![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/12/13/pun-1-1.jpg?itok=ooslW-aO)
“කලාගාරවල කලාව හැටියට තිබුණ අධිපතිවාදී කලාවේ සහ-සම්බන්ධ ප්‍රතිපක්ෂය (binary opposition) හැටියට තිබුණු සැබෑ ග්‍රැෆිටි ලකුණ දියවෙලා කලාවේ බලය කලාගාරය තුළ දි ග්‍රැෆිටි කලාව අත්පත් කර ගන්නවා. එය කොතරම් බලසම්පන්න වුණා ද කියනවා නම් ආර්කිටෙක්චර් සංකල්ප සැරසීමේ බහුල තෝරා ගැනීම වුණේ මේ ග්‍රැෆිටි ආකාර කලා කෘති.”
ප්‍රවීණ සිතුවම් ශිල්පී සුජිත් රත්නායක
නගරාලංකරණ ව්‍යාපෘතියත් එක්ක ග්‍රැෆිටි කලාව ලංකාවේ වේගයෙන් පැතිර ගියේය. එනිසා ග්‍රැෆිටි කලාව හා ලංකාවේ එය භාවිත වූ අන්දම පිළිබඳ යම් සටහනක් තැබීමට අපි සිතුවෙමු.
පුවරු මත සිතුවම් කිරීම නැති නම් ග්‍රැෆිටි කලාවේ ආරම්භය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවයන්නකි. මානවයා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම තම අදහස් අන්‍යන්ට කියා පෑමට ගල් ගුහා හා ගල් පුවරු මත සටහන් තැබීමට පුරුදුව සිටියහ. එකල ඔවුන්ගේ මූලික පරමාර්ථය වූයේ කිසියම් සන්නිවේදන කාර්යයක් මේ තුළින් ඉෂ්ට සිද්ධ කරගැනීම ය. මිහිමත විකසිත වූ සියලු මානව ශිෂ්ටාචාරවල මෙකී ප්‍රාග් මානව සිතුවම් දක්නට ලැබේ. පෞඩ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන අප රටේ ද මෙවැනි සිතුවම් නො අඩුව දැකිය හැකි බව අපට ආඩම්බරයෙන් කිව හැකිය. උස්සාගල, ආඬියාගල, බිල්ලෑව, තන්තිරිමලේ, බුදුගල, රජගල, ගණේගම, කෝමාරිකා ගල්ගේ,ගොනාගොල්ල හා කඳුරු පොකුණ ආදී ස්ථානවල ඉතාම දියුණු ආකාරයේ ප්‍රාථමික ගුහා සිතුවම් අද වුව දක්නට හැකිය. මේ විදියට විවිධ ශිෂ්ටාචාර පසුකර පැමිණි මානවයා මේ ප්‍රාථමික සිතුවම් වර්ධනය කරමින් සිතුවම් කලාව, අක්ෂර කලාව (ලේඛන කලාව) දක්වා වර්ධනය කළේය. ඉන් ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගත් ඔවුන් අද මිහිමත දියුණුම සත්වයන් බවට පත්ව සිටිති.
මේ ආකාරයට සියවස් ගණනාවක් ඔස්සේ වර්ධනය වී ඉදිරියට ආ සිතුවම් කලාව පුනරුද යුගයෙන් පසුව නොයෙක් ශානර ඔස්සේ වර්ධනය විය. නූතනයේ මේ තාප්ප හෝ විවිධ පුවරු මත කරන සිතුවම් හඳුන්වන්නේ ‘ග්‍රැෆිටි’යන නමිනි. එය ප්‍රභවය වී ඇත්තේ ඉතාලියානු නාමකරණයකිනි. මෙය ‘ග්‍රැපීන්’ යන ග්‍රීක වචනයෙන් උපන්නකි. මෙහි අර්ථය ඇඳීම, ලිවීම හෝ සීරීම ය. බටහිරයන් විසින් “දැනුම බලය වේ” යන සිද්ධාන්තය ඔස්සේ ගොඩනඟනු ලබන දැනුම් ව්‍යාපෘතියට මේ කියැවීම් අයිති වුවද; මෙය මානව ක්‍රියාකාරීත්වයක් විදියට සලකන විට මෙ අපට අතිශයින් ම වැදගත් ය.
