
20 වෙනි සංශෝධනයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ ඔබලා දැඩි විරෝධතාවයක නිරත වුණා. කුමන හේතුවක් නිසාද?
20 වෙනි සංශෝධනය කියලා තියෙන්නේ මේ රටේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය විනාශ කරන, පහත් කරන මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙන යන තනි පුද්ගලයෙකු මතට රෙට් නීතිය භාර දෙන ක්‍රමවේදයක් හැටියට පෙන්වා දිය හැකියි.
මෙහිදී ජනතාවගේ අයිතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේ සංශෝධනයෙන්ම ජනතාවගේ නිදහස ජනතාවගේ පරමාධිපත්‍ය ජනාධිපතිවරයා ළඟට ගන්නවා. පාර්ලිමේන්තුවත් ජනාධිපතිවරයා අතර තිබුණු බල තුලනය නැති වෙලා. පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා අතර තිබුණු බලය නැති වෙනවා. ජනපතිට බලය ලැබෙනවා. කරුණු රැසක් මේ සම්බන්ධව තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙකු මෙන් බලවත් කිරීම මෙම ව්‍යවස්ථාවෙන් සිදු කරන නිසා මෙයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
20 වෙනි සංශෝධනය වෙනස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ඔබලා එයට එකඟ වනවාද?
විස්සක් ගෙන එනවාට වඩා පහසු ක්‍රියාවලියක් වර්තමාන රජයට සිදු කරන්න තිබුණා. 19 වෙනි ව්‍යවස්ථාවේ නොගැළපෙන තැන් නිවැරදි කරන්න රජයට හැකියාව තිබුණා. 19 ගැළපෙන්නේ නැත්නම් එය ගැළපෙන විදිය වෙනස් කරන්නට හැකියාව තියෙන බව අපි රජයට අවධාරණය කරනවා. මේ ක්‍රියාදාමය සිදු නොකර 19 සම්පූර්ණයෙන්ම ඉවත් කරලා 20 ගෙන ඒම නිවැරැදි ක්‍රියාමාර්ගයක් නොවෙයි. 19 තුළ සාධනීය කාරණා ගන්න තිබුණා කියන එක අපි අවධාරණය කරනවා.
ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන්න ඕන නෑ කියන්නේ ලොකු අර්බුදයක්. පාර්ලිමේන්තුව පත්කරන්නේ මේ රටේ එක්කෝටි හැටලක්ෂයක ජනතාවගේ ඡන්දයෙන්. එහෙත් මේ සංශෝධනය මඟින් ජනාධිපතිට බලතල දෙනවා. අවුරුද්දෙන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න.
ජනතාව පත්කරන මන්ත්‍රීවරු 225 දෙනකු එක රැයකින් ගෙදර යවන එක ප්රජාතන්ත්රවාදයට ගැළපෙනවාද කියලා අපි රජයෙන් අහන්න කැමතියි.
19 ය මඟින් අපි කැබිනට් මණ්ඩලය ඇතුළු ඇමතිකම් සීමා කිරීමට පියවර ගත්තා. ඇමතිවරු වැඩි වශයෙන් පත් කරාට ජනතා මුදල් වැඩිපුර නාස්ති වෙනවා. අපි මේ තත්වය වෙනස් කිරීමට ඇමැති මණ්ඩලය අඩු කළා. 20 වෙනි සංශෝධනය තුළින් මේ තත්වය වෙනස් වෙනවා. විශේෂයෙන් ම ජනාධිපතිවරයාට අවශ්‍ය ගණනක් ඇමතිවරු පත් කිරීමට හැකි වෙනවා.
කොමිෂන් රැසක් මේ යටතේ අහෝසි වෙනවා. මෙය ඉතා භයානක තත්වයක් බව අපි ජනතාවට ප්‍රකාශ කරන්නට කැමතියි.
පාර්ලිමේන්තුවට ගෙන එන 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. රජයට දැනටමත් එම බලය ඇති බව ප්‍රකාශ වෙනවා. මේ අභියෝගය ඔබලාට ජය ගත හැකිද?
