වෙනවා. ආසියානු කුසලාන තරගයේදී මගෙන් සිදු වූ අඩුපාඩුත් හදාගෙන බිග් බෑෂ් එකට සූදානම් වුණා” චමරි කීවාය.
කාන්තා ක්‍රිකට් පිළිබඳ ප්‍රේක්ෂකයන් අතර වැඩි උනන්දුවක්, උන්මාදයක්, කතාබහක් ඇති වූයේ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවේ යැයි බලාපොරොත්තුවත් සමඟිනි. එහෙත් ඉන්දියාවට පරාජය වෙමින් අනුශූරතාව ලබා ගැනීමට පමණක් අපේ කණ්ඩායමට හැකියාව ලැබුණි. වසර 14කට පසුව ඉන්දියාව සමඟ අවසන් මහා තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන චමරි කතා කළේ දුකත් සතුටත් මුසු වු හඬිනි.
“ගොඩක් අය හිතුවා අපි ජයග්‍රහණය කරයි කියලා, නමුත් බැරි වුණා. කණ්ඩායමේ හැම ක්‍රීඩිකාවක්ම හොඳින් ක්‍රීඩා කළා. මට තමයි හිතපු විදිහට දක්ෂතා දක්වන්න බැරි වුණේ. අපේ පැත්තේ බැටින් සයිඩ් එක ඊට වඩා වැඩි දෙයක් කළා නම් මේ පාර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ලබා ගන්න තිබ්බා. කොහොම නමුත් අනුශූරතාව හෝ ලබා ගැනීම ගැන මට සතුටක් තියෙනවා. මේ තරගය මට හරි විශේෂයි. මම මුලින්ම ජාතික කණ්ඩායමට එකතු වෙන්නේ අවුරුදු 14කට කලින්, ඒ ආසියානු කුසලානයට. නමුත් මගේ තාත්තාගේ වියෝව නිසා ඒ තරගය මට මගහැරුණා. අවුරුදු 14කට පස්සේ කණ්ඩායමේ නායිකාව වෙමින් අවසන් මහා තරගය දක්වා සම්බන්ධ වෙන්න ලැබුණු නිසා මේ තරගය මට ගොඩක් විශේෂයි. මගේ තාත්තා හරි ආසාවෙන් හිටියා මම ක්‍රිකට් ගහනවට. හැමෝම කියන්නේ කොල්ලෝ කරන සෙල්ලම් මොකටද ගැහැනු ළමයින්ට කියලා, නමුත් මගේ තාත්තා තමයි මට හයියක් වුණේ ක්‍රිකට්වලට. තාත්තා නැති වුණෙත් මාව ප්‍රැක්ටිස්වලට ඇරලලා ගෙදර එද්දී හාට් ඇටෑක් එකක් හැදිලා. ඊට පස්සේ මගේ මාමා, චන්ද්‍රා දිසානායක මගේ පස්සෙන් හිටියා. එයා ක්‍රිකට් පුහුණුකරුවෙක් නිසා එයාගේ මගපෙන්වීම නිතරම මට ලැබුණා. මම තනි වෙන්නේ එයත් නැති වුණාට පස්සෙයි. මොකද මගේ අම්මට හුරු නැහැ බස්වල යන්න, පාරවල් දන්නෙත් නැහැ. ඉතින් ටික දවසක් ආන්ටි කෙනෙක් එක්ක කොළඹ ආවා. ඊට පස්සේ මම තනියම එන්න යන්න පුරුදු වුණා. මට මතකයි මම මුලින්ම තනියම කොළඹ ආවේ මගේ තාත්තාගේ ඩයරි එකත් අරන් කුරුණෑගලින් පාන්දර බස් එකේ නැඟලා. ඒකේ ලියලා තිබ්බා කොළඹ යන එන පාරවල්, කොහොමද යන්නේ එන්නෙ, කොහෙන්ද බහින්නේ, බස් එක ගන්නේ කොහෙන්ද කියලා. ඒක අතේ තියාගෙන උදේ හයට විතර කොටුවෙන් බැස්සා. ඒ බැහැලා ප්‍රැක්ටිස් ගියා. ටික දවසක් යද්දී මහ රෑ පාන්දර කියලා වෙනසක් නැහැ. කොළඹ කුරුණෑගල බස්වල රියදුරු, කොන්දොස්තවරු මට හිතවත් වුණා. සීට් එකක් තියා ගන්නවා. සමහර දවස්වල බස් එෙක් සෙනඟ වැඩි වෙද්දී