සීගිරි බිතුසිතුවම් මේ ශානරය ඔස්සේ විග්‍රාහ කළ හැකි අපට ඇති ඉතා වටිනා ග්‍රැෆටි නිර්මාණ සමූහයකි. මේ ආකාරයට වර්ධනය වෙමින් ආ සිතුවම් කලාව විහාර බිතුසිතුවම් දක්වා ශේෂ වූ බව කාහටත් නොරහසකි. ඇතැමුන් මේ ‘ග්‍රැෆිටි’ කලාවේ සම්භවය ඊජිප්තුවාසීන්ට එසේ එසේත් නැති නම් මිසර වාසීන්ට ලියාදීමට උත්සාහ කළ ද මෙතෙක් විග්‍රහා කළ කරුණු සලකා බලනවිට එය එක් මානව ශිෂ්ටාචාරයකට ලඝු කළ නොහැකිය. මෙය සෑම මානව ශිෂ්ටාචාරයක උරුමයකි. එනිසා මෙය සමස්ත මානව සංහතියේ ම ප්‍රකාශන මාධ්‍යයක් ලෙස වර්ධනය වූවක් ලෙස සැලකීම ඉතා ම වැදගත් ය.
අතීත තතු එසේ වුවද නූතනයේ මේ ‘ග්‍රැෆිටි’ කලාත්මක ප්‍රකාශනයක් මෙන්ම ඉතාම ප්‍රබල දේශපාලනමය ප්‍රකාශන මාධ්‍යයක් බවට ද පත්ව ඇත. අවසරයකින් තොරව මහජන දෘෂ්ටිය ලක්වන ස්ථාන තෝරාගෙන චිත්‍රණය කිරීම නූතනයේ ‘ග්‍රැෆිටි’වල දැකිය හැකි සුලබ ලක්ෂණයකි. ඉසින තීන්ත (ස්ප්‍රේ කෑන්), සලකුණු පෑන් (මාර්කින් පෙන්) අද මේ සඳහා බහුල ව භාවිත කරන ද්‍රව්‍ය බවට පත්ව තිබේ. ‘ග්‍රැෆිටි’වලත් විවිධ වර්ගයේ ප්‍රකාශන, සංඥා, සංඛේත හා විචිත්‍රවත් වෛයිවරණ මෝස්තර දැකිය යැකිය. මෙය ලොව පුරා වේගයෙන් වර්ධනය වන කලා ආකෘතියක් මෙන්ම අධිපතිවාදී කළා ආකෘතියක් බවට පත්ව තිබේ. මෙනිසා ‘ග්‍රැෆිටි’ මතභේදාත්මක විෂයයක් බවට ද පත්ව තිබේ.
අද ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ග්‍රැෆිටි නිර්මාණ සිදු කළ ද බොහෝ රටවල, අවසරයකින් තොරව පොදු හෝ පුද්ගලික ස්ථානවල ග්‍රැෆිටි ඇඳීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙය එ් දේපළ අයිතිකරුවන් සහ ප්‍රජා බලධාරීන් විසින් සලකනු ලබන්නේ අපහාස කිරීමක් හා විනාශකාරී ක්‍රියාවක් විදියට ය. කෙසේ වුව අද මෙය ලංකාවේ නගරාලංකරණ රැල්ලක් බවට පත්වී තිබේ.
1970 දශකයේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරයේ උමං මාර්ග පද්ධතියේ සිට එක්සත් ජනපදය හා යුරෝපය සහ අනෙකුත් ලෝක කලාප දක්වා ව්‍යාප්ත වූ කාර්මික රටවල ‘ග්‍රැෆිටි’ නාගරික ‘ගැටලුවක්’ ලෙස හඳුනා ගෙන තිබිණ. ඊට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ මේ ‘ග්‍රැෆිටි’ නිර්මාණ බොහොමයක් පාලකයන්ගේ ක්‍රියාවන්ට ප්‍රතිවිරුද්ධ අදස් දැක්වීමට බොහෝ සෙයින් යොදා ගැනීමයි. ඔවුන් ‘ග්‍රැෆිටි’ මඟින් වෙනත් දේශපාලන අදහසක් පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගත් අතර ඉන් මහජන පරිකල්පනයට විශාල බලපෑමක් සිදු කළේය. එනිසා මේවා ක්ෂණිකව අතුරුදහන් වන සිතුවම් බවට පත් විය. හොර රහසේ කිසියම් ස්ථානයක අඳින ග්‍රැෆිටි සිතුවමක් මහජනයා නෙත ගැටෙන්නේ බලධාරීන් එය නොදකින මොහොත දක්වා පමණි. ඇතැම් විට උදේ රාජකාරියට පිටත්ව යන විට දකින ග්‍රැෆිටි යළි පැමිණෙන විට දක්නට නොවුණි. ඒවා එතරම් ම ප්‍රබල දේශපාලන පණිවිඩයක් රැගත් සිත්තම් වශේෂයකි. මෙවැනි ග්‍රැෆිටි කලාකරුවන් බොහෝදෙනා ප්‍රධාන ධාරාවේ මාධ්‍යයට ප්‍රවේශයක් නොමැති ඉන් පිටමං කළ (ආන්තික කළ) කලාකරුවන් වීම ද විශේෂ ය.
