නිවී ගිය මුත් පහන ගලා එයි එළි දහර | සිළුමිණ

නිවී ගිය මුත් පහන ගලා එයි එළි දහර

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය එක් කලෙක මෙරට සාහිත්‍ය කලා ප්‍රබෝ­ධයේ කේන්ද්‍ර­ස්ථා­නය වී පැව­තිණි. නව­සිය පනහ හැට දශ­ක­වල කාව්‍ය, නාට්‍ය, නව­ක­තාව සහ සාහිත්‍ය විචා­රය සම්බ­න්ධ­යෙන් පේරා­දෙ­ණි­යෙන් ලැබුණේ ඉම­හත් අනු­බ­ල­යකි.එබඳු ක්ෂේත්‍ර හා සම්බන්ධ ආචා­ර්ය­ව­රුන් සමා­ජයේ ප්‍රච­ලිත වූ අතර පුරා­ක්ෂර විද්‍යාව, භාෂා අධ්‍ය­ය­නය සහ සම්භාව්‍ය සිංහල සාහි­ත්‍යය යන ක්ෂේත්‍ර­වල අග්‍ර­ස්ථා­නයේ වැජ­ඹුණු පඬි­වරු කිහිප දෙනෙක් ම අප්‍ර­සි­ද්ධියේ නිහඬ ව සිය ශාස්ත්‍රීය මෙහෙ­වරේ නිමග්න ව සිටි­යහ. මහා­චාර්ය ආනන්ද කුල­සූ­රිය එසේ නිහඬ ශාස්ත්‍රීය මෙහෙ­ව­රක නිමග්න වූ විද්තුන් කිහිප දෙනා අතු­රෙන් කෙනෙකි. විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­ර­යකු ලෙස එක් සාලිස් වස­රක් ශාස්ත්‍ර ගවේ­ෂ­ණයේ නිමග්න වෙමින් ශාස්ත්‍ර ඥනය ප්‍රච­ලිත කිරීම සඳහා හෙතෙම කැප වී කට­යුතු කළේ ය.සිසුන් අභි­මුව තමන්ට නිය­මිත දේශන නිය­මිත පරි­දිත් විධි­මත් අයු­රින් පැවැ­ත්වී­ම­ටත් ඔහු සැදී පැහැදී සිටියේ ය. අද­ටත් එතු­මන්ගේ පේරා­දෙ­ණිය දංගොල්ල නිව­හනේ පුස්ත­කා­ලයේ අභ්‍යාස පොත් සමූ­හ­යක ලියා ඇති දේශන සට­හන් හුදෙ­කලා වී තිබෙනු දැකිය හැකි ය.

1925 ජුනි මස 26 දින උපත ලද ආනන්ද සල්ගාදු කුල­සූ­රිය මොර­ටුව වේල්ස් කුමාර විදු­හ­ලෙන් ද රජයේ ගුරු පුහුණු පාස­ලෙන් ද කොළඹ රාජ­කීය විදු­හ­ලෙන් ද ප්‍රාථ­මික හා ද්විතී­යික අධ්‍යා­පන ලැබී ය. පාසල් අධ්‍යා­ප­නය ලබන අතරේ දී ම සිය පියාගේ මඟ පෙන්වීම නිසා කුමා­ර­තුංග මුනි­දාස පඬි ඇසුර ලැබීම එතු­මන්ගේ ජීවි­තයේ අනා­ගත හැඩ­ගැස්ම කෙරේ තදින් බල­පෑවේ ය. පාසල් අධ්‍යා­ප­නය නිම කොට 1943 වර්ෂයේ දී ලංකා විශ්ව­වි­ද්‍යා­ල­යට පිවිසි කුල­සූ­රිය විද්‍යා­ර්ථියා ශාස්ත්‍ර­වේදී උපාධි පරී­ක්ෂ­ණයේ දී ප්‍රථම පන්ති සාම­ර්ථ්‍ය­යක් ලබා ගැනී­මට සමත් විය. ඔහුගේ සම­කා­ලීන සර­සවි සග­යන් අතර සිරි ගුන­සිංහ, එඩ්වින් ආරි­ය­දාස, විනී විතා­රණ ආදිහු වූහ.

උපාධි පාඨ­මා­ලාව සාර්ථක ව නිම කළ කුල­සූ­රිය විද්‍යා­ර්ථියා සිංහල ශබ්ද කෝෂ කාර්යා­ලයේ සහාය සංස්කා­ර­ක­ව­ර­යකු සහ දින­මිණ පුව­ත්පතේ ප්‍රවෘත්ති සංස්කා­ර­ක­ව­ර­යකු ලෙස කෙටි කලක් සේවය කළේ ය.1949 වර්ෂයේ පැරිස් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වී ආචාර්ය උපාධි අධ්‍ය­යන කට­යුතු සාර්ථක ව නිමවා ලංකා­වට පැමිණ 1952 ලංකා විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­ය­නාං­ශයේ සහාය කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස වෘත්තීය ජීවි­තය ආරම්භ කළේ ය.

