නිර්මාණයක් කරද්දී අපට අරමුණක් තිබීම අත්‍යවශ්‍යයි | Page 3 | සිළුමිණ

නිර්මාණයක් කරද්දී අපට අරමුණක් තිබීම අත්‍යවශ්‍යයි

අරුන්දතී රෝයි ගේ “ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්” කෘතිය “පා සටහන් නැති දෙවියෝ” නමින් ප්‍රවීණ පරිවර්තිකා මාලිනී ගෝවින්නගේ විසින් පරිවර්තනය කර තිබේ. ඒ කෘතිය සහ මෑතකදී ඇය පරිවර්තනය කළ “සිංහ චාරිකා” කෘතිය පිළිබඳ කළ සංවාදයකි.

අරුන්දතී රෝයිගේ “ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්” කෘතිය ඔබ පරිවර්තනය කර තිබෙනවා. ඒ ඔස්සේ අපි මේ සංවාදය අරඹමු...?

අරුන්දතී රෝයි ගෙ ‘ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්” කෘතිය මම පරිවර්තනය කළේ, “පා සටහන් නැති දෙවියෝ” කියලා. ඒ නමින්ම අරුත් ගැන්වෙන හැටියට ඒ ප්‍රධාන චරිතය කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියන එක ඉන් හැ‍ඟවෙනවා. ඉන්දියාවෙ කුලහීනයන්ගේ ප්‍රශ්නය, විවාහය දෙදරා ගියාට පසුව කාන්තාවට අත්වන ඉරණම, ධනය බෙදී යෑමේ විෂමතාව වගේ දේවල් රෝයි මේ කෘතියෙන් හරිම සියුම්ව අවධානයට ලක්කරනවා. මේ කතාව කියන්නෙ පොඩි ළමයින් දෙදෙනෙක් මඟින්. ඒ තමයි මේ කතාවෙ තියෙන සුන්දරත්වය. මේ මුල් කෘතියෙ තියෙන විශේෂත්වය තමයි, රෝයි ඉංගිරිසි භාෂාව තමන්ගෙ කර ගැනීම. අන්‍ය භාෂාවක් ඇය තමන්ගෙ කර ගන්නවා. මේ නිසා පරිවර්තකයකුට වුණත් එය පහසු කාර්යක් නෙවෙයි. කිහිප වතාවක් ම කියවලා හොඳින් ජීර්ණය වූවාට පසුව තමයි පරිවර්තනය කරන්න පුළුවන්. මේ පරිවර්තනය වුණේ එහෙම.

මේ කෘතිය මුල - මැද - අග ගළපා රස විඳීමට හැකි කෘතියකට වඩා වෙනස්. මොකක්ද මේ වෙනස?

ඔව්. මේක එවැනි කෘතියකට වඩා වෙනස්. කතාව පටන් ගන්නෙ ඇමෙරිකාවට ඉගෙන ගන්න ගිහින් හිටිය ර‍ෙහ්ල්ගෙ පැමිණීමත් එක්ක. ඇයගෙ නිවුන් සොහොයුරා එස්තා. මේ දෙදෙනාගෙ වෙනස විනාඩි ගණනක්. මේ පොතේ ප්‍රධාන චරිතය හා ප්‍රබලම චරිතය අම්මුගෙ පෙම්වතා. ‘පා සටහන් නැති දෙවියෝ’ කිව්වා ම අතීත සලකුණු නැති බවකුත් හැ‍ඟෙනවා. මේ දෙදෙනා සම්බන්ධයෙනුත් ඒක එහෙමයි. මේ චරිත බොහෝ අසාධාරණකම්, පීඩා විඳ දරා ගන්නවා. අම්මුගේ පියා හරිම වසයි. ඉන්දියාවෙ කාන්තාවන්ට එහෙමට ඉගෙනීමක් නැත්නම් විවාහය හැරුණාම වෙනත් හැරෙන්න අතක් නෑ. මේ පවුල ගත්තොත් අම්මුට තාත්තාවත්, අම්මාවත්, වෙන කවුරුවත් කසාදයක් සොයා දෙන්නෙත් නෑ. මේ විදිහට ඉන්න බෑ කියලා ඇය පිටවුණාට පසුවයි අනාගත පෙම්වතා ඇයට හමුවෙන්නෙ. ඔහු වතු පාලකයෙක්.

