‘මේ ආණ්ඩුව කියන්නේ එකක්; කරන්නේ වෙන එකක්’ | Page 2 | සිළුමිණ

‘මේ ආණ්ඩුව කියන්නේ එකක්; කරන්නේ වෙන එකක්’

රට අස්ථාවරයි කියලා කියන්නේ කොහොමද?

මේ රටේ මේ වනවිට කිසිදු පැත්තකින් ස්ථාවර භාවයක් ගොඩනගා ගන්නට රජයට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසයි අපි කියන්නේ මේ රට අස්ථාවරයි කියලා. දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික මේ හැම අංශයක් ම කඩාගෙන වැටිලා. මේ තත්ත්වයන් ස්ථාවර කරලා රට ගොඩ නගන්න මේ රජයට කිසිදු වැඩපිළිවෙළක් නැහැ කියන කාරණය අද ජනතාවට වැටහිලා තිබෙනවා.

රටක් පවතින්නේ ජනතාව එකතු කිරීම තුළින් එය වර්තමාන ජනාධිපති එසේත් නැත්නම් රාජ්‍ය නායකයාගේ වගකීමයි. රටේ ආරක්ෂාව මෙන් ම භෞමික අඛණ්ඩත්වයන් ආරක්ෂා කිරීම, රටේ ජනතාවගේ ආර්ථිකය හොඳ මට්ටමකට ගෙන ඒම ජනතාවගේ සුබසාධනය කිරීම මේ දේ සිදු කළ හැකියි. රටේ විධායකයට, කැබිනට් මණ්ඩලයට මේ කියන කාරණා පිළිබඳව අපි අවධානය ගතහොත් මේ වනවිට රටේ ජනතාව එකමුතු ද නැහැ. අද බොහෝ පිරිස් ජාතිවාදය මුදුන්පත් කරලා තමයි දේශපාලනය කරන්නේ. කොවිඩ් මරණ සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිකයන්ගේ සිද්ධිය එසේත් නැතිනම් කොවිඩ් රෝගයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදාන කරනවාද ආදාහනය කරනවාද යන තීන්දු තීරණය ගැනීමේදී රජය ක්‍රියා කළේ වගකීමක් නොමැති ආකාරයටයි.

තවත් ‍උදාහරණයක් තමයි යාපනය සරසවියේ තිබූ ස්මාරකය ඉවත් කිරීම. ඒ වගේම ඊට පසු දින නැවත එය ඉදිකිරීමට එහි උපකුලපති විසින් මුල් ගල තැබීමේ සිද්ධිය තුළින් ජනතාව එකතු කරගත්ත නොව ජනතාව බෙදීම්වලට ලක් කිරීමක් සිදු වුණා. මෙහි වගකීම රජය සම්ප‍ූර්ණයෙන් ම දැරිය යුතුයි. මේවා රටක සිදු නොවිය යුතු ක්‍රියාවන් කියන එක අපි රජයට පැහැදිලිවම කියනවා‍.

කොරෝනා වසංගතය සමාජගත වෙලා විපක්ෂය කියන කොට කොරෝනා සමාජ ගතවීමක් නොමැති බව රජය ප්‍රකාශ කරනවා. ජනතාවට මෙය විශාල ගැටලුවක්. කවුද ඇත්ත කියන්නේ කියන කාරණාව?

ඇත්තටම ඔය කාරණයේදී කොරෝනා‍ සමාජ ගත වෙලාද නැද්ද කියන කාරණය ප්‍රකාශ කළ යුත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥයන්. මොකද ඒ පිළිබඳව නිවැරැදිව තොරතුරු දන්නේ ඔවුන් වන නිසායි. ඒ කියන්නේ ඔවුන් හරියටම දන්නවා‍. මේ රෝගය ආවේ කොහෙන්ද කියන කාරණය කාටද වැලඳිලා තිබෙන්නේ කියන කාරණය ඔවුන් දන්නවා. එතකොට ඔවුන් දන්නවා මෙහි සීමා මායිම් පිළිබඳව. ‍එතකොට අනිවාර්යයෙන් ම මේ සම්බන්ධව තොරතුරු නිසි අයුරින් දන්නේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ පුද්ගලයන්.

