
පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා මෙරට ජනතාව විසින් ප්‍රබල ජනවරමක් ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂයන් මෙරට ජනාධිපති ධූරයට තෝරා පත්කරගනු ලැබිණි. වසර හතරහමාරක් පුරා රටේ සියලුම ක්ෂේත්‍රයන් බිදවැටීම පමණක් නොව ජාතික ආරක්ෂාව ද අභියෝගයට ලක්ව තිබිණි. ඒ තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ පත්වීමත් සමඟ රටේ ජනතාව එතුමා සමඟ සමාජ සම්මුතියකට එළඹුණි. එම සමාජ සම්මුතිය ජනාධිපතිවරයා සමඟ ඇතිකර ගනු ලැබුවේ රට නැවත ගොඩනැගීමේ අරමුණ පෙරදැරිවය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 'සෞභාග්‍යයේ දැක්ම' වැඩ සටහන පිළිබඳ ජනතාව විශ්වාසය තබන ලදී.
සෞභාග්‍යයේ දැක්ම විශේෂ වැඩසටහන ආකර්ෂණීය සහ ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක් වන හෙයින් එය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රබල ජනවරමක් ජනාධිපතිවරයාට හිමිවිය.
2019 වසරේ නොවැම්බර් මස වන විට රටේ පැවතියේ ‘යහපාලනය‘ යැයි කියාගන්නා ආණ්ඩුවයි. එම ආණ්ඩුව රටේ ආර්ථික, දේශපාලනික,සමාජ සුභ සාධනය ,ජාතික ආරක්ෂක යන අන්තර්ජාතික සම්බන්ධතා යන සියලු අංශයන් විශාල අභියෝගයකට ලක් කර තිබිණි. එම කාලවකවානුව පුරා කඩා වැටී තිබුණු ජනතා විශ්වාසය යළි ගොඩනැඟීමට පසුගිය වසරක පුරා විශාල පරිශ්‍රමයක් දැරීමට ජනාධිපතිවරයාට සිදුවිය. විශේෂයෙන් වෘත්තිකයන්, රාජ්‍ය හා පෞද්ගලික අංශවල නිලධාරීන්, පෞද්ගලික අංශවල ව්‍යවසායකයන් ඇතුළු සියලු පිරිස්වලට රාජ්‍ය සේවයේ ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය බිඳී තිබිණි. අන්තර්ජාතික ආයතනවල රාජ්‍ය සම්බන්ධව විශ්වාසය බිඳී තිබුණු අතර රාජ්‍ය සේවයේ ද ශක්තිය හීන වී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා රටේ රාජ්‍ය යන්ත්‍රණය ‘රාජ්‍ය සේවයක්‘ බවට නැවත වරක් පත් කිරීමට ඍජුව මැදිහත් විය.
ශක්තිමත් රාජ්‍ය ආයතන
නිශ්චිත පාරදෘෂ්‍යභාවයකින් යුතුව ඉදිරියට යමින් සුදුසුම පිරිස් රාජ්‍ය ආයතනවලට පත් කරනු ලැබිණි. දේශපාලනික වශයෙන් කිසිවෙකු අපේක්ෂා නොකළ මධ්‍යස්ථ ස්වාධීන ලෙස සියලු නිලධාරීන් පත්කර නිසි ස්ථානගත කිරීමක් සිදු කරන ලදී. ස්වාධීන නිලධාරීන් රාජ්‍ය ආයතනවලට පත්කිරීමද විනිවිදභාවයකින් යුතුව සිදු විය. ඒ නිසා කඩා වැටී තිබූ රාජ්‍ය යන්ත්‍රණය මෙන්ම බිඳ වැටුණු විශ්වසනීයත්වය නැවත ගොඩනැඟීමට ජනාධිපතිවරයාට හැකිවිය. මෙලෙස බිඳ වැටුණු පද්ධති ගණනාවක් එකවර නැවත ගොඩනැඟීමට සිදුවීම විශාල අභියෝගයක් විය .
