ලණු සහ යටි උගුල් | සිළුමිණ

ලණු සහ යටි උගුල්

එක් මහ මැතිවරණයකින් වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබා ඉහළින්ම ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයක් ඊළඟට පැවැත්වෙන මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබීම කනගාටුවට කරුණකි. බොහෝවිට යම් දේශපාලන පක්ෂයක් එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවන්නේ ඊට පෙර පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂය බලයට පත්කළ ජනතාවටම ආණ්ඩුවේ කෙරුවාව තිත්ත වීමෙනි.

ඉකුත් යහපාලන ආණ්ඩුවට මුහුණපෑමට සිදුවූයේ ද එවැනි ඛේදනීය ඉරණමකට බව නොරහසකි. දැන් මේ තත්ත්වය ලෝකයේ බොහෝ රටවල දකින්නට ලැබෙන පොදු ප්‍රවණතාවක් බවට පත්වී තිබේ. ප්‍රධාන වශයෙන්ම ඊට හේතුවී ඇත්තේ අදාළ ආණ්ඩුව ඊට පෙර පැවති මහ මැතිවරණයේ දී ජනතාවට දෙන ලද ඡන්ද පොරොන්දු අමු අමුවේ කඩ කිරීමය. නැතහොත් බලයට පත්වීමෙන් පසු හිතේ හැටියට මහජන මුදල් ගසා කමින් ජනතාවට කොකා පෙන්වීමය. ලොක්කන් එසේ කරනවිට එම ආණ්ඩුවේ සොක්කන් කරන්නේ ඊටත් වඩා දහබලුකම් ය. එහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ රටේ බහුතර ජනතාව "දෙඤ්ඤම් බැටේ....!" න්‍යායෙන් ඊළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුවට පිළිතුරු දීමය. ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට රෙදිත් නැතිව ගෙදර යාමට සිදුවීම එහි නියත ප්‍රතිඵලය වේ. ජනතාවගේ සදාදරණීය නායක නායිකාවන් ලෙස යෙහෙන් වැජඹීමට තරම් ජන ප්‍රසාදයකට හිමිකම් පෑ අපේ බොහෝ දේශපාලනඥයන්ට මෙවැනි ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදුවන්නේ කුමන හේතුවක් නිසාදැයි මඳක් විමසා බැලිය යුතුය.

අපට නම් පෙනෙන විදියට ඒ සඳහා මුල්වන හේතු සාධක එකක් දෙකක් නොව කීපයක්ම තිබේ. ඒ අතරින් ප්‍රධානම හේතුව වන්නේ ආණ්ඩුවේ නායක කාරකාදීන් අනුන්ගේ ලණු ගිලීමය. බොහෝවිට ඒවා දිරච්ච ලණු නොව අලි, ඇතුන් පවා බැඳ තැබිය හැකි තේඩාවන්ය. රටේ ප්‍රමුඛ පෙළේ ප්‍රධානීන්ට මෙවැනි ලණු ගෝනි පිටින් ගිල්ලවීමට තැත් කරන්නේ ඔවුන් වටා සිටින්නන් වීම ද විශේෂත්වයකි. බලය ලැබීමට පෙර අහලකවත් නොසිටි මෙවැනි පුද්ගලයන් බලවතුන් වෙත ආකර්ෂණයවීම සමාන කළ හැක්කේ පැණි හැළියට වහ වැටෙන ඇඹලයන්ටය. එහෙත් පැණි හැළියට ඇද වැටෙන ඇඹලයාට ශෝචනීය ඉරණමක් අත්වුවද මෙම ක්‍රියාවලියේ දී විනාශයට පත්වන්නේ ඇඹලයන් නොව පැණි හැළිය වීම විශේෂත්වයකි.

තමන් වටා සිටින ඇතැම් නිලධාරින් නිසා ඇතැම් දේශපාලන නායක කාරකාදීහු විනාශ මුඛයට පත්වෙති. ඒ සඳහා පූර්ව උදාහරණ ශ්‍රී ලංකාවෙන්ම කොතෙකුත් සොයාගත හැකිය. දිවංගත අග්‍රාමාත්‍යවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතා ද තමන් වටා සිටී නිලධාරින් නිසා අමාරුවේ වැටුණු එක් රාජ්‍ය නායකයෙකි. වරක් එතුමා තම ආණ්ඩුව මගින් දියත් කළ වගා සංග්‍රාමයේ ප්‍රගතිය පරික්ෂා කිරීම සදහා ගුවනින් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කළේය. එම ගුවන් සවාරියේදී පහළින් පෙනෙන සරුසාර ගෝවා වගාවේ සාර්ථකත්වය අග්‍රාමාත්‍යවරයාට අතේ පැළකර පෙන්වා දුන්නේ එතුමා සමඟ සිටී රාජ්‍ය නිලධාරින් පිරිසකි. "ඕ..... වෙල්ඩන් සනා ඩෙල්ඩන්......" යි කියමින් ප්‍රීතියෙන් ඉපිලන ඩඩ්ලි හාමු කරේ එල්ලා ගෙන සිටී තම සුපුරුදු කැමරාවෙන් චුක් ... චුක් ගා දිගට හරහට පින්තූර ගත්තේ සතුටින් ඉපිළ යමිනි.

අන්තිමේ දී 1970 පැවැති මහ මැතිවරණයෙන් එ.ජා.ප ආණ්ඩුව ආසන 16 දක්වා පල්ලම් බහිද්දි ඩඩ්ලි හාමු තම දැදිගම අසුන පවා බේරා ගත්තේ අනූ නමයෙනි.

