පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක් කලෙක මෙරට සාහිත්‍ය කලා ප්රබෝධයේ කේන්ද්‍රස්ථානය වී පැවතිණි. නවසිය පනහ හැට දශකවල කාව්‍ය, නාට්‍ය, නවකතාව සහ සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් පේරාදෙණියෙන් ලැබුණේ ඉමහත් අනුබලයකි.එබඳු ක්ෂේත්‍ර හා සම්බන්ධ ආචාර්යවරුන් සමාජයේ ප්‍රචලිත වූ අතර පුරාක්ෂර විද්‍යාව, භාෂා අධ්‍යයනය සහ සම්භාව්‍ය සිංහල සාහිත්‍යය යන ක්ෂේත්රවල අග්‍රස්ථානයේ වැජඹුණු පඬිවරු කිහිප දෙනෙක් ම අප්රසිද්ධියේ නිහඬ ව සිය ශාස්ත්‍රීය මෙහෙවරේ නිමග්න ව සිටියහ. මහාචාර්ය ආනන්ද කුලසූරිය එසේ නිහඬ ශාස්ත්‍රීය මෙහෙවරක නිමග්න වූ විද්තුන් කිහිප දෙනා අතුරෙන් කෙනෙකි. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස එක් සාලිස් වසරක් ශාස්ත්‍ර ගවේෂණයේ නිමග්න වෙමින් ශාස්ත්‍ර ඥනය ප්‍රචලිත කිරීම සඳහා හෙතෙම කැප වී කටයුතු කළේ ය.සිසුන් අභිමුව තමන්ට නියමිත දේශන නියමිත පරිදිත් විධිමත් අයුරින් පැවැත්වීමටත් ඔහු සැදී පැහැදී සිටියේ ය. අදටත් එතුමන්ගේ පේරාදෙණිය දංගොල්ල නිවහනේ පුස්තකාලයේ අභ්‍යාස පොත් සමූහයක ලියා ඇති දේශන සටහන් හුදෙකලා වී තිබෙනු දැකිය හැකි ය.
1925 ජුනි මස 26 දින උපත ලද ආනන්ද සල්ගාදු කුලසූරිය මොරටුව වේල්ස් කුමාර විදුහලෙන් ද රජයේ ගුරු පුහුණු පාසලෙන් ද කොළඹ රාජකීය විදුහලෙන් ද ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ලැබී ය. පාසල් අධ්‍යාපනය ලබන අතරේ දී ම සිය පියාගේ මඟ පෙන්වීම නිසා කුමාරතුංග මුනිදාස පඬි ඇසුර ලැබීම එතුමන්ගේ ජීවිතයේ අනාගත හැඩගැස්ම කෙරේ තදින් බලපෑවේ ය. පාසල් අධ්‍යාපනය නිම කොට 1943 වර්ෂයේ දී ලංකා විශ්වවිද්‍යාලයට පිවිසි කුලසූරිය විද්‍යාර්ථියා ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණයේ දී ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ සමකාලීන සරසවි සගයන් අතර සිරි ගුනසිංහ, එඩ්වින් ආරියදාස, විනී විතාරණ ආදිහු වූහ.
උපාධි පාඨමාලාව සාර්ථක ව නිම කළ කුලසූරිය විද්‍යාර්ථියා සිංහල ශබ්ද කෝෂ කාර්යාලයේ සහාය සංස්කාරකවරයකු සහ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරකවරයකු ලෙස කෙටි කලක් සේවය කළේ ය.1949 වර්ෂයේ පැරිස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සාර්ථක ව නිමවා ලංකාවට පැමිණ 1952 ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සහාය කථිකාචාර්යවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය.
විශ්වවිද්‍යාල අචාර්යවරයකු ලෙස පූර්ණකාලීන වෘත්තීය කැපවීම ආනන්ද කුලසූරිය චරිතයේ විශේෂ ලක්ෂණයකි. තමන්ට නියමිත දේශන මනා පූර්ව සූදානමකින් කිසිදු ඌනතාවකට ඉඩක් නොතබා පැවැත්වීමට හෙතෙම වගබලා ගත්තේ ය.
වෘත්තීය ජීවිතයේ කොටසක් ලෙස ශාස්ත්‍රීය ලිපි සහ ග්‍රන්ථ සම්පාදනයේ නිමග්න වූ එතුමන් අතින් සම්පානය වූ ලේඛන සමුච්චය මේ වන විට අඩ සියවසක් ඉක්මවා ඇතත් ශාස්ත්‍රීය වටිනාකමින් තවමත් ප්‍රභාස්වර ය.
මහාචාර්ය ආනන්ද කුලසූරිය භාෂා කිහිපයක ම පරිචය ලත් පඬිවරයෙකි. එතුමා ශ්‍රී වාමනයන්ගේ කාව්‍යාලංකාර සූත්‍ර වෘත්තිය දීර්ඝ හැඳින්වීමක් සහිතව සිංහලයට පරිවර්තනය කෙළේය. සංස්කෘත පාඨය දේවනාගරී අකුරෙන් මුද්‍රිත අතර සිංහල අකුරෙන් ද අදාළ පාඨය දක්වා එහි භාවාර්ථය සිංහලයෙන් විස්තර කර තිබෙන මේ කෘතිය 1966 වර්ෂයේ ප්‍රකාශයට පත් විය. දුර්ලභ සංස්කෘත කාව්‍යයක් වූ මාතෘචේට කවියාගේ ශතපඤ්චාශත්ක නමැති කෘතිය මහාචාර්ය කුලසූරිය අතින් සම්බුදු උදන නමින් සිංහලයට පරිවර්තනය කෙරිණි. ලෞකික පක්ෂයට නැඹුරු වූ සංස්කෘත කාව්‍ය අතරේ විරල ගණයේ බෞද්ධ උදාන කාව්‍යයක් සිංහලයට පරිවර්තනය කිරීමෙන් සිංහල පාඨකයාගේ සාහිත්‍ය අවබෝධයේ වපසරිය පුළුල් කිරීමට එතුමන් කෙරෙහි පැවති අභිලාෂය පැහැදිලි වෙයි.