මෙරට සිටින ප්‍රභාවත් සිතුවම් ශිල්පියකු වන සුජිත් රත්නායක මුහුණු පොතට එක්කර තිබූ සටහනකින් කොටසක් මම මෙහි අමුණමි.
“කලාගාර තුළ කලා කෘති හැටියට ග්‍රැෆිටි කලා ප්‍රවේශය ( approach ) පැමිණීමට පෙර එහි පෙර නිමිති ජනිත කරනු ලැබූයේ ශාස්ත්‍රාලයීය චිත්‍රණ වින්‍යාසවලින් පරිබාහිර වූ දුර්වලාකාර චිත්‍රණය ඇති චිත්‍රවලින්. එනම් පර්යාවලෝකන සිද්ධාන්ත, එළිය-අඳුර-සෙවණ, නියම පැහැය ආදී පැහැ අන්තරයන්, කාය ව්‍යවච්ඡේදය, සංරචන සිද්ධාන්ත ආදියෙන් වියුක්තව ඇඳීම හා පින්තාරු කිරීම දුර්වල වූ දුර්වලාකාර සෞන්දර්යයකින්. මේ දුර්වලාකාරකම සෞන්දර්යයක් හැටියට ජෝර්ජ් ග්‍රෝෂ් ආදී ශාස්ත්‍රාලයීය කලාවේ නියෙළුණ වුන් භාවිත කරත් වචනයේ පරිසමාප්ත ආකාරයෙන් දුර්වලාකාරකම සෞන්දර්යයක් කර වූයේ Karel Apple, Arthur Boyd, Francesco Clemente, Jean Dubuffect, Philip Huston යන අයයි. එම දුර්වලාකාර සෞන්දර්ය ග්‍රැෆිටිකරණ ආකෘතියකින් චිත්‍ර කලා ඉතිහාසය තුළ සෞන්දර්යයක් බවට නැවත පත් කළේ Jean – Michel Basque, Cy Twombly, Raoul Haunsmann යන අය යි. Haunsmann කියන්නේ ෆොටෝ මොන්ටාජ් මගින් ග්‍රැෆිටි විලාසය සෞන්දර්යකරණය කළ අයෙක්. මෙන්න මේ කලාකරුවන්ගෙන් පස්සෙ කලාගාරවල කලාව හැටියට තිබුණ අධිපතිවාදී කලාවේ සහ-සම්බන්ධ ප්‍රතිපක්ෂය (binary opposition) හැටියට තිබුණු සැබෑ ග්‍රැෆිටි ලකුණ දියවෙලා කලාවේ බලය කලාගාරය තුළ දි ග්‍රෑෆිටි කලාව අත්පත් කර ගන්නවා. එය කොතරම් බලසම්පන්න වුණා ද කියනවා නම් ආර්කිටෙක්චර් සංකල්ප සැරසීමේ බහුල තෝරා ගැනීම වුනේ මේ ග්‍රැෆිටි ආකාර කලා කෘති. ආර්කිටෙක්චර් තුළ පවතින ඉංජිනේරුමය හාස්කම නිවැසියන් හා එහි යන එන අයගේ විවේකී සැහැල්ලුව පිණිස උදාසීන කර දැමීමට ග්‍රෑෆිටි ආකාර කලාවට තියෙන්නේ පුදුමාකාර ශක්‍යතාවක්. ඒ වගේම ආර්කිටෙක්චර්වල තියෙන වර්ණ පටිපාටි එක්ක සංගත කරන්නත් ග්‍රැෆිටි ආකාර චිත්‍ර බහුල වශයෙන් යොදා ගන්නා ප්‍රවණතාවක් ද ඇති වුණා. මොකද සම්භාව්‍ය හෝ ව්‍යක්ත චිත්‍රණ මාදිලි චිත්‍ර කලාව ගැන දන්නා අයට ගෝචර වෙන තරමට වඩා ග්‍රැෆිටි ආකාර චිත්‍රවල වර්ණ සංකලනය නිරවුල් නිසා.”