අරුන්දතීගේ කෘතියට ඉන්දීය සමාජයේ එතරම් පිළිගැනීමක් ලැබුණේ නෑ නේද?

ඔව්! මේ පොතට ලෝකයෙන් මොන තරම් ප්‍රශංසා ප්‍රතිචාර ලැබුණත් ඉන්දියාවෙන් එය අගය කෙරුණේ නෑ. ඒ ඉන්දියානු සමාජයේ ස්වභාවය. අනෙක් අතට මේ පොතෙන් කතා කරන්නේ ඉන්දීය සමාජයේ කාන්තාවන්ට ඇති පීඩනය, කුලභේදය, දරිද්‍රතාව වගේ කාරණා. ඇත්තටම මේ කාතිය ප්‍රේම වෘතාන්තයක් නොවෙයි. ළමයි දෙදෙනෙක් ලවා ඉන්දීය සමාජයේ ඇති අසාධාරණය, දුඛිත තත්ත්වය ඇය පිළිබිඹු කරනවා. අතිගාමී විදිහට ජාතිකත්වය, ආගම අදහන ඉන්දීය සමාජය ඇතුළෙ අරුන්දතී රෝයිට තැනක් නෑ. ඇයට පිළිගැනීම තියෙන්නෙ ඉන් පිටත.

රෝයිගෙ මේ කෘතිය මීට කලින් සිංහලට පරිවර්තනය වුණා. මේ නව පරිවර්තනය කරන්න කල්පනා කළේ ඇයි?

මේ කෘතියෙ අසංක්ෂිප්ත පරිවර්තනයක් කරන්න කියලා සමයවර්ධන ප්‍රකාශකයන් මගෙන් ඉල්ලීමක් කළා. මේ පරිවර්තනය එළිදැක්වෙන්නෙ ඒ නිසා.

පරිවර්තනය කිරීමේදී ඔබ ලබපු අත්දැකීම කෙබඳුද?

සංසන්දනාත්මකව බැලුවොත් මෙය අමාරු පරිවර්තනයක්. හැබැයි, මම ආසාවෙන් කළ පරිවර්තනයක්. ඒ ‍වගේමයි, අපි යම් දෙයක් කරද්දි අපට කුමක් හෝ අරමුණක් තිබිය යුතුයි. මම හිතන්නෙ මේ පොතෙන් හුඟාක් දුරට ඒ අරමුණ ඉෂ්ට වෙනවා. කෙනෙක් හුඟක් සාවධානව කියෙව්වොත් ඉන්දීය සමාජය අප සිතා සිටින එකම නොවේය කියලා දැනේවි.

අරුන්දතීගේ අලුත් ම කෘතිය “ද අට්මෝස්ට් හැපිනස්” හා මෙය, “ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්” අතර ඇයගේ නිර්මාණකරණයේ විකාශනය ඔබ කොහොමද දකින්නෙ?

අපි හැමෝම දේශපාලන සත්ත්වයො. නිර්මාණකරුවන් තුළ එය ටිකක් වැඩිපුරත් තියෙනවා. ඒක එහෙම වෙන්නත් ඕන. මොකද ඔවුන්ගේ නිර්මාණකරණයට අදාළව අරමුණකුත් තිබිය යුතුයි. මේ කාරණය මම අරුන්දතී රෝයිගෙන් මනාව දකිනවා. මේ කතාව කියන අම්මුගෙ ළමයි දෙදෙනා හරි බුද්ධිමත්. දෙන්නම හුඟක් කියවල තියෙනවා. ඉන්දියාවෙ හුඟක් ළමයින්ට වඩා මේ දෙන්නා බුද්ධිමත්. මේ ළමයින්ගේ මනස ‍ඒ ගෙදර ඉන්න අයගෙන් අම්මුට හැර අනෙක් කාටවත් කියවන්න බෑ. ඒ දෙදෙනාට ආදරය කළෙත් අම්මු විතරයි. ළමා ලෝකය විනාශ කරන්න එපා කියන පණිවිඩය මේ පොතේ කොහේවත් කෙලින් කියල නෑ. ඒ වුණාට පොත කියවද්දි ඒක හරියට දැනෙනවා.