මේ කෘතිය ද පෙර කෘතිය සේ ම සංස්කෘත පෙළ නාගරී අකුරෙන් ද නැවත සිංහල අකුරෙන් ද දක්වා සිංහල පරිවර්තනය දක්වා තිබේ. 1999 වර්ෂයේ මේ කෘතිය පළ කෙරිණි.
සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ සමාරම්භයේ පටන් කුරුණෑගල ගම්පොළ රාජධානි සමය තෙක් විකාශනය සිංහල සාහිත්‍ය ග්රන්ථාවලියට විෂය විය. සිංහල සාහිත්‍යය 1 කෘතිය 1961 වර්ෂයේ පළ වූ අතර එහි දෙවෙනි පියවර වූ සිංහල සාහිත්‍යය 2 කෘතිය පළ වූයේ 1963 වර්ෂයේ දී ය. ශාස්ත්‍ර ගවේෂණය ජීවන චර්යාව කරගත් එතුමන් අතින් ඒ ග්‍රන්ථාවලියේ තුන් වන සහ හතර වන කොටස් පළ කිරීමට දශක තුනකටත් වැඩි කාලයක් ගත වන තුරු ප්‍රමාද වීමත් ගම්පොළ රාජධානි සමයෙන් පසු කාල සීමාව සම්පූර්ණ කිරීමට නොහැකි වීමත් අප තුළ දනවන්නේ විමතියකි. භාෂාව, සාහිත්‍යය අළලා එතුමන් අතින් සම්පාදිත සියයකට අධික ශාස්ත්‍රීය ලිපි සම්භාරය සංග්‍රහ කොට පළ කිරීමට මෙතෙක් කල් ප්‍රමාද වීම සංවේගයට කරුණකි.මනා නිමාවකින් ග්‍රන්ථ ගෞරවය සුරැකෙන සේ ප්‍රකාශන කටයුතු සිදු කරන ප්‍රකාශකයකු මාර්ගයෙන් සංගෘහිත ලිපි මාලා ලෙස ඒ ලිපි පළ කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම එතුමන්ගෙන් ශාස්ත්‍ර හදාළ විද්‍යාර්ථින් අතින් ඉටු විය යුතු ගුරු දක්ෂිණාවකි.
විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලයේ දිනපතා උදෑසන පුස්තකාලයට පිවිස ශාස්ත්‍රීය කර්තව්‍යයක නිරත වීම ආනන්ද කුලසූරිය මහාචාර්ය තුමාගේ දින චර්වෙහි කැපී පෙනුණ ලක්ෂණයකි.1991 වර්ෂයේ එක් සාලිස් වසක් සේවය සම්පූර්ණ කොට ඉසිඹු ලැබූ පසු ද දිනපතා පුස්තකාලයට පැමිණ ශාස්ත්‍රීය කර්තව්‍යයක නිරත වීම එතුමන්ගේ පුරුද්දක් ව පැවතිණ. එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් ප්‍රකාශිත ජාතක මාලාව ඇතුළු බටහිර සම්භාවනීය උගතුන් අතින් ජාතක කතා පිළිබඳ සම්පාදිත විශිෂ්ට ග්‍රන්ථාවලිය එවක එතුමන් විසින් පරිශීලන කෙරුණු බව ජාතක කතා පිළිබඳ මෙතෙක් කර තිබෙන පූර්ණ විමර්ශනය ඇතුලත් 1997 දී ප්‍රකාශයට පත් වූ සිංහල සාහිත්‍ය 4 නමැති කෘතිය පරිශීලනය කරන විට පැහැදිලි වෙයි.
මහාචාර්ය ආනන්ද කුලසූරිය අතින් සිංහල සාහිත්‍යයට ඉටු වූ වැදගත් සේවයක් වන්නේ පන්සිය පනස් ජාතක පොත එතුමන්ගේ ප්‍රධානත්වයෙන් සංස්කරණයට පත් වීම යි.සිංහල අංශයේ ආචාර්යවරුන් පිරිසකගේ සහයෝගය ලැබ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුසතකාලයේ කාමරයක ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සපයා ගත් පුස්කොළ පිටපත් හතක් සහ මුද්‍රිත කෘති හතරක් උපයෝගි කොට ගෙන වසර ගණනාවක් පාඨාන්තර සන්සන්දනයෙන් පසු ව ග්‍රන්ථ සංස්කරණ ක්රමවේවයන්ට අනුරූප ව සකස් කෙරුණු පෙළ 2004 වර්ෂයේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කෙරිණ.කාණ්ඩ පහකින් ප්‍රකාශයට පත් වුණු ජාතක පොතේ පළමු කාණ්ඩයට ජාතක කතා පිළිබඳ දීර්ඝ ප්රස්තාවනාවක් ඇතුලත් වූ අතර ජාතක පොත පිළිබඳ මෙතෙක් කෙරුණු ප්‍රශස්ත ම විග්‍රය ලෙස එය හැඳින්විය හැකි ය.