ආර්ථික කළමනාකරණයක් නොමැති වීම නිසා ආර්ථික අංශයේ පැවැති දැඩි අවදානම පෞද්ගලික අංශයට මතුව තිබුණු ප්‍රධාන ගැටලුවක් විය. මෙරට අනාගතය දැඩි අවදානමක පවතින බවට ඔවුන් තුළ වූ දැඩි අවිනිශ්චිතභාවයක් නිර්මාණය වී තිබිණි. එය වෙනස් කරමින් නව මාවතක් ඔස්සේ මෙරට සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට පෞද්ගලික අංශය මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලදී. දැඩි ස්ථාවරභාවයකින් රට තුළ කටයුතු කරන්නට පෞද්ගලික අංශයට හැකියාව ලබාදීමද ජනාධිපතිවරයා විසින් කළ ඉමහත් සේවාවකි.
එම කරුණු දෙකට අමතරව රටේ විශාල අභියෝගයක් බවට පත්ව තිබුණු අන්තර්ජාතික ගනුදෙනු හමුවේ රටේ ආර්ථිකය ර දියකර හරින තත්ත්වයක පැවතුණි. ඒ අනුව නිතර ගනුදෙනුවක යටත්වන්නා ලෙස ක්‍රියා කිරීමට පැවැති ශ්‍රී ලංකාවේ ඒ ස්වභාවය වෙනස් කිරීමට කටයුතු කරන ලදී. පසුගිය රජය විසින් රටේ දේශපාලන ස්ථාවරත්වයද බිඳ හෙළූ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී මෙරටට විරුද්ධව ඇමරිකාව සහ එංගලන්තය එක්ව කරන ලද යෝජනාවක් හමුවේ එයට එකඟතාවය පළකිරීම ඉතාම අශෝභන සහ බරපතළ දේශද්‍රෝහි ක්‍රියාවක් ලෙස පෙන්වා දිය හැකිය. එවැනි කවුන්සිලයක් හමුවේ ඔවුන්ට සහයෝගය පළ කරමින් කටයුතු කිරීම අප්‍රසාදයට ලක්වූ කාරණයකි.
නිවැරදි නායකත්වය
සියල්ල නැවත වෙනස් කරමින් දෙපයින් නැඟී සිටගන්නා රටක් ලෙස පෙනී සිටින්නට පසුගිය වසර තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි විය. ඒ එතුමාගේ නිවැරදි නායකත්වය නිසාය. එතුමා මේ අභියෝග ජය ගැනීමට කටයුතු කෙළේ ශක්තිමත් පාර්ලිමේන්තුවක සහාය නොමැතිව වීම විශේෂ කරුණකි. එවකට පැවැති දේශපාලනික අස්ථාවරත්වය හමුවේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමට හැකියාවක්ද නොතිබුණි.
ජනාධිපතිධුරයට පත් වී කෙටි කාලයක් තුළ එනම් පසුගිය මාර්තු මාසයේ සිට කොවිඩ් 19 වසංගතය රට පුරා පැතිරෙමින් තිබුණි. එතුමා ජනාධිපති ධුරයට පත් වී මුල් කාර්තුවේ සිදු වූ අභියෝගයට මුහුණ දීමට සිදුවුවද ශක්තිමත් කළමනාකරණයක් යටතේ එය පාලනය කිරීමට එතුමාගේ නායකත්වය යටතේ හැකි විය. ලෝකයේ ප්‍රබල රටවල් මේ වසංගතය හමුවේ දණින් වැටෙන අවස්ථාවක අප දෙපයින් නැඟී සිටින ජාතියක් බවට පත් කිරීමට නායකත්වය ලබාදුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. මුල් පියවරේදීම ඉතා කාර්යක්ෂම ලෙස වසංගතය හමුවේ මුහුණ දී එය මැඬපැවැත්වීමට එතුමාට නිසි පියවර ගැනීමට හැකිවිය. රටක් ලෙස අපි එම අභියෝගය ජය ගැනීමට සමත් වීමු.
