විධා­යක බලය ජනතා සුබ­සෙ­ත­ටයි | Page 2 | සිළුමිණ

විධා­යක බලය ජනතා සුබ­සෙ­ත­ටයි

මේ වනවිට රටේ ප්‍රධාන සමාජ කතිකාව බවට පත්ව ඇත්තේ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවයි. විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පසුගිය දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය හිමි විය. 2015 වසරේ බලයට පත් ආණ්ඩුව මඟින් 19 වැනි සංශෝධනය හඳුන්වා දුන් අතර, එය සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා ගැනිණි. එහිදී 20 වැනි සංශෝධනය ඉතා කඩිනමින් ගෙන ඒමට පොරොන්දු විය. ඉන් අනතුරුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ සංකල්පය පෙරදැරි කොටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහය ලබා ගැනීම සිදුකරන ලදී.

 

නමුත් ඒ ආණ්ඩුව එම කර්තව්‍ය ඉටු කළේ නැත. මැතිවරණ ක්‍රමය රටේ ආණ්ඩු ක්‍රමය සඳහා ඉතා වැදගත් වෙයි. විශේෂයෙන් ජනාධිපති බලතල වැඩියෙන් පවතින අවස්ථාවල වඩා යෝග්‍ය වන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමයයි. නමුත් යම් කිසි ආකාරයකට ජනාධිපතිවරයාගේ බලතල අඩුවන්නේ නම්, එහිදී අනිවාර්යයෙන් සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් වෙනත් සුවිශේෂි ඡන්ද ක්‍රමයකට යා යුතුය. එයට හේතුව සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව බොහෝ අවස්ථාවලදී ලැබෙනුයේ ස්ථාවර ආණ්ඩු නොවීමයි. බොහෝ විට සරල බහුතරය ලබා ගත් ආණ්ඩු මේ රටේ බිහි වීම සුවිශේෂි කාරණාවකි. නමුත් ඒ ක්‍රමවේදයේ වෙනසක් 2010 සහ 2020 මැතිවරණයේදි දැක්කත් නැවත අපිට මෙවැනි සුවිශේෂ අවස්ථා උදා වෙතැයි විස්වාස කිරිමට අපහසුය. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සහ සහය දුන් පිරිස් පිළිබඳව විශාල අර්බුදයක් නිර්මාණය වී තිබිණි. කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනයේ ඇති දුර්වලම සංශෝධනය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බව මගේ අදහසයි. මේ සංශෝධනය කළ පිරිස එම සංශෝධනය කරනු ලැබුයේ රටේ අවශ්‍යතාවට වඩා ඔවුන් තුළ තිබූ ද්වේෂයකින් සහ පෞද්ගලික කාරණා මත බව ඉතා පැහැදිලිය. එහි ඇතැම් සංශෝධනවල හොඳ ලක්ෂණ නැතුවාම නොවේ. සාමාන්‍යයෙන් දේශපාලනික තත්ත්ව යටතේ දී ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට මේ සංශෝධනය කර ඇති අතර, එය ජනතාව වෙනුවෙන් ගනු ලැබූ තීන්දුවක් නොවෙයි. මේ නිසා මේ සශෝධනය ඇතැම් තැනක අසාර්ථක සංශෝධනයන් වෙයි.

