'හන්දි පුස්තකාලය' මහින්දගේ සිතෙහි උපන් අලුත් අදහසක්
අමුණේ ජලතලය පිස හමා ආ සිසිල් පවන්රොදක් 'ගොවිසෙවණ' අසබඩ විසල් තුරුපතර මොහොතකට ගැවසී, අතු-ඉති සලිත කරමින් ඉවතට ඇදී ගියේය. හාත්පස පරිසරය මත වැතිර ගිමන් හරින රන්වන් මන්දාලෝකය දැනවූ විවේකබර මානසිකත්වයට අගුල්පත් තැබුවේ තුරුහිසක ඉසුඹු ලමින් උන් අළුකොබෙයියෙකි. ගස යට රැස්ව සිටි පිරිස මේ නිහැඬියාව නොබිඳින්නට ඉටාගත්තා සේ...