පොත් අරන් ගමෙන් ගමට යන 'පොතයි මමයි' ව්‍යාපෘතිය | Page 3 | සිළුමිණ

පොත් අරන් ගමෙන් ගමට යන 'පොතයි මමයි' ව්‍යාපෘතිය

'හන්දි පුස්තකාලය' මහින්දගේ සිතෙහි උපන් අලුත් අදහසක්

අමුණේ ජලතලය පිස හමා ආ සිසිල් පවන්රොදක් 'ගොවිසෙවණ' අසබඩ විසල් තුරුපතර මොහොතකට ගැවසී, අතු-ඉති සලිත කරමින් ඉවතට ඇදී ගියේය. හාත්පස පරිසරය මත වැතිර ගිමන් හරින රන්වන් මන්දාලෝකය දැනවූ විවේකබර මානසිකත්වයට අගුල්පත් තැබුවේ තුරුහිසක ඉසුඹු ලමින් උන් අළුකොබෙයියෙකි. ගස යට රැස්ව සිටි පිරිස මේ නිහැඬියාව නොබිඳින්නට ඉටාගත්තා සේ නිසොල්මන්ව වුව නොයිවසිලිමත් වතින් යුක්තව, ගම්මානයට පිවිසෙන මාවතට නෙත් හෙළාගෙන සිටියහ. පාර කෙළවරින් මතු වූයේ පසුපස ලගේජය මත පලාවන් විසල් පෙට්ටියක් බැඳුණු 'සීඩී නයින්ටි' වර්ගයේ යතුරුපැදියකි. පිරිස අතර එතෙක් රැකුණු නිහැඬියාව සිහින් මිමිනුමකට හැරිණි.

මේ හැන්දෑවේ 'වතුර' ගම්මානයේ සිදු වන්නට යන කුඩා හමුව, එයින් වසර දෙකක් ගිය තැන ඉල්වාන, පාරඹේ, කළුගල, රොටුව, හපුවිට, මාකූර, වඩුපොළ ආදි අවට ගම් ඉක්මවා කෑගලු දිස්ත්‍රික්කයෙන් එපිට නුවර, මොනරාගල, කළුතර යාපනය ඈ සිරිලක සතරදිග්භාගය සිසාරා විහිදගිය මෙහෙවරක ඇරඹුම වනු ඇතැයි ඒ අහිංසක ගැමියන් තබා, මේ තරුණයාවත් නොසිතුවාට සැක නැත.

මේ ඔහුගේ හඬයි: "එදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමා වගෙම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුම අපේ ආරාධනය පරිදි ඇවිත් හිටියා. ජීවිතය සාර්ථක කරගන්න අධ්‍යාපනයේ අවශ්‍යතාව වගේම පතපොත පරිශීලනයේ වැදගත්කමත් ඔවුන් පිරිසට පෙන්නා දුන්නා. අවස්ථාව වඩාත් සිත්කලු වන්න 'හීන හොයන සමනල්ලු' චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අප කටයුතු කළා. එහිදී මගේ බයිසිකලයේ පෙට්ටියේ දමාගෙනගිය පොත් අතුරින් කැමති පොතක් කියවන්න ගෙදර ගෙනයන්න දරුවන්ට ඉඩ සලසා දුන්නා."

මහින්ද දසනායක එදා 'වතුරෙන්' නික්ම ආවේ හරියටම දෙසතියකින් ආපසු එනබවට පොරොන්දු වෙමිනි. එසේම ඔහු සති දෙකකට පසු යළිත් එහි ගියේය; යළියළිත් ගියේය. දෙසීයක් තරම් වූ තම පොත් එකතුව දරුවන් අතින් අත හුවමාරු වනු දැක්ම ඔහුට දැනවූයේ නිරාමිස ප්‍රීතියකි.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධරයකු ලෙස යටියන්තොට ප්‍රදේශයේ සැරිසරද්දී මහින්දගේ නිරීක්ෂණයට ලක් වූ කරුණක් වූයේ‍‍‍ දරුවන් යම් ඉරණමකට ලක්ව සිටිනවා නම්, එයට ඔවුන් පොතපතින් ඈත්වීමද දැඩි සේ බලපා ඇති බවයි. රජරට සරසවියේ ඉගැනුම ලබන සමයේ තමා බෙහෙවින් පොතපතට හුරුව සිටි සැටිද ඔහුට සිහිපත් විය. ජලසම්පත් කළමනාකරණය පිළිබඳ උපාධියද අතැතිව 2012 වසරේ එළියට විත් මේ සේවාවට බැඳෙන තෙක් ගමේ කටයුතුවලට උරදී ගෙවූ පස් වසරේදීද බොහෝ සංවේදි දෑ ඔහුගේ නිරීක්ෂණයට බඳුන් විණ. සමාජය තුළ සිදු විය යුත්තක් සිදු නොවන බව ඔහුට පෙනීගියේය. එය රජය හෝ වෙනත් අයකු හෝ කරනු තුරු බලා හිඳීමවත්, කිසිවකු එසේ නොකරතැයි මැසිවිලි නැඟීමවත් ඔහුගේ පිළිවෙත නොවීය. මහින්දගේ යතුරුපැදියට පොත් පෙට්ටියක් පැමිණියේ ඒ අනුවය.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා සේවයේ නියුතු ළමාරක්ෂක නිලධරයෝ තවදුරටත් මේ මෙහෙවර පුළුල් කිරීමට ඔහුට දිරි දුන්හ. යන ගම්වල දැනඋගත් පිරිස් ඔහුට සහාය වීමට ඉදිරිපත් වූයේ‍‍‍ මහත් කැමැත්තෙනි. 'පොතයි මමයි' ව්‍යාපෘතිය මහත් සේවාවක් කරමින් ප්‍රදේශය පුරා ප්‍රචලිත වන අන්දම එය ඇරඹුමේදී පටන්ම සමීපව නිරීක්ෂණය කරමින් සිටි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මහින්දට අලුත් මෝටර්සයිකලයක් පිරිනැමීය. දුර පළාත්වලට මහින්ද කැටුව යන්නේ ඒ යතුරුපැදියයි.

