කෙහෙවලු හරඹය.....
ගෙදර විමලවතී
සවුදි ඉඳන් ගෙදර ඇවිත්
හරිසද්දෙට සින්දු දාල
මුළු වත්තට ඇහෙයි බජව් ගගගග
කිලුටු ඇඳුම් ඇඳපු එකී
ණයට කඩෙන් කාපු එකී
මුදලාලිගේ පවුල එක්ක
කෙහෙවලු ඇදගත්ත එකී
සවුදි ඉඳන් ආපු අලුත
තොරොම්බෝල විච්චූරණ
එල්ලාගෙන පද්ද පද්ද
මේකි පාරේ ගිය ලස්සන
ටික දොහොකට පෙර දවසක
පිං ළිඳ ළඟ රෙදි හෝදන
එහෙං මෙහෙං පඳුරු කතා
මේකි කියයි මට ඇහෙන්ට
මේකෙ ඉන්න පරට්ටියක්
මගේ මිනිහට දාල ඇමක්
ගේ අස්සේ නටල මගුල්
හිටපං මං ගහනවා පොල්
අනේ ඉතින් අපි නොදන්න
උඹෙ මිනිහගේ බෝසත්කම
වේළි වේළි උන්නු ඌට
බැලුව හැදුව එකයි වරද
විමලො උඹේ සුදු පිරුවට
වේලාසන කිලුටු ගැහුණ
දිග ඇරියොත් කියනවා මම
පත්තිනි අම්මගෙ විස්තර ...
උදිත නිලංග ගමගේ
සරණ පතා හිමි පාමුල
කල්ප හිම් නිවන පැන් තොටක් බඳු වුණේ
දැල් වූ බැතියෙන් වඳිමු පා කමල් සමිඳුණේ
කැල්ම සඳහම් දිලෙන උතුම් බුදු සාසනේ
කල්‍යාණ පහන් වැට දල්වන්න අද දිනේ...
මල් අතුළ මං පෙතක් නොවේ ගොර බිම් සසර
සිල් වඩා පින් පුරනු නොදැක සිව් අපා දොර
බැල්ම දෙවියන් ලැබී සුගතියට මං විවර
කල් නොයා ඇසේවා බුදු ගුණම දිවි මතුර
ගංගා කඩවැද්දුම
ඇත්තම කතාවක්
බලන් ඉන්නෙක මුළාවක්
සවන් දෙනු එක වතාවක්
රැයේ පොළොවට වැටුණු තරුවක්
කීවා මේ ලෙස කතාවක්
බලයි සඳ ටික වෙලාවක්
නොපෙන්වයි කිසි නියාවක්
නගියි අහසට අසයි ඇවිදින්
අපිත් හදමුද කතාවක්
අහස පිවිතුරු තලාවක්
සිසිල නෑ කිසි පමාවක්
සඳයි තරුවයි ළංවුණා තව
ඒක වෙනමම කතාවක්
අඳුරු රෑ දින වළාවක්
වසයි ඒ සඳ අමාවක්
දරාගනු බෑ හඬන හිතකට
ඒක තව දිග කතාවක්
නොදී එක’මෙක සිනාවක්
තවත් තරුවක නිමාවක්
සරා සඳ තව සුසුම් හෙළනව
ඒක ඇත්තම කතාවක්
ටිෂානි චන්ද්‍රසේකර
බිරියකගේ සිතුවිලි
සඳපහන උතුරා ගලා ගිය දවස
රෙබරෝසියා මල් අත වනයි නිරතුරුව
දෙඅත් පටලා යන ඈත පෙම්වතුන් තුළ
ඈ ද සිටියා විය යුතු ය
දෙදෙන සතරැස
එක් ඇසක් වුණු දින
පසක් වේය ඈට දිවියේ ගැඹුරු බව
පිසිය යුතුය බත මොළවා ලිප ගිනි
යා යුතුය කණිසමට වැඩමුරය වෙත
සැනසිය යුතුය සිඟිති දියණිය නිරතුරු
සටනක්ය දිවිය ජය ගත යුතු
මදිය විසි හතර පැය
ඈට සුසුමක්ව යදින්නට
සැබෑ නොවෙනා සිහිනයක් වූ
තරුණ විය
අශානි භාග්‍යා කරුණානායක
සේපාලිකා
සේපාලිකා නුඹ තාම
පිපෙන්නේ ඇයි රෑට
මටත් ආසයි ඔය නළලත
ඉඹින්නට සොඳුරු උදෑසනක...
මේදනී මැණික්කුඹුර
හරිත පෙම
බැඳුණි පරිසරය හා
ගහකොළට තුරුවැලට
මුසපත්ව පෙම් රසට
කළේ ප්‍රතිඋපකාර
ආකාසෙ ජල බින්දු
පතුරමින් වැහිවලා
සොඳුරු වට පිටාවට
හරිත පැහැ තුරුපත්ද
ළපලු මල් කැකුළු පෙති
හිනැහේවි ආදරෙන්
දුන්නොතින් ළතෙත්ගති
දේවි නලමුදු සුවඳ
පිරිනමයි ප්‍රාණය ද!