එවර පැවැති මහ මැතිවරණයෙන් 2/3 ක ජයක් ලැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද තමන් සමඟ සිටී රතු සහෝදරවරුන් විසින් දෙන ලද ලණු ගිල තිබුණාය. එතුමිය 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් අවස්ථාවේ සමගි පෙරමුණු ආණ්ඩුවේ නිල කාලය වසර දෙකකින් දීර්ඝ කර ගත්තේ රතු සහෝදරවරුන් ඇතුළු උසස් නිලධාරින් කීප දෙනෙකු විසින් දෙන ලද උපදෙස් අනුවය.

1977 මහ මැතිවරණයෙන් 5/6 ක විශිෂ්ට ජයග්‍රහණයකට හිමිකම් කී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට ද එදා රාජ්‍ය සේවයට අරක් ගෙන සිටී මාෆියා නිලධාරින්ගෙන් ගැලවිය නොහැකි විය. තමන් හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරයට තමන්ම නම් කරගත් ජේ.ආර්.ඉතා සුළු හේතු සාධක මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහතුන් වතාවක්ම සංශෝධන ඉදිරිපත් කිරීමට සමත්වූවේය. එපමණක් ද නොව 1983 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඊළඟ මහ මැතිවරණය වෙනුවට ජනමත විචාරණය නැමැති අටමගලයක් පවත්වා ආණ්ඩුවේ නිල කාලය 1989 දක්වා දීර්ඝ කර ගන්නා ලද්දේත් ඔහු වටා සිටී ඇතැම් කේවට්ටයන්ගේ ලණු ගිලීමෙනි.

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටි සංවිධානයේ දෙවැනි පෙළ නායකයන් කීපදෙනෙකු කොළඹට ගෙන්වා තරු පහේ හෝටල්වල ඉදුම් හිටුම් සැපයීමත්, ඔවුන්ට රුපියල් කෝටි ගණනක මුදල් සහ අවි ආයුධ ලොරි පිටින් යැවීමත් ගැන කිවහැක්කේ ද එය කවුරුන් විසින් හෝ දෙන ලද ලණුවක් බවය. අන්තිමේ දී ප්‍රේමදාස ජනාධිපතිතුමාට සිදුවූයේ මරාගෙන මැරෙන කොටි බෝම්බයකට ගොදුරු වී ආමර්වීදියේ දී අනපේක්ෂිත ලෙස මරණය වැලඳ ගැනීමටය. එතුමන්ගේ අභාවයත් සමඟ තාවකාලික කොන්ත්‍රාත්තුවක් වශයෙන් ජනාධිපතිධූරයට කරගැසූ ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා තමන්ගේම සගයන්ව හැරල්ඩ් සහ විල්සන්ගේ පදයට නැටූ බව ප්‍රකට කරුණකි. ඔවුන් දෙපළ විසින් දෙන ලද ලණුවක් ගිල දැමූ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා 1995 පැවැත්විය යුතු මහ මැතිවරණය තම පෞද්ගලික අභිමතය පරිදි 1994 වසරේ පවත්වා එ.ජා.ප.ය මහ පාරට පාරේ ඇද දැම්මේය.

ඉන් අනතුරුව බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට ද තමන් වටා සිටී ඊනියා හිතවතුන් විසින් දෙන ලද ලණු වලින් ගැළවී සිටීමට නොහැකි විය. රටට පිළිලයක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දහ අතේ පොරොන්දු වී බලයට පත්වූ එතුමිය එ.ජා.ප.යේ ද එකගත්වය මත විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ලැබුණු එකම අවස්ථාව අවසන් මොහොතේ නැතිකර ගත්තාය. එසේ වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි විය යුත්තේ තමන්ගේ නිල කාලය අවසන් වීමෙන් පසුව යැයි අවසන් මොහොතේ කොන්දේසියක් දැමීමෙනි. එතුමියට එම ලණුව දී තිබෙන්නේ එකල එතුමිය ළගින්ම සිටී ඊනියා හිතවතෙකු විසිනි.

බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා හැම දෙයක්ම අනාගෙන රටම අවුල් කර ගත්තේය. ඇතැම්විට එසේ වන්නට ඇත්තේ ඔහු වටා සිටි කේවට්ටයන් විසින් දුන් දිරච්ච ලණු කිසිම වග විභාගයක් නොමැතිව ගිල දැමූ නිසා විය හැකිය. අන්තිමේ දී එතුමාට සිදුවූයේ වටයක් කැරකී තමන් මුලින් සිටි තැනටම ආපසු පැමිණි මස් කටුවක් ලැබෙන තුරු බලා සිටීමටය.

අප ඉහතින් සඳහන් කළේ මෙරට රාජ්‍ය නායකයන් කෙරෙහි ආකර්ෂණය වන විවිධ පුද්ගලයන් සහ ඔවුන්ගේ කියුම් බස් ඇසීමෙන් සිදුවී ඇති හානිදායක තත්ත්වය ගැනය. පුරාණයේ සිටි බලවත් රජවරුන් පවා එවැනි සිදුවීම් වලට මුහුණපා තිබෙන බවට මහා වංශය වැනි වංශ කථා සාහිත්‍යයෙන් කොතෙකුත් උදාහරණ සපයාගත හැකිය. එහෙයින් නොයෙකුත් මියුරු බස් තෙපළමින් රාජ්‍ය නායකයන්ට ආ වැඩීමට එන විවිධාකාර පුද්ගලයන් ගැන වත්මන් රාජ්‍ය නායක කාරකාදීන් පවා සැලකිලිමත් විය යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ එවැන්නන්ගේ යටි අරමුණු සාර්ථක වී ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පළුදුවී යාමය.

Comments