පළමු කොරෝනා රැල්ල
පළමු කොරෝනා රැල්ල හමුවේ ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දුන් අතර දෙවැනි රැල්ලද කළමනාකරණය කර ගන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරයා ක්‍රියා කරන ආකාරය සහ ඔහුගේ නායකත්වය ආදර්ශවත්ය. එමෙන්ම බරපතළ අභියෝගයකට පත්ව තිබෙන රටේ ආර්ථිකය ජය ගනිමින් වසංගතය පාලනය කර ඉදිරියට යාමට ජනාධිපතිවරයාට හැකිවන බවට ජනතාව තුළද විශ්වාසයක් ජනිත වී ඇත. ජනතාව අපේක්ෂා කළ ජාතික සමාජ දේශපාලනික ආර්ථික විදේශ ස්ථාවරභාවය ඇති කිරීමේ උත්සාහය බරපතළ අර්බුදයකට ලක්වීම මේ වසංගතය හමුවේ සිදුවිය .
ජාතික ආර්ථිකය හමුවේ ඇති අනෙක් බරපතළ අභියෝගයක් වන්නේ ජාතික ආරක්ෂාවයි. පසුගිය රජය යටතේ රටේ ජාතික ආරක්ෂාව බරපතළ අර්බුදයකට පත් වී තිබිණි. ජාතික ආරක්ෂක කවුන්සිලයක් නොමැතිවීම නිසා ජනාධිපතිවරයා අගමැතිවරයා අතර පැවැති දේශපාලනික මතභේද ආරක්ෂක අංශවල අස්ථාවරභාවය හමුවේ විශාල අභියෝගයකට මුහුණ දුන්නේය.
එමෙන්ම ආරක්ෂක අංශවල අස්ථාවරභාවය නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විශාල අභියෝග ගණනාවක් මතු වී තිබිණි. ලෝකයේ ප්‍රබල රටවල් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක සිටි කාලවකවානුවක් හමුවේ මුළු ලෝකයේම ශක්තිමත් ආරක්ෂිත රටක් බවට 2015 වසර දක්වා පත්කර තිබූ ශ්‍රී ලංකාව 2018 වන විට මූලධර්මවාදීන්ගේ ග්‍රහණයන්ට ලක්වමින් තිබූ ආකාරය අපි දුටුවෙමු .
ගෝඨාභය රාජපක්ෂයන්ගේ වසරක පාලන කාලයේදී ජාතික ආරක්ෂාව නැවත ස්ථාපිත කිරීම එම අභියෝගයද ජය ගැනීමේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ අනුව මෙරට ජාතික ආරක්ෂාව සමාජය තුළ ස්ථාපිත කිරීමේ ගෞරවය එතුමාට නිතැතින්ම හිමිවේ. විශේෂයෙන්ම ලෝකය දෙස බැලූ විට අප්‍රිකානු රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල අභියෝග රැසක් මතු වී ඇත.
අපරාධ වැඩිවීම
එමෙන්ම පසුගිය රජය යටතේ අපේ රටේ පාතාල අපරාධකරුවන්, විවිධ විෂමාචාර ක්‍රියාවන්ට යොමු වූ පිරිස්, මත්ද්‍රව්‍ය රට තුළ වැඩි වීම, හා සමාජයේ විවිධ අපචාරණයන්ට ගොදුරු වූ පිරිස් යන සියලු දෙනා අත ආයුධ සන්නද්ධ යුගයක් නිර්මාණය වි තිබිණි. අපේ රටේ සිරගෙවල් වල සිටි සිරකරුවන් අත මෙන්ම සිවිල් සමාජයේ ඇතැම් දෙනා ආයුධ සන්නද්ධ වී සිටීම අතිශයින් භයානක තත්වයකි. මේ ආණ්ඩුවට විශාල වශයෙන්ම පාතාලය මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරූ ආකාරය පසුගිය වසර පුරා අපි දුටුවෙමු. ඒ සදහා ඍජුව මැදිහත්වීමට ජනාධිපතිවරයා කටයුතු කරන ලදි. මෙය නැවත පිරිපහදු කළ රටක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාට විශාල පරිශ්‍රමයක් දැරීමට පසුගිය වසර පුරා සිදුවිය.
