විචිත්‍රවත් ළමා කාලයක් අපට උරුම කර නික්ම ගිය සිත්තරා | සිළුමිණ

විචිත්‍රවත් ළමා කාලයක් අපට උරුම කර නික්ම ගිය සිත්තරා

අපේ පරම්පරාවේ ළමා කාලය අප්‍රමාණ සුන්දරත්වයෙන් පුරවාලූ අසීමිත මනුෂ්‍යයා නික්ම ගොස් ඇත. කලා භූෂණ එස්.ඒ දිසානායකයන්ට සමුදිය නොහැකිව තවමත් ඔහු මැවූ සිහින අතර ජීවත් වෙමින් හිඳිමි. ඔහු අප හැර යන්නේ 88 වැනි වියේදී ය.

දෘෂ්ටි පූර්ණ රසවතකුට ළමා මනස තුළ කෙතරම් මනරම් චින්තන උත්කර්ෂයක් නැංවිය හැකි ද යන්න පිළිබඳව ඔහු තරම් සාධකයක් නොවේ. ඒ පිළිබඳ ව නිවැරදිව ම කිව හැක්කේ දරුවන් උදෙසා ඔහු මැවූ මනරම් කතා අතර පැතිරී ගිය චමත්කාරය අත් විඳි අපට ය. කොස්සක් මත නැඟි ගුවනින් පැමිණෙන මායාකාර බටකොළ ආච්චී රැයේ දකින සිහිනයකින් බිය වද්දා ඇහැරවූ දින ගණන සිහි වන විට, බූ සහ බබා ඇතුළු පිරිවර සමග කෙළිදෙළෙන් ගෙවූ සිහින මතකයට නැගෙන විට යෝධයා සමඟ ළමයින්ගේ දූපතට ගිය ගමන මැවූ චිත්ත රූප වලින් උපන් ආනන්දය සිහිවන විට එස්.ඒ දිසානායක නැමැති දාර්ශනික චිත්‍රකතා කරුවා ගැන උපදින්නේ අනුපමේය ගෞරවයකි. රූපවාහිනියේ අතෝරක් නැති කාටුන් සංස්කෘතිය ළමා මනස ආක්‍රමණය නොකළ නිස්කාන්සුවක් සහිත ළමා අවධියක් ගෙවූ අවධියක අපේම චිත්ත රූප තනාගෙන අපේ ම ලෝකවල සැරිසරන්නට කියා දුන් මේ නුදුටු මිනිසා ගැන මැවී තිබුණේ බුලත් විටකින් සප්පායම් වී සුදෝ සුදු රැවුලක් සහිතව එළිපත්තේ හිඳගෙන සිනාමුසුව සිටිනා සීයා කෙනෙක් පිළිබඳ සිතුවමකි.

එස්.ඒ දිසානායකයන් චිත්‍රකතාකරණයට පිවිස තිබුණේ 60 දශකයේ මුල් භාගයේ දී ය. අනතුරුව හේ මිහිර පුවත්පතට චිත්‍ර කතා ඇන්දේ ය. වෘත්තීය ගුරුවරයෙක් වූ දිසානායකයන් පුවත්පත් චිත්‍රකතාකරණයට එක් කරන්නේ ජයගත යුතු ජීවිත අරගලය ය. හේ අඩ සියවසක කාලයක් දිවයිනේ විවිධ පුවත්පත් සහ සඟරාවලට චිත්‍ර කතා නිර්මාණය කළේය. ඔහු නිර්මාණය කළ චරිත අතරින් අප අතිශය ආශක්ත කරනු ලැබුවේ බූ, බබා, තුල්සි , මායාකාර බටකොළ ආච්චි, යෝධයා, පඬිතුමා, ඇතුළත් චරිත සමූහය ය.

දිසානායකයන් ඉපදුණේ අවිස්සාවේල්ල දෙහිපිටියේ ය. අවුරුදු හතක් වෙද්දි ඔහුගේ මව මිය ගියාය. පවුලේ හත් අට දෙනෙකු වූ දරුවන්ට බලා කියා ගන්නට පියා කුඩම්මා කෙනෙක් රැගෙන ආවේ ය. මේ අතර පියාගේ රැකියාව නැති වී තිබිණි. අවුරුදු පහළොව දාසය කාලයේ ඔහු පිටකොටුවේ කඩේක ගණන් ලීවේය. නැවත ඔහු පාසල් යන්නේ සිය පියාගේ රැකියාව ලැබුණු පසු ය. එවර රජයෙන් පැවැත්වූ තරග විභාගයකින් සමත්ව හේ ගුරුවරයෙක් වුණේ ය.