2020 මැතිවරණ ව්‍යාපාරයේ දී වත්මන් ජනාධිපතිවරයා මෙන්ම පොදු ජන එක්සත් පෙරමුණෙ පිරිස විසින් මතු කළ සුවිශේෂි කාරණාවක් වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බවයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බවට ජනාතාව ද එහිදී කැමැත්ත ලබා දුන් බව පෙනෙයි. ඒ අනුව මේ 20වැනි සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය දිනක කැබිනට්ටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගනු ලැබීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් ලක්ෂණ ගත් විට ජනාධිපතිවරයාගේ ධූරකාල වසර පහක් වීම සහ දෙවතාවක් පමණක් ඡන්දයට ඉදිරිපත් වීමට හැකි වීම වැනි කාරණා සම්බන්ධයෙන් කතා කිරිමේදී, සාපේක්ෂ වශයෙන් හොඳ ලක්ෂණ ලෙස දැකිය හැකියි. විශේෂයෙන් ම දෙවතාවකට වඩා ජනාධිපතිවරයෙක් පත්වීම සුබදායි වන්නක් නොවේ. ජනාධිපතිවරයා වෙනස් වන විට ආණ්ඩු ක්‍රමය ද යම් තරමකට වෙනස් වෙයි. ඉතිහාසයේ අපි එවැනි අත්දැකිම් විඳ තිබේ. ඒ නිසා දෙවතාවකට සිමා කිරීම වැදගත් යැයි මගේ විශ්වාසයයි. නමුත් ධූරකාලය වසර පහද හයද කියන කාරණාව තවදුරටත් සාකච්ඡාවට ලක්කළ යුතුයි. සමහර විට ලංකාව වැනි රටකට වසර පහක් හෝ හයක් වැදගත් කියලා විශ්වාසයක් ඇත. නමුත් තොරතුරු දැන ගැනීමේ පනත අහෝසි නොකළ යුතුයි කියන කාරණාව ඇතැමුන්ගේ මතයයි. නමුත් මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෑම තොරතුරක්ම ලබාගැනීමට ඉල්ලුම් කිරීමට ජනතාව පෙලඹී ඇත. අතිශයින්ම පුද්ගලික සහ රහස්‍ය තොරතුරු ලබාදීම සදාචාර විරෝධි කාර්යයකි. එම නිසා එය කිරීම අපහසුය. ඒවා ලබා දීම එතරම් යෝග්‍ය නොවෙයි. තොරතුරු දැන ගැනීමේ පනත වැදගත් නමුත් යම්තාක් දුරට විවිධ අවස්ථා යම් ආවරණයකට යටත්ව කළ යුතුයි යන ස්ථාවරත්ව තිබිය යුතුයි.

ඒ නිසා පවතින රජයේ ස්ථාවරත්වය අනුව මේ යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීම අපහසු කරුණක් නොවෙයි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේද නිවැරදි ආකාරයට සංශෝධනයන් දෙස නොබැලුව හොත් සිවිල් ක්‍රියාකාරීන්ගේ අනවශ්‍ය පිබිදීමක් ඇතිවිය හැකියි. ඒ නිසා රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් වෙතැයි අපේ විශ්වාසයයි.

එසේම මේ වන විට නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා ඇත. මෙරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මේ සියලු ජනතාගේ අවශ්‍යතාවන් පිළිබඳව සිතා බැලිය යුතුය. ඒ අනුව නව ව්‍යවස්ථාව එකවර පරිපූර්ණ ලෙස සකස් කළ යුතුය. ඒ පිළිබඳව සමාජ කථිකාවක් ගොඩනැගිය යුතුය. මේ සම්බන්ධයෙන් බලධාරීන් නැවත කියවා බැලිය යුතුයි. කෙසේ වෙතත් ඒ අලුත් ව්‍යවස්ථාව ගෙන එන තෙක් 19 වැනි ව්‍යවස්ථාවේ ඇති අඩුපාඩු 20 වැනි සංශෝධනය හරහා වෙනස් කිරීම සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොවන්නට 2/3 බලයක් ඇති වැඩි ඡන්දයෙන් පත් වූ ආණ්ඩුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා පත් වූ නව ජනාධිපතිවරයාට; රටට වඩා හිතකර ආකාරයට පාලනයක් ගෙන යාමට නොහැකියාවක් මතුවී තිබිණි. මේ තත්ත්වය වෙනස් කිරීම උදෙසා මේ 20 වැනි සංශෝධනය ගෙන එන ලදී. ඒ නිසා අනිවාර්යෙන්ම 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි. විශේෂයෙන් ඇමැති මණ්ඩලය පත් කිරීමේ බලතල සම්බන්ධයෙන් අගමැතිවරයාගේ උපදෙස් විමසිය යුතු නැති අතර; අවශ්‍ය අවස්ථාවලදී පමණක් අදහස් විමසීම සම්බන්ධයෙන් සිදු කර ඇති සංශෝධනයේ සඳහන් කරුණු පිළිබදව සාකච්ජා කිරීමේදි 1978 ව්‍යවස්ථාවේ අඩංගු කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව සලකා බැලීමේදි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන රජය යටතේ ඇති කළ සංශෝධන අනුව ජනාධිපතිවරයාගේ වැඩි බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පවරා ගැනීම සිදුවිය. 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ ඇතැම් කොටස් ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි කරුණු පමණක් වෙනස් නොවිණි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ බටහිර ගැති පිරිසට එකතුවී කළ සංශෝධනයේදී ඒ පිරිසට ඔවුන් අපේක්ෂා කළ දේ සිදු කිරීමට නොහැකි විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව ඇතැම් ජනාධිපති බලතල කප්පාදු කිරීමේ අවකාශය නොලැබුණි. එම බලතල ඉවත් කිරීමට නම් ජනමත විමසුමකට යායුතු ව ඇති නිසා ජනාධිපතිවරයාගේ බලතල කප්පාදුවට මේ රටේ ජනතා ප්‍රසාදය හිමි නොවන බව දන්නා නිසා එසේ කිරිමට නොපෙලඹුණි. මේ 19 වැනි ව්‍යවස්ථා විකෘති ව්‍යවස්ථාවක් බවට පත්වීම එයින් සිදුවිය.