නමුත් මේ වනවිට රෝගය වැලඳී සිටින එය කාගෙන් බෝ වුණාද කියන කාරණය නොදන්නා අය සමාජයේ සිටිනවා කියන කාරණය පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. අපි වෛද්‍යවරු නොවුණත් මේ කාරණය තුළින් සාමාන්‍ය ජනතාවට පැහැදිලි වන කරුණක් තමයි කොරෝනා රෝගය සමාජගත වෙලා කියන කාරණය. මොකද මේ රෝගය සමාජගත වෙලා නැත්නම් වැල‍ඳෙන පිරිස පහළට යන්න ඕන කියන කාරණය ඉතා පැහැදිලියිනේ. නමුත් දවසින් දවස රෝගීන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙනවා. ඒ කියන්නේ සමාජ ගතවෙලා.

පළමු කො‍රෝනා රැල්ල රජය ඉතා හොඳින් පාලනය කළා නේද?

පළමු රැල්ල පාලනය වුණේ නැහැ කියන තැන මම සිටිය කෙනෙක්. මම මේ පිළිබඳව කතා කළා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී එහිදී මාව අප්‍රසාදයට ලක් කළා.

මොකද රජය පළමු රැල්ල කළමනාකරණය කළා කියන කාරණය ජනතාවට ප්‍රකාශ කරමින් මතයක් ඇති කළා. රජය දිගින් දිගටම ප්‍රකාශ කළා‍ මරණ සංඛ්‍යාව මෙන් ම ආසාදිතයන් අඩුයි කියන කාරණාව. මම එහිදී ප්‍රකාශ කළා‍. මේක යුද්ධයක් නොවෙයි මේක ත්‍රස්තවාදීන් මරනවා වගේ නොවෙයි. අපිට අපගේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව පිළිබඳව ලොකු ගෞරවයක් තිබෙනවා. මොකද ඔවුන්ගේ දැනුම නැතිව විෂය සම්බන්ධව තිබෙන අත්දැකීම් හරි ප්‍රශ්නයට යොදවලා ඔවුන්ට පුළුවන් වුණා යුද්ධය ජයග්‍රහණය කරමින් ඒ ගැටලුව විසඳන්න. එතකොට අපි ඔවුන්ගේ ගෞරවය රකින්න ඕන. මම සමාජ විද්‍යාඥයෙක් බැංකු සහ ආර්ථික අංශයේ. එතකොට මට ගිහිල්ලා බැහැ රෝගියෙකුට ප්‍රතිකාර කරන්න. මොකද එය වෙනත් පිරිසකගේ වෙනත් වෘත්තීය විශේෂඥයන් පිරිසකගේ වැඩ කොටසක්‍. ඒ වගේම බෝවන රෝග ඇවිල්ලා සෞඛ්‍ය ක්ෂේත්‍රය, වෛද්‍ය ක්ෂේත්‍රයේ අයගේ විෂයට සම්බන්ධව තීන්දු තීරණ අරගෙන එය මැඬ පවත්වන්නට පුළුවන්.

‍මම මෙහිදී දැක්කේ නායකත්වයට කළමනාකරණය පිළිබඳව කිසිදු දැනුමක් නැහැ කියන එකයි. මොකද රජයට තිබුණේ මේ වසංගත තත්ත්වයේදී තීන්දු තීරණ ගැනීමේ වගකීම නායකත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයට ලබාදීමයි.

නමුත් රජය එසේ කළේ නැහැ. එතකොට එතුමා රැල්ලේදී වැඩියෙන් PCR කරන්න ඕන කියන එක සෞඛ්‍ය අංශ කියන්න ඇති. නමුත් රජය පළමු අවස්ථාවේ PCR ඉතාම අඩුවෙන් තමයි කළේ. ඒ කියන්නේ අන්ද ලෝකයේ මිනිස්සුන්ට ආලෝකයේ වැඩක් භාර දෙනවා වගේ.