වර්තමාන රජයට පාර්ලිමේන්තුව තුළ කිසිසේත් තුනෙන් දෙකක බලය හිමි කර ගන්න බෑ කියන කාරණය අපි පැහැදිලිව කියන්නට ඕන. පාර්ලිමේන්තුවේ විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ම මෙයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට අප සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි මහින්දානන්ද ඇමතිවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා ඔවුන් විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනකු ගන්නා බව. නමුත් අපි කියනවා ආණ්ඩු පක්ෂයේ තිහකට වැඩි මන්ත්‍රිවරුන් පිරිසක් මෙයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා කියලා. ඔවුන් ඡන්ද නොදී මඟ අරින බව ප්‍රකාශ කර තිබෙනවා.
සුළු පක්ෂ නායකයන් සන්ධානය වීමක් පිළිබඳව දිගින් දිගටම ප්‍රකාශ කරනවා. ඔබලා ඒ සඳහා කැමැත්තක් නැද්ද?
නෑ. එහෙම නෑ. අපි පක්ෂ කිහිපයක සාමාජිකයන් මෙන්ම ප්‍රබල පක්ෂ එකතුවෙලා තමයි මැතිවරණයට තරග වැදුණේ. ඇත්තටම අපි සමගි ජන බලවේගය හැටියට තනි පක්ෂයක්. මැතිවරණයට තරග කරපු පක්ෂය. නමුත් තව දින කිහිපයකින් එය සමගි ජන බල සන්ධානය බවට පත්වෙනවා. ඒ නිසා ඉදිරියේදි ගැටලු සහගත තත්වයක් ඇති වන්නේ නැහැ.
ඔබ පාර්ශ්වයට සම්බන්ධ වෙලා පාර්ලිමේන්තුව නියෝජනය කරන රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් ඇතුළු කිහිපදෙනකු සමගි ජන බලවේගයෙන් ඉවත් වන බවට ප්‍රචාරය වී තිබෙනවා. මෙය ඇත්තක් ද?
දැනට එහෙම කිසිදු තත්වයක් ගොඩනැගිලා නැහැ. අපිට විරුද්ධවාදීන් කියන කතා. ප්රචාරයෙන් ගැටලුවක් නෑ. කියන එක අප අවධාරණය කර සිටිනවා.
බදුර්දීන් මන්ත්‍රීවරයා හකීම් මන්ත්‍රිවරයා මෙන්ම අනෙක් පක්ෂ නායකයන් අප සමඟ ඉතා සමීපව කටයුතු සිදු කරගෙන යනවා. සමගි සන්ධානයේ සාමාජිකයන් හැටියට ඔවුන් ක්‍රියාශීලීව වැඩ කටයුතු කරගෙන යනවා.
එක්සත් ජාතික පක්ෂයට නව නියෝජ්‍ය නායකයෙකු පත්ව සිටිනවා. ඔබ කණ්ඩායම මේ සම්බන්ධව සැහීමකට පත්වනවාද?
ඇත්තටම රුවන් විජේවර්ධන මහතා ඉතා දක්ෂ තරුණ නායකයෙක්. ඔහුට හොඳ දැක්මක් තිබෙනවා. ඔහු අවංක නායකයෙක්. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා. ඔහු තවත් මාස හතරක් ඉන්නවා. අපිට පෙනී යන කරුණ නම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෙසු නායකයන් රූකඩ මෙන් නටවන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සමගි ජන බලවේගය සමඟ ඉදිරියේදි කටයුතු කිරීමට කැමැති බව මේ පිළිබඳව ඔබලාගේ පිළිතුර?
ඇත්තටම රුවන් විජේවර්ධන මහතා විශ්වාස කළ හැකි වැදගත් මහත්මයෙක්. අපි විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයට සමගි ජන සන්ධානය සමඟ ඉදිරියේදි එකතු විය හැකියි. ඒ සඳහා කිසිඳු බාධාවක් නැහැ. හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ අප සමඟ සම්බන්ධ වී සිටින ආකාරයටම ඔවුන්ට අප සමඟ සම්බන්ධ විය හැකියි.