දෙමවුප‍ියො දික්කසාද වුණාම ළමයි කොපමණ පීඩාවට පත්වනවාද ඒ දරුවන්ගෙ අනාගතය කොපමණ අඳුරු වෙනවාද කියල මෙයින් තේරුම් ගැනීමට පුළුවන්. මේ ළමයින් දෙදෙනා ඒ අසරණ බව අනාථ බව අත් විඳිනවා. ඔවුන්ට කාත් කවුරුවත් ම නෑ.

දෙමවුපියන්ගෙ මුත්තණුවන්ගේ, මිත්තණියගේ විරසක වීම් නිසා ළමයි කොපමණ පීඩාවට පත්වනවාද කියල හිතන්න ඕන. ලෝකය ගෙනියන්න ඉන්නෙ ළමයි. ඔවුන් වැඩිහිටියන් වූ පසු ඒ වගකීමට උර දෙනවා. එතෙක්, රැකබලා ගැනීමේ වගකීම අපට තියෙනවා. ඇය නිකම්ම “ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්” ලිව්වා නොවෙයි. ඉන්දීය සමාජය ගැන ඇයට යමක් කියන්න තිබුණා. එය එහි ප්‍රතිඵලය. ඒක හරියට ඉන්දීය සමාජය ගැන කරන චෝදනාවක් වගේ. ඉන්දීය සමාජය මෙය වසන් කරන්නෙත් ඒ නිසා. මොකද ඒය ඒතරම් ම සැබෑවක්.

‘ද අට්්මෝස්ට් හැපිනස්’ ගත්තොත්, එය දේශපාලන නවකතාවක්. ඒ වගේම එය ආදර කතාවක්. ආදර කතාවක් වුණත් එය කියන්නෙ හරිම රහසින් වගේ. එක්වරම එය ප්‍රකාශයට පත්වෙන්නෙ නෑ. මේ පොතේ කතා කරන්නෙ කිසිම සමාජයක අවධානය යොමු නොවන ජනකොට්ඨාසයක් ගැනයි. ඒකත් වැදගත් කාරණයක්. මේ පොතේ පිළිගැන්වීම මට වැදගත්. ඒ චරිතය සමාජ අසාධාරණයට දුප්පත්කමට එරෙහිව අරගල කරල හඬ නඟලා බැට කෑ චරිතයක්. රෝයි මේ කෘතිය පිළිගන්වන්නෙ ඔහුට.

 

“පා සටහන් නැති දෙවියෝ” කෘතියට පෙර මෑතදී ඔබ කළ අනෙක් පරිවර්තනය “සිංහ චාරිකා”. මෙය අතිශය සංවේදී මෙන් ම ධෛර්යය උපදවන සුළු වගේ ම මානුෂීය හැඟීම් මතුකරන බෙහෙවින් දැනෙන කෘතියක්. මේ කෘතිය ගැන ඔබේ කියැවීම කෙබඳුද?

මනුෂ්‍යයන් වශයෙන් මේ ලෝකයේ ජීවත් වෙනකොට විශේෂයෙන් ‘මවක් - පියෙක්’ හැටියට අපෙන් යුතුකම් ඉටුවෙන්න ඕන අපේ දරුවන්ට විතරයිද කියන ප්‍රශ්නය ඉතාමත් ප්‍රබලව මේ කෘතිය අසනවා. මවකගේ - පියකු‍ගේ ආදරය සීමා කරන්න බෑ. එතැනදි බොරු කරන්නත් බෑ. ඇත්තට ම මේ පෙරදිග සංකල්පය. අපරදිග සංකල්පය මීට වෙනස්. මේ පෙරදිග සංකල්පය හරිම ලස්සනට සනාථ කරන කෘතියක් හැටියටත් මෙය සලකන්න පුළුවන්.