වෙන රැල්ලේදී සිදු කළේ තවත් ලොකු වරදක්. කොරෝනා රෝගීන් වරදකරුවන් ලෙස දකින්න රජය කටයුතු කළා. නීති රීති වැඩි කළා. මිනිස්සු මෙන්න මේ නිසා බයේ සැඟවුණා. මේ නිසා රෝග ලක්ෂණ තිබුණත් ඒ අය ඉදිරිපත් වුණේ නැහැ. මොකද අපගේ සංස්කෘතිය තුළ අපි ලැජ්ජා වෙන්න කැමැති පිරිසක් නොවෙයි. මේ ප්‍රශ්නය විශාල ලෙස ජනතාව සිතන්නට ගත්තා. මේ ගැටලුව අපි කතා කරන මේ මොහොතේත් තිබෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධව අද වර්තමාන රජයට ජනතාවගෙන් දැඩි විරෝධතාවක් තිබෙනවා. ඔබ මෙය දකින්නේ කෙසේද?

අපි හරියටම මේ සම්බන්ධව තීන්දු තීරණ ප්‍රකාශ කළ යුතු නැහැ. මොකද මේ සිද්ධියට අදාළ ගිවිසුමක් ඇති අපි තවම එය දැක්කේ නැහැ. පළමුවෙන්ම මම කියන්න ඕන කාරණය තමයි විදේශ ආයෝජන පැමිණෙන සෑම අවස්ථාවකම අපි රජයට සහයෝගය ලබා දෙනවා‍.

නැත්නම් මේ අය හිතනවා විපක්ෂයක් හැටියට අපි සෑම දෙයක්ම කඩාකප්පල් කරනවා කියන චෝදනාව. අපගේ රටේ අපිට දළ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් නම් එතකොට ඒ සඳහා විදේශ ආයෝජන අවශ්‍යයි. දේශීය වශයෙන් මේ සඳහා අපිට ශක්තියක් නොමැති නිසා අපි විදේශ ආයෝජන සිදු කළ යුතුයි.

එතකොට විදේශ ආයෝජන සඳහා ජාතියක් නැහැ කියන එක මගේ මතයයි. විදේශ ආයෝජනය චීනෙන්ද, ඇමෙරිකාවෙන්ද, කැනඩාවෙන් ද ඉන්දියාවෙන් ද කියන එක අපිට වැදගත් කමක් ලෙස සලකන්න බැහැ. ජාතිය වැදගත් නැහැ.

අපිට අවශ්‍ය වන්නේ අපගේ නීති රාමුව තුළ ඔවුන්ගේ ආයෝජන සිදු කිරීමට කටයුතු කිරීම. එමෙන් ම මේ ආයෝජනවල විනිවිද භාවයක් තිබිය යුතුයි‍.

නමුත් මේ වරාය ගැටලුවේදී කියනවා කිසිසේත්ම වරාය විකුණන්නේ නැහැ කියලා රජය තව දවසකට කියනවා මේක ආයෝජනයක් කියලා. තව දවසක කියනවා මෙහි කළමනාකාරිත්වය ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා. අපි මේකේ ඇත්ත තවමත් දන්නේ නැහැ. මේක අපිට තිබෙන ලොකු ගැටලුවක්.

අපිට මේ ගිවිසුම පිළිබඳව දැනගන්න නම් අපිට කියන්න තිබුණා මෙහි වාසි අවාසි පිළිබඳව රජය මුලදී කිව්වා කිසිම දෙයක් විකුණන්නේ නැහැ කියන කාරණාව.

අපි සමගි ජනබලවේගය අපි සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කරනවා නම් ඒ ඉඩම අපිට බද්දට දෙන්න පුළුවන්. අපි ඒකට විරුද්ධ නැහැ. හැබැයි අපි රජයක් හැටියට කිසිසේත්ම සින්නක්කර අයිතිය ලබාදෙන්නට කටයුතු කරන්නේ නැහැ. එය තමයි අපගේ ප්‍රතිපත්තිය.

