වසර 80ක් පැරැණි ලංකාවේ ප්‍රථම මූල්‍ය සමාගම සහ පරම්පරා තුනක පමණ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට උරදුන් ආයතනයක් ලෙස, ද ෆිනෑන්ස් සමාගම කෙරෙහි විශ්වාසය තබා මුදල් තැනපත් කළ 145,000ක් ජනතාව මේ වන විට ඉතා අන්ත අසරණභාවයට පත්ව ඇතැයි, ද ෆිනෑන්ස් සේවක සංගමය සහ ඒකාබද්ධ තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය පවසයි.
මෙම 145,000ක පිරිසගේ පවුල්වල ලක්ෂ හයක පමණ යැපෙන්නන් පිරිසගේ ජීවිත සහ ආර්ථිකය ද මේ නිසා සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බවද, රෝගීව සිටින තැන්පත්කරුවන්ට මේ වන විට බේත් හේත් ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද ෆිනෑන්ස් සේවක සංගමය නියෝජනය කරමින් එහි සභාපති, දුමින්ද තිලකරත්න මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
තැන්පත්කරුවන්ට වූ අගතිය ඒ මහතා තවදුරටත් පහදා දුන්නේ මෙසේ ය.
පිළිකා රෝගියකු බවට පත්ව සිටින නිර්මලා කුරුප්පු ආරච්චි |
“මේ වන විට ද ෆිනෑන්ස් සමාගමේ සේවක සංඛ්‍යාව 422 ක්. එම සේවකයන් සතු මූල්‍ය තැන්පතු රුපියල් මිලියන 300ක් සහ ද ෆිනෑන්ස් සේවක සංගමය සතු රුපියල් මිලියන 10ක මුදලක් ද ඒ අතර වනවා. සමස්ත තැන්පත්කරුවන් 145,000ක් සතු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 26.1ක්.
2008 වසරේදි සෙලින්කෝ ආයතනයේ ඇතිවූ මූල්‍ය අර්බුදයේ බලපෑම නිසා, ද ෆිනෑන්ස් සමාගමේ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත්කර ගන්නා ලද අතර සමාගමේ පරිපාලනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත්වන විට ආයතනයේ වගකීම්වලට වඩා , වත්කම් ශුද්ධ වත්කම් රු.මි. 1480ක් (වත්කම් රු.බි. 36.7 / වගකීම් රු.බි. 35.2) පැවතුණා.
වැදගත්ම කාරණය වන්නේ, 2009 වර්ෂයේ සිට මේ දක්වා කළමනාකරණ නියෝජිතයන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත්කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිමතය පරිද්දෙන් වීමයි.
මහ බැංකු අධීක්ෂණය තුළ ආයතනය විටින් විට ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම් (on site supervision) සිදු වූ අතර, ආයතනය සති පතා, මාස්පතා හා වාර්ෂිකව වාර්තා සැපයීම තුළ සමාගමේ ද්‍රවශීල තත්ත්වයන් හා ශේෂ පරීක්ෂා කිරීම් සිදුවූයේ ද මහ බැංකුවෙන්.
2009 වර්ෂයේ අර්බුදයට මුහුණ දුන් තැන්පත්කරුවන්ගෙන් 75%ක් පමණ අඛණ්ඩව ඔවුන්ගේ තැන්පතු ආයතනය තුළම රඳවමින් කටයුතු කළේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආයතනයේ ස්ථාවරත්වය විශ්වසනීයභාවය පිළිබඳ ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම නිසා. එමෙන්ම, ආයතනයේ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව රටේ ප්‍රභූ පුද්ගලයන් මෙන්ම දේශපාලන නායකත්වයෙන් තැන්පත්කරුවන්ට විශ්වාසය ලබා දුන් නිසා.
නමුත්, 2019/02/15 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව ද ෆිනෑන්ස් සමාගමට එරෙහිව නියාමන ක්‍රියාමාර්ග ගන්නා ලද අතර (තැන්පත් බාර ගැනීම, නිදහස් කිරීම, ණය දීම අත්හිටුවීම), ඒ හේතුවෙන් තැන්පත්කරුවන් අසරණ තත්ත්වයට පත්වුණා.