වෙනත් රටවල ග්‍රැෆිටි ඒ ආකාරයේ දේශපාලනාත්මක ප්‍රකාශන මාධ්‍යයක් වුව ද ලංකාවේ එය වෙනස් මඟක් ගෙන තිබේ. එනම් නගරාලංකරණ සැරසිල්ලක් බවට ග්‍රැෆිටි කලාව පත්ව තිබේ. එහි හොඳ නොහොඳ පසෙක තබා මේ වෙනුවෙන් යෞවනයන් ඒකරාශී වීම ඉතාම ප්‍රසංසනීය ය. මන්දයත් සාමූහිකව වැඩ කිරීමේ අභ්‍යාසයක් මේ මඟින් ඔවුන්ට හිමිව තිබේ. එසේම මේ ලැබුණු ඉඩත් එක්ක තමන්ට අනන්‍ය තමන්ගේම ශෛලියකින් සිතුවම් අඳින්න බොහෝදෙනා පෙළඹී සිටීම සතුට දනවන කාරණයකි. ඔවුන්ගේ නිර්මාණ අදාළ ප්‍රදේශය නියෝජනය වන ආකාරයට හා ස්ථානයට උචිත ආකාරයට නිර්මාණය කර තිබීමත් ඉතා අනර්ඝ ය. නමුත් සමහරෙක් වෙනත් චිත්‍ර ශිල්පීන්ගේ සිතුම් කොපිකර ඇඳීමට හා ඒවා තමන්ගේ ස්වයං නිර්මාණ ලෙස හුවා දක්වමින් විවිධ මාධ්‍යවල මත ප්‍රකාශ කිරීමට යෑම නම් අශිලාචාර ය. මේ හේතුව නිසා කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ද පසුගිය දා උදාවිය.
මේ පිළිබඳව ප්‍රබල ලෙස හඬ නැඟූ නිර්මාණකරුවා වුයේ ප්‍රසන්න වීරක්කොඩි ය. මම ඔහුගෙන් මේ ගැන විමසා සිටියෙමි.
“ඇත්තටම මේක හොඳ වැඩක්. මං දැක්කා ඉතා හොඳ නිර්මාණශීලී අය මේ අතර ඉන්නවා. ඔවුන් තමන්ට අනන්‍යවූ ශෛලියකින් ඉතා හොඳ ප්‍රකාශන ඇඳ තිබුණා. සමහරු මගෙන් අහල අවසර අරන් මගේ නිර්මාණ මේ කාර්ය සඳහා යොදාගෙන තිබුණා. නමුත් කියන්න කණගාටුයි සමහරක් එහෙම කළේ නැහැ. ඒ පිළිබඳ ව මං ඔවුන්ගෙන් ප්‍රශ්න කළාම බොහොම තර්ජනාත්මක ස්වරූපයකින් තමයි ඊට පිළිතුරු දුන්නේ. ඇත්තටම මං ඇඳපු සිතුවම් බොහෝම කාලයක්; ශ්‍රමයක් කැප කරල; අධ්‍යයනය කරල ඇඳපු චිත්‍ර. ඒදේවල් විකෘති කරල ඇන්ඳාම මට වේදනාවක් තියෙනවා. මං මේක මතු කළාම ඔවුන් ප්‍රොජෙක්ටර් එකක් ආධාරයෙන් මගේ සිතුවම බිත්තියට අරගෙන ඒ උඩ අඳින ආකාරය ඡායාරූපගත කර සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කර තිබුණා. ඇත්තටම මේක නිර්මාණයක් නෙමෙයි කොපි කිරීමක්. කොපි කිරීමක් නිර්මාණයක් වෙන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි; ඔවුන් එය තමන්ගේ ස්වයං නිර්මාණ විදියටයි මාධ්‍ය හමුවලදී හඳුන්වා දෙන්නේ. ඒක නිර්මාණකරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මේකෙන් ඔවුන් කිසියම් පටු විදියේ ප්‍රසිද්ධියක් බලා පොරොත්තුවෙන බව පේනවා. ඒ නිසා මං වත්මන් රජයෙන් ඉල්ලන්නේ මේ පිළිබඳව කිසියම් නියාමනයක් කරන්න කියලයි.” ඔහු පවසන්නේ සත්‍යයකි. නැති නම් සැබෑ මැණික් වෙනුවට තිරිවාණ ගල් මැණික් වී සමාජය තුළ කැපී පෙනිය හැකිය. එය කලාකරුවට වගේ ම රටේ අනාගතයටත් හොඳ පුර්වාදර්ශයක් නොවේ. එනිසා මේ සඳහා නියාමනයක් පැවතීම අත්‍යවශ්‍ය ය.