විශ්ව­වි­ද්‍යාල අචා­ර්ය­ව­ර­යකු ලෙස පූර්ණ­කා­ලීන වෘත්තීය කැප­වීම ආනන්ද කුල­සූ­රිය චරි­තයේ විශේෂ ලක්ෂ­ණ­යකි. තමන්ට නිය­මිත දේශන මනා පූර්ව සූදා­න­ම­කින් කිසිදු ඌන­තා­ව­කට ඉඩක් නොතබා පැවැ­ත්වී­මට හෙතෙම වග­බලා ගත්තේ ය.

වෘත්තීය ජීවි­තයේ කොට­සක් ලෙස ශාස්ත්‍රීය ලිපි සහ ග්‍රන්ථ සම්පා­ද­නයේ නිමග්න වූ එතු­මන් අතින් සම්පා­නය වූ ලේඛන සමු­ච්චය මේ වන විට අඩ සිය­ව­සක් ඉක්මවා ඇතත් ශාස්ත්‍රීය වටි­නා­ක­මින් තව­මත් ප්‍රභා­ස්වර ය.

මහා­චාර්ය ආනන්ද කුල­සූ­රිය භාෂා කිහි­ප­යක ම පරි­චය ලත් පඬි­ව­ර­යෙකි. එතුමා ශ්‍රී වාම­න­යන්ගේ කාව්‍යා­ලං­කාර සූත්‍ර වෘත්තිය දීර්ඝ හැඳි­න්වී­මක් සහි­තව සිංහ­ල­යට පරි­ව­ර්ත­නය කෙළේය. සංස්කෘත පාඨය දේව­නා­ගරී අකු­රෙන් මුද්‍රිත අතර සිංහල අකු­රෙන් ද අදාළ පාඨය දක්වා එහි භාවා­ර්ථය සිංහ­ල­යෙන් විස්තර කර තිබෙන මේ කෘතිය 1966 වර්ෂයේ ප්‍රකා­ශ­යට පත් විය. දුර්ලභ සංස්කෘත කාව්‍ය­යක් වූ මාතෘ­චේට කවි­යාගේ ශත­ප­ඤ්චා­ශත්ක නමැති කෘතිය මහා­චාර්ය කුල­සූ­රිය අතින් සම්බුදු උදන නමින් සිංහ­ල­යට පරි­ව­ර්ත­නය කෙරිණි. ලෞකික පක්ෂ­යට නැඹුරු වූ සංස්කෘත කාව්‍ය අතරේ විරල ගණයේ බෞද්ධ උදාන කාව්‍ය­යක් සිංහ­ල­යට පරි­ව­ර්ත­නය කිරී­මෙන් සිංහල පාඨ­ක­යාගේ සාහිත්‍ය අව­බෝ­ධයේ වප­ස­රිය පුළුල් කිරී­මට එතු­මන් කෙරෙහි පැවති අභි­ලා­ෂය පැහැ­දිලි වෙයි.

මේ කෘතිය ද පෙර කෘතිය සේ ම සංස්කෘත පෙළ නාගරී අකු­රෙන් ද නැවත සිංහල අකු­රෙන් ද දක්වා සිංහල පරි­ව­ර්ත­නය දක්වා තිබේ. 1999 වර්ෂයේ මේ කෘතිය පළ කෙරිණි.

