සකල සිරින් පිරි තම්බපණ්ණියේ තම්මැන්නාගම් රැසකි මනා | සිළුමිණ

සකල සිරින් පිරි තම්බපණ්ණියේ තම්මැන්නාගම් රැසකි මනා

අපේ රට හැඳින්වීමට අද වැඩිපුර ම යෙදෙන්නේ "ලංකා" හා "ශ්‍රී ලංකා" යන නම් ය. එහෙත් අපේ රට හැඳින්වීමට තවත් නම් රාශියක් අතීතයෙහි භාවිත වුණු බව පෙනේ. ඉන් සමහරක් විදේශිකයන් යෙදූ නම් ය. සමහරක් සිංහලයන් විසින් ම යොදන ලද නම් ය. ස්වදේශිකයන් යෙදූ නම් සමහරක් මෙහි ඉදිරිපත් කෙරේ.

තම්බපණ්ණි

ව්‍යවහාර වර්ෂයෙන් පස්වැනි සිය වසෙහි දී පමණ අපේ ම රටෙහි ලියවුණු "දීපවංස" හා "මහාවංස" යන පාලි වංස කථා දෙකෙහි අපේ රට හඳුන්වා දීමට යෙදූ එක් නාමයක් "තම්බපණ්ණි" යන පාලි පදය යි. මෙය මුලින් යොදන්නට ඇත්තේ මුළු දිවයින ම හැඳින්වීමට නොව විජය කුමරුන් හා පිරිස මෙරටට ගොඩ බට ස්ථානය හැඳින්වීමට ය. පසුව එය "තම්බපණ්ණි දීප" බවට පත් විණ.

"තම්බපණ්ණි" යන පාලි පදයේ ද "තාම්‍රපර්ණි" යන සංස්කෘත පදයේ ද අර්ථය "තඹ පැහැයෙන් යුක්ත අත්ල" යැයි කියනු ලැබේ. එහි නිරුක්තිය අලළා විවරණයක් මහාවංසයෙහි සත්වෙනි පරිච්ඡේදයෙහි මෙසේ එයි:

"එකල්හි නැවින් ගොඩ බටුවා වූ විජය කුමාර ආදීහු ක්ලාන්ත වූවෝ අතින් භූමියෙහි ස්පර්ශ කොට හිඳ ගත්තෝය. යම් හෙයකින් තඹවන් අත්ල ඇති වී ද එහෙයින් ඒ දේශය ද දිවයින ද ඒ නම් ඇත්තේ හෝ තාම්‍රපර්ණි නම් විය." (40-41 පද්‍ය)

"තම්බපණ්ණි" යන පාලි නාමය කීප ආකාරයකින් සිංහල බසට එක් විණ. ඒ අතුරෙහි පහත දැක්වෙන නම් හමු වේ:

තම්බෙන්

"මහාබෝධිවංස ග්‍රන්ථපද විවරණයෙහි" එන්නේ "තම්බෙන්" යන නම යි.

තම්මැන්න - තම්වැන්න - තම්වැන්නා

ජාතක අටුවා ගැටපදයෙහි එන්නේ "තම්මැන්න" "තම්වැන්න" හා "තම්වැන්නා" යන පද යි.

තඹෙන් දිව්

ධම්පියා අටුවා ගැටපදයෙහි එන්නේ "තඹෙන් දිව්" යන පදය යි.

"තම්මැන්නා" යන පදයෙන් අදහස් කෙරුණේ මේ දිවයින වුවත් මේ වන විට "තම්මැන්නෑව" "තම්මැන්නා ගම" හා "තම්මැන්නා ගොඩ" යන නමින් හැඳින්වෙන ගම් රාශියක් ම ලංකාව පුරා දක්නට ලැබේ. එසේ වූයේ කෙසේ දැයි විමසනු වටී.

