
මීදුම් සළු එපිටින් ඇඳි
අතීතයක රන් සිතුවම්
නින්ද නොඑන රෑ මැදියම
සිහින වෙසින් යළි උපදියි
හඬා වැටෙන ඔය අසබඩ
එදා දැනුණ ළය උණුසුම
මෙදා සිහිනයෙන් සපැමිණ
මා නළලත ඔසු තවරයි
සදාහරිත තුරුලිය මත
විදා පියා ගී මුමුණන
විහඟුන් ගැයු සුපෙම් ගීත
දෙසවන් තුළ පිළිරැව් දෙයි
සිරීපාදෙ යන සමනල
රංචුවකට එකතු වෙලා
ඔබෙ අතගෙන ඉගිළෙන්නට
පැතූ පැතුම් යළි සිහිවෙයි
තෙරක් නොමැති පටු මංපෙත
මුණගැහිලා මතු දවසක
එදා නතර කළ තැන් සිට
කතා ගොතන්නට සිත් වෙයි
සීතල පාළුව තනිකම
වියරු ලෙසින් හද පාරන
ඔබ නැති දා මරු කතරක
රන් සිහිනය යළි උපදියි ...!
සුදත් ගාමිණී බණ්ඩාර
තේ කෝප්පය
පොත් අතර සරන සිත
නතර කර මොහොතකට
ආදරය මට පුදන
දෙවි දසුන ඔබ ය මට
එනතුරා පොත අතැර
ඔබ බලා සිටිනයුර
නිවී නිවී ජීවිතය
මා අසළ රැඳෙනයුර
නෙතට අවහිර නොකර
පසෙකට ව සිටිනයුර
පොතපතට අමතර ව
තවත් වැඩ තිබෙන බව
රහස් පණිවිඩ ලෙසින්
සෙමෙන් ඉඟි කරන ඔබ
උණුසුම් ව සිටින බව
සුවඳ දී කියද්දී
ඔබ නැතුව මොන පොත් ද ?
සුමින්ද කිත්සිරි ගුණරත්න
දියදම් මවත් අදහන්නට
බැරි සෙරක...
සිහිළැල් සොඳුරු නිදහස් අරණක පිපුණ
සැඩ සුළඟකට හසුවී ඈතට ඇදුණ
මලකට පිපුන වන පෙතට ම පෙම් බඳින
හැම මොහොතක් ම කවියක් මෙනි දුක හිතෙන
හසරැල්ලක් තරම් ජන කවියක් මෙලෙක
මතකෙට නගා ගන්නට මට බැරි සෙයක
කඳුළක සිහිල ගම්වැසියකුගේ ඇසක
මම නොදුටුවෙමි හිම වැස්සක දුරු රටක
තොටුපල අයිනේ උණ පඳුරේ මඩුලු බැඳ
ගඟ දිය සත්සරට මුසුකළ මියුරු නද
සුමිතුරු විහඟ කැළ මරණයේ අඳුර විද
ඉගිළී ගිහිං ඇති සමහර විටෙක අද
ගිංගඟ තනි අතින් ඔසවාගෙන හිටිය
උහුලනු බැරි ව වැසි දවසක අත හැරිය
සල්ගහ තාම මගෙ සිත උහුලන සැටිය
මටවත් ඇතැම් විට අදහාගනු බැරිය
පොඩි දරුවකුගේ මුහුණේ රැඳි මුදු මෙළෙක
රෑ යෙහෙළිය එවා සොරකම් කර බිඳෙක
තවරා තිබිණ සුපිපෙන මුදු වන මලෙක
දියදම් මවත් අදහන්නට බැරි සෙරක
බිහිසුණු කුණාටුවකින් ආ අකාලෙට
පැටවුන් අහිමි වන විට ඇස් පනාපිට
දිගු රෑ පුරා විහඟුන් නැගු විලාපෙට
තාමත් සිත සැලේ තනිවුණු වෙලාවට
ඵීමසා එතෙක් නොදුටු ව නැවුම් මං පෙත්
යන විට එ බිම අතහැර කවුරු කවුරුත්
මිටියාවතක තනියට ඉන්න වියපත්
මහ නුග රුක් ය සෙවණැලි වතළ වියපත්
ජගත් ගාමිණී මාවතගම
මල්
අගුලු ලා වසා සිටි
ජනෙල් පියන්පත්
මුදා හැරියෙමි
ප්රභාතයට
වයෝවෘද්ධ
කිරිඉද්ද කුණප
මුස්නයෙන් සෙමෙන්
පිරියමින්
සුසානයට රැගෙන යන අම්මා
හැකිලී බිඳී
විසිරී යන්න ආසන්න
කිරිඉද්ද කුණපයක් අතට
ආයාසයෙන් සිඹ බලයි
ගිලටිනය කර මලක් ගසකින්
පූජාසනය මත
ප්රාණය නිරුද්ධ වන තුරු සෙමෙන්
සිසිල් පැන් බිඳු ඉසිමින්
බණවා සිලෝ ප්රයෝචනා
හිමිදිරියෙ පිරිනිවන් පෑ
මලක සුවඳ මෙනෙහි කර ...!
