‍උසාවියේදී මතක් වුණු පොත | සිළුමිණ

‍උසාවියේදී මතක් වුණු පොත

ලේඛනයේ රන්සුනු සොයා යන ඔබට මට අත්දැකීම් කෙතරම් වටින්නේ ද යන්නටත්; ඒ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කළ ඇසිල්ලේ ඒවායෙහි වන සමානාත්මතා කෙතරම් අපට මතක් වන්නේ ද යන්නත් දෙස් දෙන අපූරු සිදුවීමකට මට පසුගියදා මුහුණ පාන්නට සිදු විය.

අධිකරණ ශාලාවක පැය තුනක් පමණ මම ඉඳගෙන සිටියෙමි. ඒ කාලය පුරා අධිකරණ ශාලාවේ අනේකවිධ වැරදි හෝ වැරදි යැයි සැලකෙන දෑ වෙනුවෙන් පැමිණ සිටි බොහෝ චූදිතයන් මෙන්ම ආධාරකරුවන් ද දෙස මම නිරීක්ෂණශීලී ව බලන් හුන්නෙමි. මිනිස් මුහුණු මත කියැවෙන අනේකවිධ පණිවිඩ කියැවීමේ පුරුද්දක් හා කැමැත්තක් මට තිබේ. මා එය වර්ධනය කරගත් කලාවකි. ඒ බලා සිටි සියල්ල අතරේ මේ සිදුවන්නේ මා දන්නා කියන කාරණා නොවේදැයි සිතෙන්නට විණි. මනසට එක්වර විදුලි කෙටුවා සේ මතකයට ආවේ නවකතාවකි. නවකතාකරුවා කෙතරම් සූක්ෂ්ම හා විමර්ශනශීලී ද යන්න මම සැබැවින් අත්දකිමින් සිටියෙමි. ඒ අප මේ තාක් කල් පොතින් පමණක් දැන සිටි බොහෝ අත්දැකීම් උසාවි භූමියේ සජීවී ව අත්දකින්නට හැකි වූ නිසා ය. ශුර නවකතාකරුවා කොතරම් පරිස්සමින් හා විචක්ෂණශීලී ව ඒවා පෙළ ගැස්සුව ද යන්නට ඊට වඩා සාක්ෂි අවශ්‍ය නොවීය.

කතාව සුගතපාල ද සිල්වාගේ ‘හිට්ලර් එල්ලා මරයි’ නවකතාව ය. මෙය ස්වතන්ත්‍ර නවකතාවකි; එහෙත් පූර්ණ වශයෙන් ම පරිවර්තනයක් බඳු ය. පසුබිම් වන වටපිටාව, සිද්ධි මෙන්ම නම් ගම් ද ලංකාවට කිසිසේත්ම සබඳතාවක් නැත. සියල්ල සම්බන්ධ වන්නේ ජර්මනිය සමඟ ය. චරිත සියල්ල බටහිර රටවල වෙසෙන්නන්ගෙන් පමණක් සමන්විත ව ඇත්තේ ය. එකදු ශ්‍රී ලාංකික චරිතයක් හෝ නැත.

සමස්ත කතාව ම දිග හැරෙන්නේ ජර්මනියේ අධිකරණ ශාලාවක ඇසෙන නඩුවක සාක්ෂි හා සාක්ෂිකරුවන්ගෙන් නීතිඥයා අසන ප්‍රශ්නවල පෙළ ගැස්මක් ලෙසිනි. මෙවන් නවකතාවක් සිංහල නවකතා ක්ෂේත්‍රයේ තබා වෙනත් නවකතා ප්‍රභේදයක හෝ තිබේද යන්න සැක සහිත ය; එය එතරම්ම අපූර්ව නවකතාවකි.

නවකතාකරුවා පවසන පරිද්දෙන් ඔහු මේ නවකතාව රචනා කිරීමට පෙලඹී ඇත්තේ බුලොක් නමැති ඉංග්‍රීසි ඉතිහාසඥයාගේ යුද්ධය පිළිබඳ වූ කෘතියක් කියැවීමෙන් ඇති වූ උත්තේජනය නිසා ය. ඒ අනුභුතිය ඇසුරෙන් නවකතාව රචනා කිරීමේදී එක් ප්‍රධාන චරිතයක් ලෙසින් බුලොක් යොදා ගැනීමට ද නවකතාකරුවා උත්සුක වී ඇත. සිංහල නවකතා ක්ෂේත්‍රයේ මෙවැනි ආකෘතික අත්දැකීමක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය යැයි හැඟිමි.

මේ නවකතාව දේශපාලනික ප්‍රබේදයට ගැනෙන නවකතාවකි. නවකතාකරුවා ද නිර්මාණාත්මක සන්නිවේදකයකු වන දේශපාලන චරිතයකි. ලංකා සමසමාජ පක්ෂයට හා එහි වෘත්තීය සමිතිවලට හිතවත්කම් දැක් වූ වාමාංශිකයෙකි. මාක්ස්වාදී සමාජ විචාරයට අනුව යුද්ධය විනාශකාරී ය; පැසිස්ට්වාදය තිරශ්චීන ය. සිය නිර්මාණ ක්‍රියාවලියේදී මාක්ස්වාදී චින්තන ක්‍රමය ප්‍රකට කරන සුගතපාල ද සිල්වා ‘හිට්ලර් එල්ලා මරයි’ නවකතාව පුරාම නිර්මාණාත්මක ව මේ ආකල්පය විශද කරයි. ඉතිහාසකරුවන් විසින් සම්පාදිත ඇතැම් මූලික විනිශ්චයන් දෙස නවකතාකරුවා හෙළන්නේ ඊට වඩා පුළුල් දෘෂ්ටි‍යකිනි. ඒ නිසාම නවකතාකරුවා හිට්ලර් දකින්නේ සුවහසක් මානව සංවිධාන විරෝධියකුටත් වඩා කම්කරු අරගල විරෝධියකු ලෙසයි.