ජනාධිපතිවරයා නිකම්ම නිකන් ජනාධිපතිවරයෙක් බවට පත්කොට සමස්ත බලය පාර්ලිමේන්තුවට කේන්ද්‍රකර ගැනීමේ උපක්‍රමය ඉටු කරගැනීමට ඔවුන්ට නොහැකි විය. ජනාධිපතිවරයාට සේනාධිනායකයන් පත් කිරීමේ බලතල තිබුණද ජනාධිපතිවරයා අබිබවමින් එවකට අගමැතිවරයා ඇතුළු පිරිස ඒ සියලු බලතල අතට ගෙන කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. ඒනිසා විකෘති ව්‍යස්තාවක් බවට 19 ව්‍යවස්ථාව පත් විය. ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව මතු වන්නේ ජනාධිපතිවරයාට එතුමාගේ බලතල නැවත ලබා දීමටයි. 1978 ජනරජ ව්‍යවස්ථාවෙන් අනතුරුව රටට අවශ්‍ය වන පූර්ණ ව්‍යවස්ථාවක් සැකසිය යුතුයි. ඒ අනුව තව දුරටත් ව්‍යවස්ථා සංශෝධන නොව නව ව්‍යවස්ථාවක් ලෙස ජනතාවගේ පරමාධිපත්‍යයට ගැළපෙන ආකාරයට පාර්ලිමේන්තුවේ 2/3 සහ ජනතාවගේ ජනමත විචාරණයේ සැකසෙන ව්‍යවස්ථාවක් අවශ්‍යතාවය පැන නැඟී ඇති බව අපි කවුරුත් දන්නා කරුණකි. පසුගිය සංශෝධනයන් අනුව අගමැතිවරයා විසින් පාර්ලිමේන්තු සංයුතිය තුළ නිසියාකාරව කටයුතු නොකරන තාක්කල් ජනාධීපතිවරයාට තනි මතයෙන් රට පාලනය කිරිමට බලතල නැත. එසේ නැවත ජනාධිපතිවරයාගේ බලතල ලබා දුන් පසුව ජනාධිපතිවරයා එතැනදී ඒකාධිපතිවරයෙක් වනවාද නැද්ද කියන කාරණා මතු වෙයි. එයට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන ඇත. එනම් ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. ව්‍යවස්ථාවේ 42 ව්‍යවස්ථාවේ ඒ සඳහා ප්‍රතිපාදන පවති. එහි පැහැදිලිව සඳහන් කර ඇති කරුණක් ලෙස ජනාධිපකිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවට වග නොකියන්නේ නම් ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවේ නිසියාකාර ක්‍රියා නොකරන්නේ නම් ජනාධිපතිවරයාට දෝශාභියෝගයක් ගෙන එමින් ජනාධිපතිවරයා ඉවත් කිරිමට 38 වැනි ව්‍යවස්ථව අනුව පාර්ලිමේන්තුවට හැකියාව ඇත. එසේ නම් මෙය තනි මතයට ගොඩනැඟි ව්‍යවස්ථාවක් නොවන අතර ඒ බලතල ඒ ආකාරයෙන්ම පවතින බව පෙනෙයි. ජනාධිපතිවරයකුට මුක්තිය තිබිය යුතුයි යන කාරණාවද මෙහිදි මතුවෙයි. එයින් අදහස් කරන්නේ ජනාධිපතිවරයෙක් අත්තනෝමතිකව වැඩ කළ යුතුයි කියන කාරණාව නොවෙයි. ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේදි ඔහුත් සාමාන්‍ය පුද්ගලයෙක් වෙයි. රාජකාරිය මත සලකා බලා 19 වැනි ව්‍යවස්ථාවේදි ජනාධිපතිවරයාට 'මුක්තිය' ලබා දීම 19 වැනි ව්‍යවස්ථාවේ ලබාදී ඇත.