විශේෂයෙන්ම මේ පක්ෂයේ නායකයන් රැසක්ම අප සමඟ ඉතා සමීපව වැඩ කළ දක්ෂ නායකයන්. ඔවුන්ව ඔය තත්වයට පත් කළේ කිහිපදෙනකු පමණයි. ඒ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සම්බන්ධ වෙලා. මෙය ෙත්රුම් ගත් නිසා අපි පක්ෂයෙන් ඉවත් වෙලා සජිත් ප්‍රේමදාස නායකයා සමඟ ආරම්භ කළ අලුත් ගමන සාර්ථක වෙලා තිබෙන බව මහමැතිවරණ ඡන්ද ප්‍රතිඵලයෙන් මනාවට පෙන්නුම් කරන කරුණක් බව මා මේ මොහොතේ අවධාරණය කරන්නට කැමතියි.
සමගි ජන බලවේගයේ නායකත්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම සටන් කරනවා කියන්නේ ඇත්තක්ද?
එය මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපගේ විරුද්ධවාදීන් විසින් නිර්මාණය කරන දේවල්. මේවාට අපි උත්තර දිය යුතු නැහැ. මොකද අපි මේ වන විට සාර්ථක ගමනක් යමින් සිටිනවා.
සමගි ජන බලවේගය තුළ නායකත්වයට කිසිඳු ගැටලුවක් නැහැ. එහි නායකත්වය දරන්නේ සජිත් ප්‍රේමදාස මහතා. ඔහුට අපි සියලු දෙනාගේ ආශිර්වාදය ලැබිලා තිබෙනවා. ලබා දී තිබෙනවා. ඉදිරියටත් ලබාදෙන්න කටයුතු කරනවා. අනික ඔහු නායකයා ලෙස අපි සියලු දෙනාගේ කැමැත්තෙන් පත් කරලා අවසන්. නැවත නායකයෙක් දැනට අවශ්‍ය නැහැ. අපි ඔහු අගමැති කරන සටන ජනාධිපති කරන සටන දැනටමත් ආරම්භ කර හමාරයි. අප සමඟ සිටින සෙසු නායකයන් ඔහුව පිළිඅරන් තිබෙනවා.
මේ රටට පළාත් සභා අවශ්‍යද? නැද්ද?
පළාත් සභා මේ රටට අවශ්‍යයි. ඒ නිසා පළාත් සභා මැතිවරණය ඉක්මණින් පැවැත්විය යුතුයි.පළාත් සභා ඇති කර තිබෙන්නේ මේ රටට අවශ්‍ය නිසා බව මා මතක් කරන්නට කැමතියි. මේ රටේ පැවැති ජනවාර්ගික අර්බුදයට ලබාදුන්න ස්ථිර විසඳුමක් හැටියට පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන්නට පුළුවන්. පළාත් සභා පවත්වනවාද නැද්ද යන්න ආණ්ඩුවේ කාරණයක්. ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳව පිළිතුරක් ඉතා ඉක්මණින් ලබා දිය යුතුයි.
පළාත් සභා මැතිවරණයට අප මුළු ලංකාවම නියෝජනය කරමින් ඉදිරිපත් වනවා. ස්ථිර වශයෙන් අපිට මෙහිදී ජයග්‍රහණය ලබා ගත හැකි බවත් අපි අවධාරණය කර සිටිනවා.
20 ට එරෙහිව ජනතා විරෝධතා රැල්ලක් ඇති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා. කොහොමද මේ රැල්ල ඇති කරන්නේ?
ජනතා නියෝජනයක් හැටියට අපි දැනටමත් 20 ට විරුද්ධව ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ජනතාවගේ අයිතිය විනාශ වෙන්න යන මෙම සංශෝධනය හකුලා ගන්නා තුරු අපි විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක කරනවා. ජාතික මට්ටමින්, පළාත් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් මෙන්ම ගම් මට්ටමින් ඉදිරියේදි මේ සඳහා ජනතාව පෙළ ගස්සනවා.