මේ කෘතියෙ ප්‍රධාන චරිතය ‘සෙරූ’ ඔහුමයි කතාව කියන්නෙ. කෘතියෙදි ‘සරූ’ කියල යෙදුණට සැබෑ නම “සෙරූ”; ඔහු සැබෑ චරිතයක්. සෙරූ මුබ්ඩිඛාන්. මේ සෙරූගේ කතාව. හැබැයි මේක නවකතාවක්වත්, අපදානයක්වත් නෙවී. මේක “මතකාවර්ජනයක්. පුංචි කාලෙ අතරමං වුණු මේ දරුවගෙ මනසෙ අම්මගෙ, තාත්තගෙ, සහෝදර - සහෝදරියන්ගෙ රූප කෙටිල වගේ තියෙනවා. ඔහු තවම සිතනවා, ඒ අය තවම සිටිනවා ය කියලා. හැමදාම රෑට නිදාගන්න කලින් ‘සෙරූ’ මේ රූප මවා ගන්නවා. මොකද ඒවා මැකිලා යන්න නොදී තියාගන්න ඔහුට වුවමනයි.

ඔහු හදාවඩාගත් ඔස්ට්‍රේලියානු කාන්තාව, ඒ කියන්නෙ දැන් ඔහුගෙ මව එහෙම හදාවාඩ ගන්න කලින් ඉඳලා කොපමණ පෙර සූදානමක් කරනවද කියල මේ පොතේ දැක්වෙනවා. සරූගෙ කාමරය ඉන්දියාවෙ ‍දේවල් වලින් සරසලා එයාට ඒ පුංචි සන්ධිය මතක් කරගන්න උදව් කරන්නෙ ඇය. මේ ළමයා සමාජයෙ ලොකු වෘත්තිකයෙක් කරන්න ඒ අයට ඕනෑ වුණේ නෑ.

එදාවේල කන්න නැති අම්මෙක් තැත්තෙක් නැති ළමයි කොපමණ නම් ලෝකයේ ඉන්නවාද? හැබැයි සරූට මේ ඔස්ට්‍රේලියානු මව් - පිය සෙවණේ හැදෙන්න පින තිබුණා. මම හිතන්නෙ මේ කතාව අපටත් හුඟක් වැදගත්. මේක පුරා මතුවෙන්නෙ සරූ තමන්ගෙ මවුපියන් - සහෝදර සහෝදරියන් සොයා ගැනීමට දරපු අප්‍රමාණ වෙහෙස. මහා ධෛර්යයකින් ඔහු ඊට කැපවුණා. ඒ වෙහෙස, කැපවීම අන්තිමේ ජයග්‍රහණය කළා.

ඒ වගේම දරුවා හදා වඩාගත් ඕස්ට්‍රේලියානු අම්මට ඔහුව අයිති කරගන්නම කියල ඇය වෑයම් කරන්නේ නෑ. ඒ නිසා තමයි ‘සරූ’ ගෙ ළමවායි මතක් කරගන්න ඇය අර තරම් ම උපකාරී වුණේ.

ඔබ පරිවර්තනය සඳහා කෘති තෝරා ගැනීමේදී ඉතා සැලකිලිමත් වන බවක් පෙනෙනවා. ඒ පරිවර්තන පාඨකයා ඉතා තදින් ආකර්ෂණය කර ගත්තා. පරිවර්තන කාර්යයේදී ඔබ ගුරුකොට ගන්නා නියාමයන්, ප්‍රමිතීන්, ආචාරධර්ම වගේ දේවල් ගැන යමක් කිව හැකිද? 

පරිවර්තනයකදි හරි, ස්වතන්ත්‍ර නිර්මාණයකදි හරි එය කිරීමට අපට අරමුණක් තිබිය යුතුයි. ප්‍රකාශකයාගෙන් මුදල් ලැබෙන එක ඇත්ත. ඒත් අප කවුරුත් සමඟවත් සම්මාන පොරයකට යන්නෙ නෑ. මුදල් ලැබෙන නිසාම මේ දේවල් කරන්නෙත් නෑ. පාඨකයාට යමක් ගත හැකි, පාඨක මනස පුළුල් කරවන, කෘතියක් කිරීමෙන් මමත් සතුටක් ලබනවා.

Comments