දැන් 'පොතයි මමයි' ව්‍යාපෘතියට බොහෝ ආධාර ලැබෙයි. අගහස් ප්‍රකාශකයෝ රුපියල් ලක්ෂ එකහමාරක පමණ පොත් පිරිනැමූහ. තවත් පොත් හත්අටසීයක් ඔහු එන තෙක් කොළඹ අවට බලා සිටී. සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ මෙහෙවර හඳුනාගත් ඕස්ට්‍රේලියාව, කැනඩාව, කොරියාව බඳු රටවල සිටින සහෘදයෝ ඔහුට සවියක්ව සිටිති.

මේ අතර ඔහුගේ 'ජංගම පුස්තකාල' සේවාවට තවතවත් ආරාධනා ලැබෙමින් පවතී. කියවීම් සමාජ පිහිටුවීම කෙරෙහි ඔහු යොමු වූයේ මේ ව්‍යාපෘතිය තවතවත් ළමාපරපුර අතරට ගෙනයන්නටය.

'හන්දි පුස්තකාලය' මහින්දගේ සිතෙහි උපන් අලුත් අදහසකි. ඒ අනුව ඔහු කෑගල්ල, අරණායක කෙහෙල්වත්ත හන්දියේ කඩයෙහි විවෘත පොත් රාක්කයක් තැබුවේ රිසියකුට ඉන් පොත් ගෙනගොස් කියවා නැවත තැබීමට ඉඩ සලසමිනි. හන්දියේ රස්තියාදු ගැසූවෝ දැන් ඉන් පොතක් ගෙන කියවති. මුදලාලි රැයේදී පොත් අට්ටිය කඩය තුළට ගෙන, උදයට යළිත් අඩුක් කරන්නේ වතාවතක් ඉටු කරන පරිද්දෙනි. මහින්ද මුලකුරු කියවූයේ මේ කෙහෙල්වත්ත මහවිදුහලෙනි. කෑගල්ලේ බණ්ඩාරනායකය සරසවි පිවිසුම තෙක් ඔහුට සිප්සතර දුන්නේය.

කෝවිඩ්-19 උවදුර රටට එල්ල වූයේ අතිශය‍ දුෂ්කර ගම්මාන දෙකක් වන වේවැල්තලාව හා දෝතල්ඔය ගම් දෙකෙහි දරුවන්ගේ නෙත් පෑදීමට ඔහු මුලපිරීමත් සමඟය. වෙසෙසින් දෝතල්ඔය දරුවෝ අකුරු ඉගැනීම සඳහා දිනකට කිලෝමීටර දාහතරක් පහළොවක් තම ගම හා දොළොස්බාගේ අතර යති; එති.

වසංගතය ඍජුවම බලපෑ කටයුතු අතරට මහින්දගේ 'පොතයි මමයි' සමාජ සත්කාරයද එකකි. පත්‍ර මත රැඳෙන වයිරසය කලක් යන තෙක් සජීව ලෙස පවතින හෙයින් පුස්තකාල කටයුතු අවදානම් සහගත බවට විවාදයක් නැත. එහෙත් මේ කවර බාධකය පැමිණියද එය ජයකට පෙරළාගන්න සමතෙකි මහින්ද. පොත් පෙට්ටියත් ගෙන රට පුරා සැරිසරද්දී, බන්ධනාගාර, පන්සල්, දේවස්ථාන බඳු තැන්වල පොතපතේ අගය ගැන දෙසුම් පවත්වද්දී ලත් ප්‍රතිචාර ඔස්සේ ඔහු සිත තුළ අදහස් රැසක් ගොනුව තිබිණ. වසංගත උවදුර උදා කළ නිවාඩුව ඒවා පොතකට නැඟීමට ලද හොඳම වරමක් බව මහින්දට පෙනීගියේය.

"මම එයට නම තැබුවේ 'පොතයි මමයි: දරුවන්ට හුස්ම ගන්න තැනක් වෙනුවෙන්' කියලයි. ඉක්මනින්ම එය රටට දෙන්න බලාගෙන ඉන්නවා. අපට තිබෙන්නේ මේ ග්‍රහවස්තුව විතරයි. එහිදී අපේ අංක 1,2 විය යුත්තේ පරිසරය හා ළමයායි. පරිසරයේ අපට අමුතුවෙන් හදන්න දෙයක් නෑ. එය විනාශ නොකර හිටියොත් ඇති. හැබැයි අපට පුළුවන් පරිසරයට ආදරය කරන ළමයකු හදන්න. 'පොතයි මමයි' කටයුතු එළිමහන්වල පවත්වන්නෙත් ඒ නිසාමයි. 'මාකූර' ගමේදි අප හමු වන්නේ අම්බලමක!"

මේ වීර්යවන්ත තරුණයාගේ ආදරය පොදු මිහිතලයටම විහිදුණකි. එහි සුවඳ විඳගත හැකි, ජාති ආගම් පවුරින් කොටු වූ පටු මනස් නැත්තන්ට 0717312659 ඔස්සේ ඔහු හා එක් විය හැකිය.

 

Comments