එය 20වැනි ව්‍යවස්ථාවට හදුන්වා දිමේදි අඩුපාඩු දක්නට ලැබෙයි. ජනතාවට ජනාධිපතිවරයාගේ යම් ක්‍රියාවකදි ජනතාවට මූලික අයිතිවාසිකම් කඩවිමේදි ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් එක් අතුරු වගන්තියක් ඉවත් කිරිම නිසා ජනතාවට යම් කුකුසක් ඇතිවීමට ඉඩ ඇත. ජනතාවගේ මූලික අයිතිවාසිකමක් කඩ වීමේදි මුලික අයිතින් වෙනුවෙන් කටයුතු කිරිමට එහිදි භාධා පැමිණෙතැයි යන මතයක් ඇති වෙයි. 20 වැනි ව්‍යස්ථාවේ ඒ සම්බන්ධයෙන් යම් කිසි කොටසක් තිබුණද එය එතරම් පැහැදිලි කර ඇතිබවක් දක්නට නැත. එය වඩා පැහැදිලි කර ඇතිනම් ඉතා හොඳයි .

යම් කිසි පනතක් සම්බන්ධයෙන් සති දෙකක කාලයක් ලබා දී තියෙන අතර පුරවැසියාට අධිකරණයට යෑමට කටයුතු කිරිමට එය සතියක කාලයක් කිරිම සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇත. එය නැවත ඇති වුවහොත් වැදගත් වෙයි. ජනතාවට වඩා පාරදෘශ්‍ය භාවයකින් යුතුව එය කළ යුතුයි. එමෙන්ම ජනාධිපතිවරයාට දිව්රුම් දීම සම්බන්ධ වගන්තිය සහ විගණකාධිපති බලතල සම්බන්ධයෙන් අගමැති සහ ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් විගණනය කිරිම විගනකාධිපතිවරයාගේ යටතට පත්කිරිමෙන් වඩා පාරදෘශ්‍ය භාවයක් දක්නට ලැබෙයි. මේ ව්‍යවස්ථාවේ මුදල් කටයුතු යන බලතල සම්බන්ධයෙන් 148 වැනි වගන්තියේ පාර්ලිමේන්තුවට මුදල් කටයුතු සම්බන්ධයෙන් වගකිම සහ පාලන කටයුතු බලතල හිමිකරදී ඇත. පාර්ලිමේන්තුවට එම බලතල හිමිවී ඇති බව ඒ අනුව පෙනෙයි. විගනකාධිපතිවරයාගේ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ කුකුසක්ද ඇතිවී ඇත. එය කමිටු අවස්ථාවේදි ඉවත් කර නැවත විගනකාධිපතිවරයාට එම බලතල හිමිවෙතැයි අපි සිතමු. ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් අපි කතා කළ යුතුයි? ඇයි මේ වැනි දෙයක් අපේ රටට අවශ්‍ය වන්නේ ද? එසේම ද්විත්ව පුරවැසි භාවය හිමි අයට ජනාධිපතිවරණය දක්වා යන්නට බලතල ලැබෙනවාද කියන කාරණාව සම්බන්ධව අපි සාකච්ජා කළ යුතුයි. එවැනි ද්විත්ව පුරවැසිභාවය හිමි අයකුට ප්‍රශ්න සහගත තතත්වයක් ඇති වූ විට ශ්‍රී ලංකා ජනරජය යටතේ එයට පෙනී සිටීමේදී සිමා ඇති ද ඒවාට බාධා ඇති ද කියන කාරණාව සම්බන්ධයෙන් කතිකාවක් ඇතිවිය යුතුයි.

ජනතා ප්‍රසාදය හිමි ශක්තිමත් ජනාධිපතිවරයෙක්ට වැඩ කිරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබිය යුතුය. ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව එකම දේශපාලනික මතවාද මත පිහිටා පත් වූ රජයන් යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සහය අනිවාර්යෙන් හිමි වෙයි. මේ රට ගොඩනඟන්නට අසිමිත ජනවරමක් යටතේ පත්කළ ආණ්ඩුව ඉදිරියට යෑමට නම් අත්තනෝමතිකව වෙනස් කරන ලද 19 වැනි ව්‍යවස්ථාව සංශෝධන කළයුතු සේම දීර්ඝකාලක් පුරා රටේ අවශ්‍යතාව බවට පත්වී තිබූ නව ව්‍යවස්ථාවක් ඇති කිරිමෙන් මෙරටට යහපත් හෙටක් උදා කර ගත හැකි බවට කිසිදු සැකයක් නැත.

Comments