"තම්මැන්නා" යනු එක්තරා ගස් වර්ගයකට කියන නම බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය. මේ පිළිබඳ කෙටි විවරණයක් මා විසින් ලියන ලද "සිංහල ජන වහර" නම් කෘතියෙහි 36 වන පරිච්චේදයෙහි එයි:

"මහාවංසකරුවා විසින් "තම්බපණ්ණි" යනුවෙන් පාලියට නංවන ලද්දේ මෙම "තම්මැන්නා" යන නම යි. විජය රජු මෙරටට ගොඩ බට සමයෙහි මේ පෙදෙස හැඳින්වෙන්නට ඇත්තේ "තඹපන්න" හෝ "තඹවන්න" වැනි නමකින් වන්නට ඇත.

මෙකී ගස් විශේෂය මෙනමින් හඳුන්වන්නට ඇත්තේ ඒවායෙහි කොළ තඹ පැහැයෙන් යුක්ත වූ නිසා දැයි විමසීම වටී. "පන්" යනු කොළය යන අරුත් නඟන ඉපැරණි සිංහල පදයකි. ඒ අනුව "තඹපන්" හෝ "තඹපන්න" යනු තඹ පැහැති කොළ ඇති ගසක් හැදින්වීමට කදිම නමක් වෙයි.

මෙහි මුල් නම "තඹවන්" හෝ "තඹවන්න" යනු විසින් ද ගන්නට බැරි නැත්තේ "වන්" යනු වර්ණය හෙවත් පැහැය යන අර්ථවත් පදයක් බැවිනි. තඹ පැහැති කොළ සහිත වූයේ "තඹවැන්න" ගස යි. "වන්" හෝ "පන්" යන්නට මුලින් යෙදෙන "තඹ" යන පදය "තම්" යනුවෙන් වෙනස් විය හැකි නිසා "තඹපන්න" හෝ "තඹවන්න" කාලයාගේ ඇවෑමෙන් "තම්මැන්නා" බවට පත් වීමට කිසිදු බාධකයක් නැත. දොළොස්වැනි සියවසට අයත් ජාතක අටුවා ගැට පදයෙහි "තම්මැන්න" හා "තම්වැන්නා" යන පද දෙක ම දක්නට ලැබේ. මේ අනුව මහාවංසකරුවන් "තම්බපණ්ණි" අරබයා දක්වන නිරුක්තිය සැබෑවක් නම් රජරට පුරා ම "තම්මැන්නා ගම" "තම්මැන්නා ගොඩ" "තම්මැන්නා වැව" යනුවෙන් ගම් නම් රාශියක් බිහි වූයේ කෙසේ ද" (108 පිට)

ටැප්‍රොබානා

ව්‍යවහාර වර්ෂයෙන් දෙවැනි සිය වසෙහි දී ඇලෙක්සැන්ඩ්‍රියාවෙහි විසූ ටොලමි (Ptolemy) නමැති ග්‍රීක් ජාතිකයා විසින් අඳින ලද පළමුවන ලංකා සිතියමෙහි මේ රට නම් කොට ඇත්තේ "Taprobana" (ටැප්‍රොබානා) යන නමිනි. ඊට පදනම් වන්නට ඇත්තේ "තම්බපණ්ණි" යන නාමය බව පෙනේ.

"ටැප්‍රොබානා" යනුවෙන් ග්‍රීක් භාෂාවෙන් ලියවුණු පදය ඉංගිරිසියට ගියේ (Taprobane) යනුවෙනි.

දාහත්වැනි සියවසෙහි විසූ මිල්ටන් නම් ඉංගිරිසි කවියා "Paradise Regained" නම් කෘතියෙහි අපේ දිවයින හඳුන්වන්නේ "ටැප්‍රොබේන්" යන නාමයෙනි:

"From India and the

Golden Chersonese

And utmost Indian

isle Taprobane"

ඕජ දීප - වර දීප - මණ්ඩ දීප

ගෞතම බුදුන්ගේ කාලයෙහි "ලංකා දීප" යනුවෙන් හැඳින්වුණු මේ දීපය ඊට පෙර සිටි බුදුවරුන්ගේ කාලයෙහි "ඕජ දීප" "වර දීප" හා "මණ්ඩ දීප" යනුවෙන් හැදින්වුණු බව දීපවංසය කියයි. (1 පරි 73 ගාථාව)

Comments