රට පුරා ස්කූටර්වලින් ගමන් කරමින් සිතුවම් අඳින හරි අපූරු සිතුවම් සිල්පීන් පිරිසක් ද මේ අතර මට හමු විය. මේ අය හඳුන්වන්නේ ‘අලියා ආර්ට් විත් ස්කූටර්’ කියලා. ඔවුන් වෙනුවෙන් කතාවට එකතු වුණේ ඔවුන්ගේ කණ්ඩායමේ නායකයා ‘සමන්’ය. “ඇත්තට ම අපි ස්කූටර් යාළුවෝ සෙට් එකක්. අපි මේ කාර්යය සඳහා යොමු වුණේ ඉතාම ආසාවෙන්. නමුත් කාගෙවත් දේවල් කොපි නොකර අපට අවේණික විවිධ ශෛලීන් යොදාගෙන සිතුවම් අඳින්න අපි පරිස්සම් වුණා. අපි මුලින්ම ඇන්දේ පන්සල් තාප්පයක. එතනදි ඒ ස්ථානයට උචිත නිර්මාණයක් කරන්න අපි පරිස්සම් වුණා. ඒ විදියට තමයි නුවර පෙරහැර අඳින්න අපි යොමු වුණේ. මං හිතන්නේ මෙන්න මේ ඩිසිප්ලීන් එක හැමෝ තුළම තියෙන්න ඕන. අපට හිතුණ හිතුණ දේ අඳිනවට වඩා අපි අඳින්නේ කොතනද? අඳින දේ ඒ ප්‍රදේශයට ස්ථානයට කොයිතරම් ගැළපෙනව ද? කියන කාරණාවට අපි මුල් තැනක් දෙන්න ඕන. මේ වෙද්දි රට හැම තැනින්ම අපට ආරාධනා ගලා එනවා. විශේෂයෙන්ම දේශපාලනඥයන්ගෙන්. නමුත් අපි ඒවා ප්‍රතික්ෂේප කළා. මොකද ඒ අය ආරාධනා කරන්නේ තමන්ගේ පටු අරමුණු මුදුන්පත් කරගන්න. අපට ඒ අයගේ ඉත්තන් වෙලා කලාව පාවා දෙන්න බැහැ. අප මේ දේ කරන්නේ හොඳ අධ්‍යනයකින් සහ නිදහස් මනසකින්. මේ වෙද්දි නුවර ප්‍රධාන ස්ථානයක චිත්‍ර අඳින්න ‘අලියා ආර්ට් විත් ස්කූටර්’ කණ්ඩායමට ආරාධනාවක් ලැබිල තියෙනවා. එය අප කිසියම් තීම් එකකට කරන්නයි හිතාගෙන ඉන්නේ. මං අපේ රටේ ඉන්න ආර්ටිස්ට්ලගෙන් විවෘත ඉල්ලීමක් කරනවා. මේ වැඩේ එළියට වෙලා විවේචනය නොකර මේක ඇතුළට ඇවිත් තමන්ගේ වගකීම ඉටු කරන්න කියලා.”
වන විනාශය, න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම නිසා වායූගෝලයට වන බලපෑම, නාය යෑම්, නියඟය, පානීය ජල හිඟකම ආදී දෑ තවම කිසිදු චිත්‍ර ශිල්පියකුට මෙහිදී තේමාවක් බවට පත් නොවීම විමතිය දනවන්නකි. එසේම නුවර තාප්පවල බොහෝ දෙනා සිතුවම් ඇන්ද ද වායූ දූෂණයෙන් අංක එකට පත්ව ඇති නුවර නගරය කිසිවකුට මාතෘකාවක් වී නැති සේය. එනිසා සැබෑ ‘ග්‍රැෆිටි’ ලකුණු දියවෙලා ඇඳුණු ලංකාවේ ‘ග්‍රැෆිටි’ යම් ආකාරයකින් වෙනස් මඟක් ගත් නිර්මාණ විශේෂයක් විදියට මෙහිදී අපට සැලකිය හැකිය. එ නිසා ඔබත් මේ ලැබුණු අවකාශය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හෝ වෙනත් සින්තටික් දේ සඳහා යොදා නොගෙන එය ලංකේය සමාජයට වැඩ දායක අරමුණක් වෙනුවෙන් යොදවන්න.