මේ අනුව ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය ස්ථාපිත කිරීම යන ප්‍රධාන කාරණා දෙකක් ප්‍රධාන වශයෙන්ම යළිත් මේ රට තුළ ස්ථාපිත කිරීමට එතුමාට සිදුවිය.
ජනාධිපතිවරයා හමුවේ ඇති විවිධාකාර වූ අභියෝගයන් අතුරින් ප්‍රධාන අභියෝගයක් දෙස ගැඹුරින් සලකා බැලිය යුතු තවත් කරුණක් වෙයි. එනම් එය විශාලතම අන්තර්ජාතික දේශපාලනික කාරණාවක් වෙයි. ඒ අභියෝගය විශාල ධනවත් රටවල් දෙකක් වන ඉන්දියාව සහ චීනය හරහා නිර්මාණය වී ඇත. පැසිපික් සහ ඉන්දියානු සාගර දෙක තුළ විශාල දේශපාලනික සාකච්ඡාවක් මේ වන විට මතුවී ඇත.
එයට හොඳම නිදසුනක් ලෙස අපේ රටේ දකුණේ වරාය චීනයට ලබා දීමට රජය ක්‍රියාකර ඇත. එමෙන්ම මෙරට සම්බන්ධයෙන් ඉන්දියානු සාගරය පැසිපික් සාගරය හරහා ගලා ගිය පුළුල් දේශපාලනික කථිකාවක් මේ වන විට ගොඩනැගීම සුවිශේෂ අවධානයක් දිය යුතු කාරණාවකි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එය තවත් සුවිශේෂීය. එහෙයින් ජාතික ආරක්ෂාවට සුවිශේෂී ස්ථානයක් ලබා දීමට අත්‍යවශ්‍ය වන්නේ මෙවැනි කරුණු හරහාය. අයවැය ඉදිරිපත් කිරීමේ දී ආරක්ෂක අමාත්‍යාංශයට වැඩි පිරිවැයක් යෙදවීමේ අවශ්‍යතාවය ඒ අනුව පැනනැගෙනු ඇත. මුළු ලෝකයම ජාතික ආරක්ෂාව විනාශ කරගත් රටවල් සීසීකඩ විසිරී ඇත. ගැටුම් ඇති කරගත් එම රටවල මූලධර්මවාදය විසින් එම රටවල් විනාශ කර ඇති ආකාරය අපිට දැකගත හැකිය. අපේ රට තුළද මූලධර්මවාදය වර්ධනය වීමට අවශ්‍ය පසුබිම පසුගිය රජය සමයේ සකස් වෙමින් පැවතුණි. එය නතර කර මර්දනය කර කළ යුතු කාලය දැන් එළඹ ඇත.
බුද්ධි අංශ සිරගත කිරීම
සියලුම ක්ෂේත්‍ර නඟා සිටුවීමේ ක්‍රමවේදයන් ඇති කිරීමට පෙර ජාතියක් ලෙස ඉදිරියට යෑමට ජාතික ආරක්ෂාව සම්බන්ධ වන ස්ථාවරභාවය අතිශයින් වැදගත් වෙයි. ආයෝජකයන් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව විශාල අභියෝගයක් බවට පත්ව තිබුණු අවදියක් අපි දුටුවෙමු. පාතාලය හා මත් උවදුර විසින් රටේ ආරක්ෂාව අභියෝගයකට ලක් කළ තිබූ අතර තවත් අංශයකින් මූලධර්මවාදී ආගමික සංවිධාන විසින් ඔවුන්ගේ මත වාද ගොඩනඟා ගැනීමට ඇති පසුබිම සකස් කර ගනිමින් තිබුණි. ඒ සඳහා අපේ රටේ බුද්ධි අංශය නිෂ්ක්‍රීය ජාතික ආරක්ෂක යන්ත්‍රණය නොසලකා හැර තිබුණු පසුබිමක පාතාලයත් මූලධර්මවාදයත් ඉවත් කර ජාතික ආරක්ෂාව උදා කිරීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
පසුගිය ආණ්ඩුව පටු පරමාර්ථ හරහා බුද්ධි අංශ නිලධාරීන් සිරකරමින් ඔවුන්ට චෝදනා කරමින් නඩු පවරමින් ඔවුන්ගේ ආත්මය විශ්වාසය දුර්වල කරමින් ජාතික ආරක්ෂාව බිද හෙළන ලදී. එවන් තත්ත්වයක් මත ජනතාවට අනාගතය සම්බන්ධයෙන් නොබියව මුහුණ දීමට හැකි ස්ථාවර රටක් නිර්මාණය කිරීමට වසර පුරා කටයුතු කරන්නට සිදු විය. තවද පුළුල් ලෙස ගත් කල රටක් ලෙස ඉදිරියට යෑමට කටයුතු කිරීමට නම් ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් විශාල පියවර රැසක් ගත යුතුය.