කේ. ඩී. ප්රදීප් කුමාර
ඇළ
සයිබුනාන ගෙ
දුම්දාන සයිවර් කඩේ ළඟ
මඳක් නවතිමි
තෝසෙ උණු උණුවෙම ගන්නට
හැබැයි නානා ගන්නෙ කොහොම ද
කඩේ ඇතුළට එන්නෙ කොහොම ද
කවුද සූවස් ඇළක් කැපුවේ
උඹේ දොරකඩ
හැබැයි නානට වගේමයි මට
බැලූ බැල්මට පේන්නෙත් නැත
උඹේ දොරකඩ හරස් කරගෙන
පෙනී නො පෙනී කට පියාගෙන
ගලන හැටි මේ දිසි අදිසි ඇළ
උඹෙන් මා ඈත්කර
මගෙන් උඹ ඈත්කර
අපි දෙන්න ගෙම මැදින්
උඹට නො කියා
මට ද නො කියා
කවුද නානෝ හොරෙන් කැපුවේ
මේ කරුම ඇළ ?
උඹේ හසරැලි
මගේ හසරැලි
උදුරගෙන දියකඳේ පතුලට
පෙනී නො පෙනී ගලයි මේ ඇළ ...!
කුමාර හෙට්ටිආරච්චි
අනාදරී
නැවුම් කවියක් පුබුදු වන්නට
අලුත් හුස්මක් නොදී
තැවුල් කඳුළැල් කොපුල් තල මත
වියරු සිතුවම් අඳී
අදත් පෙර මෙන් රැවටි රැවටී
පුරුදු අවමන් විඳී
මාත් මගෙ පෑරෙන තුවාලෙත්
ඔහොම පෙළලා මදී ...!
නාරද විජේසූරිය
නුඹ
තිබිණි නම් ආදරේ ඉතුරු ව
හදවතේ කොතැනක හෝ රැඳී
දැනුණි නම් සෙනෙහසක සුවඳක්
හිතට ළං ළං වී බැඳී
ඒ නුඹයි නුඹ ම පමණයි
නුඹේ ආදරයයි
වියළි කතරක
තනි ව මියැදෙන
තුරු ලතාවක් සේ
මා තැවෙද්දී ලොවට සඟවා
බිඳීගිය විජිතේ
නුඹයි ආවේ මහා වරුසාවක් සේ
හිතක හිමි නැති පෙමක සුව තවරා
දරාගනු බැරි හැඟුම් සිත පුරවා
සිතට ළං වූ නුඹයි නුඹ පමණයි
ආදරේ මගෙ ජීවිතේ ...!
පාලිත කලුබෝවිල
උලෙළ
අවුරුදු නම් තිහක් ඇති
දශක නම් තුනක්
ඇය මට හමු වූ මුල්දිනය
අපි හිටියෙ මයිල ගහ යට
සිංහල පාඩම කියවමින්
ඇයි හිස හසුරුවයි ලතාවට
වමේ සිට දකුණට
දකුණේ සිට වමට
පෙළින් පෙළට
පොත් පිටුව මතට බට මයිලපත
ඉගිළ යයි මුවගින් පිඹින විට
සමනලයකු ලෙස
අතු පතරින් පතිත වන
හිරු කිරණින් දිදුලන
රෝස මලකට නො දෙවැනි ඒ මුහුණ
අත රැඳි වූල් ලේන්සුව
විසුරුවයි ජෙස්මින් සුවඳ දස අත
උපහාර උළෙලේ පෙළින් පෙළ
දකුණේ සිට වමට
වමේ සිට දකුණට
මේ සොයන්නේ ඇය ව
හිස් ව ඇත
ඇයට නම් කළ අසුන
ඇය පුදන්නට
මතකයෙන් මා සිතුවම් කළ
රෝසමල
මා අත ...!
චමින්ද ක්රිශාන්ත
නුඹේ රඟ
වත්සලා පොඩි නංගියේ
ගස්සලා නුඹ ගියත් සෙයිලම
ගැස්සුණා හදවත මගේ
පොත්මිටිය ළමැදට හොරා
බැහැර කර මංමුළා
තොරොම්බල් බැඳ තාල අල්ලන
රැලේ නුඹ රඟදෙන සොබා
තක්කිට තරිකිට රුඳගත රුඳගත
නොවෙයි නඟේ නුඹ රඟ දෙන්නේ
ගැස්සෙන පැද්දෙන ඉඟසුඟ ලැමහස
ලාබෙට ඇස්රතු කරවන්නේ
පාද තියන කොට වේගෙට වේගෙට
බස්රථයේ වේගෙට වැඩියෙන්
පුදුම වුණා ඇස් ඉස්සර උඹ තිව්
අඩි යන්තම් මතකෙට ගනිමින්
ගමේ පිපුණුමල් නෙළාන යනවා
ගමට වැදුණු සෙයිලම් වැසියෝ
එහේ පිපෙනමල් හරිම ගණන් ඇති
සරසන තරු මැද මහ සාලේ
උන් උන් තරු මැද සාද කෙළින් සඳ
සාරෙට ලෝකෙන් වහන් වෙලා
පන්පැදුරෙන් උඹ බිමට වැටුණු බව
දැනුණ ද කියපං පමා වෙලා
සාරෙට පිපිමල් සාරෙ උරා බී
උන් තව මල් ලෝකෙට තැනුවෝ
තාම පමා නෑ පාර හොයා ගෙන
ගමට වරෙන් ආයෙම දෙයියෝ ...!
ධම්මි අනුරපුර