මා මේ ඔබට කියන්නට උත්සාහ කරන්නේ සුගතපාල ද සිල්වා නමැති නවකතාකරුවා කෙතරම් සමාජ කරුණු සවිස්තරාත්මක ව දකින්නට හා ලියන්නට සමත්කම් දැක්වූයේද යන්න ය. මේ සියලු ඔහු විඳි අත්දැකීම් අප ද අත්විඳ ඇතත් එවා සියුම් නිරීක්ෂණාත්මක ඇසින් අප විඳ නැත; අප කර ඇත්තේ ඒවා හුදු නාම, සංසිද්ධි ලෙස ඒ දෙස බලා සිටීම පමණි. මතකද මා කීවා අධිකරණ ශාලාව ඇතුළත මා මේ සියල්ල විඳි බව. ඒ දසුන් දකින වාරයක් පාසා මට මතක් වූයේ සුගතපාල ද සිල්වා ය.

අප පරිකල්පන ලෝකය ලෙස දකින්නේ සුන්දර මවාපෑම් පමණි. එදා ‘හිට්ලර් එල්ලා මරයි’ කියවද්දී ඔහු කරන ලද්දේ හුදු පරිකල්පනයක් පමණකැයි සිතා ජුගුප්සාවෙන් සිත පුරවාගත් මම ඒවා සියැසින් දකින විට මේ සියල්ල තත්‍ය ලෝකයේ සිදුවන ඒවා බවත්; අප ඒවා මඟහැර ජීවත්වන බවත් පමණක් වටහා ගත්තෙමි. ඒ සියුම් දෑ මඟ හැරීම නිසාම අපට සමාජීය කරුණු කොතෙක් අතපසු වී ඇද්ද යන්න ගැන පමණක් අද මම සිතීමි. කියවා බලන්න මේ ඡේදය; මම මේ ඡේදයේ සඳහන් සියල්ල අධිකරණ භූමියේදී අත්වින්ඳෙමි. ඒ නිසාම අත්දැකීමක වන තත්‍ය බවත් නිරීක්ෂණයේ වන උපයෝගීතාව ගැනත් ලේඛනයේ රන්සුනු සොයා යන මට සජීවීව සාක්ෂාත් විය.

“දත් හිඩැහි අතර අඩස්සි ගත වූ ආහාර කැබලි දඩයම් කරමින් ගමන් කළ අමනන්තවකුගේ නොසන්සුන් දිවක්, දිරුවන් දතක් වටා දැවටෙන්නට විය. මඳ වේලාවක් දිවට සතුටු වන්නට ඉඩ හළ මේ පුද්ගලයා ගිනිකූරු පතුරක් ගෙන දත් කුහරය ගවේශනය කරන්නේ දිව උරාගත් මිරහ ලොබින් අමන්දානන්දව දත උරන්නට වූයේය. කැහැටු පුඟුලෙක් කලිසම් සාක්කු මඩියේ අත හංගාගෙන බර බර කර කරාස් නදින් ඉකිලියේ පැතිරුණු පණු කැවිල්ල කසයි. මෝචනාස්වාදී බැල්මක් ඒ නෙත්වල වෙයි. සුළඟිලි කොනින් නාස් උමඟ කූරූ ගෑ අබම්බයෙක් හොටු රොඩ්ඩක් නියපොතු අගින් ගෙන ඇඟිලි තුඩුවලින් මිරිකාගෙන පදම් කරයි. කට වණ වූ පරාණකාරියක් දෑත් ඔසවා කිතුල් කොහු කෙස්ස කසන්නට වූවාය. කඩමාලු හැට්ටයෙන් නිරාවරණය වූ ඇගේ කිසිලි වලේ කැලෑ වූ ඝන රෝම, මැලියම් කා මල පැහැ ගෙනය. ඩහදියෙන් ගොදුරු වූ රෝම වගුරේ කුහිල කමැති කෙළ කොල්ලෙක් ගොරොද්දය අදින හුස්මකින් ආසානය කළේය. වළ ගොඩැලි මුහුණක නරාවළ දෑසක මිඳුණු උකු තබා දර කෝටු ඇඟිලි තුඩින් කඩන ස්ත්‍රියක් පැත්ත පළාතම පාළු කරන ඈනුමක් පිට කළා ය.

නවකතාකරුවා කොතරම් සුක්ෂ්ම නිරීක්ෂකයකු ද යන්න නැවත නැවතත් පසක් වූයේ මේ කියා ඇති සියල්ල ද තවත් දෑ ද මා සජීවි අත් වින්ද නිසා ය. ඒ නිසා මා මේ නැවත නැවතත් කියන්නේ ලේඛනයේ රන්සුනු සොයා ඔබට ඔබ අවට පරිසරයේ අත්දැකීම් නිරීක්ෂණය තරම් වටිනා තවත් යමක් නැති බව ය. ඔබ මේ මොහොතේ ජීවත්වන්නේ නම් ඔබට මේ අත්දැකීම් මඟ හැරෙන්නේ නැත. බුදු දහමේ මීට ලස්සන වදනක් භාවිත කරයි. ඒ සම්මා සතිය එහෙත් එළැඹි සිහිය කියා ය. සම්මා සතියේ සිට ඔබ එකතු කර ගන්නා රන්සුනු පරිකල්පනය නමැති සුන්දර දවටයේ රැඳවීම නිර්මාණකරණය නම් වන්නේ ය කියා නිරන්තරයෙන් මා කියන්නේ ඒ නිසා ය.

[email protected]

Comments