මාව ඩ්‍රයිවින් සීට් එක පැත්තෙන් නග්ග ගන්නවා. එහෙම හිතවත් වුණු කොන්දොස්තර කෙනෙක් ගිය අවුරුද්දේ ඔස්ට්‍රේලියා බිග් බෑෂ් යද්දී එයාර් පෝට් එකේදී හමු වුණා. හොඳට හුරු පුරුදු කෙනෙක් වගේ දැනුණු නිසා මමත් එයා දිහා බැලුවා. එයත් මං දිහා බැලුවා. මම ළඟට ගිහින් කතා කරලා ඇහුවා, අඳුනනවද කියලා. එයා ඔව් මිස් කියලා කතා කළා. ඒ තමයි මම නිතරම යන බස් එකේ කොන්දොස්තර. මම කිවුවා මට මිස් කියන්න එපා කලින් කතා කරපු විදිහටම කතා කරන්න කියලා. එදා ඒ අයියා සතුටට ඇඬුවා…”
පවුලේ එකම ගැහැනු දැරිවිය තනිවම කොළඹ ආ හැටිත් ඒ ජීවිතයට හුරු වූ හැටිත් ඇය කීවේ ළෙන්ගතු හඬිනි. දැනුම් තේරුම් තිබෙන කාලයේ සිටම ඇයට ඇවසි වූයේ ක්‍රිකට් පන්දුවෙන් හා පිත්තෙන් ක්‍රිකට් පිටියේ දස්කම් පාන්නටය. පාසල ඒ සඳහා ඇයට හොඳ තෝතැන්නක් විය. ගෘහිණියක වූ චමරිගේ මව ඩී. බී. චන්ද්‍රාවතීට අවශ්‍ය වූයේ තම එකම දියණිය තම තුරුලේම යුවතියකගේ ස්වරූපයෙන්ම උස්මහත් වන අයුරු දකින්නටය. ඇයට හොඳින් උගන්වන්නටය. එහෙත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ලෙස සේවය කළ චමරිගේ තාත්තාට නම් අවශ්‍ය වූයේ කොල්ලෙක් නැති ගෙදර කොල්ලෙකුගේ අඩුව ද සිය එකම දියණියගෙන් පුරවා ගන්නටය. එනිසාම දියණිය කුඩා වියේ සිට ඔහු ඇය තුරුලු කරගෙන ක්‍රිකට් තරග නැරඹුවේය.
“96 ලෝක කුසලානය තාත්තා එක්ක මම ටීවී එකෙන් බැලුවා. එතකොට මම පොඩි ළමයෙක්. ඒ මැච් බලලා එදා මම හිතුවා ඒ වගේ මටත් ක්‍රීඩා කරන්න ඕනේ කියලා. තාත්තා වගේම මමත් ක්‍රිකට්වලට ආදරේ කරන්න පටන් ගත්තා. මම මූලික අධ්‍යාපන ලැබුවේ ගොකරැල්ල මහා විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය පාස් වෙලා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ පාසලේදී තමයි මම ක්‍රිකට් ගහන්න පටන් ගන්නේ. මුලින් මලල ක්‍රීඩා, වොලිබෝල් සෙල්ලම් කළාට ක්‍රිකට්වලට තමයි ගොඩක්ම හිත ගියේ. ඊට පස්සේ කොළඹ ආවා පුහුණුවිම්වලට. අවුරුදු හයක් මම පොලිස් නිල නිවෙසක නතර වෙලා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළා. ඊට පස්සේ මට නිතරම කොළඹ කුරුණෑගල බස් එකේ යන්න අමාරු නිසා 2013දී පළමු වරට මම ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කරලා වාහනයක් ගත්තා. අදටත් මම කොහේ මොන රටට ගියත් එන්නේ කුරුණෑගල ගෙදර යන්න බලාගෙන. කොළඹ ගෙයක් තිබ්බත් මමත් අම්මත් ආස කුරුණෑගල ඉන්න. අම්මා තමයි දැන් මගේ හයිය. තාත්තා හිටියා නම් හරියට සතුටු වෙයි. එයාගේ එකම බලාපොරොත්තුව වුණේ මම ක්‍රිකට් ගහන එක නිසා” ඇය ඒ සුන්දර මතක සිහි කළේ එලෙසිනි.
ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට සිදු වන දුෂ්කරතා රැසකි. එහෙත් ආර්ථික දුෂ්කරතා මැද ක්‍රිකට් ක්‍රීඩා කර පොහොසත් වූ ක්‍රීඩකයෝ අපේ රටේ සිටිති.
“තාත්තා නැති වුණාට පස්සේ අම්මා අසරණ වෙන්න ඇති මාත් එක්ක තනියම ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා. නමුත් අපිට ලොකුවට ආර්ථික ප්‍රශ්න දැනුණේ නැහැ, තාත්තගේ විශ්‍රාම වැටුප ලැබුණු නිසා වගේම ගමේ තිබුණු ආදායම් ප්‍රමාණවත් වුණා ජීවිතේ කළමනාකරණය කරගන්න. ඊට පස්සේ ක්‍රිකට් නිසා මම හිමින් හිමින් ආර්ථිකය ශක්තිමත් කරගත්තා. ඇත්තටම කිවුවොත් මමයි අම්මයි සතුටින් ජීවත් වෙනවා. අපි දෙන්නම ගමට ආදරෙයි. නිතරම ගමත් එක්කයි ජීවත් වෙන්නේ. ඒකයි ගමේ ගෙදරට දුවගෙන එන්නේ. ඒ තරම් සනීපයක් මට නම් ලෝකේ කොහෙවත් නැහැ..”
ඇය කියන්නේ අව්‍යාජවය. ක්‍රීඩාවෙන් කොතරම් මොනර කොළ හම්බ කළත් ලෝකය වටේ ගොස් කොතරම් සැප පහසුවට ජීවත් වුවත් ඇයට වඩාත්ම සුව දෙන්නේ ගමේ මහගෙදර ය. ගමේකමට ආදරය කරන චමරිට උපන් ගමේ ජනතාව පමණක් නොව මුළු රටේම ජනතාව ආදරය කරති. ඒ අතර තරුණයෝ ද බොහෝය. එහෙත් ඒ ආදර යෝජනා නොවන බවත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය නිසාම ඇයගේ හැකියාවට ආදරය කරන්නන් බවත් චමරිගේ අදහසයි.
“මට ෆේස්බුක් මැසේජ් ගොඩක් එනවා පිරිමි ළමයින්ගෙන්. ඒ එන්නේ “ඔයත් සනත් ජයසූරිය පිට්ටනියට බැස්සම සෙල්ලම් කරනවා වගේ ඒ ස්ටයිල් එකට සෙල්ලම් කරන්නේ” කියලා. මමත් හරියට කොල්ලෙක් වගේ ක්‍රීඩා කරන නිසා බලන් ඉන්න ආසයි කියලත් කියනවා. සනත් අයියාගේ දක්ෂතා එක්ක බලද්දි එයා ළඟින්වත් මාව තියන්න බැහැ. නමුත් ඒ තරම් හොඳ ප්‍රතිචාර ලැබීම මට සතුටක්. එහෙම ප්‍රතිචාර දක්වන කොල්ලෝ කවුරුත් ආදරේයි කියලා නැහැ. මම ආදරය විඳලා තියෙනවා, ඒත් මගේ ජීවිතේ ක්‍රිකට් නිසා මට ආදරේ කැප කරන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා ක්‍රිකට් නතර කරපු දවසක තමයි මම ආදරේ විවාහය ගැන හිතන්නේ. නැත්නම් දෙකම හරියට කරගන්න බැරි වෙනවා”.
චමරි අතපත්තු කීවේ ඇයගේ ආදරය බලාපොරොත්තු වන තරුණයන් සිටියත් දැන්ම ඒ සඳහා සිය ජීවිතය තුළ ඉඩක් නොලැබෙන බව ඉඟි කරමිනි.
ජාත්‍යන්තර පන්දු වාර විස්සයි විස්ස තරග 102කටත්, එක් දින තරග 90කටත් සම්බන්ධ වී ලෝක වාර්තා පවා තැබූ චමරි අතපත්තු ලෝකයේ තිබෙන හැම කාන්තා ලීග් තරගයකටම සම්බන්ධ වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි. ලෝකයක් හඳුනන ඇය ලොව සියලුම රටවල කාන්තා ක්‍රිකට් ක්‍රීඩීකාවන්ට අභියෝගයකි. වැඩිපුරම හිතවත් නමුත් පිටියට පිවිසි පසු වැඩිපුරම ඔබට පීඩනයක් දෙන ක්‍රීඩිකාව කවුරුන්ද යැයි විමසූ විට චමරි අපූරු පිළිතුරක් දුන්නාය.
“පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන්ට පිටියේදි දැනෙන පීඩනයම අපිටත් දැනෙනවා. ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේම ඉන්දියාව බලාගෙන ඉන්නේ මගේ කඩුල්ල කොයි වෙලේද දවා ගන්නේ කියලා. හැමෝම පිටියෙන් පිට යාළුවෝ. නමුත් පිටිය ඇතුළෙදි හැමෝම ක්‍රීඩා කරන්නේ තම තමන්ගේ රට නියෝජනය කරමින් නිසා පිතිකරණයේදි වාග් ප්‍රහාරත් එල්ල වෙනවා. ගොඩක් වෙලාවට මාත් එක්ක රණ්ඩුවට එන්නේ මගේ හොඳම යාළුවා, කැතරින් බ්‍රන්ට්. ඇය නිතරම පිටියේදි මට පීඩනයක් දෙනවා. ඇය පන්දු යවද්දි මට බණිනවා. එකින් එක කියන්න ගියොත් කෙළවර වෙන්නේ ලොකු ප්‍රශ්නයකින් නිසා මම හිනා වෙලා මම පීඩනයකින් තොරව ඉන්න බවට ප්‍රතිචාර දක්වනවා. මමත් බැණපු අවස්ථා තියෙනවා..”
ඇය කියන්නේ එසේය. කාන්තාවක් ලෙස ලෝකයක් දිනූ ඇය අද සිටින තත්ත්වය ගැන සිතෙන්නේ කුමක්දැයි විමසූ විට ඇය ඊට වෙනස්ම ආකාරයේ පිළිතුරක් දෙමින් මේ කතාබහට තිත තැබුවාය.
“මගේ ළමා කාලේ ගෙවුණේ බෝලෙයි බැට් එකයි එක්ක. අනිත් ගැහැනු ළමයින්ට වගේ මට ඇස් නටවන බෝනික්කෝ හිටියේ නැහැ, කෝම් පිට්ටු හැදුවෙත් නැහැ. මට වැඩිපුරම හිටියේ පිරිමි යාළුවෝ. මම ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකේ. ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර එන්නේ තාත්තා එක්ක බස් එකේ. ගෙදර ආව ගමන්ම ගෙවල් ළග තියෙන හැම ගෙදරකම අය දන්නවා මම ගෙදර ආවා කියලා. මොකද යුනිෆෝම් එක ගලවන්නේ නැතුව මම කරන්නේ මේස් එකට ගැට ගහලා තියෙන බෝලෙ බිත්තියේ වැදෙන්න ඒකට ටොක් ටොක් කියලා බැට් එකෙන් ගහන එක. ඒ සද්දේ හැමෝම අඳුනනවා. අම්මා කෑ ගහනවා ළමයෝ අඩු තරමින් යුනිෆෝම් එක ගලවලාවත් ඔය බොලේ ගහගන්න කියලා. මගේ දිහා ඉස්සර පුදුමයෙන් බලපු අය දැන් ආදරෙන් බලනවා. මම වගේම ක්‍රිකට් ගහන්න ඉස්කෝලේ යන ගැහැනු ළමයින් පෙලඹිලා ඉන්නවා. මාව අනුකරණය කරමින් ගොඩක් අය ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කරන්න උත්සාහ කරනවා කියනවා. ඒවා අහද්දි මට මතක් වෙන්නේ මම ඒ කාලේ ලෙදර් බෝලෙට ආදරේ කරපු හැටි. කටුක අත්දැකීම් අතරින් මහන්සියෙන් කැපවීමෙන් ආ මේ ගමන ගැන මම සතුටු වෙනවා. එදා මම කොල්ලෙක් වගේ ක්‍රිකට් ගහනවට අකමැති වූ මගේ අම්මත් අන්තිමට මට ලොකු හයියක් වුණා. කොහොම වුණත් තාත්තගේ හීනේ මම එයා මගේ ළඟ නැතත් ඉටු කළා කියලා තමයි කියන්න තියෙන්නේ...”