වනස්පති කඳුකරය
සුරකින්න සැරසිලා
මුල් නැමති අත්වලින්
ප්රාංශුව රැකබලා
හරිත වන දහන යට
මිහිතලය සුවවෙලා
නොකපන්න වෛරයෙන්
කඳුළින්ම අණ කළා!
සුළඟ පොද වැසි සමඟ
මිහිමඬල රකින්නේ
අරණ දුන් ආදරය
ළතෙත් ගතියට සොඳුරු
මනුසතට හිතන්නට
යමක් ඉතිරිව තබා
සරත් කුමාර වික්‍රමගේ
නමදිමු සිරිපා
පිනිකැට විසිරේ - කඳුවැටි අතෙර්
සීතල දියවැල් ගලාහැලේ
සිරිපා පියුමේ රොන්සුනු විසිරේ
සමනොළ සිරසින් රැස් විහිදේ...
ඇරඹේ සිරිපා වාරේ
සදහම් ගඟ යයි දෝරේ
බුදුහිමි තෙවරක් වැඩි මේ පින්බිම
සදහම් සිසිලෙන් නැහැවෙනවා...
කරුණාවයි කරුණාවයි කියමින්
සිරිපා පිදුමට සැරසෙනවා...
සිල් සුවඳයි මේ විහිදෙන්නේ
සාදු හඬයි මේ රැව්දෙන්නේ
සැම දන හදවත් සිසිලෙන් සනහා
සව් සත වෙත මෙත සෑදූ...
සමනොළ සිරසේ මුනි පා පද්මය
නමදිමු බැතියෙන් සාදු!...
කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි...
වික්‍රම සෙනවිරත්න
අහිමි හිමි සඳ කොහිද අද ඔබ
පොල්ගොල්ල ශාස්ත්රරවින්ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයයේ නිර්මාතෘ අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ පඤ්ඤාසාර නාහිමියන්ගේ 11 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.
අහිමි හිමි සඳ කොහිද අද ඔබ
සරණ සොය සොයා ගියේ ඔබමොබ
නතර වී කෙම් බිමක පින් ලැබ
ඇසි බණ පද සතුට උතුරන
දෙසූ හිමි සඳ කොහිද අද ඔබ
තල්පතේ ලිය ලියා පිළියම්
මල් වගේ දරුවෝ වෙදුන්
කළේ නොමිලව අමිල හදකින
දයාලූ හිමි සඳ කොහිද ඔබ
දැයෙහි දරුවන් සැපෙන් සනසා
ලැබූ ඥානය පිදුනි සහසා
පිනින් ලද සුව අමිස විහරණ
අතැර හිමි සඳ කොහිද අද ඔබ
ඔබ දැකුම් අත් දැකුම් කරමින
දහසකුත් අය සමඟ අගයන
එදෙස බලමින් නිවුන සිතකින
සිටියේ, හිමි සඳ කොහිද අද ඔබ
බොල් පොළව සරු කෙතක විසිතුරු
මල් වැවුණු තුරු වදුලු පියකරු
තිබේ අද ඔබෙ නමට ඔසුතුරු
නොදැක හිමි සඳ කොහිද අද ඔබ
හැදූ වැඩූ වෙදැදුරු දරු කැල
හදවතින් ඔබ ළඟයි හැම කල
ඔබේ ගුණ සිහි කරමු අපි හැම
කථිකාචාර්ය වෛද්‍ය පී.එස්. කුරුප්පු
ඔබ රාත්රියද ?
ජනෙල් කම්බි අතරින් කාමරයට පාවෙන
රැහැයි සඣායනා යටින්
හෙමින් කොඳුරන්න
මගෙ රහස් එකින් එක එළියට අදින
ඔබ රාත්රියද
වැහි බිංදු ඉහුනත්
ජනේලය වහන්නට බෑ
නිද්‍රාව බිඳගන්නෙ නැතිව
ඔන්න ඔහෙ මෙහෙමම ඉමු
වාහන එළියක් බිත්තිය දිගේ ඇවිදන් ඇවිත්
ඇඳට ගොඩ වුණා
හංගන්න ඕන නෑ රිදී කෙස් ගස් දෙක තුන
තට්ටම් වල ඇදුනු ඉරි වුනත් සිප ගන්න පුළුවන්
පාවෙලා යන්න ඕනමද ආපහු
නොපෙනෙන තරම් ඈතින් තියන
ඔබේ නවාතැනට
ඒත්
තවත් සිහිනයේ ඉන්නට තරම්
මගේ හිත හයිය නෑ
ඔබ අඳුර තියල ගියා ඇඳ උඩ
දැන් නිදාගන්නෙ කොහොමදරෑ
තරින්ද්‍ර ගලහේන