පසුගිය යහපාලන රජය යටතේ රටේ දේශීය ආර්ථිකය සහමුලින්ම විනාශ කර දැමීම දැමීමට කටයුතු කර ඇත. සියල්ල විදේශයන්ගෙන් ආනයනය කරන ලද ආර්ථික රටාවක් නිර්මාණය කර තිබුණි. ජනාධිපතිවරයා අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා අපේ රටේ අපනයනය ශක්තිමත් කර ආනයනය සම්බන්ධයෙන්ද රටට හිතැති කාර්යක්ෂම වැඩපිළිවෙළක් දියත් කිරීම අගය කළ යුතුය. එහිදී විශේෂයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති කාරණාවක් ලෙස හැඳින්විය හැක්කේ අපනයන ආදේශන ඇති කර ගනිමින් දේශීය නිෂ්පාදන නඟාසිටුවීමට ක්‍රියා කිරීමයි. දේශීය කෘෂිකර්මාන්තය, දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමට කටයුතු කිරීම මේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම අපනයනය ශක්තිමත් කිරීම මෙන්ම ආනයන ආදර්ශ නඟාසිටුවීම යන කාරණා සම්බන්ධව විශාල අවධානයන් යොමු කර ඇත.
මේ වනවිට ලෝකයේ බොහෝ රටවල්වලට මෙන්ම අපේ රටට ද ඇති විශාල අභියෝගයක් ලෙස විදේශ විනිමය ඉපැයෙන මාර්ග සියල්ල ඇහිරී තිබීමයි. සංචාරක ව්‍යාපාරය, මෙන්ම විදේශ ආයෝජන විදෙස් ව්‍යවසායකයන්ගෙන් ලැබෙන මුදල් සියල්ල මේ වන විට අහිමි ව ඇත. මේ සියල්ල නඟාසිටුවීමේ කාර්යය මනාව ඉටු කිරීමට ජනාධිපතිවරයා විසින් ගත වූ වසර තුළ විශාල පරිශ්‍රමයක් දැරීය. කොවිඩ් 19 වසංගතය යටතේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකිවිම විශාල ජයග්‍රහණයකි .
වසංගතය තත්ත්වය හමුවේ වුවද අපනයනය ශක්තිමත් වී ඇත. පසුගිය වසරේ මේ ගත වූ මාසවලට සාපේක්ෂව වසංගතයක් තිබිය දී වුවද අපනයනවලින් ලැබෙන ආදායම වැඩි වී තිබීම විශාල ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.
අපේ රටට නව ව්‍යවස්ථාමය අවශ්‍යතාව පවතී. එය සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවයන් ඉටු වන ව්‍යවස්ථාවක් වන අතර ඉදිරියේදී එවැනි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු සම්පාදනය කිරීමද මේ රටෙ දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. සමාජ සුභසාධනය අන්තර් ජාතික සබඳතා ශක්තිමත් කිරීමද ඉදිරියට ගෙනයමින් සමාජ සුබ සාධනය නඟාසිටුවීම වැනි අභියෝග ඉදිරි වසර හතරක කාලය ජනාධිපතිවරයා හමුවේ ඇත.