
මේ වසරේ පැවැති සම්මාන උලෙළ හි දී සම්මානිත වූ නිර්මාණකරුවෝ මෙසේ පවසති.
කවිය යනු තමා ලද දැනුමේ ප්‍රකාශනයක් ම නොවෙයි
- නන්දන වීරසිංහ
හොඳම කාව්‍ය සංග්‍රහය ‘ක්ෂණනියාම’ (රාජ්‍ය සාහිත්‍ය සම්මානය හා ගොඩගේ සාහිත්‍ය සම්මානය)
මූලික වශයෙන් මේ රටේ සාහිත්‍ය සම්මාන උලෙළ හතරක් පැවැත් වෙනවා. කාව්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී හොඳ ඇගයීමක් කරමින් සම්මාන ලබාදීම ඉතාම වැදගත්.
හැබැයි මේ ඇගයීම පෙර අපර දෙදිග කාව්‍ය ශාස්ත්‍රය වගේම කාව්‍ය විචාර න්‍යාය පිළිබඳ ව අවබෝධයක් රසඥතාවක් ඇති පුද්ගලයන් අතින් සිද්ධ වෙන්න ඕන. ඒ වගේම ඔවුන් ඒ පිළිබඳ ව අධ්‍යයනයක් සහ බහුශ්‍රැත භාවයක් තිබෙන පුද්ගල කණ්ඩායමක් වෙන්න ඕන.
එහෙම නොවුණොත් වෙන්නේ කාව්‍ය කියන සාහිත්‍යාංගමය අවප්‍රමාණ වීමයි. මොකද අද ඕනම කෙනෙක් වචන ටිකක් කඩ කඩ ලිව්වාම ඒක කවියක් වෙනවා. හරියට මුහුණු පොතේ කවි වගේ. ඒ නිසා කිසියම් විදියක අව රසික නැඹුරුවකුත් මේ පිළිබඳව පෙනෙන්න තිබෙනවා.
කාව්‍ය පිළිබඳ නිර්ණායක සකස් වුණේ අවුරුදු සිය දහස් ගණනකට කලින් බව පෙර අපර දෙදිග සාහිත්‍ය ඉතිහාසය විමර්ශනය කිරීමෙදී අපට පේනවා. පෙරදිග භරතමුණි හා අපරදිග ඇරිස්ටෝටල් ගේ සිට වර්තමානය දක්වා ගවේෂණය කර බැලුවොත් අපට ඒ පිළිබදව වැටහීමක් ඇති කර ගන්න පුළුවන්. පෙරදිග වුවත් අපරදිග වුවත් කාව්‍ය කෙසේ විය යුතුද යන්න පිළිබඳ ව මේ අයගේ අදහස්වල කිසියම් සාම්‍යක් අපට දකින්න පුළුවන්. කාව්‍යය හුදෙක් ගද්‍ය නෙවෙයි. වචන ආශ්‍රය කරගත්ත ද වචන ඉක්ම වීම සඳහා කවියා කටයුතු කරනවා. ඒ නිසා කෙනෙක් කවියට නිර්ණායක සපයන්න බෑ කියල කියනව නම් ඒක තනිකරම මුසාවක්.
මොකද ඒවා වසර ගණනාවක් තිස්සේ විකාශනය වී ඇවිත් ඊට කිසියම් ආකෘතියක් හැඩයක්, රටාවක් නිර්මාණය වී තිබෙනවා. කාව්‍ය අනුභූතිය ගොඩ නැඟීමේදී කවිය යනු හුදෙක් තමා ලද දැනුමේ ප්‍රකාශනය නෙමෙයි.
කවියෙන් බැහැරවෙලා වෙන වෙන අඩයාලම් එල්ලන්න ගියොත් ඒක කවියක් වෙන්නේ නැහැ. කවියෙන් කියැවෙන්න ඕන කවියමයි. අත්දැකීම වචනයට නැංවීමම නෙමෙයි කවිය කියල කියන්නේ.