හේ තමන් අත්විඳි කටුක යථාර්ථයට ජීවන දර්ශයනයක් මුහු කර කාටුන් සිතුවමට නැඟුවේය. එය සිය ශිෂ්‍ය ප්‍රජාව වෙත මුදා හළේ ය. ජීවිතයෙන් පිරිසිඳ ගත් ඇත්ත චිත්‍ර කතාවක චරිතවලට පෙරළීමේ දී ඔහු දැක්වූ විදග්ධ බව වැටහෙන්නේ වැඩිහිටියන් ලෙස ඔහුගේ නිර්මාණ කියැවීමේ දී ය.

වටෙක හේ දරුවන් වෙනුවෙන් සදාචාර සම්පන්න ජීවිත පරමාර්ථ විවිර කළේය. තවත් වරෙක මනුෂ්‍යත්වයේ ප්‍රයාණයන් සම්බන්ධ කතා කීවේ ය. ඉතිහාසය නව අර්තකථනයකින් සිතුවමට නැගුවේය. අප පැටි අවධියේ මහත් වූ ප්‍රහර්ශයකින් කියැවූ එක් කතාවක මිනිසා හා අශ්ව හිස නැමැති කර්තෘ අඥත නිර්මාණය බිහි වූ ආකාරය ජනශ්‍රැති ඇසුරින් චිත්‍රකතාවක බහා ලූ ආකාරය තවමත් මතකයේ රැඳී තිබේ. එය බුද්ධදාස රජසමයේ ප්‍රකට කුෂ්ට රෝගියා පිළිබඳ කතාව හා බැඳුණකි.

මූර්ති ශිල්පියෙකු වූ එ් කුෂ්ට රෝගියා රජුට කෘතගුණ සැලකීමක් ලෙස එ් මූර්තිය නිර්මාණය කළ අයුරු හේ තර්කානුකූලව ඉදිරිපත් කර තිබුණේ ඉතිහාසය දෙස තාර්කිකව බලන්නට දරුවන්ට ඉඩ හසර සැලසීමෙනි. මෙවැනිම විවරණයක් හේ සීගිරි චිත්‍ර පිළිබඳව ද ඉදිරිපත් කළේය. මේ චිත්‍ර නිර්මාණය වන්නේ ප්‍රපාතයක් සහිත දුර්ගයකින් ගමන් කරන කාන්තාවන්ගේ තැති ගැන්ම නැති කිරීම සඳහා බව ඔහු සහේතුකව කීවේය.

එක් අවධියක මිහිර පත්තරේ පළවන යෝධයාගේ කතාව බලන්නට පත්තරකරුවා එන තුරු පැය ගණන් පාර දෙස බලා සිටි ළමා කාලයක් අපට තිබිණි. පත්තරේ අලෙවියට එස්. ඒ. දිසානායකයන්ගේ චිත්‍ර කොපමණ බලපාන්නට ඇතිදැයි අපට වැටහෙන්නේ පත්තරේක රස්සාවක් කරන්න පැමිණි පසු ය. එහෙත් ඔහු ගැන තතු දත් ලේක්හවුස් ජ්‍යෙෂ්ඨයන්ට අනුව ඔහු කවදාවත් ලේක්හවුසියේ පිළිගැනීමේ කවුන්ටරය පසුකර පුවත්පත් කාර්යාලයට පැමිණ නැත. ඔහු කර තිබුණේ තම නිර්මාණ කවුන්ටරයට බාර දී යෑම ය.

අත් ඔරලෝසුව සාක්කුවේ දමාගෙන පැමිණෙන ජාතික ඇඳුම ඇඳ සිටි මේ නිහඬ මනුෂ්‍යයා ගැන මිහිර මතක තවමත් ලේක්හවුසියේ නොමැකී තිබේ. අපේ ළමා විය පුබුදු කළ මෙවැනි දාර්ශනික නිර්මාණකරුවන් පිළිබඳ අපේ දරුවන්ට කියා දෙන්නට ඇත්තෙ පොත් පත්වලින් පමණි. ඔවුන් කවදාවත් අප අත්විඳි ප්‍රහර්ෂය අත් විඳින්නේ නැත.

එවැනි ආනන්දනීය අත්දැකීම් ලබා දීමට හැකි, ළමා මනස නිවැරදිව කියවා ගත් එස්.ඒ දිසානායක වැනි විචක්ෂණ නිර්මාණකරුවන් පහළ වන්නට තරම් දැන් මේ පොළොව සරු නැත. ඒ යථාර්ථය ගැන කල්පනා කරන විට උපදින්නේ මහා හිස් බවකි.

Comments