මෙහි බරපතළ ම කාරණය වන්නේ, තැන්පත්කරුවන්ගෙන් 60%ක් පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වීමයි. ඔවුන්ට තවදුරටත් මුදල් ඉපැයීමට හැකියාවක් නැහැ. අනාගත අවිනිශ්චිතතාවයෙන් යුතු ඔවුන්ගේ ජීවිතවල අවසාන භාගය ගෙවන්නට සිදුව ඇත්තේ චිත්ත පීඩාවෙන් සහ බියෙන්. තැන්පතු අත්හිටු වීම තුළ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට මුදල් නොමැති වීමෙන් එම පීඩනය දරා ගැනීමට නොහැකිව ආතතිය හේතුවෙන් දැනටමත් ජීවිතයෙන් සමුගෙන ඇති තැන්පත්කරුවන් ද ඇති අතර, බොහෝ දෙනකුගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහී ගොසින්. පිළිකා රෝගින්, අංශ භාග රෝගින් සහ අන්ධභාවයට පත්වූ පිරිස ද මේ අතර සිටින අතර, අද ඔවුන් කබලෙන් ළිපට වැටුණු පිරිසක්.
ද ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්යක්ෂතුමන්ගේ ලිඛිත ඉල්ලීමට, ද ෆිනෑන්ස් සේවකයින් 2019 ජනවාරි මස ප්‍රවර්ධන වැඩසටහනක් තුළින් රු.මි. 946ක නව තැන්පතු ආයතනයට ගෙන එන ලද්දේ මෙවැනි පසුබිමක් තුළයි. මසක්වත් පොරොන්දු පොලිය ගෙවීමට ආයතනයට නොහැකි වූ අතර ප්‍රවර්ධන වැඩසටන සිදුවූයේ ද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත්ව යි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2019/10/23 වන දින, ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනය නිකුත් කරන ලද අතර ද ෆිනෑන්ස් සමාගම විසින් කැඳවන ලද BOI (ආයෝජකයන්ගේ අභිලාෂයන්) කැඳවීමෙන් ලද යෝජනාවන් සාර්ථක කර ගැනීමට මහ බැංකුව විසින් පත්කරන ලද අධ්යක්ෂවරුන් අපොහොසත් වී තිබෙනවා.
2020 ජනවාරි 15 වන දින අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්තුමා වන එස්. ලියනගේ මහතාගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩි කබ්රාල් මහතා විසින් අරලියගහ මැදුරේදී සාකච්ඡාවක් කැඳවන ලද අතර එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා, අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති අධ්‍යක්ෂක නීතිඥ සුමිත් විජේසිංහ මහතා, අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ලේකම් ලියනගමගේ මහතා මහ බැංකුවේ ඉහළ නිලධාරින්, ද ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂවරුන්, කළමනාකාරීත්වය සහ තැන්පත්කරුවන් ද සහභාගි වුණා.
එම සාකච්ඡාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා පැවසූයේ, නව රජයේ ප්‍රතිපත්තිය මෙවැනි සුවිශේෂි ආයතන වසා දැමීම නොවන බවත්, ද ෆිනෑන්ස් සමාගම නැවත ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා ගේ අනුමැතියෙන් 2020 ජනවාරි 30 දිනට පෙර ඉදිරිපත් කරන බවකුයි. එමනිසා එම සැලැස්ම ඉදිරිපත් කරන තෙක් අප සිටියේ බලාපොරොත්තු සහගතවයි.
මහ බැංකුව විසින් වසර 10ක කාලයක් පරිපාලන කටයුතු සිදුකර, ආයතනය වසා දැමීමට අවශ්‍ය කටයුතු කිරීම අසාධාරණ බවත් මහ බැංකුව විසින් ආයතනය වසා දැමීමට අවශ්‍ය නම් එය කළ යුතුව තිබුණේ 2009 වර්ෂයේ ශුද්ධ වත්කම් ධන අගයක්ව තිබුණු මොහොතේයි. එසේ නම් එහිදී තැන්පත්කරුවන් හට සම්පූර්ණ මුදල් ගෙවා කොටස් හිමියන්ටද මුදල් ප්‍රමාණයක් ගෙවීමට හැකියාව තිබුණා. මහ බැංකුව නිසි අවස්ථාවේ නිවැරැදි තීරණ නොගැනීම අහිංසක තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් වන්දි ගෙවීමට සිදුවීම ඉතා අසාධාරණයි.
ද ෆිනෑන්ස් සමාගමේ පසුගිය වසර 10 සඳහා අධ්යක්ෂවරු පත්කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිමතය පරිදි වන අතර, එම අධ්‍යක්ෂවරුන්ගේ තීරණ මත ආයතනය ගමන් කළ නිසාත් සියලු වාර්තා ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරින් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම් සිදු කළ නිසාත් සමාගමේ බිඳ වැටීමට, මහ බැංකුව ඍජුවම වගකිව යුතුය.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති, ආයතනය වසා දැමීමෙන් තැන්පතුකරුවන්ට 94%ක මුදල්ගෙවා උදව් කළ හැකි බව ප්‍රකාශ කිරීම තැන්පතුකරුවන් මුලා කිරීමක්. එනම් සමාගමේ සම්පූර්ණ තැන්පතු රු. බිලියන 26ක් වන අතර, ඉන් රක්ෂණය තුළින් ආවරණය වන්නේ රු.බි. 11ක තැන්පතුයි. එවිට රු.බි. 15ක තැන්පතු හිඟ ගෙවීමට ආයතනයේ දේපළ විකිණිය යුතුයි.