සංවේදනාව මූලික කොටගත්තද ඒ සංවේදනාව ඉක්මවන යමක් ඇත්නම් එය කවියයි. කවිය හුදු සංවේදනාව හෝ අත්දැකීම එහා ගිය එකක් වෙන්න ඕන. ඒ අනුව බැලුවාම අප වහල්කොට ගන්නා අත්දැකීමට නව ජීවිතයක් කවියා විසින් අත් කර දියයුතුයි.එහෙම වුණොත් පමණයි එය මුළු මහත් මානව සමාජයටම ආමන්ත්‍රණය කළ හැකි නිර්මාණයක් වන්නේ.
ඒත්් අපි දැක්කා පහුගිය කාලේ සාහිත්‍ය සම්මාන උලෙළවලදී කාව්‍යමය ගුණය ගිලිහුණු නැතිනම් කාව්‍යමය ලක්ෂණ අවම කවි පොත්වලට සම්මාන හිමි වෙන්න පටන්ගත්තා. ඒ නිසා කාව්‍ය පිළිබඳව මීට වඩා ගෞරව පූර්වක ආකල්පයක් සහ වගකීමක් සහිතව කටයුතු කරන කවි පරපුරක් සහ කාව්‍ය විචාරක පරපුරක් වගේම ඒවා විනිශ්චය සඳහා පත් කළ විද්වත් පිරිසකුත් අද අපට අවශයයි. එහෙම වුණාම ඒ සම්මාන ලබන පුද්ගලයාට වගේම සම්මානයටත් ගරුත්වයක් හිමි වෙනවා.
සම්මාන ලැබුණත් එකයි; නොලැබුණත් එකයි
- සුන්දර නිහතමානි ද මැල්
හොඳම තීරු ලිපි සංග්‍රහය ‘මානිගේ තීරුව’ (ගොඩගේ සාහිත්‍ය සම්මානය හා විද්‍යෝදය සාහිත්‍ය සම්මානය)
2001 වසරේදී පමණ ලංකාවේ මුලින්ම තීරු ලිපිවලට සම්මාන දෙන්න පටන් ගත්තේ කර්තෘ සංසදයෙන්. පත්තර කර්තෘවරයෙක් වෙලා සිටි නිසා මා කෙදිනකවත් ඊට ඉල්ලුම් කළේ නැහැ. මට මතක විදියට 2004 අවුරුද්දෙදි විතර තමයි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ ආරම්භ වන්නේ. මේ සත් කාර්ය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කළාට පස්සේ තමයි ගොඩගේ සම්මාන උත්සවය පවා ආරම්භ වුණේ. අප එය අගේ කර පත්තරවල පවා ලිපි පළ කළා.
බොහෝදෙනා අඩු කුලේ පිරිසක් විදියට තමයි පත්තරකාරයන්ගේ නිර්මාණ සලකන්නේ. තීරු ලිපිවලට විතරක් නෙමෙයි පුවත්පත්වල පළවන වෙනත් ලිපි ලේඛනවලටත් සම්මාන හිමිවන්නේ නැහැ. එනිසා විදුදය හා ගොඩගේ සම්මානය උලෙළවලින් ඒ අය අගය කිරීමට පෙලඹීම ගැන සතුටක් තිබෙනවා.
මේ හැරුණු කොට වෙනත් සම්මාන උලෙළවල්වල පුවත්පත්වල පළවන කිසිදු ලේඛනයකට සම්මාන හිමිවන්නේ නැහැ. ඒ නිසා විශ්වවිද්‍යාලයකින් මේ විදියෙ ඇගයීමක් ලැබීම ගැන මා සතුටු වෙනවා.
මට සම්මාන ප්‍රදානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටියේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න. එයා කළ කතාවෙදි මා 2004දි ලක්බිමේ කර්තෘ වාක්‍යයකින් විදුදය සාහිත්‍ය සම්මාන උලෙළ ගැන ලියා තිබූ කොටසක් කියෙව්වා.