කොළඹ වරාය නගරය ඒ කියන්නේ පෝට්සිටි එක අපි බලයට පත්වෙන කොට එහි අක්කර පනහක් සින්නක්කර චීනයට දීලා තිබුණා. අපිට සිදු වුණා චීනයට සින්නක්කර දීපු අක්කර පනහ අපිට නැවත හරවා ගන්න. මේ නිසා මේ ව්‍යාපෘතිය ටික කලකට නවත්වන්නටත් සිදු වුණා. පසුව අපි එය බදු ක්‍රමයකට හරවා ගත්තා. මේ රජය කියන්නේ එක දෙයක් කරන්නේ තවත් දෙයක්. මේ නිසා ප්‍රතිපත්තිය පිළිබඳව කිසිම පැහැදිලි කමක් නැහැ.

අපි විදේශ ආයෝජනයන්ට කිසිසේත්ම විරුද්ධ නැහැ. හැබැයි ඔවුන්ට අදාළ නීති රාමුව ක්‍රියාත්මක වෙන්න ඕන. අපි බදු ක්‍රමය සලකා බලනවා. නමුත් වර්තමාන රජය කරන්නේ එකක් කියන්නේ එකක් කියන කාරණය අද ජනතාවට පැහැදිලි වෙලා තිබෙනවා.

රංජන් රාමනායක සමගි ජනබලවේගය ගොඩනැඟීම සඳහා කටයුතු කරපු දේශපාලනඥයෙක්. අද ඔහු සිරගත කර තිබෙනවා. පක්ෂයක් හැටියට ඔබලා ඔහු වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරනවාද?

රංජන් රාමනායක මහතාට සිර දඬුවමක් ලබාදීලා තිබෙනවා. වසර හතරක. ඒ දඬුවම ලබාදීලා තිබෙන්නේ ඔහු අධිකරණය අපහාස කලා කියන චෝදනාව මතයි.

දැන් ජනතාව කතාවට කියනවානේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම හොරු කියලා. අපි පැහැදිලිවම දන්නවා මේ ඉන්න 225 ම හොරු නොවෙයි කියන කාරණය. අධිකරණය දූෂිතයි කියනවා. නමුත් එහි සිටින විනිසුරුවන් දූෂිත නැහැ‍. හමුදාවේ සිටින සමහර නිලධාරීන් දූෂිත ක්‍රියාවන් කර තිබුණත් අපි හමුදාවට ගෞරව කරනවා‍. මොකද හමුදාවේ සියලු දෙනා දූෂිත නැහැ. බොහෝ වෙලාවට මේ චෝදනා එල්ල වෙන්නේ අධිකරණය වෙන්න පුළුවන්‍, හමුදාව වෙන්න පුළුවන්. මෙහි එක් චරිතයක් නිසා සියලු දෙනාටම චෝදනා එල්ල කරන එක වැරැදියි. නමුත් පුද්ගලයින් ගැන රටේ ජනතාව හොඳින්ම දන්නවා. සර්ව සම්පූර්ණ පුද්ගලයින් මේ ලෝකේ නැහැ. ඒ වගේ සර්ව සම්පූර්ණ ආයතන මේ ලෝකේ කොහෙත්ම නැහැ.

රන්ජන් රාමනායකට දීලා තිබෙන්නෙ දැඩි දඬුවමක්. අපි නීතිමය ක්‍රියාමාර්ග තුළින් ඔහුව මුදවා ගන්නේ කෙසේද යන්න සොයා බලනවා. අනෙක් කාරණය ඔහුට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය දිගටම තබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු පිළිබඳව කතානායකවරයා මෙන් ම අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපි කිසිම අවස්ථාවක ඔහු තනි කරන්නේ නැහැ.

පක්ෂයක් හැටියට ඉදිරි ගමන කෙසේද?

අපි දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ජනතාව අතරට සම්බන්ධ වෙමින් ඔවුන් අප සමඟ එක් කරගනිමින් ඉදිරි මැතිවරණයකදී හොඳ ප්‍රතිඵලයක් පෙන්වන්නට කටයුතු කරනවා.

Comments