සම්භාව්‍ය සිංහල සාහි­ත්‍යයේ සමා­ර­ම්භයේ පටන් කුරු­ණෑ­ගල ගම්පොළ රාජ­ධානි සමය තෙක් විකා­ශ­නය සිංහල සාහිත්‍ය ග්‍රන්ථා­ව­ලි­යට විෂය විය. සිංහල සාහි­ත්‍යය 1 කෘතිය 1961 වර්ෂයේ පළ වූ අතර එහි දෙවෙනි පිය­වර වූ සිංහල සාහි­ත්‍යය 2 කෘතිය පළ වූයේ 1963 වර්ෂයේ දී ය. ශාස්ත්‍ර ගවේ­ෂ­ණය ජීවන චර්යාව කර­ගත් එතු­මන් අතින් ඒ ග්‍රන්ථා­ව­ලියේ තුන් වන සහ හතර වන කොටස් පළ කිරී­මට දශක තුන­ක­ටත් වැඩි කාල­යක් ගත වන තුරු ප්‍රමාද වීමත් ගම්පොළ රාජ­ධානි සම­යෙන් පසු කාල සීමාව සම්පූර්ණ කිරී­මට නොහැකි වීමත් අප තුළ දන­වන්නේ විම­ති­යකි. භාෂාව, සාහි­ත්‍යය අළලා එතු­මන් අතින් සම්පා­දිත සිය­ය­කට අධික ශාස්ත්‍රීය ලිපි සම්භා­රය සංග්‍රහ කොට පළ කිරී­මට මෙතෙක් කල් ප්‍රමාද වීම සංවේ­ග­යට කරු­ණකි.මනා නිමා­ව­කින් ග්‍රන්ථ ගෞර­වය සුරැ­කෙන සේ ප්‍රකා­ශන කට­යුතු සිදු කරන ප්‍රකා­ශ­ක­යකු මාර්ග­යෙන් සංගෘ­හිත ලිපි මාලා ලෙස ඒ ලිපි පළ කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරීම එතු­ම­න්ගෙන් ශාස්ත්‍ර හදාළ විද්‍යා­ර්ථින් අතින් ඉටු විය යුතු ගුරු දක්ෂි­ණා­වකි.

විශ්ව­වි­ද්‍යා­ලයේ සේවය කරන කාලයේ දින­පතා උදෑ­සන පුස්ත­කා­ල­යට පිවිස ශාස්ත්‍රීය කර්ත­ව්‍ය­යක නිරත වීම ආනන්ද කුල­සූ­රිය මහා­චාර්ය තුමාගේ දින චර්වෙහි කැපී පෙනුණ ලක්ෂ­ණ­යකි.1991 වර්ෂයේ එක් සාලිස් වසක් සේවය සම්පූර්ණ කොට ඉසිඹු ලැබූ පසු ද දින­පතා පුස්ත­කා­ල­යට පැමිණ ශාස්ත්‍රීය කර්ත­ව්‍ය­යක නිරත වීම එතු­මන්ගේ පුරු­ද්දක් ව පැව­තිණ. එංග­ල­න්තයේ පාලි පොත් සමා­ගම මගින් ප්‍රකා­ශිත ජාතක මාලාව ඇතුළු බට­හිර සම්භා­ව­නීය උග­තුන් අතින් ජාතක කතා පිළි­බඳ සම්පා­දිත විශිෂ්ට ග්‍රන්ථා­ව­ලිය එවක එතු­මන් විසින් පරි­ශී­ලන කෙරුණු බව ජාතක කතා පිළි­බඳ මෙතෙක් කර තිබෙන පූර්ණ විම­ර්ශ­නය ඇතු­ලත් 1997 දී ප්‍රකා­ශ­යට පත් වූ සිංහල සාහිත්‍ය 4 නමැති කෘතිය පරි­ශී­ල­නය කරන විට පැහැ­දිලි වෙයි.

මහා­චාර්ය ආනන්ද කුල­සූ­රිය අතින් සිංහල සාහි­ත්‍ය­යට ඉටු වූ වැද­ගත් සේව­යක් වන්නේ පන්සිය පනස් ජාතක පොත එතු­මන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සංස්ක­ර­ණ­යට පත් වීම යි.සිංහල අංශයේ ආචා­ර්ය­ව­රුන් පිරි­ස­කගේ සහ­යෝ­ගය ලැබ විශ්ව­වි­ද්‍යා­ල­යීය ප්‍රධාන පුස­ත­කා­ලයේ කාම­ර­යක ලංකාවේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් සපයා ගත් පුස්කොළ පිට­පත් හතක් සහ මුද්‍රිත කෘති හත­රක් උප­යෝගි කොට ගෙන වසර ගණ­නා­වක් පාඨා­න්තර සන්ස­න්ද­න­යෙන් පසු ව ග්‍රන්ථ සංස්ක­රණ ක්‍රම­වේ­ව­යන්ට අනු­රූප ව සකස් කෙරුණු පෙළ 2004 වර්ෂයේ ජාතික පුස්ත­කාල සේවා මණ්ඩ­ලය මගින් ප්‍රකා­ශ­යට පත් කෙරිණ.කාණ්ඩ පහ­කින් ප්‍රකා­ශ­යට පත් වුණු ජාතක පොතේ පළමු කාණ්ඩ­යට ජාතක කතා පිළි­බඳ දීර්ඝ ප්‍රස්තා­ව­නා­වක් ඇතු­ලත් වූ අතර ජාතක පොත පිළි­බඳ මෙතෙක් කෙරුණු ප්‍රශස්ත ම විග්‍රය ලෙස එය හැඳි­න්විය හැකි ය.

Comments