තවමත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පත්තරවල පළවන සාහිත්‍යමය ලිපි ලේඛනවලට හිමිවන්නේ නැහැ. ඔවුන් ඒවා සාහිත්‍ය කෘති විදියට පළ කළත් පිළිගන්නේ නැහැ. මේ වසරවන විට මානිගේ තීරුව ලියන්න පටන් අරන් වසර තිහක් ගතවී තිබෙනවා. වසර තිහකට පස්සේ එක සුමානෙම සම්මාන දෙකක් මට හිමි වුණා. මෙතෙක් සම්මාන නොලැබුණාට මට සෑහෙන කාලෙක ඉඳල පාඨක සම්මානය හිමිවී තිබුණා. ඒ නිසා සම්මාන ලැබුණත් එකයි නොලැබුණත් එකයි. නමුත් මේ විදියට අගේ කර සම්මාන ලැබීම ගැන සතුටුයි. පාඨකයනුත් මට කතා කර සුබපැතුවා. මා එතරම් ගණන් නොගත්තත් ඔවුන් එය අගේ කරන බව ඒකෙන් ම පේනවා.
ඉංග්‍රිසි මාධ්‍ය පාවිච්චි කරන වෙනත් රටවල අයත් ඒවා තමන්ගේ රටවල ප්‍රකාශනවල පළ කරනවා. අපේ රටේ වුණත් සන්ඩේ ඔබ්සෝවර්, ඩේලිනිව්ස් වගේ ඉංග්‍රීසි මාධ්‍ය පත්තරවල වෙනත් රටවල අයගේ තීරු ලිපි පළ වෙනවා. එහෙම බැලුවම සමහර තීරු ලිපි රචකයන්ගේ තීරු ලිපි පත්තර අටසීයක දාහක පළ වෙනවා.
ඒ නිසා තමයි එහෙම ධනවතුන් වෙන්න අවස්ථාව ලැබී තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ මෙය සාහිත්‍යාංගයක් ලෙස එතරම් පිළිගැනීමට ලක්නොවුණට ලෝකයේ වෙනත් රටවල එය ඉතාම ජනප්‍රිය සාහිත්‍යාංගයක්. අපේ රටේ ආධුනිකයොත් අද තීරු ලිපි ලියනවා. නමුත් ඒ රටවල කෙනෙක් තීරු ලිපියක් ලියන්නේ මාධ්‍යවේදියකුගේ ජනප්‍රියත්වය හා හැකියාව හොඳටම වර්ධනය වුණාට පස්සෙයි.
ඇගයීමට පාත්‍ර වීම සතුටක්
- රංජිත් මල්ලියාවඩු
සහෝදර මුහුණුවර (රජත පුස්තක සාහිත්‍ය සම්මානය)
සාහිත්‍ය සම්මාන ප්‍රදානය අද වන විට ආරම්භක කාලයට වඩා පුළුල් වී තිබෙනවා. ඒ වගේම ලොකු කුඩා විෂයානුගත සම්මාන උලෙළ කිහිපයක් තිබෙනවා. ඇත්තටම ලේඛකයෙක් සම්මහානයෙන් පුදනු ලැබීම නිසා ලොකු අභිප්‍රේරණයක් නිර්මාණ කරුවකුට ලැබෙනවා. නිර්මාණකරුවකුට පමණක් නෙමෙයි කුමන දෙයක් වෙනුවෙන් වුවත් කෙනෙකු ඇගයීමකට ලක්කරනව නම් ඒ කෙනා ඉන් සතුටු වෙනවා. ඒ වගේම ඉන් ඔහුට තව තවත් දේ කරන්න උත්තේජනයක් ලැබෙනවා. නමුත් මේ ඇගයීම් ක්‍රියාවලිය තුළ මෑතක් වන විට කිසියම් පොරබැදීම දකින්න ලැබෙනවා.
ඇගයීමට පාත්‍ර වුණාම එය විඳගැනීම සහ තමන්ට අහිමි වීම තුළ එය විඳගන්න බැරිවීම කියන කාරණය පිළිබඳව ප්‍රශ්න මතු වී තිබෙනවා. උදාහරණයක් විදියට කෙටි කතා කෘතියක් අරන් බැලුවොත් ඒ කෙටිකතාව විමර්ශන මණ්ඩල පහක් හමුවට ඉදිරිපත් කළොත් අපට ලැබෙන්නේ සමාන විනිශ්චයන් ම නෙමෙයි. ඔවුන්ගේ දෘෂ්ටින් පහක් වෙන්න පුළුවන්.