තවදුරටත් ඔහු පවසන්නේ, ශ්‍රී ලංකාවේ මුල්‍ය සමාගම් 42න් 20ක් දැඩි මුල්‍ය අර්බුදයක පවතින බවයි. එසේ නම් එම ආයතන මොනවාද, නොදැන තැන්පත්කරුවන් ඔවුන්ගේ තැන්පතු සියලු මුල්‍ය සමාගම්වලින් ඉවත්කර ගනිමින් සිටිනවා. එවිට රටේ සමස්ත මුල්‍ය වෙළෙඳපොළම බිඳ වැටීම නොවැළැක්විය හැකියි. මෙසේ මහ බැංකුවේ ඉහළ නිලධාරින් වගකීම් විරහිත ප්‍රකාශ කිරීම පිළිබඳ අප කනගාටුවට පත්වන අතර අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ,ද ෆිනෑන්ස් සමාගමේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර අසාධාරණයට පත්ව සිටින තැන්පත්කරුවන් එම අසරණභාවයෙන් මුදවා ගන්නා ලෙසයි.”
සිය සේසතම වූ රුපියල් ලක්ෂ 60ක මුදල සමාගමේ තැන්පත්කොට අද පිළිකා රෝගියකු බවට පත්ව සිටින නිර්මලා කුරුප්පු ආරච්චි මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවාය.
“මමයි මහත්තයයි ගෙවල්වල කුලී වැඩ කරලා අනන්ත දුක් විඳලා ගෙයක් හැදුවා. අපිට දරුවො නැහැ. ඒ ගේ විකුණලා ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත් කෙළ් අපි දෙන්නට ස්ථිර රස්සාවක් නැති නිසාත්, වයසට ගියාම ඒ පොළියෙන් ජීවත් වෙන්න හිතාගෙන. වයසට යන්න කලින් මම පිළිකා රෝගියෙක් වුණා. මගේ මහත්තයාට දියවැඩියාව. දරුවො නැති නිසා අපිව බලන්න කෙනෙක් නැහැ.
මහරගම පිළිකා රෝහලේ දැන් මට දෙන බෙහෙත් නැහැ. පෙත්තක් රුපියල් 120යි. මාසෙ බෙහෙත් ටික ගන්නවා තියා, අපිට දැන් කන්නවත් මුදල් නැහැ. කුලී ගෙදරක ජීවත් අපි දෙන්නට ගෙදර කුලියවත් ගෙවාගන්න විදියක් නැහැ. රෝගි වුණු අපි දෙන්නටම මේ වයසෙදි රස්සා දෙන්නෙ කවුද. අපි දැන් රස්සාවක් කරන්න පුළුවන් තත්වයකත් නැහැ. මේ අපි දුක් විඳලා හම්බ කරපු සේසත. අද අපිට බෙහෙත් පෙත්තක්වත් අරන් දෙන්න මහ බැංකුව එනවද... ඔවුන්ගේ නොසැලකිල්ල නිසා අද අපි වගේ ලක්ෂ එකහමාරක් දෙනා සහ ඔවුන්ගේ පවුල්වල අය මැරි මැරී ජීවත් වෙනවා. ගරු ජනාධිපතිතුමනි, මේ දේ වෙන්න දෙන්න එපා. පත්වන අධ්යක්ෂවරු සැපසේ ජීවත් වනවා. මේ ගැටලුව විසඳලා දෙන්න. නැත්නම් අපි වගේ අසරණයන්ට සිද්ධ වෙන්නේ ජීවිතේ නැති කරගන්නයි...”
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළට එල්ල වූ අතුල්පහරක් වැනි මෙවැනි සිදුවීම් දිගින් දිගටම පැවතියහොත්, ශ්‍රී ලංකාවේ මුල්‍ය වෙළෙඳපොළ කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳී යන අතර, එයින් මුල්‍ය සමාගම් වෙත ඍජු අහිතකර බලපෑම් එල්ලවීම වළක්වනු නොහැකි වනු ඇතැයි ද ඔවුහු තවදුරටත් පෙන්වා දුන්හ.
ඡායාරූප - ශාන් රඹුක්වැල්ල