මොකද සාහිත්‍ය සඳහා නිශ්චිත මිනුම් දණ්ඩක් නැහැ. ඒ අය නියෝජනය කරන පැතිකඩ අනුව ඒ අයගේ දෘෂ්ටිය වෙනස් වෙලා හොඳ පොත මේකයි කියල තෝරගන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාවලියෙන් පිට ඉන්න මට ඒක සුදුසු නැහැ කියල දැනෙන්න පුළුවන්. නමුත් මේක සාහිත්‍ය කරුවො විදියට අපට විඳගන්න පුළුවන් විය යුතුයි.
අද රටේ හැම තැනකම සාහිත්‍ය උත්සය සැප්තැම්බරයට පමණක් සීමාවෙලා තියෙනවා. සාහිත්‍ය උත්සවය එලෙස සැප්තැම්බරයට පමණක් සීමා විය යුතු නැහැ කියන එකයි මගේ නම් පෞද්ගලික අදහස. මොකද අපට සංස්කෘතික කටයුතු දෙපාර්තමේනතුවක් තියෙනවා. අමාත්‍යංශයක් තියෙනවා. පළාත් අමාත්‍යංශ තිබෙනවා. පළාත් පාලන ආයතන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තිබෙනවා. අඩුම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් තුළ මාසෙකට එක සාහිත්‍ය උත්සවයක් හෝ ක්‍රියාත්මක වෙනවනම් ඒක ඉතාම ප්‍රශස්ත කාර්යයක්.
මගේ අත්දැකීම අනුව කතා කළොත් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම සංස්කෘතික නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම පළාත් පාලන ආයතන හැම එහෙකම ප්‍රජා සංවර්ධන නිලධාරියෙක් ඉන්නවා. එතකොට ඔවුන්ට තමයි මේ විෂය භාර වෙන්නේ. ඒ අය යොදාගෙන පාසල් පොකුරක් අරගෙන අඩුම තරමේ ප්‍රදේශයේ ලොකු කුඩා පාසල් හතරක් පහක් එකතු කරගෙන මාසයකට හෝ මාස දෙකකට එකක් සාහිත්‍ය උත්සව සංවිධානය කළ හැකියි.
ගැටලුව තියෙන්නේ ආර්ථික ගැටලුව විසඳා ගැනීම හා සම්පත් දායකයෙක් සොයා ගැනීමයි. ඒක ප්‍රාදේශීය වශයෙන් කරන්න ඒ තරම් අමාරු නැහැ. එක ප්‍රදේශයක සම්පත් දායකයෙක් හොයා ගැනීම ඒ තරම් දුෂ්කර නැහැ. හම්බන්තොට, අනුරාධපුර, පොලොන්නරුව වැනි ප්‍රදේශවල පවා ඇති තරම් සම්පත් දායකයන් ඉන්නවා. මහා මුදලක් නොගෙව්වට ඒ අය පසුබිම දන්න නිසා ඒ අය ලවා ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ විදියට මුළු අවුරුද්ද පුරාම මේ වැඩේ ක්‍රියාත්මක කරන්න පුළුවන්.
සම්මාන හිමිවිය යුත්තේ සම්මාන පෞරුෂයටයි
- මහින්ද කුමාර දළුපොත
‘අලි ඩෝලේ’ හොඳම යොවුන් නවකතාව (රජත පුස්තක හා ගොඩගේ සාහිත්‍ය සම්මානය)
අපේ රටේ ගත්තොත් දැනට පිළිගත හැකි මට්ටමේ ප්‍රධාන සම්මාන උලෙළවල් හතරයි තිබෙන්නේ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, රජත - ස්වර්ණ පුස්තක සම්මාන, ගොඩගේ සම්මාන, විදුදය සාහිත්‍ය සම්මානය. නමුත් මේ සම්මාන ලබාදීමේ දී මතුවන ගැටලුවක් තිබෙනවා.
මේ ගෙවී ගිය මෑත අවධිය අරන් බැලුවොත් බොහෝවිට සම්මානය හිමිවී තිබෙන්නේ සම්මාන හිමිවිය යුතු නිර්මාණ ගුණයෙන් පොහොසත් කෘතියට නෙමෙයි; පුද්ගල ප්‍රතිරූපයටයි. නමුත් සම්මාන හිමිවිය යුතු වන්නේ පුද්ගල ප්‍රතිරූපයකට නෙමෙයි. සාහිත්‍ය කෘතියේ අන්තර්ගතය තුළ තිබෙන ගුණාත්මක භාවයටයි. ඒ සාහිත්‍ය පෞරුෂයටයි සම්මාන හිමිවිය යුත්තේ. නමුත් අපි මෑතක සිට පුද්ගල ප්‍රතිරූපයට සම්මාන පිරිමෙන ප්‍රවණතාවක් දකිනවා. උදාහරණයකට ගිය අවුරුද්දේ ප්‍රකාශයට පත් ප්‍රභාත් ජයසිංහගේ ‘ස්වර්ණකාය’ හොඳම කෙටිකතාව ලෙස ගොඩගේ සාහිත්‍ය සම්මානත් විදුදය සාහිත්‍ය සම්මානයත් හිමිවෙනවා.
නමුත් මේක රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් බැහැර කරනවා. රජත පුස්තක සම්මානයෙනුත් බැහැර කරනවා. මේ කෘති කියවල රසවිඳින කොට තමයි අපට දැනෙන්නේ මේ කෘතිය සාහිත්‍ය සම්මාන දියයුතු මට්ටමකද තියනවද? නැද්ද? කියලා. එහෙම බලන කොට තමයි අපට දැනෙන්නේ සම්මානයෙන් බැහැර කළ කෘතිය කොච්චර ප්‍රබල ද කියල.
පහුගිය අවුරුදු කිහිපය තුළ ස්වර්ණ පුස්ථක සම්මාන ප්‍රදානය අධ්‍යනය කරල බැලුවොත් මේ කාරණය ඉතාම හොඳට අවබෝධ කරගන්න පුළුවන්.
අපට කිසියම් ප්‍රමිතගත විනිශ්චයක් ලැබෙන්නේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උත්සවයෙදි පමණයි. මෙහිදී සම්මාන ප්‍රධානය කලාට පස්සේ සම්ප්‍රදායක් විදියට ඒ ගෙවුණු අවුරුද්දේ කොපමණ සාහිත්‍ය කෘති ප්‍රමාණයක් පළ වුණාද; ඒ අතරින් මේ සාහිත්‍ය කෘති තෝරගත්තේ මොන පදනමකින්ද; මොනවිදියේ ඇගයීමකට ලක්කළේ කියල විනිශ්චය මණඩලයේ සාමාජිකයින් විසින් සටහනක් තබනවා. එය පොතක් ලෙස මුද්‍රණය කර සාහිත්‍ය උලළේදී නොමිලේ පිරිනමනවා. මේක රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී කවම දාවත් කරල නැහැ.
රාජ්‍ය සාහිත්‍ය උත්සවය ඇරුණම අනෙක් සාහිත්‍ය උලෙළවල් හැම එකක්ම පෞද්ගලික සාහිත්‍ය උලෙළවල් නමුත් රාජ්‍ය සාහිත්‍ය උත්සවය තමයි අපට වැඩියෙන්ම වගකිවයුතු වෙන්නේ. මොකද අපි ගෙවන බදු මුදල්වලින් තමයි ඒ අය නඩත්තු වෙන්නේ. ඒ නිසා ඒ ගැන කතා කරන්න අපට අයිතියක් තියෙනවා.
රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සිටින සාමාජිකයන්ට සමීක්ෂණය කරන සියලු දෙනාට මුදල් ලබා දෙනවා. ඒවා සභාපතිගෙ පෞද්ලික බූදලයෙන් ගෙවන සල්ලි නොවෙයි. ඒවා මේ රටේ මහජනතාවගේ මුදල්. ඒ නිසා අපට අයිතියක් තියෙනවා ඒ කෘති තෝරගත්ත විදිය දැනගන්න.